spot_img
spot_imgspot_img

“දෙන්න බෑ කියූ තොරතුරු දෙන්න”යැයි දකුණේ රාජ්‍ය සේවා කොමිසමට නියෝග

පුවත්

විදෙස්

ධනංජය ජයසුන්දර විසිනි

දකුණු පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 (MN-1) III ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා බඳවාගැනීමේ විවෘත තරඟ විභාගය 2020 වර්ෂයේ ප්‍රතිඵල ලේඛන ඇතුළු තොරතුරු පරීක්ෂා කිරිම සඳහා අවස්ථාව ලබා දෙන්න යැයි තොරතුරු දැනගැනීමේ කොමිසම අද (10) දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසමට නියෝග කළේය.

මෙම නියෝගය කරන ලද්දේ rata.lk සංස්කාරක සජීව විජේවීර විසින් තොරතුරු දැනගැනීමේ කොමිසමට කරන ලද අභියාචනයක් විභාග කළ අවස්ථාවේ දී ය.

දකුණු පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 (MN-1)III ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී සිදුකරන ලද ප්‍රතිඵල ලේඛන වෙනස් කිරීමක් සම්බන්ධයෙන් සජීව විජේවීර විසින් මාධ්‍යවේදියකු ලෙස රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ගාමිණී වීරවික්‍රමගෙන් විමසීමක් කර තිබිණි.

එහි දී ඔහුගේ පිළිතුර වී තිබුණේ “ඔයාලගේ පණ්ඩිත කම් අපට වැඩක් නෑ යනුවෙනි”

එම වභාගය 2021 පෙබරවාරි මස 06 වැනි දින පවත්වා තිබූ අතර ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන තුනක දී අයදුම්කරුවන් 168 දෙනකු විභාගයට පෙනී සිටියහ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් සංඛ්‍යාව 42ක් වූ අතර පුරප්පාඩු තිබුණේ 01ක් පමණි.

එහි ප්‍රතිඵල 2021 මාර්තු මස 24 වැනි දින රාජ්‍ය සේවා කොමිසම් සභාව විසින් නිකුත් කළ බව සඳහන් කරමින් මාර්තු මස 29 වැනි දා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ www.psc.sp.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කෙරිණි. එම ලේඛනය පී.ඩබ්ලිව්.වික්‍රමසිංහ විසින් සකසා ජේ.ඩී.සී.හසන්ති සහ එස්.එම්.යූ.අයි. ද සිල්වා යන දෙදෙනාගේ පරීක්ෂාවෙන් පසු කොමිෂන් සභාවේ ලේකම් ගාමිණී වීරවික්‍රම විසින් අත්සන් කර ඉදිරිපත් කර තිබේ.

එම ලේඛනය අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉහළම සුදුසුකම් දක්වමින් ප්‍රථම ස්ථානයට පත්ව එම දිස්ත්‍රික්කයේ එකම පුරප්පාඩුවට පත්වීම සඳහා සුදුසුකම් ලබා සිටියේ අයදුම් පත්‍ර අංක 2085330003 යටතේ විභාගයට ඉදිරිපත් වූ කිරම, මාපිටකන්ද පදිංචි කුලසිංහගේ ඉරේෂා සෙව්වන්දි නමැති අයෙකි. ඇය ලබාගත් ලකුණු සංඛ්‍යාව 146කි.

මාර්තු 29 දිනයේ දී නිකුත් කළ ලේඛනයේ පළමුව වැනියා ලෙද සක්වා ඇත්තේ කුලසිංහගේ ඉරේෂා සෙව්වන්දි නමැති අයෙකි.

එම ලේඛනයේ 24 වැනි ස්ථානයට පත්ව සිටියේ මුතුකුමාරණ වගාච්චිගේ ඉමල්ෂා චතුරානි නමැති වීරවිල සේදවත්තේ දිංචි අයදුම්පත්‍ර අංක 2085360030 යටතේ ඉදිරිපත් වූ තැනැත්තියකි. ඇය සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට ලකුණු 66ක් සහ භාෂා නිපුණතා පරීක්ෂණයකට ලකුණු 40ක් ලබාගෙන මුළු ලකුණු 106ක් හිමිකරගෙන සිටියා ය.

මාර්තු 29 වැනි දිනි නිකුත් කළ ලේඛනයේ 24 වැනි ස්ථානය දැක්වෙන්නේ මේ ආකාරයෙනි.

මෙම ප්‍රතිඵල ලේඛනය කොමිෂමේ ලේකම්වරයාගේ අත්සන සහ දම්පැහැති නිල මුද්‍රාවක් ද දැක්වෙන ලේඛනයකි.

නමුත් මෙම ප්‍රතිඵල ලේඛන 2021 මැයි මස 17 වැනි දින දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම විසින් නැවත හදිසියේ ම වෙනස් කර තිබිණි. එහි දී නව ලේඛනයක් වෙබ් අඩවියේ පළකර තිබූ අතර කලින් 24 වැනි ස්ථානයේ සිටි අපේක්ෂිකාව එම නව ලේඛනයේ පළමු ස්ථානයට පත්ව සිටි අතර ඇය හිමිකරගත් ලකුණු සංඛ්‍යාව 150ක් ලෙස වෙනස් කර තිබිණි.

මෙම ලේඛනය දෙවනුව නිකුත් කරන ලද ලේඛනයයි. එහි පළමු ස්ථානයේ නම සඳහන් කර ඇත්තේ මීට පෙර තිබූ ලේඛනයේ 24 වැනි ස්ථානයේ තිබූ නමයි

එම දෙවැනි ලේඛනයේ ද ලේඛනය සැකසූ අයගේ අත්සන් සහ පරීක්ෂාකළ අයගේ අත්සන් මෙන්ම ලේකම්වරයාගේ අත්සන් දැක්වුව ද ඒවා ඡායාපිටපත් අත්සන් බව පැහැදිලිව නිරීක්ෂණ්‍ය වෙයි. එමෙන්ම එම දෙවැනි ලේඛනය සැකසූ දිනය ලෙස ද සඳහන් කර තිබුණේ මාර්තු 24 වැනි දිනයයි. මාර්තු 24 වැනි දිනයේ දී ම දෙවැනි ලේඛනයක් සකස් කළේ නම් මාර්තු 27 වැනි දින පළමු ලේඛනය වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කළේ කවර හේතුවක් නිසාද යන්න බරපතල ගැටලුවකි.

මේ පිළිබඳ විමර්ශනය කිරීමට කටයුතු කළ මාධ්‍යවේදී සජීව විජේවීර පළමුවෙන් ම සිදුකළේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යාලයට ඇමතුමක් රැගෙන එම විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කළ හැකි දැයි විමසීමයි. එවිට එහි සිටි නිලධාරිනියන් දෙදෙනකු විසින් දැනුම් දුන්නේ එම ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවකි.

එම හඬපටය මෙතැනින්.

විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය කළ නොහැකි බව මෙයින් කියයි.

මේ ප්‍රතිඵල ලේඛනය වෙනස් වීම ගැන කොමිෂන් සභාවේ ලේකම් ගාමිණී වීරවික්‍රමගෙන් විමසූ විට ඔහු කියා ඇත්තේ මෙවැනි කතාවකි.

“හම්බන්තොට දිස්ත්‍රික්කයේ ළමයෙක් අපිට කතා කළා. එයා බොහොම දක්ෂ ළමයෙක්. එයා කිව්වා එයාට මීට වඩා ලකුණු තිබිය යුතුයි කියලා. ඒ නිසා අපි එයාගේ ප්‍රශ්න පත්‍ර ගෙන්නවාගෙන නැවත බැලුවාම එකතුකිරීම්වල වැරැද්දක් තිබුණා. ඒ නිසා අපි ඒක නිවැරදි කරලා නැවත හැදුවා.”

ප්‍රතිඵල නැවත සමීක්ෂණය කළ නොහැකියැයි කී රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හම්බන්තොට තරුණියක් කතා කළ විට ඒ කොන්දේසි අමතකවූයේ කෙසේ දැයි ගැටලුවකි.

එමෙන්ම ඔහු කියන පරිදි සැබැවින්ම අ‍ැය ප්‍රතිඵල දැනගෙන එය පළිගත නොහැකි බව දැනුම් දී නැවත පරීක්ෂා කළානම් දෙවැනි ප්‍රති‍ඵල ලේඛනයේ ද අත්සන් තැබූ දිනය මාර්තු 24 වැනි දිනය ලෙස සටහන්වීමට කිසිදු හැකියාවක් නැත. ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ ද මාර්තු 29 වැනි දා ය. එමෙන්ම දෙවැනි ලේඛනයේ ඇත්තේ ලේකම්වරයා ඇතුළු අනිකුත් නිලධාරන්ගේ අත්සන්වල ඡායාපිටපත් පමණි. මේ අනුව මෙය කූඨ ලේඛන සැකසීමක් ද වෙයි.

මේ පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා සමඟ මාධ්‍ය‍වේදියා සාකච්ඡා කර තිබේ. එහි දී ලේකම්වරයා වරද පිළිගෙන නැත.

2016 අංක 12 දරණ තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලන්නම් යැයි කී විට ලේකම්වරයාට තම කතාව පාලනය කරගත නොහැකි වී. ඔහු තර්ජනාත්මක ස්වරූපයෙන් කතා කර තිබේ. මේ ඔහු සහ මාධ්‍යවේදියා අතර ඇති වූ සංවාදයයි.

මාධ්‍යවේදියා – ලේකම් තුමා මම මාධ්‍යවේදී සජීව විජේවීර

ඔහු – ඔව්

මාධ්‍යවේදියා – දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් 2021 පෙබරවාරි 06 පවත්වපු විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල ලේඛනය මාර්තු 29 වැනි දා දාපු එක නැවත වෙනස් කරලා අද දාලා තියෙනවා. ඉස්සෙල්ලා දාපු ප්‍රතිඵල ලේඛනයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ 01 වැනියට හිටපු කෙනා 02 වැනි තැනට දාලා 24 වැනියට හිටපු කෙනා 01 වැනියා කරලා. මේක වරදියි නේද ?

ඔහු – මෙහෙමයි. ඒ 24 වැනියාට හිටපු ළමයා අපිට කිව්වා එයාට මේ ප්‍රතිඵල පිළිගන්න බැහැ කියලා. ඒ නිසා අපි මේ ළමයාගේ උත්තර පත්‍ර බැලුවාම ලකුණු අඩුවෙන් එකතු කරලා තියෙන්නේ. ඒක නිවැරදි කරලා නැවත දැම්මා.

මාධ්‍යවේදියා – මේ විභාගයේ ප්‍රතිඵල නැවත පරීක්ෂා කරන්න බැහැනේද ?

ඔහු – බැහැ. නමුත් මේ ළමයාගේ ඉල්ලීම අපි සළකා බැලුවා.

මාධ්‍යවේදියා – එතකොට අනිත් අයත් නැවත පරීක්ෂණ ඉල්ලුවොත්.

ඔහු – දැන් ප්‍රතිඵල නිකුත් කරලා ඉවරයි.

මාධ්‍යවේදියා – මෙතන වංචාවක් වගේම නීති විරෝධී වැඩක්, විභාග කොන්දේසි උල්ලංඝනය කිරීමක් කරලා තියෙනවානේ.

ඔහු – මේක අපේ තීරණයක්

මාධ්‍යවේදියා – මම තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒ ළමයා ඇතුළු කිහිප දෙනෙකුගේ පිළිතුරු පත්‍ර ලේඛන පරීක්ෂා කරන්න ඉල්ලනවා. මම දැන් ඔබතුමාගේ කාර්යාලයට ඇවිත් ඒ ලේඛන පරීක්ෂා කරන්න ඉල්ලුවොත් දෙන්න පුළුවන් ද ?

ඔහු – ඒක අපි සළකා බලා තීරණය කරන්නේ දැන් ආවට දෙන්නේ නැහැ. දෙනවනම් දෙන්නේ දින 14කින්.

මාධ්‍යවේදියා – ලේකම් තුමා තොරතුරු දැනගැනීමේ පනත අනුව දින 14ක් කියන්නේ ඔබතුමාගේ කාර්යාලයට ගත කළ හැකි උපරිම කාලය. නමුත් අපි දන්නවා මේවා කාර්යාලයේ තිබෙන ලේඛන. ඒකට දින 14ක් අවශ්‍ය නැහැනේ.

ඔහු – ඔයාලගේ පණ්ඩිතකම් අපිට වැඩක් නෑ. අපි වැඩ කරන්නේ අපිට ඕන විදියට.

යනුවෙන් කියා ලේකම්වරයා දුරකථනය විසන්ධි කර තිබේ.

මාධ්‍යවේදී සජීව විජේවීර එදින ම තොරතුරු ඉල්ලීමේ අයදුම් පත්‍ර දෙකක් සකස් කරගෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ගියේය. ඔහුට ලැබුණු පිළිතුර වූයේ එම තොරතුරු ඉල්ලුම්පත්‍රයට කළ හැකි දේ ගැන සාකච්ඡා කර බලා ඒවා දිය හැකිදැයි දැනුම් දෙන්නම් යනුවෙනි.

එම තොරතුරු අයදුම් පත්‍ර දෙක පහතින් සඳහන් කර ඇත.

තොරතුරු ඉල්ලිම 01

තොරතුරු ඉල්ලීම 02

මෙම තොරතුරු අයදුම්පත්‍රවලට කිසිදු පිළිතුරක් ලැබී නැත. දින 14ක් නොව, මාස කිහිපයක් ම ගෙවී ගියේය. නමුත් පිළිතුරක් නැත.

රාජ්‍ය සේවා කොමිසම කළේ පළමු ප්‍රතිඵල ලේඛනයේ පළමු වැන්නාටත්, දෙවැනි ප්‍රතිඵල ලේඛනයේ පළමු වැන්නාටත් පුරප්පාඩු එකක් තිබුණ ද පත්වීම් දෙකක් ලබාදීමයි.

2021 මැයි 21 පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තොරතුරු නිලධාරී එච්.එම්.එස්.ආර්.කරුණනාරත්න විසින් මාධ්‍යවේදියා වෙත ලිපියක් එවමින් කියා තිබුණේ ඔහු ඉල්ලා සිටි තොරතුරු අධික ප්‍රමාණයක් බැවින්, ලිපි ලේඛන පරීක්ෂා කිරීමට සහ එය සළකා බැලීමට අමතර දින 14ක කාලයක් අවශ්‍ය බවයි. එයට හේතුවක් ලෙස කොරෝනා වසංගත තත්වය පිළිබඳව ද එම ලිපියේ සඳහන් කර තිබිණි.

නමුත් එම අමතර දින 14ක කාලය ද ඉක්මවා ගියත් තොරතුරු ලැබුණේ නැත. ඒ අනුව මාධ්‍යවේදී සජීව විජේවීර 2022 අප්‍රේල් මස 01 වැනි දින පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යාලට ගොස් තම තොරතුරු පත්‍රිකාව සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග දැන ගැනීමට වෙනත් තොරතුරු අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී තොරතුරු නිලධාරීවරයා කියා ඇත්තේ ඉහත තොරතුරු අයදුම් පත්‍රයට පිළිතුරු තැපැල් මගින් එවූ බවයි.

එවැනි ලිපියක් නොලැබුණු බැවින් ඔහු එහි සහතික කළ පිටපතක් ඉල්ලා ඇත. එම ඉල්ලීම විනාඩි කිහිපයකින් ඉටු විය. එම ලිපිවලින් පවසා ඇත්තේ ඔහු ඉල්ලා තිබූ ඇතැම් තොරතුරු විභාගයට සම්බන්ධ රහස්‍ය තොරතුරු බැවින් තොරතුරු දැනගැනීමේ පනතේ 5.(1)(2)(ඕ) වගන්තිය අනුව ලබාදිය නොහැකි බවයි.

මෙම ලිපිය තමන්ට ලැබුණු 2022 අප්‍රේල් 01 දිනය තමන්ට තොරතුරු ලැබුණු දිනය ලෙස සළකමින් මාධ්‍යවේදියා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව දකුණු පළාත නම්කළ නිලධාරීවරයාට අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි. එයින් ඔහු කියා තිබුණේ තොරතුරු නිලධාරීවරයා විසින් තමන්ට ලබාදුන් පිළිතුරෙහි දැක්වෙන තොරතුරු දැනගැනීමේ පනතේ 5.(1)(2)(ඕ) වගන්තිය විභාග දෙපාර්තමේන්තුවට සහ අධ්‍යාපන ආයතන සඳහා පමණක් අදාල බැවින් එම තොරතුරු තමන් වෙත ලබා දිය යුතුයැයි තම අදහස බවයි. එම ලිපිය ඔහු නම්කළ නිලධාරීවරයා වෙත 2022 අප්‍රේල් 06 වැනි දින යොමුකර තිබිණි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ගාමිණී වීරවික්‍රම නම්කළ නිලධාරීවරයා ලෙස ඊට පිළිතුරු සපයමින් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ 5.(1)(2)(ඕ) වගන්තියේ ඡායා පිටපත් යොමුකරමින් කියා තිබුණේ එම වගන්තිය අනුව තොරතුරු ලබාදිය නොහැකි බවයි.

එම පිළිතුරෙන් ද සෑහීකට පත් නොවූ මාධ්‍යවේදී සජීව විජේවීර 2022 මැයි 18 වැනි දින තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත අභියාචනා දෙකක් ඉදිරිපත් කළේය.

ඒ අනුව එම අභියාචනා විභාගය අද (10) තොරතුරු කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න, නීතිඥ ක්‍රිෂාලි පින්ටෝ සහ නීතිඥ ජගත් ලියනාරච්චි ඉදිරියේ කැඳවූ අවස්ථාවේ කරුණු සළකා බැලූ කොමිසම නියෝග කළේ අභියාචක විසින් ඉල්ලා ඇති සියලු තොරතුරු දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබා දියයුතු බවයි. තොරතුරු දැනගැනීමේ පනතේ 5.(1)(2)(ඕ) වගන්තිය පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාල නොවන බව ද තොරතුරු කොමිසම කීවේය.

නමුත් එහි දී දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තොරතුරු නිලධාරීවරයා කියා සිටියේ පළාත් රාජ්‍ය සේවා කොමිෂම විභාගයක් පවත්වමින් ඉටුකරන්නේ විභාග දෙපාර්තමේන්තුවේ රාජකාරියක් බැවින් විභාගවල රහස්‍යභාවය ආරක්ෂාකළ යුතුයැයි රාජ්‍ය සේවා කොමිෂම තීරණය කර ඇති බවයි. එබැවින් පනතේ සඳහන්ව ඇත්තේ විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන විභාගවල තොරතුරු නොදීම යන්න පළාත් රාජ්‍ය සේවා කොමිසමට ද අදාලකරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

ඒ පිළිබඳ අදහස් දැක්වූ තොරතුරු දැනගැනීමේ ක‍ොමිසමේ කොමසාරිස් ජගත් ලිනාරච්චි, එවැනි යෝජනා ඇත්නම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාවලට ඇතුළත් කර පාර්ලිමේන්තුවෙන් තොරතුරු පනත සංශෝධනය කරගැනීමට සිදුවන බවට උපදෙස් දුන්නේය.

මේ අවස්ථාවේ දී පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තොරතුරු නිලධාරීවරයා තවත් ඉල්ලීමක් කරමින් කියා සිටියේ විභාගය පරීක්ෂකවරුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය බැවින් එම තොරතුරු ලබාදීමට නොහැකි බවයි. නමුත් ඊට තොරතුරු කොමිෂන් සභාව එකඟ වූයේ නැත.

ඒ අනුව නොවැම්බර් 16 වැනි දා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරියකුගේ අධීක්ෂණය සහිතව මාධ්‍යවේදී සජීව විජේවීරට එම විභාගය සම්බන්ධයෙන් අවශ්‍යකර ඇති ලේඛන පරීක්ෂා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසත් ඒ සඳහා කිසිදු ගාස්තුවක් අය කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නොහැකි බවත් තොරතුරු කොමිසම නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!