spot_img
spot_imgspot_img

භියකරු සති කිහිපයකට රටත්, ජනතාවත් ප්‍රවේශ වෙයි. ජීවිතය යදින්නට සිදුවෙයි ?

පුවත්

විදෙස්

ජාත්‍යන්තර සෞඛ්‍ය තොරතුරු විශ්ලේෂණ ආයතනය හෙවත් Institute for Health Metrics and Evaluation (IHME) මගින් ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය පුරෝකථනය කරමින් නිකුත්කරන ලද සියලු වාර්තාවන් ඉක්මවා මෙරටින් කොරෝනා මරණ වාර්තාවීම හේතුවෙන් සමස්ත ලෝකයේම දැඩි අවධානනයක් ශ්‍රී ලංකාව කෙරෙහි යොමු වී තිබෙන බව සෞඛ්‍ය සේවා විශේෂඥයෝ පෙන්වා දෙති.

එම පුරෝකථන වාර්තාව අනුව ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය ව්‍යාප්තිය අනුව අගෝස්තු මස 18 වැනි දා මෙරට කොරෝනා මරණ සිදුවීමට නියමිත තිබුණේ 71කි. එම දිනය වනවිට ලෝකයේ කොරෝනා තත්වය, ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය හා කොරෝනා උපරිම  හෙවත් “නරකම තත්වයේ දී” (Worst case scenario) දී මියයන සංඛ්‍යාව 71ක් ලෙස ම ගණනය කර තිබිණි.

නමුත් ඊයේ (19) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ 18 වැනි දා සිදුවූ මරණ සංඛ්‍යාවේ දක්වා ඇත්තේ එම දිනයේ දී ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 186ක් සිදුව ඇති බවයි. එය ඉතාමත් විශාල අගයකි. පුරෝකථනය මෙන් 261% වැඩිවීමකි.

ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය තවමත් වැඩිවෙමින් පවතින බව සංඛ්‍යාලේඛන දත්ත අනුසාරයෙන් පෙන්වන ජාත්‍යන්තර සෞඛ්‍ය තොරතුරු විශ්ලේෂණ ආයතනය (IHME) කර ඇති පුරෝකථනය අනුව 2021 ඔක්තෝබර් මස 21 වැනි දිනය මෙරට කොරෝනා ව්‍යාප්තියේ උපරිම අගයට පිවිසෙනු ඇත. එතෙක් ක්‍රමිකව වර්ධනය වන කොරෝනා වසංගතයේ දී 18 වැනි දා සිදුවූ මරණ සංඛ්‍යාවට සමාන මරණ සංඛ්‍යාවක් සිදුවීමට නියමිතව ඇත්තේ එම පුරෝකථනය අනුව නම් 2021 ඔක්තෝබර් මස 28 දිනයේ දී මරණ 176ක් සහ 29 දිනයේ දී මරණ 189ක් ලෙසිනි.

නමුත් තවතම් වසංගතය වර්ධනය වෙමින් පවතිද්දී ජාත්‍යනත්ර පුරෝකථනය අනුව සිදුවිය හැකි දෛනික මරණ සංඛ්‍යාව ඉලක්කගත දිනට මාස දෙකකුත් දින 10ට පමණ පෙරාතුව සිදුව තිබීම බරපතල තත්වයකි.

පහත දක්වා ඇති ප්‍රස්ථාර සටහනේ ඉහළම අගය පෙන්වන 2021 ඔක්තෝබර් මස 21 ශ්‍රී ලංකාවේ “නරකම තත්වයේ” (Worst case scenario) ලෙස දැක්වෙයි. පුරෝකථනයට අනුව එදින සිදුවිය හැකි අවම මරණ සංඛ්‍යාව 137ක් වන අතර උපරිම සංඛ්‍යාව 693කි. ඒ අනුව එදින සිදුවන මරණවල මධ්‍යන්‍ය අගය ලෙස වාර්තා වන්නේ 351ක් ලෙසිනි.

මෙම ප්‍රස්ථාරය සකස් කර ඇත්තේ වර්තමානයේ ලැබෙන දත්ත අනුව වීම විශේෂත්වයකි. එම පුරෝකථනය අනුව මෙරට උපරිම දෛනික මරණ සංඛ්‍යාවක් සිදුවිය හැකියැයි පවසන දිනයේ දී වාර්තා විය හැකි අවම මරණ සංඛ්‍යාව වූ 137 ඉක්මවා යමින් අගෝස්තු 11 වැනිි දා මෙරට මරණ 156ක් සිදුව තිබේ. ඒ අනුව ඔක්තෝබර් 21 වැනි දා සිදුවනු ඇතැයි පවසන උපරිම මරණ සීමාවට ශ්‍රී ලංකාව අගෝස්තු 11 වැනි දා හෙවත් ඊට මාස දෙකකුත් දින 10කට පෙර ඇතුළු වී තිබේ.

සෞඛ්‍ය සේවයේ විශේෂඥයන් පවසන්නේ මෙය ඉතාමත් භයානක තත්වයක් බවයි.

ගැටලුව තිබෙන්නේ මේ පුරෝකථනය කර ඇත්තේ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත්කර නිල ලේඛන පමණක් උපයෝගීකරගෙන වීමයි.

නමුත් රටේ පවතින සැබෑ තත්වය මීටත් වඩා අතිශය දරුණු බව අපි පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ප්‍රකාශ කළෙමු. Rata.lk වෙබ් අඩවියේ අපි රටේ කොරෝනා දත්ත වැරදි බව පළමු වරට රටට අනාවරණය කළ අතර එම හෙළිදරව් කිරීම කරන ලද්දේ 2020 ඔක්තෝබර් මස 25 වැනි දින ආසාදිතයන් ගැන තොරතුරු අවුල් ජාලාවක් නමින් අපි මේ පිළිබඳ පළමු ලිපිය පළ කළෙමු.

ඊයේ (19) ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයෝ ද මේ දත්ත වැරදි බව ලිඛිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දී තිබිණි. අප මාස ගණනක් කී කරුණු පක්ෂ නායකයෝ අනුමත කිරීම ජනතා ජයග්‍රහණයකි.

රටේ කොරෝනා ආසාදිතයන් පිළිබඳ දත්ත නිකුත් කිරීමේ දී දෛනිකව ප්‍රකාශයට පත්කරනු ලබන්නේ PCR පරීක්ෂණවලින් තහවුරු කරගන්නා ආසාදිතයන් පිළිබඳ විස්තර පමණක් බවත් ඇන්ටිජන් පරීක්ෂණවලින් තහවුරු වන රෝගීන් එම ‍ලේඛනයට ඇතුළත් නොකරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ම අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මෙරට වැඩිපුරම ආසාදිතයන් හමුවන්නේ ඇන්ටිජන් පරීක්ෂණවලිනි. ඒ අනුව දැනට දෛනික වාර්තාවලින් පැවසෙන රෝගීන් සංඛ්‍යාවට වඩා රෝගීන් ගණනක් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට නිල දත්ත ලැබුණ ද ඔවුන් ඒවා හෙළිදරව් නොකර සඟවාගෙන සිටියි.

මේ බව තහවුරුවන්නේ දිනකට වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවට සාපේක්ෂව වාර්තාකරන මරණ සංඛ්‍යාව අතර අනුපාතය සළකා බැලූ විටය. ලෝකයේ සියලුම රටවල කොරෝනා මරණ අනුපාතය වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාවට සාපේක්ෂව 1%-2% අගයක පැවතිණි. නමුත් ශ්‍රී ලංකාව දැනට නිකුත් කරමින් සිටින නිල සංඛ්‍යාලේඛන අනුව මරණ අනුපාතය ලොව වැඩිම රට බවට පත්ව තිබේ. එම සංඛ්‍යාව 5% ක් දක්වා වර්ධනය වී ඇති බව අපි අනාවරණය කළෙමු (එම ලිපිය මෙතැනින්)

ශ්‍රී ලංකාවේ දිනකට වාර්තාවන මරණ සංඛ්‍යාව පිළිබඳව ද ඇත්තේ බරපතල ගැටලුවකි. මේ වනවිට අධිකරණ අමාත්‍යාංශය මගින් නිකුත්කරන ලද විශේෂ චක්‍රලේඛයක් හේතුවෙන් නිවෙස්වල සිදුවන මරණ අති බහුතරයක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු නොකර නිදහස් කරනු ලබයි. නමුත් රෝහල්වලට ඉද හිට හෝ ලැබෙන නිවෙස්වල සිදුවූ මරණ බහුතරයක් පීසීආර් පරීක්ෂණ සිදුකළ විට ඒවා කොරෝනා ආසාදිත බව තහවුරුවන බවට සාක්ෂි අප සතුව ඇත. (කරාපිටිය රෝහල සම්බන්ධ කරගනිමින් ලියූ ලිපියක් මෙතැනින්)

ඉන් පැහැදිළි වන්නේ නිවෙස්වල මියයන කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මරණ ඔවුන් ආසාදිතයන් යැයි හඳුනාගැනීමකින් තොරව අවසන් කටයුතු සඳහා යොමුකරන බවයි. ඒ අනුව මෙරට සැබෑ කොරෝනා මරණ වාර්තාවන්නේ නැත.

මේ චක්‍රලේඛය නිකුත් කළ පසු හදිසි මරණ පරීක්ෂකවරු සහ ග්‍රාම නිලධාරීවරු එයට දැඩි විරෝධයක් දැක්වූ නමුත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි තරයේ කියා සිටියේ චක්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවයි.

මේ අනුව දැන් මෙරට එක්තරා ආගමික කොට්ඨාසයක නිවෙස්වල මියයන පුද්ගලයන් කිසිවෙකුගේ මළ සිරුරු කිසිදු රෝහලකට ලැබෙන්නේ නැත. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂඛ මොහොමඩ් නාසිම් නිවෙස්වල සිදුවන මරණ සියල්ල නිවෙස්වල දී ම පීසීආර් පරීක්ෂණවලින් තොරව නිදහස් කරන බව තහවුරු වී තිබේ. එම චක්‍රලේඛය නිකුත්කළ පසු ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ ඇත්තේ ඉඳහිට රෝහලේ දී මියයන ආගමික ජනකෙටසකට අයත් පුද්ගලයන් කිහිප දෙනකුගේ මරණ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමට පමණි. (මේ පිළිබඳ සංඛ්‍යා ලේඛන දත්ත අප සතුව ඇත)

තව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරියකු තම නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටිමින් අප සමඟ කියා සිටියේ දෛනික මරණ ලෙස වාර්තා කරන්නේ සෘජු හේතුව කොරෝනා නිව්මෝනියාව ලෙස මරණ පරීක්ෂණයේ දී සඳහන් කර ඇති මරණ පමණක් බවයි. යම් පුද්ගලයකු දියවැඩියාව, වකුගඩු රෝග, හෘද රෝග, පිළිකා රෝග වැනි නිදන්ගත රෝගයක් ද සහිතව කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇත්නම් එම මරණය කොරෝනා මරණයක් ලෙස ගණනය වන්නේ නැත.

ඒ අනුව ද මෙරට සිදුවන සැබෑ මරණ සංඛ්‍යාවෙන් විශාල ප්‍රමාණයක් ඉවත්කර නිල සංඛ්‍යාලේඛන ඉදිරිපත්කිරීම සිදුවන බව පැහැදිළිය.

මෙම කරුණු සියල්ල විශ්ලේෂණය කළ විට පැහැදිළි වන්නේ ජාත්‍යන්තර සෞඛ්‍ය තොරතුරු විශ්ලේෂණ ආයතනය හෙවත් Institute for Health Metrics and Evaluation (IHME) මගින් සිදුකර ඇති දත්ත විශ්ලේෂණයටත් වඩා මෙරට තත්වය ඉතාමත් භයානක බවයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මෙරට විශේෂඥයන් විසින්  සැකසූ වාර්තාව අනුව 2022 වර්ෂයේ ජනවාරි මාසය වනවිට මෙරට පුද්ගලයන් 30,000ක් මියගොස් සිටිනු ඇති බව දැක්වෙයි. නමුත් සැබෑ දත්ත ලැබෙන්නේ නම් එය මීටත් වඩා ඉහළ අගයක් ගනු ඇතැයි පැහැදිළිය.

දැනට IHME ආයනය කර ඇති පුරෝකථනයට පදනම්ව ඇත්තේ මීට සති 02කට පමණ පෙර මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත්කරන ලද නිල දත්ත පමණි. අද (20) වනවිට මෙරට නිල දත්ත විශ්ලේෂණය කර ඉදිරිපත් කරනු ලබන පුරෝකථනය අපට තව දින කිහිපයකින් දැකගත හැකිවනු ඇත.

බොහෝ විට ඉදිරි පුරෝකථන අනුව ශ්‍රී ලංකාවේ තත්වය අපි දැනට ‍අපේක්ෂි තත්වයටත් වඩා දරුණු වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

කෙසේ වෙතත් අවසානයේ එක් දෙයක් මෙහි සටහන් කළ යුතුය.

වැරදි දත්ත හා සංඛ්‍යාලේඛන අනුව කිසිදා වසංගතයක් පාලනය කළ නොහැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!