spot_img
spot_imgspot_img

ඇමති රමේෂ්ගේ ගිනිගත් නිවසින්, සල්ලි හොරකම් කළැයි අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප

පුවත්

විදෙස්

ගාල්ල කිතුලම්පිටියේ, අමාත්‍ය රමේෂ් පතිරණට අයත් නිවසේ තිබී රුපියල් කෝටියකට ආසන්න මුදලක් සොරකම් කළා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන් තිදෙනකු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප මත මුදා හැරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්  ලක්මිණි විදානගමගේ පසුගිය ඉරිදා (06) නියෝග කළාය.

මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ ගාල්ලේ පදිංචි විජේකෝන් මුදියන්සේලාගේ ගගනේෂ් කාවින්ද, හේවගේ චමිඳු චමින්ද සහ කංකානම්ගේ වනිඳු රණසිංහ යන සැකකරුවන් තිදෙනෙකි.

ගාලු මුවදොර අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරයකින් පසු ඉකුත් මැයි 09 වැනි දා සවස ඇමති රමේෂ් පතිරණගේ නිවස ගින්නකින් විනාශ වන අවස්ථාවේ දී මෙම සැකකරුවන් තිදෙනා රුපියල් කෝටියකට ආසන්න මුදලක් (ලක්ෂ 95) සොරකම් කර ඇති බව ගාල්ල මූලස්ථාන මහේස්ත්‍රාත්වරියට කරුණු වාර්තා කළේය.

පොලිසිය කියා සිටියේ සැකකරුවන් තිදෙනාගේ බැංකු ගිනුම්වල තිබී සොරකම් කරන ලද මුදලින් රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් සොයාගැනීමට හැකි වූ බවයි. ඔවුන් ඉතිරි මුදල්වලින් මිලදී ගන්නා ලදැයි සැකකරනු ලැබූ ශීතකරණ ඇතුළු විදුලි උපකරණ සහ ලී බඩු රැසක් ද සැකකරුවන්ගේ නිවෙස්වල තිබී සොයාගත් බව මහේස්ත්‍රාත්වරිය හමුවේ පොලිසිය කියා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විශ්වනාත් අරඹෙවෙල කියා සිටියේ අමාත්‍ය රමේෂ් පතිරණගේ නිවස ගිනි ගැනීමේ සිද්ධිය සහ සිදුවූ හානියත් අලාභයත් පිළිබඳ පැමිණිල්ලක් ගාල්ල පොලිසියට ම ඉදිරිපත් කර ඇතත් මෙවැනි මුදලක් ‍හොරකම් කිරීමක් සම්බන්ධයෙන් හෝ නිවසේ මුදල් තිබූ බවට හෝ කිසිදු අනාවරණයක් නොමැති බවයි.

එමෙන් ම සැකකරුවන් සංචාරක හෝටල් සේවකයන් බවත් ඔවුන්ගේ බැංකු ගිනුම්වල තිබූ මුදල් සොරකම් කරන ලද මුදල් යැයි පවසා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු කියා සිටියේය. සැකකරුවන් විසින් මුදල් සොරකම් කරන ලද බවට හෝ එලෙස සොරකම් කළා යැයි කියන මුදල්වලින් ගෘහ භාණ්ඩ මිල දී ගත් බවට හෝ කිසිදු වීඩියෝ සාක්ෂියක් නැතැයි ද  නීතිඥවරයා අධිකරණය හමුවේ කීවේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම සැකකරුවන් එක් අයකුට රුපියල් ලක්ෂ 05 බැගින් ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළ අතර නඩුවේ වැඩිදුර විභාගය ලබන 14 වැනි දිනට කල් තැබුවාය.

මෙම පුද්ගලයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ උණවටුණේ පදිංචි කාන්තාවක විසින් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුවය.

ගාල්ල කොට්ඨාස අපරාධ පරීක්ෂණ අංශයේ කොස්තාපල් ජගත් (77147) විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.

(සුගතපාල දීයගහගේ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!