spot_img
spot_imgspot_img

rata.lk හෙළිදරව් නිවැරදියි. සෞඛ්‍ය දත්ත විකෘතිකරන බව ආණ්ඩුවේ පක්ෂ නායකයෝ ජනපතිට ලිඛිතව දන්වයි

පුවත්

විදෙස්

කොරෝනා රෝගීන් සම්බන්ධ දත්ත ඉහළ නිලධාරීන් පරිසක් විසින් හිතා මතා සහ සැළසුම් සහගතව වෙනස්කරන බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයෝ සිය අත්සනින් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියක සඳහන් කර තිබේ.

එම ලිපිය මගින් පවතින තත්වය සැළකිල්ලට ගනිමින් රට තාවකාලිකව වසා දමන ලෙස ද ඔවුහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා ඇත.

එම ලිපියේ පළමු කරුණේ මෙලෙස දැක්වෙයි

“ජනමාධ්‍ය හෙළි කර ඇති පරිදි මෙන් ම අප විසින් අපගේ ආරංචි මාර්ගවලින් තහවුරු කර ගත් පරිදි කොරෝනා රෝගීන් ගණන සම්බන්ධයෙන් තොරතුරු චේතාන්විතව විකෘති කිරීමක් ජාතික මට්ටමේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකර තිබේ. සංඛ්‍යාලේඛන විකෘති කිරිමෙන් මෙවැනි අභියෝගයක් විසඳිය හැකි දැයි යමෙක් කල්පනා කරන්නේ නම් එය විහිළුවකි. එබැවින් මෙම විකෘති කිරීමට සම්බන්ධ සියළුම නිලධාරීන්ට තරාතිරම නොබලා දඬුවම් කර ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය තහවුරු කර ගැනීම ක්ෂණිකව ගත යුතු පියවරකි.”

කොරෝනා රෝගීන් වාර්තාවීම සහ මරණ සිදුවීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කරනු ලබන සංඛ්‍යාලේඛන නිවැරදි නොවන බවත් රට හමුවේ පළමු වරට සාක්ෂි සහිතව සනාථ කරන ලද්දේ rata.lk වෙබ් අඩවිය විසිනි. දිගින් දිගටම රජය ඉදිරිපත් කරන දත්ත නිවැරදි නොවන බව ප්‍රකාශ කරද්දී ඇතැම් බලධාරීන් අපට තොරතුරු ලැබෙන මාර්ග වසා දැමීමට උත්සාහ ගත් අතර ඇතැම් පුද්ගලයෝ තොරතුරු ලැබෙන ආකාරය පිළිබඳ ප්‍රශ්න කරමින් පොලිසියට පැමිණිලි පවා සිදුකළහ.

මේ වනවිට පසුගිය 2020 ඔක්තෝබර් මාසයේ සිට අප කියූ දේ සනාථ වී තිබේ. අප පැවසූ සියල්ල ආණ්ඩුවේ ම හවුල්කාර පක්ෂ නායකයන් විසින් සනාථ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

2020 ඔක්තෝබර් මස 25 වැනි දින ආසාදිතයන් ගැන තොරතුරු අවුල් ජාලාවක් නමින් අපි මේ පිළිබඳ පළමු ලිපිය පළ කළෙමු.

එම අනාවරණයෙන් පසු අප දිගින් දිගටම මේ බව ප්‍රකාශ කළ ද රජය නිවැරදි දත්ත ඉදිරපත් කරන බවක් පෙනෙන්නට තිබුණේ නැත. පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කී කතාවක් ද අසත්‍ය විය හැකියැයි අපි 2021-02-09 වාර්තා කළේ රාජ්‍ය ඇමතිනිල පාර්ලිමේන්තුවේ දී බොරු කීවාද ? මරණවල ඇත්ත මෙන්න යන ශීර්ෂයෙනි.

අපි 2021 මැයි 14 වැනි දින මෙලෙස ලිපියක් පළ කළෙමු. ගාල්ලේ කොරෝනා තොරතුරු බොරු දිනකට සිය ගණනක් ලෙඩ්ඩු හංගලා යන ශීර්ෂය යටතේ පළ කරන ලද එම ලිපියෙන් පසු දිස්ත්‍රික් සහ පළාත් බලධාරීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් සමාජ මාධ්‍යවෙත සත්‍ය තොරතුරු ලබාදීම තහංචි දැමුවේය.

නැවත ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම ආරම්භවීමත් සමඟ මෙරටින් වාර්තාවන රෝගීන් සහ සිදුවන මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගිය අතර ඒ අවස්ථාවේ දී රජයේ නිල ලේඛන සාවද්‍ය බව පළමු වරට හෙළිදරව් කරන ලද්දේ rata.lk අප විසිනි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා තමන්ට ලැබෙන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරද්දී අපි ඒවා විශ්ලේෂණය කරමින් වරද පෙන්වා දුන්නේ මේ ආකාරයෙනි

2021 අගෝස්තු 11 – ඊයේ දිනයේ දී දිස්ත්‍රික්ක 04කින් ආසාදිතයන් 3,268ක් වාර්තා වෙලා

2021 අගෝස්තු 11 – එක් දිනක දී දිස්ත්‍රික්ක 07කින් ආසාදිතයන් 4,100ක් වාර්තා වෙලා

2021 අගෝස්තු 11 – සෞඛ්‍ය අංශ කියන්නේ බොරු. ඇත්ත මෙන්න. ජනාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි

2021 අගෝස්තු 15 – කොරෝනා මරණවලින් ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තියයි. රජයේ ලේඛන අනුව පැහැදිලියි

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත නිවැරදි නොවන බව ප්‍රකාශ කිරීමට පෙර අපි ඒ පිළිබඳ ඉහත දැක්වෙන පරිදි කරුණු ඉදිරිත් කළෙමු. 2020 ඔක්තෝබර් මාසයේ සිට අපි කියූ ඒ කරුණ දැන් ආණ්ඩුවේ ම හවුල්කාර දේශපාලන පක්ෂවලින් පිළිගෙන තිබේ. එය අපගේ ජයග්‍රහණයක් නොව ජනතාවගේ ජයග්‍රහණයකි.

එම කරුණු ද දක්වමින් “කොවිඩ් වසංගතය හමුවේ රට මුහුණ දී ඇති අභියෝග ජය ගැනීම” යනුවෙන් ජනාධිපතිවරයාට යොමුකර ඇති පිටු දෙකකින් සමන්විත මෙම දීර්ඝ ලිපියේ කොරෝනා පාලනය සඳහා ගතයුතු පියවර 07ක් සඳහන් කර ඇත.

ඔවුන් පෙන්වාදෙන්නේ රට වසා දැමීමෙන් ආර්ථිකයට සිදුවන පාඩුව පිළිබඳ දැනුම්වත් වුව ද දැනට වාර්තාවන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය රෝහල් පද්ධතියට දැරිය හැකි මට්ටම ඉක්මවායනු ඇති බවයි. රෝගයට බියෙන් ජනතාව මුළු ගැන්වී ඇති බවත් රෝගය පාලනය කළ විට භියකින් තොරව ආර්ථිකය ගොඩනැගිය හැකිවනු ඇතැයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ යොමුකර ඇති ලිපියේ සඳහන් කර තිබේ.

එමෙන්ම මෙය ජාතික ආපදාවක් බැවින් ඊට මුහුණ දීම සඳහා සර්වපාක්ෂික යාන්ත්‍රණයක් සැකසිය යුතු අතර ඊට උපදෙස් දීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම ආර්ථික ක්ෂේත්‍රයේ ද විද්වතුන්ගෙන් සමන්විත කමිටුවත් පත් කළ යුතු යැයි ද යෝජනා කර ඇත.

එම ලිපියට අපේ ජනබල පක්ෂයේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂයේ තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිළ, ජාතික කොංග්‍රසයේ ඒ.එල්.එම්.අතාවුල්ලා, එක්සත් මහජන පක්ෂයේ ටිරාන් අලස්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජී.වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න, යුතුකම ජාතික සංවිධානයේ ගෙවිඳු කුමාරතංගු යන පිරිස අත්සනත් තබා තිබේ.

ජනාධිපතිවරයා ට භාර දී ඇති සම්පුර්ණ ලිපිය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!