spot_img
spot_imgspot_img

ධනුෂ්කට චෝදනා කළ කාන්තාව පොලිසියට කී කතාව මාධ්‍යයට දෙයි

පුවත්

විදෙස්

ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියාවේ පොලිසිය විසින් ගොනුකර ඇති චෝදනා මාධ්‍යවෙත හෙළි කිරීමට සිඩ්නි අධිකරණය අද (09) අවසර දී තිබිණි.

ඒ අනුව එම කාන්තාව විසින් පොලිසියට ලබාදුන් ප්‍රකාශ අනුව එල්ලවන චෝදනා අතර ඇත්තේ කාන්තාව විසින් ලිංගික ඇසුරක් සඳහා අවස්ථාව ලබාදීමට පෙර බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවන්හි නිරතවීම, අනාරක්ෂිත ලෙස ලිංගිකව එකතුවීම, එම අවස්ථාවේ තමන් සීතලට නිරාවරණය වීම, ගෙල සිරකිරීම හේතුවෙන් හුස්ම ගැනීමට අපහසුවීම සහ දැඩි කායික පීඩාවට පත්කිරීම යන්නයි.

සිද්ධියේ තොරතුරු හෙළිදරව්කිරීමට නිව්ස් කෝපරේෂන්, ඒ.බී.බී. ,සිඩ්නි මෝනිං හෙරල්ඩ් සහ චැනල් 9 ඇතුළු මාධ්‍ය රැසක් අවසර ඉල්ලා තිබුණි.  සිඩ්නි පොලිසිය විසින් මෙම තොරතුරු මාධ්‍යයට විවෘත නොකරන ලෙස ඉල්ලා තිබුණේ චෝදනා ඉදිරිපත්කරන කාන්තාවගේ ආරක්ෂාව සහ ඇය අපහසුතාවට ලක්වීම වැළැක්වීමට යැයි පවසමින්.

අධිකරණය එම තොරතුරු මාධ්‍යයට ලබාදීම සඳහා අවසර නිකුත් කිරීම හේතුවෙන් මේ වනවිට එම චෝදනා පිිළිබඳ කරුණු මාධ්‍යවල පළ වී ඇත.

අධිකරණ අවසරය ඇතිව ලබාදුන් තොරතුරු අනුව, සිඩ්නි නුවර රෝස් – බේ හී පදිංචි 29 හැවිරිදි එම කාන්තාව සමගින් ටින්ඩර් නැමැති අන්තර්ජාල යෙදුම හරහා ධනුෂ්ක ගුණතිලක මුල්වරට සම්බන්ධ වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 29 වැනිදාය. ඉන්පසුව ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ඔස්සේ ඔවුන් අතර සංවාද සිදුව තිබේ.

සිඩ්නි පොලිස් වාර්තාවට අනුව තමා බැලීමට බ්‍රිස්බේන් නුවරට පැමිණෙන ලෙස ධනුෂ්ක මෙම කාන්තාවට ඇවිටිලි කර ඇති අතර ඇය එය ප්‍රතික්ෂේප කළ නිසා වීඩියෝ ඇමතුම් මාර්ගයෙන් සම්බන්ධ වී තිබේ. පසුව සිඩ්නි නුවරදී දෙදෙනා හමුවීමට එකඟ වූ බව සඳහන් වෙයි.

ඒ අනුව සිඩ්නි නුවරදී Circular Quay හී ඔපෙරා අවන්හලේ දී නොවැම්බර් දෙවැනිදා රාත්‍රී 8.20ට පමණ දෙදෙනා හමුවී තිබේ. අධිකරණ වාර්තාවේ දැක්වෙන්නේ ඔවුන් පැය භාගයක පමණ කාලයක් අවන්හලේ ගතකර ඇති බවයි. එහි දී දෙදෙනා ම මත්පැන් පානය කර තිබේ. ඉන්පසු පීසා අවන්හලකට ගොස් රාත්‍රී භෝජනය ලබාගෙන ඇති අතර ඔවුන් කාන්තාවගේ නිවසට යාමට මගී යාත්‍රාවක් භාවිතා කර තිබේ. එලෙස මගී යාත්‍රාව පැමිණෙන තුරු සිටින අතරතුරත් යාත්‍රාවේදීත් ධනුෂ්ක තමාව බලහත්කාරයෙන් සිපගත් බව ඇය පවසා ඇත.

සිඩ්නි පොලීසිය අධිකරණයට වාර්තාකර ඇති අකාරයට සඳහන් වන්නේ නිවසට පැමිණි වහාම ධනුෂ්ක ඇය සමඟ ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වූ බවයි. හදිසි නොවන්නැයි තමා ඇවිටිලි කළ ද ධනුෂ්ක එය ප්‍රතික්ෂේප කළ බවත් අදාළ කාන්තාව පවසා ඇත. කෙසේ නමුත් පසුව අනාරක්ෂිත අයුරින් ධනුෂ්ක තමා සමග ලිංගිව හැසිරුණු බවත් ඇය නගා ඇති චෝදනාවකි.

එම කාන්තාව වැඩිදුරටත් පවසා ඇත්තේ ධනුෂ්කගේ හැසිරීම්වලින් තමා දැඩි කායික පීඩාවකට ලක් වූ බවයි. එහි දී තමා දැඩි කම්පනයකට ලක් වූ බවත් අධික ශීතලකට නිරාවරණය වූ බවත් ඇය සඳහන් කර ඇත. කුලී රථයක් තමන් ලවා ගෙන්වාගෙන අලුයම 1.00ට පමණ ධනුෂ්ක සිය නිවසින් නික්මුණු බවත්, පසුදින උදෑසන අවදි වූ තමාට ශාරීරිකව ඇතිවූ අපහසුතා නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට සිදු වූ බවත් මෙම කාන්තාව පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

සිඩ්නි නුවර බොන්ඩි (Bondi) පොලිස් ස්ථානය වෙත ගිය එම කාන්තාව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ධනුෂ්ක සමඟ හුවමාරු කරගත් පණිවිඩ, දුරකථන ඇමතුම් සහ ඡායාරූප තොරතුරු පොලිසියට ලබා දී ඇත.

සිඩ්නි නුවර රෝයල් ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහල වෙත ගොස් ලිංගික අඩත්තේට්ටම් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියට භාජනය වී ඇති අතර මොළයේ ස්කෑන් පරීක්ෂාවක් ද සිදුකර ඇති බව ද සඳහන්වේ. එය සිදුකර ඇත්තේ හුස්ම හිරවීමෙන් තමන්ට යම් ශාරීරික හානියක් සිදුව ඇත්දැයි බැලීමටය.

සිඩ්නි අධිකරණය හමුවේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයක් හරහා අද (09) පෙනී සිටි ධනුෂ්ක මෙම කාන්තාව සමග ලිංගිකව හැසිරුණු බව ප්‍රතික්ෂේප කර නැත. කෙසේ වෙතත් එහි දී තමා, ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු බවට සහ ලිංගික ක්‍රියාවලිය සඳහා කාන්තාවගේ කැමැත්තක් නොතිබූ බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කර බව ද ඔහු ප්‍රකාශ කළේය

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පසුගිය සඳුදා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ශේප වූ අතර නැවත නඩු විභාගය පැවැත්වීමට ඇත්තේ ලබන වසරේ ජනවාරි 12 වනදාය.  ඒ අනුව ඔහුට ඉදිරි මාස 2 රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවනු ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!