spot_img
spot_imgspot_img

මහ ගංවතුරක පෙරනිමිති

පුවත්

විදෙස්

මේ වනවිට දැඩි වර්ෂාපතනය සමඟ මහ ගංවතුරක තර්ජනයක් රටේ නිරිත දිග කොටසේ ඇතිවෙමින් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ මෙතෙක් අනතුරු අඟවා නැත. නමුත් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 36ක කාලයේ දී ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට සහ බස්නාහිර, සබරගමු සහ මධ්‍යම පළාත්වලට මිලි මීටර 100 ඉක්ම වූ දැඩි වර්ෂාපතනයක් ඇති වන බවයි. අද (13) සවස 4.00ට නිකුත් කළ වාර්තාවේ ඒ බව සඳහන් කර ඇත.

පසුගිය දින කිහිපය පුරාම මෙම ප්‍රදේශවලට වරින් වර දැඩි වර්ෂාපතනයක් ඇද හැළිණි. ඒ අනුව ප්‍රදේශයේ සියලුම ගංගා පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී. විශේෂයෙන් ම ගිං, නිල්වලා, බෙන්තර, කළු සහ කැලණි ග‍ඟේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර එය සුළු ගංවතුර මට්ටමක් ද නොවේ. ඊට අමතරව සියලුම පහත් බිම්වල ජලය පිරී තිබේ.

ප්‍රදේශය පුරා දින කිහිපයක් ම වරින් වර වැසි ඇතිවන බැවින් භූගත ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බැවින් පස ජලයෙන් සංතෘප්ත තත්වයකට පත්ව ඇත. මේ නිසාම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයත් මීට පෙර හඳුනාගත් ස්ථානවල නාය යාම් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

රටේ නිරිත දිග ප්‍රදේශවල අවසන් වරට මහා ගංවතුර තත්වයක් ඇති වී නිවාස රැසක් විනාශ කරමින් ආපාදාවක් සිදුවූයේ 2017 වර්ෂයේ දී ය.

සාමාන්‍යයෙන් දැඩි නියං කාලයකට පසු එළඹෙන වර්ෂා කාලය දැඩි වර්ෂාවක් සහිත වීම සෑම අවස්ථාවක දී ම දක්නට ලැබෙයි. මෙවර පසුගිය මාස කිහිපයේ රට පුරා වැසි නොමැති දැඩි නියං කාලයක් පැවැති බැවින් නිරිත දිග මෝසම් සක්‍රියව පවතින මැයි, ජුනි සහ ජූලි මාසවල දී දැඩි වර්ෂාවක් ඇතිවන බව අපේක්ෂා කළ හැකිය.

එබැවින් ඉදිරි දින කිහිපයේ දී මිලි මීටර 100ක් ඉක්මවූ වර්ෂාපතනයක් ලැබෙන්නේ නම් ගංඟා දැනටමත් පිටාර මට්ටමට ළඟා වී තිබීම, ජල පෝෂක ප්‍රදේශ ජලයෙන් සංතෘප්ත වී තිබීම, පහත් බිම් ජලයෙන් යටවී තිබීම යන සාධකවල ප්‍රතිඵලයක් ලෙස තව දින කිහිපයකින් මහා ගංවතුර තත්වයකට රටට මුහුණ දීමට සිදුවීම වැළැක්විය නොහැකි කරුණක් වනු ඇත.

මේ තත්වය තේරුම් ගෙන ගංඟා ආශ්‍රිත සහ පහත් බිම් ප්‍රදේශවල පදිංචිකරුවන් මෙන් ම නාය යාමේ අවදානම් හඳුනාගෙන ඇති ස්ථානවල පදිංචිකරුවන් ද විමිසිල්ලෙන් පසුවී අවශ්‍ය වෙයි. කාලගුණය හැසිරෙන ආකාරයත්, මහ වැස්සත් සමඟ ගංවතුර ඇතිවීමේ අවදානමත් නිවැරදිව තේරුම්ගත් විට හානිය අවම කර ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!