ආසාදිතයන් ගැන තොරතුරු අවුල් ජාලාවක්.

0
422

කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිශ්චිත සංඛ්‍යා ලේඛන පවත්වාගෙන යන්නේ ද පිළිබඳ ගැටලුවක් මේ වනවිට උද්ගත වී තිබේ.

මාර්තු මාසයේ කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවේ පැතිරීම ආරම්භවිමත් සමඟ හමුවන රෝගින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් පිළිබඳ රූප සටහන් සහ වගු පවා ඉදිරිපත් කරමින් තම රෝගී දත්ත පිළිබඳ තොරතුරු මනාව යාවත්කාලීන කළ සෞඛ්‍ය අමාත්‍යාංශය හා වසංගත රෝග එකකය කොරෝනා දෙවැනි රැල්ල සම්බන්ධයෙන් එවැනි ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන්නේ නැත.

සෞඛ්‍ය ආමත්‍යාංශයෙන් රෝගීන් පිළිබඳ විමසූ විට ඒ ඒ නිලධාරීන්ගෙන් ලැබෙන්නේ විවිධ සංඛ්‍යාත්මක දත්තයන් බැවින් ඒ බව මනාව තහවුරු වේ. මෙය දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් ද පවතින ගැටලුවක් බව අනාවරණය වෙයි.

මෙම සටහන ලියන ලේඛකයා ගාල්ල දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා (24) දක්වා නිශ්චිත සංඛ්‍යාලේඛන ගාල්ල දිස්ත්‍රික් සෞඛය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, ගාල්ල වසංගත විද්‍යා ඒකකය, කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය යන ආයතන හා ඒකකයන්ගෙන් ලබාගනිමින් යාවත්කාලීන කර ඇත. ඒ අනුව 24 වැනි දා උදෑෂන වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 45ක් බවට පත්ව තිබිණි. නමුත් ගාල්ලේ සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම කියා සිටියේ එවැනි සංඛ්‍යාවක් පිළිබඳ තමන් නොදන්නා බවයි.

අවම වශයෙන් පෑලියගොඩ මාළු වෙළෙඳ සංකිර්ණයේ දී කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයන් බව තහවුරු කරගන්නා ලද ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන් ගැන ඔවුන් දැන සිටියේ නැත. මෙම ලේඛකයා විසින් කරුණු විමසීමෙන් ද පැය ගණනාවකට පසු ගාල්ලේ සෞඛ්‍ය බලධාරීන් අප නිවැරදියැයි පවසමින් කල්වේලා ඇතිව එම තොරතුරු ලබාදීම පිළිබඳ ස්තූති කළේය.

ඉන් අනතුරුව ඊයේ (25) දිනයේ උදෑසන කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ලේඛනයට අනුව ගාල්ලේ උඩුගම ආසාදිතයෙක් වාර්තාවෙයි. ඒ් අනුව ආසාදිතයන් සංඛ්‍යාව 46ක් විය යුතුය. ඉන් අනතුරුව අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි ධීවරයන් දෙදෙනකු ද කොරෝනා ආසාදිත බවට වාර්තා වී තිබේ. ඒ් අනුව සංඛ්‍යාව 48 කි. මාගාල්ලේ පදිංචි මාතර කාර්යාලයක නිලධාරියකුට කොරෝනා ආසාදනය වී තිබිණි. ඒ අනුව අසාදිතයන් සංක්‍යාව 49කි. ඉන් පසු අපට වාර්තා වූයේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අනතුරකට ලක්වූ දරුවකු අසළ සිටි පියා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇති බවයි. ඔහු මේ කිසිදු ලේඛනයක දක්වා නැත. ඔහු සමග ගාල්ලේ ආසාදිතයන් සංඛ්‍යාව 50ක් බවට පත්විය යතූය. අප ඉන් පසු සෙනසුරාදා (24) සහ ඉරිදා (25) දිනයන්හි අහුංගල්ල මළ ගෙදර ආශ්‍රිතයන් අතරින් කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගත් සංඛ්‍යාව දෙසට අවධානය යොමු කළ යුතුය. එම සංඛ්‍යාව 10කි. මේ වනවිට අහුංගල්ලේ මළ ගෙදර හේතුවෙන් ආසාදිතයන් බවට පත්වූ සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම 10 දෙනාගේ එකතුවත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ථ රෝගීන් සංඛ්‍යාව අද (26) වනවිට 60ක් දක්වා වර්ධනය වී තිබේ.  

මා මෙම සංඛ්‍යා ලේඛන යාවත්කාලීන කරගැනීමෙන් අනතුරුව ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඒ පිළිබඳ විමසූ විට ඔවුන් පවසන්නේ ඊට වඩා අඩු රෝගීන් ප්‍රමාණයක් පිළිබඳවය.

‘’අපි දන්නේ නැහැ. අපිට ලැබෙන තොරතුරු ගැන විතරයි අපි දන්නේ. තැන් කිහිපයකින් වැඩ කරන නිසා තොරතුරු ලැබීමේ ගැටලු තියෙන්න පුළුවන්. අපිට ස්ටාෆ් මදි. අපි හැමදේම කරන්න ඔ්නේ.” ඒ ඔවුන්ගේ පිළිතුරයි.

අද (26) දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොරොනා මර්ධන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කෙරිණි. එම ස්ථානයෙන් කොරෝනා පිළිබඳ තොරතුරු ලබාගත හැකි බවට දුරකථන අංකයක් ද දී තිබුණු බැවින් මා එම දුරකථනයට ඇමතුමක් ගෙන ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් කොපමණ සංඛයාවක් සිටින්නේ ද යනුවෙන් විමසූ විට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ම ආසාදිතයන් 52ක් වාර්තා වන බවයි. ඔවුන්ට ආසාදිතයන් 08 දෙනකු මඟහැරී ඇත.

ගාල්ලේ පොද්දල පදිංචි ලංකා විදුලි පුද්ගලික සමාගමේ කඳාන කාර්යාලයේ සේවකයකු කොරෝනා ආසාදිතයැයි කියමින් ඔහු කුදලාගෙන ගොස් කොරෝනා අසාදිතයන් සිටින රෝහලකට දමා තිබිණි. ඔහුගේ පීසීආර් පරීක්ෂණය සෘණාත්මක වී තිබිය දී තොරතුරු වරද්දාගෙන ඔහු එසේ ගෙනගොස් සිටිය ද ඔහු රැගෙන ගිය සෞඛ්‍ය බලධාරීන් මේ දක්වාම ඔහුට සිදුවූ වරද ගැන ප්‍රකාශ කළේ නැත. අපට ද ඔහු වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමට දින දෙකකට ආසන්න කාලයක් සෞඛ්‍ය බලධාරීන්ගෙන් දිගින් දිගටම තොරතුරු විමසන්නට සිදුවූ අතර අවසානයේ නිශ්චිත තහවුරු කිරීම කරන ලද්දේ පුද්ගලිකව අපට හිතවත් වෛද්‍යවරයකු විසිනි. තවමත් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඔහු ගැන විමසූ විට කිසිවක් කියන්නේ නැත.

අපි දැන් මාතර දෙසට හැරෙමු. මාතර දෙයියන්දර නෙරලම්පිටියේ කොරෝනා ආසාදිතයකු වාර්තා වී තිබිණි. මේ ගැන දැනගත් මාතර ලංකාදිප මාණ්ඩලික මාධ්‍යවේදී ක්‍රිෂාන් ජීවක ජයරුක් තම පුවත්පත දැනුම්වත් කළේය පසුව මාතර කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් පැවැති නිලධාරී රැස්වීකට පැමිණි ඩලස් අලහප්පෙපරුම අමාත්‍යවරයා සෞඛ්‍ය අංශවලට දොස්කීවේ කොළඹ ලංකාදීප පුවත්පත් කාර්යාලය මෙම අසාදිතයා ගැන විමසන තුරු තමන් කිසිවක් නොදන්නා බවයි. සෞඛ්‍ය බලධාරීන් දිස්ත්‍රික්කයේ කොරෝනා තුරන්කිරීමට වෙහෙසෙන රජයේ ඇමතිවරුන්ට ද තොරතුරු ලබා නොදන්නේ නම් අන් අයට තොරතුරු ලැබෙන්නේ කෙසේ ද යන්න ගැටලුවකි.

අප සතුව ඇති යාවත්කාලීන කරන ලද තොරුතුරු අනුව මාතර දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින පුද්ගලයන් 14 දෙනකු දිස්ත්‍රික්කය තුළ දී ම ජෛව සාම්පල රැගෙන කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතන් බව තහවුරු වී තිබේ. ඊට අමතර අකුරැස්සේ පදිංචිකරුවන් දෙදෙනකු ද දික්වැල්ලේ පදිංචි කරුවන් දෙදෙනකු ද මාතර පදිංචිකරුවකු ද වශයෙන් තවත් ආසාදිතයන් 05 දෙනකු වෙනත් ස්ථානවල කරන ලද පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වී ඇත. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 19ක් විය යුතු වුව ද සෞඛය අංශ පවසන්නේ මාතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් සිටින්නේ 10 දෙනකු පමණක් බවයි. දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් මධ්‍යස්ථානය ද පවසන්නේ මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 10ක් පමණක් බවයි. ඔවුන්ට මාතරින් 09ක් මඟහැරී ඇත.

ගාල්ල ධීවර වරායේ කරන ලද පීසීආර් පරීක්ෂණවලින් රත්ගම 02ක්, බූස්ස 01, මාගාල්ල 01ක්, මකුළුව 01ක් හා හික්කඩුව 02ක් වශයෙන් පුද්ගලයන් 07 දෙනකු ආසාදිත බව හඳුනාගෙන තිබිණි.

මේ අතර ස්වයං නිරෝධායනයට යොමු කර තිබූ නෙළුවේ පදිංචිකරුවකු ද අහුංගල්ලේ මළ ගෙදර පැමිණි තවත් පුද්ගලයකු ද පීසීආර් පරීක්ෂණ වලින් ආසාදිත බව හඳුනාගෙන තිබේ.

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් දැනට වාර්තා වී ඇති කොරෝනා ආසාදියන් සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතරින් 19 දෙනකු ම අහුංගල්ල කටුවිල මළගෙදරට පැමිණි පුද්ගලයෝය. මළ ගෙදර සිටි තවත් පිරිසකගේ පීසීආර් පරීක්ෂණ වාර්තා අද (24) දිනයේ ද ලෑබීමට නියමිත අතර ගාල්ල ධීවර වරායේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ වාර්තා සියල්ල ම මෙතෙක් ලැබී නැත. එම වාර්තා ලැබුණු විට මෙම සංඛ්‍යාලේඛන වෙනස් විය හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් යාල සංචාරක සේවා සපයන්නකු කොරෝනා ආසාදිත අයකු බව මුළින්ම හඳුනාගන්නා ලදී. ඉන් අනතුරුව පිළියන්ද මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයන් පිළිබඳ කරන ලද පරීක්ෂණවලින් කොරෝනා ආසාදනය වූ බෙලිඅත්තේ පුද්ගලයකු හා ලුණුගම්වෙහෙර පුද්ගලයකු හඳුනාගැනීමට හැකියාව ලැබිණි. හම්බන්තොට ධීවර වරායේ කරන ලද පීසීආර් පරීක්ෂණවලින් තහවුරු ධීවරයන් දෙදෙනකු හා වෙනත් පුද්ගලයකු ආසාදනය වී ඇතැයි තහවුරු විය. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදනය වූ සමස්ථ පුද්ගලයන් සංඛ්‍යාව 06 දෙනෙකි. නමුත් හම්බන්තොට සෞඛ්‍ය බලධාරින් පවසන්නේ ආසාදනය වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 03 දෙනකු බවයි. දකුණු පළාත් කොරෝනා මර්ධන මෙහෙයුම් මධ්‍යස්ථානය පවසන්නේ හම්බන්තොට පදිංචිකරුවන් 04 දෙනකු ආසාදිතයන් බවයි.

මේ දකුණු පළාතේ තත්ත්වය පමණි. කොළඹ. ගම්පහ, කළුතර, කුරුණෑගල හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල තත්ත්වය මීටත් වඩා බරපතල බව අප සහෝදර මාධ්‍යවේදීන් පවසයි.

එකම වසංගත තත්ත්වයක් පිළිබඳ සෞඛ්‍ය යන විෂය භාර රාජ්‍ය ආයතනවලින් ලබාදෙන මෙම තොරතුරු පිළිබඳ ඇති ගැටලු සහගත තත්ත්වය හේතුවෙන් අපි මේ පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැඩ ආවරණ) එස්. ශ්‍රීධරන් මහතාගේ කාර්යාලය ඇමතූ විට එහි සිටි වෛද්‍යවරයකු කීවේ සංඛ්‍යාලේඛන තොරතුරු ලබාදිමේ ගැටලුවක් තිබෙන බවයි.

තොරතුරු විවිධ ප්‍රදේශවලින් ලැබෙන බැවින් ඒවා යාවත්කාලීන කිරීමට පැය ගණන් ගතවන බව ද ඔහු කීවේය. මේ තොරුතුරුවල ඇති නොගැලපීම පිළිබඳ ප්‍රශ්න කළ විට වෛද්‍යවරයා කියා සිටියේ

“මේක ගෝලීය වසංගත තත්ත්වයක්. මේ වනවිට අපේ කාර්ය මණ්ඩල පවා ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපිට මාධ්‍යවලට තොරතුරු සැපයීමේ දී යම් යම් අඩුපාඩු වෙන්න පුළුවන්. පසුගිය වතාවේ කොරෝනා මර්ධනය කරපු තරම් පහසුවෙන් ක්‍රමවත්ව මේක කරන්න බැරි තත්ත්වයකට ඇවිත් තියෙන්නේ. රෝගීන් ප්‍රමාණය හා පැතිරෙන ආකාරයත් අපිට දරාගන්න බැරි වෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර සිටින වෛද්‍යවරයාට කතා කරන්න.”

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කරගැනීමට දින ගණනක් වෙහෙසුන ද මෙතෙක් ඒ උත්සාහය සාර්ථක වූයේ නැත.

ලෝකයේ මානව වර්ගයා අන් සත්ත්වයන්ගෙන් වෙනස්ව සංස්කෘතික ගතවිමට ප්‍රධාන වශයෙන් බලපෑවේ භාෂාවයි. භාෂාවේ මූලාරම්භයත් සමගම සන්නිවේදනය ආරම්භ විය. සන්නිවේදනය නිසි පරිදි සිදු නොවන්නේ නම් එතැන ගැටලු නිර්මාණයවීමත් ඒවා විසඳා ගැනීමට නොහැකිවීමත් අරුමයක් නොවේ. ඉතින් කොරෝනා රෝගීන් 8,000ක් බවට පත්වී දැනට රෝහල්ගතව සිටින සංඛ්‍යාව ඉන් අඩක් පමණ වෙද්දී සෞඛ්‍ය බලධාරීන්ගේ සන්නිවේදනය මෙතරම් දුර්වල වන්නේ නම් තවත් ආසාදිතයන් වැඩිවන විට රෝගීන් පිළිබඳ තොරතුරු වාර්තාවීම මීටත් වඩා අවුල් සහගත වනු ඇත.

මේ පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සිට ගමේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දක්වාම අවධානය යොමු විය යුතු බැවින් අපි මේ සටහන තැබුවෙමු.

සටහන – සජීව විජේවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here