spot_img
spot_imgspot_img

දේශපාලකයන්ට ඉල්ලමක් වූ, ජනතාවට කරුමයක් වූ රජරට වකුගඩු රෝගයට විසඳුම් නැත්තේ ඇයි ?

පුවත්

විදෙස්

සිරංගිකා ලොකුකරවිට විසිනි

රජරට යැයි කියූ විට සිහිපත් වන්නේ අතීත ශ්‍රී විභූතියේ නෂ්ඨාවශේෂ රැගත් ඉපැරණි රාජධානියයි. නමුත් දැන් ඒ අතීත ශ්‍රී විභූතිය අතික්‍රමණය කරමින් ‘නිශ්චිත හේතුවක් නොදන්නා රජරට වකුගඩු රෝගය’ විසින් රජරට රාජධානියත්,එහි වැසියන්ගේ ජීවිතායුෂත් ආක්‍රමණය කරමින් තිබේ.   

1990 දශකයේ මුල් භාගයේදී අනුරාධපුර ‍සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලින් මුල් වරට වාර්තා වූ මෙම මාරාන්තික වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වය මේ වනවිට උතුර, වයඹ, ඌව සහ දකුණු පළාත් දක්වාද ක්‍රමයෙන් ව්‍යාප්ත වී ඇත.

වෛද්‍ය මතය අනුව, සාමාන්‍යයෙන් නිදන්ගත වකුගඩු රෝගයට හේතුවන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, මුත්‍රා ආසාදන, ගුච්ඡිකා වල ආසාදන තත්ත්වයන් වැනි රෝග සහ සර්ප දෂ්ඨනය හෝ ඇතැම් ඖෂධ විෂවීමය. නමුත්, රජරට ප්‍රදේශයේ පැතිරයන වකුගඩු රෝගය ඇතිවීමට ඉහත හේතූන් කිසිවක් බලාපාන්නේ නැති බව එම රෝගය හදුනාගත් 90 දශකයේ අග භාගය වනවිට සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කරගෙන තිබිණ. 

ගොවි ජනපද පුරා පැතිර ඇති මේ ‘හඳුනා නොගත්’ වකුගඩු රෝගයෙන් ජීවිත කාලය පුරාම රටට බත සපයන්නට මහ පොළොව සමඟ ඔට්ටු වෙන ගොවීන් ද ඔවුන්ට සහය දෙන ගෙවිළියෝ ද දැඩි ලෙස පීඩා විඳිති. මේ නිසා ඔවුන්ට ගොවිතැනින් ඈත්වී රෝහල්වලත්, සායනවලත් කාලය ගත කරන්නට සිදුවී තිබේ.අතේ ඇති සියලු සන්තකය වියදම් කළ ද ඔවුන්ට තවමත් දිවි රැකගැනීම ගැන සහතිකයක් නැත.

 හඳුනාගතහැකි හේතු නිසා හටගන්නා වකුගඩු රෝග යම්තාක් දුරට වළක්වා ගැනීමට හැකියාව ඇතත්, හේතුවක් නොදන්නා නිසා රජරට වකුගඩු රෝගය වළක්වා ගැනීමට නොහැකි වීම ඛේදවාචකයක් බව එම රෝගය පිළිබද පර්යේෂණ සිදුකළ එංගලන්තයේ ඉම්පීරියල් කොලේජ් හි සේවය කළ ආචාර්ය කමල් ගම්මම්පිල සඳහන් කරයි.  

පො‍ළොන්නරුව වකුගඩු රෝහලේ දර්ශනයක්

රෝගයේ අවදානම

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ සම්බන්ධයෙන්  සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී, විශේෂඥ වෛද්‍ය එස්.එම්.ආනල්ඩ් මහතා පවසන්නේ 2015 වර්ෂය වනවිට ශ්‍රී ලංකාව තුළ ‘හඳුනා නොගත් වකුගඩු රෝගීන්’ 30,657ක් වාර්තා වී තිබූ බවයි. එම සංඛ්‍යාව  2022 වනවිට 65,937ක් දක්වා වර්ධනය වී තිබේ. 

(තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගත් දත්ත ඇසුරිණි)

එම දත්ත අනුව  නිරීක්ෂණය වන්නේ වසර හතරකට වරක් වකුගඩු රෝගීන් සංඛ්‍යාව දෙගුණයකින් වර්ධනය වෙමින් පවතින බවයි. 

මුල් කාලයේ මැදි වයසේ රෝගීන් පමණක් හමුවුව ද ක්‍රමයෙන් තරුණයන් හා ළමයින් ද රෝගයට ගොදුරුවන බව හඳුනාගෙන ඇත.

‘හඳුනානොගත් වකුගඩු රෝගය’ හේතුවෙන් සිදුවන මරණ පිළිබඳ සම්පූර්ණයෙන් සත්‍යාපනය කළ ලේඛණ නොමැති බව, ශ්‍රී ලංකා ජාතික විද්‍යා ඇකඩමිය (NASSL)විසින් 2013 දෙසැම්බර් මාසයේ කොළඹ දී පවත්වන ලද ජාතික සම්මන්ත්‍රණයක් අමතමින් එහි සභාපති ආචාර්ය කිංස්ලි ද අල්විස් ප්‍රකාශකර තිබේ.එහිදී ඔහු පෙන්වාදී ඇති තොරතුරු අනුව, 2013 දක්වා වසර 20ක කාලය තුළ එම රෝගය නිසා සිදුවී ඇති මරණ සංඛ්‍යාව දළ වශයෙන් 20,000 ත් 22,000 අතර අගයක් ගනී.

පොළොන්නරුවේ දුෂ්කර ගම්මානවල වකුගඩු රෝගීන් සමග දිගු කළක් කටයුතු කර ඇති වෛද්‍ය මහින්ද කරුණාරත්න මහතා පවසන්නේ, වකුගඩු රෝගයට ගොදුරු වූ බව හඳුනාගන්නා අවස්ථාව විටත් බහුතරයක් රෝගීන්ගේ වකුගඩු 60%-70%ක් පමණ අකර්මණ්‍ය තත්වයේ පවතින බවයි. රෝගයේ හතරවන අවධිය හෙවත් අවසන් අවධියේ පසුවන එවැනි පුද්ගලයකු වසර 4-5ක් අතර මිය යාමේ අවදානමක් තිබෙන බවද වෛද්‍යවරයා පවසයි. හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වකුගඩු රෝගය වැළඳුන ද රෝග ලක්ෂණ නොපෙන්වන විශාල පිරිසක්ද සමාජයේ සිටින බවයි. ‘රෝගය’ සුවකළහැකි නිශ්චිත ප්‍රථිකාර ක්‍රමයක් බටහිර හෝ වෙනත් ලියාපදිංචි වෛද්‍ය ක්‍රමයක නොමැති වීමද මෙම රෝගයේ අවදානම පෙන්නුම් කරන්නක් බව හෙතෙම පවසයි.

“ බටහිර වෙදකම තුළ මෙම රෝගය සුව කිරීමට ප්‍රථිකාර නැහැ. රෝගය පාලනය කර අතුරු ආබාධ වලක්වා ගැනීම පමණයි සිදු කරන්නේ. රෝගයට ප්‍රථිකාර ආයුර්වේදයේ හෝ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ඇත්දැයි මෙතෙක් තහවුරු වී නැහැ. එවන් ප්‍රථිකාර ඇත්නම් ඒ පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක්, පර්යේෂණ හා අත්හදාබැලීම් කළ යුතුයි.”

රෝගයට හේතුව සම්බන්ධ විවිධ මත

හඳුනා නොගත් වකුගඩු රෝගයට හේතුවිය හැකියැයි විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කළ හේතු මෙහි දක්වා ඇත.

උතුරු මැද පළාතෙන් වාර්තාවන ‘හඳුනානොගත් වකුගඩු රෝගීන්’ සංඛ්‍යාව වසංගත තත්වයක් ‍ මෙන් වැඩි වීමත් සමග රෝගයට හේතුව සොයා පර්යේෂණ හා අධ්‍යයන සිදුකිරීමට වෛද්‍ය, කෘෂිකර්ම හා භූ විද්‍යා වැනි ක්‍ෂේත්‍රවල පර්යේෂකයින් කටයුතු කර තිබේ. එසේම දේශපාලකයන් ආගමික නායකයන් වැනි අය ද රෝගයට හේතු සම්බන්ධව විවිධ අදහස් හා මත ප්‍රකාශ කර ඇත.

 අනුරාධපුර රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ වසන්ත දිසානායක මහතා පවසන්නේ උතුරු මැද පළාතේ ජනයා බීමට ගන්නා ජලයේ ඇති ෆ්ලෝරයිඩ්, කෘෂි රසායන සහ ඇලුමීනියම් භාජන භාවිතා කිරීම රෝගයට හේතුවිය හැකි බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ඕ.ඒ.ඉලේපෙරුම හා භූ විද්‍යා අංශයේ ආචාර්ය එච්.ඒ.ධර්ම ගුණවර්ධන යන විද්වතුහු ද මීට සමාන මතයක් ප්‍රකාශ කරති. ඔවුන් පවසන්නේ, අඩු ප්‍රමිතියෙන් යුත් ඇලුමීනියම් භාජන සමග කිවුල් ජලයේ ඇති ෆ්ලෝරයිඩ් සහ සියඹලා, දෙහි සහ විනාකිරි ආදී රසකාරක ප්‍රතික්‍රියා කිරීම රෝගයට හේතුව බවයි.

වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ සිදුකළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධම්මිකා මැණිකේ දිසානායක මහත්මිය පෙන්වා දෙන්නේ පානීය ජලයේ ඇති සයනො බැක්ටීරියා, රෝගය සඳහා හේතු විය හැකි බවය.

කෘෂි රසායන මගින් රජරට වාරි ජලයට එකතු වන කැඩ්මියම්, තිලාපියා මසුන්ගේ සිරුරුවල එකතු වන බවත් එම මසුන් ආහාරයට ගැනීම හේතුවෙන් වකුගඩු රෝගය හටගන්නා බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය සරත් බණ්ඩාර මහතා පවසයි. එසේම නෙළුම් අල සහ කංකුං වැනි ජලාශ්‍රිත ආහාරවල තැන්පත් වන රසායනික මගින්ද වකුගඩු හානි වන බවට මත පළ විය. 

මෙම රෝගය පැතිර ගිය සමයේ රටේ පැවති යුදමය තත්ත්වය හේතුවෙන්, මෙය ජෛව ත්‍රස්තවාදී ක්‍රියාවක ප්‍රථිපලයක් දැයි ඇතැමෙක් සැක පළ කළහ.

මහාචාර්ය චන්න ජයසුමන සහ මහාචාර්ය නලීන් ද සිල්වා ඇතුළු කැළණිය විශ්වවිද්‍යාලයේ විද්වතුන් කණ්ඩායමක් ප්‍රකාශ කර තිබුණේ වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව වන්නේ කෘෂි රසායනවල අන්තර්ගතව ඇති ආසනික් මූලද්‍රව්‍ය බවයි. ‘නාථ දෙවියන්’ විසින් මේ පිළිබඳව කරුණු පෙන්වා දුන් බව නලීන්ද සිල්වා මහාචාර්යවරයා විසින් පුවත්පත් කිහිපයකටම අදහස් දක්වා තිබිණි.

මැලේරියා රෝගය මර්ධනය වෙනුවෙන් රජරට ප්‍රදේශයේ දීර්ඝ කාලයක් තිස්සේ භාවිත කළ කෘමිනාශකය රෝගයට හේතුවක් බවට ද ,ගොවිතැන් කටයුතුවල යෙදීමේදී දීර්ඝ කාලයක් අධික තාපයට නිරාවරණය වී සිටීම සහ ජලය අඩුවෙන් පානය කිරීම හේතුවෙන් රෝගය ඇති වන බවට ද ගොවීන් අතර මතයක් ගොඩනැගී තිබිණි.

 ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත මහාචාර්ය අජිත් ද අල්විස් සහ ආචාර්ය සචී පනාවල විසින් ‘හදුනානොගත් වකුගඩු රෝගය’ සම්බන්ධයෙන් ජාතික වශයෙන් දක්වා ඇති ප්‍රතිවාර සම්බන්ධව 2019 දී පර්යේෂණ පත්‍රිකාවක් ප්‍රකාශයට පත්කර ඇත.

 “හඳුනානොගත් වකුගඩු රෝගය සම්බන්ධව රජය, පර්යේෂකයන්, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, ජනතාව ඇතුළු සියලුම අංශ වලින් සිදුකළ කාර්යයන් අප මෙම පත්‍රිකාවේ ගොනු කළා. එහි පර්යේෂකයන් විසින් රෝගයට හේතු ලෙස දැක්වූ උපකල්පන 32ක් සම්බන්ධව සඳහන් වෙනවා.” ඒ පිළිබඳව අදහස් පළකරමින් ආචාර්ය සචී පනාවල පවසයි.

රෝගය සම්බන්ධව මෙවැනි බොහෝ මත පළවී ඇති අතර වසර ගණනාවක් පුරා, සිදුකළ විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් විවිධ පාරිසරික, භූ රසායනික සහ ජීවන රටාව ආශ්‍රිත සාධක විමර්ශනය කර ඇත. පර්යේෂකයන් මේ වනවිට සැකකරන්නේ පාරිසරික හා කෘෂිකාර්මික සාධක ගණනාවක එකතුවක් රෝගයට හේතුවිය හැකි බවයි. නමුත් නිශ්චිත සාධකයක් සඳහා නිශ්චිත සම්බන්ධයක් තවමත් සොයාගෙන නොමැත.

රෝගය හඳුනාගෙන දශක තුනකට ආසන්න කාලයක් පුරා, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විවිධ කණ්ඩායම්, පරීක්ෂණ පවත්වා ඇතත් නිශ්චිත හේතුවක් සොයාගැනීමට නොහැකි වූ  බැවින් මේ රෝගය අදටත් හඳුන්වන්නේ ‘හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය’ (Chronic Kidney Disease, unknown – CKDu) නමිනි.

සැලසුමක් නැති පර්යේෂණ

සෞඛ්‍ය අමාත්‍යාංශය, වකුගඩු රෝගය සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී පරිශීලනය කරන පර්යේෂණ පිළිබඳව අපි තොරතුරු පනත යටතේ විමසීමක් කළෙමු. ඊට ප්‍රතිචාර වශයෙන් තොරතුරු නිලධාරීවරයා විසින් පර්යේෂණ 47ක් පිළිබඳ දත්ත අප වෙත එවා තිබිණි. එහෙත් ඒවා විශ්ලේෂණයේ දී පෙනී ගියේ විවිධ මාතෘකා යටතේ පර්යේෂණ 47ක් ලෙස ගොනුකර ඇතත් සැබැවින් ම එහි ඇත්තේ පර්යේෂණ 35ක් පමණක් බවයි. 

මෙම පර්යේෂණ වලින් වැඩි ප්‍රමාණයක් එක් විචල්‍යයක් හෝ විභවයක් අවධානම් සාධකයක් ලෙස සැලකීම හේතුවෙන් එකම දිශානතියකට යොමුව තිබෙන බව එම පර්යේෂණ වාර්තා අධ්‍යයනයේදී පෙනී යයි. 

එම පර්යේෂණවල නිගමන පරිශීලනයේ දී ‘තවදුරටත් පුළුල් පරීක්ෂණ කළ යුතුය’ යනුවෙන් ඉන් බොහොමයක  තබා ඇති සටහන් හමුවේ. වකුගඩු රෝගය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකායේ ද සහායෙන් ජෙනිෆර් පෙට් ඇතුළු විදේශීය පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය සඳහා කෘෂි රසායනික හේතු වන්නේ ද යන්න අධ්‍යයනය කර තිබේ. ඔවුන් පවසන්නේ වකුගඩු රෝගය සහ ආසනික් ඇතුළු බැර ලෝහ අතර සම්බන්ධය පිළිබඳ පැහැදිළි සාක්ෂි නොමැති බැවින් රෝගයට හේතු සෙවීමට වෙනත් ‘පුළුල් පරීක්ෂණ’ සිදුවිය යුතු බවයි.

මේ පර්යේෂණ වාර්තා අධ්‍යනයයේදී පෙනී ගිය තවත් කරුණක් වූයේ ඒවා බොහොමයක් කුඩා නියැදි ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණ මිස පුළුල් පර්යේෂණ නොවන බවයි. මෙහිදී බරපතල සැකයක් මතුවන්නේ, එම පර්යේෂණ සැබැවින් ම රාජ්‍ය මට්ටමින්, විධිමත් මෙහෙයවීමකින් සිදුවූ පර්යේෂණ ද  එසේ නොවේනම් ඒවා තම තමන්ගේ පුද්ගලික ශාස්ත්‍රාලයීය ඉලක්ක සහ අභිමතාර්ථ සම්පූර්ණ කර ගැනීම සඳහා හෝ ආචාර්ය උපාධිය හෝ මහාචාර්ය ධූරවල අවශ්‍යතා සඳහා සිදුකරන ලද පර්යේෂණ ද යන්නයි.

ආචාර්ය කමල් ගම්මම්පිල

ආචාර්ය කමල් ගම්මම්පිල පවසන්නේ ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්, විශ්වවිද්‍යාල ඇතුළු රාජ්‍ය අංශය  මෙම රෝගය සඳහා සැබෑ විසඳුම් සෙවීමට තරම් ප්‍රමාණවත් පර්යේෂණ සිදුකර නැති බවයි. එමෙන් ම ලංකාවේ සමහර පර්යේෂකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා පවා ප්‍රතික්ෂේප කරන බව ද හෙතෙම පෙන්වාදෙයි. 

“ලංකාවේ නිවැරදිව පර්යේෂණ සිදුවෙන්නේ නැහැ. සත්‍ය තොරතුරු සඟවලා තමන්ගේ අරමුණු ඉටුකරගන්න සමහරු පර්යේෂණ කරනවා. එහෙම කරලා රටේ තිබෙන ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නයකට නිවැරදි විසඳුම් සොයන්න බැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ රජයට මේ සම්බන්ධව සැබෑ ඉලක්කයක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්”

වකුගඩු රෝගය පිළිබඳ කරන ලද පර්යේෂණවල දත්ත පුළුල් රාජ්‍ය ප්‍රතිපත්තියක් ඇති කිරීමට හෝ රෝගය මර්දනය කිරීමට හෝ ප්‍රතිකාර ශක්තිමත් කිරීමට ඉවහල් වී ඇත්ද යන්න පිළිබඳවද ‍අපගේ අවධානය යොමු කළෙමු.

විද්‍යාවෙන් බැහැර වූ මතවාද සමාජගත කිරීම

ට්‍රොෆිම් ලයිසේන්කෝ යනු රුසියානු ජෛව විද්‍යාඥයෙකි. ලෝකය පිළිගත් සියලු සිද්ධාන්තවලට පටහැනිව යමින් ඔහු ඉදිරිපත් කළ ව්‍යාජ පර්යේෂණ දත්ත  විශ්වාස කිරීම නිසා, සෝවියට් දේශයේ පමණක් නොව චීනයේ ද කෘෂිකර්මාන්තය කඩා වැටිණි. යමකු ව්‍යාජ පර්යේෂණ සිදුකරන විට විද්‍යාඥයන් එය හඳුන්වන්නේ ‘ලයිසේන්කෝ පර්යේෂණ’ යනුවෙනි.

වකුගඩු රෝගය සම්බන්ධයෙන් සිදුකරන ලද ඇතැම් පර්යේෂණ ද ‘ලයිසේන්කෝ පර්යේෂණ’දැයි සැකයක් මතුවේ.

හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳව Google සෙවුම් යන්ත්‍රයේ බැලූ විට සිංහල විකිපීඩියා හි දැක්වෙන්නේ රෝගය ඇති වීමට හේතුව ‘ආසනික්’ බවට ප්‍රකාශ කළේ නාථ දෙවියන් විසින් බවයි.

එහි මෙසේ දැක්වේ,

“රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා මෙම වකුගඩු රෝගය සම්බන්ධව උනන්දු වූ වෛද්‍යවරයෙකි. ඔහු, මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ හඳුන්වාදීම මත, භාවනානුයෝගීව සිත දියුණු කොට ඇති ප්‍රියන්තා සේනානායක මහත්මිය හමුවන්නේ මෙම රෝගයට කුමන හෝ අයුරකින් හේතුවක් සොයාගෙන දිනෙන් දින මිය යන ගොවීන්ගේ ජීවිත බේරා ගැනීමේ චේතනාවෙනි. ඒ හමුවීමත් සමග සේනානායක මහත්මිය ඇතුළු එතුමිය හා සම්බන්ධ සම්‍යදෘෂ්ඨික දෙවිවරුන්ගේ අධිෂ්ඨානයෙන් ගොවි ජනතාව ඇතුළු සමස්ත සමාජයම ධර්ම මාර්ගයට යොමු කරමින් ආසනික් සම්බන්ධ වැඩපිළිවෙල ආරම්භ විය.”

නොදන්නා බලවේගවලින් උපදෙස් ගෙන පර්යේෂණ කිරීම පිළිගත් ක්‍රමයක් නොවේ. නමුත් මෙම කණ්ඩායම සිය පර්යේෂණවලට පදනම් කරගෙන ඇත්තේ  විද්‍යාත්මක ක්‍රමය නොව නොපෙනෙන බලවේගයකි. එවැනි මිත්‍යා විශ්වාසයකින් වකුගඩු රෝගයට හේතුව සොයා ඇත්තේ මෙරට දැවැන්ත දේශපාලන සහ සමාජ බලයක් හිමිකරගෙන සිටින කණ්ඩායමක් වීම ද සුවිශේෂීය.  

නාථ දෙවියන් පැවසූ පරිදි වකුගඩු රෝගයට හේතුව ආසනික් බවත්, ආසනික් ඇති කෘෂි රසායන බැහැරකර කාබනික පොහොර ප්‍රචලිත කළ යුතු බවටත් මතයක් ඒ සමඟ ගොඩ නැගිණි. ඒ මතයට මාධ්‍ය මගින් ද දැවැන්ත ප්‍රචාරයක් ලැබිණි.

නාථ දෙවියන්ගේ මතය සත්‍යයද ?

2016 වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දෙස් විදෙස් විශේෂඥයන් 54 දෙනකුගේ සහභාගීත්වයෙන්කොළඹ දී පවත්වන ලද අන්තර් ජාතික වකුගඩු රෝග උපදේශන සමුළුවේ දී ඒ වනවිට සිදුකර ඇති පර්යේෂණ රැසක් අධ්‍යයන කරමින් නිගමනය කර ඇත්තේ හඳුනා නොගත් වකුගඩු රෝගය ඇතිවීම කෙරෙහි කෘෂි රසායනිකවල ‘සෘජු බලපෑම’, තහවුරු කිරීම සඳහා මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නැති බවයි. 

‘වගාවට යොදාගත් පොහොර හා කෘමිනාශකවල ඇති රසායනික, වකුගඩු රෝගයට හේතුවක්  බවට සනාථ කිරීමට, එය ඉදිරිපත් කළ ලාංකික පර්යේෂණ කණ්ඩායම අපොහොසත් වූයේ යැයි’ සමුළුවට සහභාගී වූ,පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති, කෘෂිකර්ම හා පර්යේෂණ උපදේශක ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ මහතා මාධ්‍යයට පවසා තිබිණි. 

ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ

නමුත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන්ගේ පටන් දේශපාලනයේ නිරතව සිටින  මහාචාර්යවරු සහ වෛද්‍යවරු ඇතුළු කණ්ඩායමක්  රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනික භාවිතය බව පවසමින් දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියහ. ඔවුන් පැවසූයේ ලංකාව ‘විෂ සහිත’ කෘෂි රසායන අධිකව භාවිත කරන රටක් බවයි

එසේ වුව ද ලෝක බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානයේ දත්තවලට අනුව, ශ්‍රී ලංකාව යනු ආසියානු කලාපයේ කෘෂි රසායන භාවිතයෙන් ඉතා පහළ මට්ටමක සිටින රටකි. 

(http://www.worldbank.org/indicator/AG.COM.Fert.2S; https//www.worldometers)

2013 වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදුකර ඇති සමීක්ෂණයකින් පෙන්වා දෙන්නේ රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ගේ පමණක් නොව රෝගය නොමැති අයගේ මුත්‍රාවල ද කෘමි නාශක හා වල් නාශකවල අඩංගු රසායනික ප්‍රමාණ, ප්‍රවේශ මට්ටම (allowable limit) ඉක්මවා ඇති බවයි.

සිදුකර ඇති පර්යේෂණ

තොරතුරු පනත යටතේ කරන ලද ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අප වෙත සපයා ඇති පර්යේෂණ වාර්තා 35 අතරින් 22ක ම, වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල භූගත ජලයේ සහ පානීය ජල මූලාශ්‍රවල කැඩ්මියම්, ෆ්ලෝරයිඩ් සහ ආසනික් ඇතුළු බැරලෝහ අඩංගුද යන්නත් එය වකුගඩු රෝගයට හේතුවක් ද යන්නත් පිළිබඳ අවධානය යොමුකර තිබේ.

ඒ අතරින් ආසනික්, කැඩ්මියම් යන බැර ලෝහත් ග්ලයිෆොසේට් රසායනිකයත් රෝගයට හේතුව බව ප්‍රකාශ කර ඇත්තේ චන්න ජයසුමන සහ නලින් ද සිල්වා යන මහාචර්යවරුන්ගේ ප්‍රධානත්වයෙන්  සිදුකර ඇති පර්යේෂණ 03ක පමණි. එම පර්යේෂණ තුනේ ද ඒ බව දක්වා ඇත්තේ අනුමාන සහ කල්පිතයන් ලෙසිනි. ගොවිතැනට යොදාගන්නා රසානයනිකයන්ගේ කැඩ්මියම් සහ ආසනික් ඇති බවත් පානීය ජල‍ මූලාශ්‍ර වලද ඒවා දක්නට ලැබෙන බවත් ඔවුහු පවසති. වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල, සහ වෙනත් ශරීර පටකවල ද කැඩ්මියම් සහ ආසනික් අඩංගු බැවින් ඒවා වකුගඩු රෝගයට හේතුවක් වන බවට කල්පිතයක් ගොඩනැගීමට ඔවුන් උත්සාහ ගෙන ඇතත් එය දත්ත ඇසුරින් තහවුරු කර නොමැති බව පර්යේෂණ වාර්තා අධ්‍යයනයේදී පෙනීයයි.

අනිකුත් පර්යේෂක කණ්ඩායම් 19 ම පවසන්නේ පානීය ජලයේ මෙන්ම මිනිස් සිරුරු තුළ ද කැඩ්මියම් සහ ආසනික් තිබුණ ද ඒවා අහිතකර මට්ටමින් නොමැති බවයි. එබැවින් හඳුනානොගත් වකුගඩු රෝගයට ජලයේ ඇති කැඩ්මියම්, ආසනික් හෝ වල් නාශකයක් වන ග්ලයිෆොසේට් හේතු වන්නේ යැයි ස්ථිරව ම කිව නොහැකි බව එම පර්යේෂකයන් පැහැදිලිව සිය වාර්තාවන් හි සඳහන් කර ඇත.

රජරට වකුගඩු රෝගය හඳුනාගත්තේ 1990 දශකයේ මුල් භාගයේ දී ය.  නමුත් ග්ලයිෆොසේට් භාවිතය මෙරට කෘෂිකර්මාන්තයට නිර්දේශ කරන්නේ 1994 දී ය.  ඒ දක්වා ම මෙරට විශාල වශයෙන් භාවිතා කළේ ග්‍රැමොක්සෝන් නොහොත් පැරකොට්ය. එය ග්ලයිෆෝසේට් වලට වඩා ලාභදායී වූ බැවින් 2007 වර්ෂයේ දී ග්‍රැමක‍්සෝන් තහනම් වනතුරුම ගොවීන් ග්ලයිෆෝසේට් භාවිතා කළේ ඉතා අඩුවෙනි. 

වකුගඩු රෝගයට ජලයේ ඇති ග්ලයිෆෝසේට් හේතුවන බව පවසන පර්යේෂකයන් සඳහන් කරන්නේ ඔවුන් පර්යේෂණ සඳහා යොදාගත් ජලය කොටස් බිලියනයක ග්ලයිෆෝසේට් කොටස් 0.7-3.5ත් අතර ප්‍රමාණයක් අඩංගු බවයි. නමුත් ආසියානු කලාපයේ රටවල් සඳහා, සෞඛ්‍ය නිර්දේශය වන්නේ ජලය කොටස් බිලියනයකට එම රසායනික කොටස් 200ක් දක්වා තිබීම මිනිස් සිරුරට හානිකර නොවන බවයි.

පර්යේෂණ වාර්තා ඇසුරින් මතුවූ ගැටලු පිළිබඳව විමසීම සඳහා අප පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා ඇමතූ විට ඔහු කියා සිටියේ, වකුගඩු රෝගය සම්බන්ධයෙන් තමන් කරන ලද පර්යේෂණ පාදක කරගනිමින් පොතක් ලියා ඇති බවයි. එම පොත කියවීමෙන් කරුණු සොයාගත හැකි බව කියමින් ඔහු වැඩිදුර විමසීම්වලට පිළිතුරු දීමෙන් වැළකී සිටියේය. 

ආසනික් කතාව සහ ව්‍යාපාරික අරමුණු

වකුගඩු රෝගය සම්බන්ධ පර්යේෂණ සඳහා 2000 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෝ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවෙන් වෙන්කර ඇති මුදල් කවරේද යන්න තොරතුරු දැනගැනීමේ පනත යටත් විමසූ විට අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී විශේෂඥ වෛද්‍ය එස්.එම්.ආනල්ඩ්  මහතා දන්වා එවා ඇත්තේ එවැනි තොරතුරු අමාත්‍යාංශය සතුව නොමැති බවයි.

ලෝකයේ ම අවධානයට ලක් වූ භයානක තත්ත්වයක් වන ‘හඳුනානොගත් වකුගඩු රෝගය’ සම්බන්ධ පර්යේෂණ සඳහා රටේ සෞඛ්‍ය විෂය භාර අමාත්‍යාංශය මුදල් වෙන්කිරීමක් කර නොතිබීම හෝ වෙන්කර ඇති මුදලක් ගැන නොදැන සිටීම විමතියට කාරණයකි.

නාථ දෙවියන් පැවසුවායැයි කියන කරුණු සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකළ චන්න ජයසුමන ඇතුළු කණ්ඩායමට ඒ සඳහා පහසුකම් සපයා ඇත්තේ ‘හෙළ සුවය’ නම්, කාබනික වගාව, දේශීය සහල් වර්ග සහ ඖෂධීය කැඳ වර්ග ප්‍රවර්ධනය කරන ව්‍යාපාරයක් විසිනි. ජයසුමන මහතා විසින් ඒ බව ඔහුගේ ‘ආසනික්’ සම්බන්දව සිදුකළ පර්යේෂණ වාර්තාවේ පැහැදිලිව දක්වා ඇත.  

ලෝක ඉතිහාසයේ අත්දැකීම්

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් හි  උද්දානම් සහ චිකමූර්ති ප්‍රදේශවල ළිං ජලයෙන් පානීය අවශ්‍යතා සපුරා ගන්නා ගොවීන් අතර මෙවැනිම වකුගඩු රෝගයක් ව්‍යාප්ත වෙයි. නමුත් ඔවුන්ගේ ජල මූලාශ්‍රවල ද බැර ලෝහ මිනිස් සිරුරට හානිකර මට්ටමේ නැත.

එල් සැල්වදෝරය, නිකරගුවාව සහ කොස්ටාරිකාව යන රටවල පැසිෆික් වෙරළ තීරයේ තරුණ පිරිමි ගොවි කම්කරුවන් අතර ද මෙවැනිම වකුගඩු රෝගයක් පැතිරෙමින් පවතී. 2005 වර්ෂයේ සිට 2012 දක්වා එම ප්‍රදේශවල ජනතාව වකුගඩු අකර්මණ්‍ය වීම හේතුවෙන් රෝහල්ගත වීම 50% කින් වැඩි වී ඇත. ලංකාව සහ එම කලාපයේ රටවල් අතර ජෛව රසායනික සහ පාරිසරික සාධක ද සමාන බැවින් මෙරට වකුගඩු රෝගය සහ එම රටවල වකුගඩු රෝගය අතර සමානකම් තිබිය හැකිය.

නමුත් මේ කරුණු සම්බන්ධව මෙරට විද්වතුන්ගේ අවධානය යොමුව ඇති බවක් නොපෙනේ.

විද්‍යා ලේඛක සහ මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන

‘හඳුනානොගත් වකුගඩු රෝගය’ සම්බන්ධව දශක දෙකක පමණ කාලයක සිට ගවේෂණාත්මක ලිපි පළකළ විද්‍යා ලේඛකයෙකු හා මාධ්‍ය පර්යේෂකයෙකු වන නාලක ගුණවර්ධන මහතා පවසන්නේ මෙවැනි හේතු හඳුනානොගත් නිදන්ගත රෝග ලෝකයේ වෙනත් රටවලත් දක්නට ලැබෙන බවයි.

“මෙය ලංකාවට විතරක් විශේෂ තත්ත්වයක් නෙවෙයි. ලෝකයේ තවත් ප්‍රදේශ වලින් මෙවැනි රෝග හමුවෙලා තිබෙනවා. ඒවා සම්බන්ධව තවමත් පර්යේෂණ සිදුවෙනවා. නමුත් ලංකාවේ මේ රෝගය, හුදෙක් සෞඛ්‍ය විද්‍යාත්මක හා මානුෂීය ප්‍රශ්නයකට එහා ගිහින් දේශපාලනීකරණය වීම නිසා තවත් ගැටලු රැසක් නිර්මාණය කරමින් සංකීර්ණ බවට පත්වෙලා. රටේ පැවති යුද්ධය අවසන් වුණාට පස්සේ ජනමතය හසුරුවන්න සමහර දේශපාලකයින් සහ කල්ලිවාදී පර්යේෂකයන් මේ මානුෂිය ‍ගැටලුව ඉතාම නින්දිත විධියට යොදා ගත්තා.”

පානීය ජලය සමඟ වකුගඩු රෝගයේ සබැඳියාව 

කෘෂි රසායන වකුගඩු රෝගයට හේතුවන බව පැවසුව ද රජරට ගොවියා එදා පටන්ම විශ්වාස කළේ තම පානීය ජලයේ ඇති ගැටලුවක් රෝගයට හේතුවන බවයි. 

මහනුවර ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ මහාචාර්ය ජේ. බණ්ඩාරයන් ගිරාඳුරුකෝට්ටේ, ගින්නොරුව සහ සාරභූමිය යන ගම්මාන ඇතුළු ප්‍රදේශ කිහිපයක කළ පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ ජලයේ පවතින ෆ්ලෝරයිඩ්, කැඩ්මියම් සහ දෘඩතාවය(කිවුල) යන සාධක තුනේම එකතුව වකුගඩු රෝගයට හේතුවිය හැකි බවයි.

වෛද්‍ය මහින්ද කරුණාරත්න මහතා පවසන්නේ තමන් විසින් වසර 10ක් පුරා වකුගඩු රෝගින්ගේ දත්ත එක්රැස් කරමින් කරන ලද පර්යේෂණ අනුව, වකුගඩු රෝගීන් බහුලවම හමුවී ඇත්තේ භූගත ජලය පානය කරන අය අතරින් බවයි. පිරිසිදු කරන ලද පානීය ජලය භාවිතා කිරීමට ජනතාව උනන්දු කිරීමෙන් පසු ‘හඳුනා නොගත් වකුගඩු රෝගීන්’ වාර්තාවීමේ පැහැදිලි අඩුවක් තිබෙන බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

වකුගඩු ආශ්‍රිත පර්යේෂණ ලිපි ප්‍රකාශයට පත්කරන ජාත්‍යන්තර සඟරාවක් වන  BMC Nephropathy, Vol. 20 හි දක්වා ඇත්තේ 2016 වර්ෂයේ දී උතුරුමැද පළාතේ අලුතෙන් වකුගඩු රෝගීන් 5,248 දෙනකු හඳුනාගෙන ඇති අතර 2021 වර්ෂය වනවිට අලුතෙන් වාර්ෂිකව හඳුනාගත් වකුගඩු රෝගීන් සංඛ්‍යාව 1,498ක් දක්වා අඩු වී ඇති බවයි.  

පිරිසිදු පානීය ජල භාවිතයට සමගාමීව රෝගීන් වාර්තාවීම් අඩුවී ඇති බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

පර්යේෂණ නිවැරදි මගට ගැනීමේ අවශ්‍යතාව

පර්යේෂණ කරන්නන් බහුතරයක් පූර්ව ලෙස නිගමනය කර ඇත්තේ  විෂ ද්‍රව්‍යයක් රෝගයට හේතුවන බවයි.  .  

‘හඳුනානොගත් වකුගඩු රෝගය’ සම්බන්ධව පර්යේෂණ සිදුකරන රුහුණු විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මංගල ද සිල්වා මහතා මෙසේ පවසයි.

මහාචාර්ය මංගල ද සිල්වා

“ රෝගයට නිශ්චිත හේතුව සොයා ගන්න බැරිවුණේ  එක් එක් පර්යේෂණ කණ්ඩායම් එක් එක් කල්පිතයන් ඔස්සේ පර්යේෂණ කිරීම නිසයි. මේ රෝගය හැදෙන්න බලපාන්නේ එක හේතුවක් නෙවෙයි. සාධක කිහිපයක එකතුවකින් වකුගඩු රෝගය හැදෙන බව දැන් පැහැදිලි වෙලා තියෙනවා. ඒ නිසා අප ඒ ඔස්සේ පර්යේෂණ කටයුතු ඉදිරියට කරගෙන යනවා. ජලයේ දෘඩතාවය, ෆ්ලෝරයිඩ්, සමහර පළිබෝධනාශක සහ පොහොරවල ඇති බැරලෝහ වැනි සාධක කිහිපයක එකතුවක් සම්බන්ධව අප අධ්‍යයනය කරනවා. මෙම ගැටලුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ලොකු සහයෝගයක් දුන්නේ නැහැ. අමාත්‍යාංශය ඉන්නේ අවුරුදු ගණනක් පිටිපස්සෙන්. අඩුම ගණනේ රෝගීන් ගැන නිශ්චිත තොරතුරුවත් ඔවුන් ලඟ නැහැ.” 

වෛද්‍ය මහින්ද කරුණාරත්න පවසන්නේ රටක් ලෙස මෙම අභියෝගය ජය ගැනීම සඳහා සියලුම පර්යේෂකයින් ඒකරාශී වී සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි.

වෛද්‍ය එම්.ඒ.මහින්ද කරුණාරත්න

“බොහෝ අය පූර්ව නිගමනයකට ඇවිත් යම් මතයන් සනාථ කිරීමට  පරීක්ෂණ කරනවා. මේ රෝගය වළක්වා ගන්නේ කොහොමද? සාර්ථක ප්‍රතිකාර ක්‍රම මොනවාද කියල හොයනවට වඩා ඔවුන් වැඩි උනන්දුවක් දක්වන්නේ තම තමන්ගේ මත තහවුරු කරගැනීමටයි.”

පුද්ගලික අරමුණු සහ කල්පිත මත පදනම්ව පර්යේෂණ සිදුකිරීම බරපතල වරදක් බවත් අඳුරේ අතපත නොගා ලෝකය පිළිගත් නිවැරදි සෞඛ්‍ය විද්‍යාත්මක ක්‍රමවේද අනුව විධිමත් පර්යේෂණ කිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් ආචාර්ය ගම්මන්පිල අවධාරණය කරයි.

විද්‍යාව හා මිත්‍යාව අතර දෝලනය වෙමින් තිබෙන වකුගඩු පර්යේෂණ හා ඒ ඇසුරින් මතුවන ගැටලු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ජාතික වකුගඩු රෝග නිවාරණ හා පරීක්ෂණ ඒකකයේ ප්‍රධානී, වෛද්‍ය අසංග රණසිංහ මහතා  සමගද අපි වැඩිදුරටත් සාකච්ඡා කළෙමු.

වෛද්‍ය අසංග රණසිංහ

“අද වනවිට දිස්ත්‍රික්ක 15කින් පමණ හඳුනා නොගත් වකුගඩු රෝගීන් වාර්තා වුණත් තවමත් වැඩිපුරම වාර්තා වන්නේ උතුරු මැද පළාතෙන්.රෝගයට හේතුව තවමත් හරියටම හඳුනාගෙන නැති වුණත් පිරිසිදු පානීය ජල භාවිතයත් සමග රෝගීන් වාර්තාවීම හෝ රෝගීන් හඳුනාගැනීමේ පැහැදිලි අඩුවක් ඇති බව සොයාගෙන තිබෙනවා. එළඹෙන දෙසැම්බර් මාසයේදී මේ සම්බන්ධ වාර්තාවක් එළිදැක්වීමට අප බලාපොරොත්තු වෙනවා. පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ 2010 වර්ෂයේදී. වසර 2017 පමණ වනවිට රෝගීන් වාර්තාවීමේ අඩුවක් දකින්න ලැබුණා.”  

වෛද්‍යවරයා පවසන්නේ රට තුළ තිබූ අඩු පහසුකම් සහ ජනතා සහයෝගය නොමැතිවීම රෝගයට හේතුව සෙවීමේ කටයුත්තේදීද තදින්ම බලපෑ බවයි.

“රෝගය හඳුනාගත් මුල් කාලයේදී අපට පරීක්ෂණ කරන්න පහසුකම් තිබුණේ නැහැ. අදටත් සමහර පරීක්ෂණවල සාම්පල් පිටරට යවලා තමයි පරීක්ෂා කරන්නේ. කොරෝනා සහ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් අවුරුදු 04 ක පමණ සිට පරීක්ෂණ අතරමග නැවතිලා. පරීක්ෂණයකට සාම්පල් එකක් දෙන්න රෝගීන් කැමති නැහැ. මේක සත්තුත් එක්ක විතරක් කරන්න පුළුවන් පරීක්ෂණයක් නෙවෙයි. පරීක්ෂණ සාර්ථකද බලන්න මිනිස්සුන්ට දෙන්න ඕන. සමහර පර්යේෂකයන් තමන්ගේ මතයම නිවැරදියි කිව්වා. ඒවා කල්පිත.ඔප්පු කරලා නෑ. ”

මෙවැනි අවස්ථාවක දී රාජ්‍ය මට්ටමින් ක්‍රියාකළ හැකි ආකාරය පිළිබඳ ලෝකයේ බොහෝ රටවල උදාහරණ  පවතී. අසල්වැසි ඉන්දියාවේ මෙවැනි ගැටලු විසඳීම සඳහා, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්, සියලුම අංශ ආවරණය වන පර්යේෂකයන් සහ විද්වතුන්ගෙන් සමන්විත ජාතික තාක්ෂණික කමිටුවක් පිහිටුවා ඇත.මෙවැනි සංකීර්ණ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා එවැනි ක්‍රියාමාර්ග අප රටට ද අත්‍යාවශ්‍යව තිබේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමර්ශනය අනුව පෙනී යන්නේ, රෝගය හුදෙක් වෛද්‍යමය ගැටලුවකට වඩා, සමාජ පාරිසරික ගැටලුවක් වීම සහ අවිධිමත් සංවර්ධන ක්‍රමවේද, දේශපාලන තීන්දු සහ රාජ්‍ය ප්‍රතිපත්ති සමග තදින් බැදී පැවතීම හේතුවෙන් එය විසඳුම් සෙවීමට අපහසු සංකීර්ණ තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.

 කෙසේවුවද, නොකළ වරදකට පීඩා විඳීමට සිදුවී ඇත්තේ රටටම බත සපයන අහිංසක ගොවි ජනතාවටය. රජයක් ලෙස මේ සම්බන්ධව නිසි පියවර ගැනීමට තවත් කොපමණ ජීවිත ප්‍රමාණයක් පූජා කළ යුතුදැයි එම ගොවීහු බලධාරීන්ගෙන් ප්‍රශ්න කරති.

1 COMMENT

  1. ඉතාමත් වටිනා ලිපියක්.
    මේක තමා මාධ්‍යයේ වගකීම.
    රෝගීන් හඳුනා ගැනීම අඩු වෙලා වගේ අදහසක් දැක්කා. සුදුසු පානීය ජලය ලැබීම එයට හේතුව නම්, ලංකාවේ වියලි කලාපයේ සමස්ත ජනගහනයටම සුදුසු පානීය ජලය ලබා දීමේ වව්‍යාපෘතියක් වහාම ක්‍රියාත්මක කළ යුතුයි. ජේආර්පී සූරියප්පෙරුම හම්බන්තොටින් නැව් වලට පානීය ජලය පටවලා රත්නපුර කළුතර ගංවතුර පාලනය කරනවා කියපු ව්‍යාපෘතිය පොඩ්ඩක් සංශෝධනය කලා නම් හරි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!