spot_img
spot_imgspot_img

රාජපක්ෂලාගේ ඉරණම : ආර්ථික අර්බුදය හමුවේ, යුද විරුවෝ දුෂ්ඨයන් වූහ.

පුවත්

විදෙස්

මිලියන ‍22ක ජනතාවගේ ජීවිත උඩු යටිකුරු කළ ආර්ථික ගැටලුව නිසා ශ්‍රී ලංකාව මේවනවිට දැඩි අර්බුදයක අතරමංව සිටියි. සිවිල් යුද්ධය ජයග්‍රහණය කිරීමේ වීරයන් ලෙස බොහෝ දෙනා පෙන්වා දෙන රාජපක්ෂ සහෝදරයින් අද දුෂ්ඨයන් බවට පත්වී ඇත.

මෙය සිදුවූයේ කෙසේද? ඊලඟට සිදුවන්නේ කුමක්ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ අගමැති මහින්ද රාජපක්ෂ රට ආර්ථික විනාශයකට ගෙන යාම නිසා අපේ‍්‍රල් මස මුල සිටම විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ ඔවුන් ඉල්ලා අස්විය යුතු බවයි. නමුත් මේ සතියේ එය තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බවට පත්විය.

මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වූයේ ඔහුගේ ආධාරකරුවන් විසින් රට පුරා මාරාන්තික ගැටුම් ඇති කරමින් ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන්ට පහර දීමෙන් පසුවය. දේශපාලනඥයන්ගේ නිවාස දුසිම් ගනනක් ගිනිබත් කරන ලද අතර බොහෝ ඒවා රාජපක්ෂලාට අයත් විය.

ඔහුගේ නිල නිවස වටලෑමෙන් පසු 76 හැවිරිදි රාජපක්ෂට අගමැති ධූරයෙන් ඉවත් වී නිල නිවස හැරයන්නට ද සිදු විය.

ඔහු තම ආරක්ෂාව සඳහා ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරක රැඳී සිටියි. දෙවරක් ජනාධිපති වූ පුද්ගලයෙකුට අන්ත අවමානයක් ගෙන දෙමින් ඔහුට රටින් පිටවීම උසාවියකින් තහනම් කර ඇත.

ඔහුගේ නික්මයාම හේතුවෙන් ජනාධිපති ලෙස කටයුතු කරන ඔහුගේ 72 හැවිරිදි බාල සොහොයුරා මත වැඩෙන පීඩනය තවත් වැඩි වී ඇත.

මේ වන විට ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස කරන ලද ඉල්ලීම් නොසලකා හැර තිබේ. ඔහුට එල්ලවූ බලපෑම් මත යම් සහන ලබාදීමට එකඟ වූ අතර ඔහු සතු විධායක බලතල කිහිපයක් පාර්ලිමේන්තුවට පැවරීමට ද එකඟ වී ඇත. යෝජිත සර්වපාක්ෂික ආණ්‌ඩුව මෙහෙය වීමට නව අගමැති ලෙස ඉතාමත් පරිනත දේපාලනඥ රනිල් වික්‍රමසිංහ පත්කර ඇත.

නමුත් ජනාධිපතිවරයාගේ දේශපාලන අනාගතය තවමත් බොහෝ දුරට අස්ථාවර අතර ඇතැමුන් විශ්වාස කරන්නේ ඔහුව බලහත්කාරයෙන් යැවීමට තවත් ඉතිරිව ඇත්තේ සුලු කාලයක් පමණක් බවයි.

බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු රට එහි දරුණුතම ආර්ථික අර්බුදය අත්විඳිමින් සිටීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවට තවදුරටත් දේශපාලන අස්ථාවරත්වය දරාගත නොහැකි වී තිබේ. ඉහළ යන භාණ්ඩ මිල ගණන් සහ ආහාර හා ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව කෝපයෙන් දැවෙමින් සිටිති.

දශකයකට වැඩි කාලයක් ශ්‍රී ලංකා දේශපාලනයේ ආධිපත්‍යය දැරූ වරප්‍රසාද ලත් පවුලකට සිදුවූ දෙය අදහාගත නොහැකිය.

2009 දී ඔහුගේ පළමු ජනාධිපති ධූර කාලය තුළ දෙමළ කොටි කැරලි කරුවන් මර්දනය කිරීමෙන් දශක තුනකට ආසන්න සිවිල් යුද්ධයක් අවසන් කළ මහින්ද රාජපක්ෂ වීරයෙකු ලෙස බහුතර සිංහලයන් විසින් සමරනු ලැබීය.

යුද්ධය අවසන් වූ විගස ජයග්‍රාහී පෙළපාලි සහ මහා මහජන උත්සවවලදී ඔහු සිංහල බෞද්ධ රජවරුන්ට සමාන කරන ලදී.

“පශ්චාත් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සිටි ජනප්‍රියම සිංහල බෞද්ධ නායකයා ඔහුයි. ඇතැමුන් ඔහුව මහින්ද රජාණන් ලෙස පවා හුවා දැක්වූවා” යැයි ප්‍රවීන දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා පවසයි.

2017 වසරේ ඔහු විසින් රචිත “Rajapaksa: The Sinhala Selfie” කෘතියෙන්, පෙරේරා දිවයිනේ දේශපාලනය තුළ රාජපක්ෂ පවුලේ භූමිකාව සහ මහින්ද, බලය සඳහා තමන්ව හැඩගස්වාගත් ආකාරය ඉස්මතු කරයි.

මහින්ද රාජපක්ෂගේ පියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අතර මහින්ද ක්‍රමක්‍රමයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සිට 2004 දී අගමැති දක්වා ඉහළට පැමිණියේය.

වසරකට පසුව ඔහු ජනාධිපති වූ විට තම සොහොයුරා වන ගෝඨාභය ආරක්ෂක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කළේය. ශ්‍රී ලංකා හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් ඇමරිකාවේ නිස්කලංක ජීවිතයක් ගත කළ මල්ලීට එය විශාල වෘත්තීය පිම්මක් විය.

ගෝඨාභය සිය සොහොයුරාගේ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා නැවත පැමිණ ප්‍රසිද්ධියට පත් වූයේ අනුකම්පා විරහිතභාවයට කීර්තියක් අත්කර ගනිමිනි.

වැඩි කල් නොගොස් තවත් සහෝදරයන් සහ ඥාතීන් රජයට එකතු විය. රාජපක්ෂ අධිරාජ්‍යය පිහිටුවීමට මූලික වූයේ පවුලේ ප්‍රධානියා වූ මහින්දය.

මේ දක්වා සහෝදරයන් සෑම විටම එකව සිට ඇත. නමුත් මෑතක සිට ඉරිතැලීම් ඇති වීමට පටන් ගත්තේය, විශේෂයෙන් ගෝඨාභය මහින්දගෙන් “කණ්ඩායමට එක්කෙනෙක් ගන්න” යැයි ඉල්ලා සිටීමෙන් පසුව සහ ඉල්ලා අස්වන ලෙස විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට අවනත විම දැක්විය හැකිය.

තම බාල සොහොයුරා බලයට ගෙන ආ මිනිසාට මෙම ඉල්ලීම විශාල නින්දාවක් විය – නිසැකවම ඔහුගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට සිදුවූයේ අවශ්‍ය ආකාරයට නොවේ.

“අකාර්යක්ෂම බව නිසා මූලික වශයෙන් ඔහුව බිත්තියට ම තල්ලු කර දැමුණු අතර විශාල තරුණ විරෝධතාවයක් හේතුවෙන් පිටව යාමට ඔහුට සිදු විය. ඔහුගේ වයස ඔහුගේ නැවත පැමිණීමට එරෙහිව පවතිනු ඇත,” පෙරේරා පවසයි.

මහින්දගේ වැඩිමහල් පුත් නාමල්, සිය පියා සහ බාප්පා අතර අතර ප්‍රශ්නයක් ඇතැයි යන්න ප්‍රතික්ෂේප කරයි.

“නමුත් නියත වශයෙන්ම ජනාධිපතිවරයා සහ [හිටපු] අගමැති අතර ප්‍රතිපත්තිමය වෙනසක් ඇත,” ඔහු මෙම සතියේ ඉල්ලා අස්වීමට පෙර බීබීසීයට පැවසීය.

තම පියා සෑම විටම ගොවීන් සහ ජනතාව සමඟ සිටි බවත්, ගෝඨාභය රාජපක්ෂට “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ [ආණ්ඩු පක්ෂයේ] ඡන්දයට වඩා පාවෙන ඡන්දය දෙස බලන” වෙනස් ප්‍රවේශයක් තිබූ බවත් ඔහු පැවසීය.

විරෝධතාකරුවන් ට මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීම ගැන සතුටු විය හැකි නමුත්, ගෝඨාභය ද එසේ කළ යුතු බව ඔවුහු දැඩි අධිෂ්ඨානයෙන් පසුවෙති, එහෙත් එය ඔහුගේ ආධාරකරුවන් ප්‍රතික්ෂේප කරයි.

“එළියේ අවුල් ඇති නිසා – ඉතා සාධාරණ හේතු ඇති නිසා, අපි සියල්ලෝම එකඟ වෙමු – එයින් අදහස් කරන්නේ ඔහු ඉල්ලා අස්විය යුතු බව නොවේ,” හිටපු මාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා බීබීසීයට පැවසීය.

2019 දී ඔහු බලයට පත් කළ ඡන්දදායකයින්ගේ සහයෝගය අහිමි වී ඇති ජනාධිපතිවරයා දැන් කුමක් කරයිද යන්න පැහැදිලි නැත.

තමාට දෙවන ධුර කාලය සඳහා උනන්දුවක් නොමැති නමුත් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට අවශ්‍ය බව රාජපක්ෂ ජනාධිපතිවරයා සමීප පුද්ගලයින්ට පවසා ඇති බව වාර්තා වේ.

කෙසේවුවද රාජපක්ෂ-විරෝධී මනෝභාවය රට තුළ පැතිරී ඇති හෙයින්, එය කිරීමට ඔහුට ඇති විකල්ප සීමිත බව පෙනේ. එසේම ඔහුගේ දැඩි ප්‍රවේශය සඳහා ප්‍රසිද්ධියට පත් වූ ජනාධිපතිවරයා බලයේ රැඳී සිටීම සඳහා හමුදාව භාවිතා කිරීමට උත්සාහ කළ හැකි බවට කනස්සල්ලක් ද පවතී.

බරපතල මානව හිමිකම් කඩකිරීම්, සුළු ජාතීන්ට අයහපත් ලෙස සැලකීම සහ මාධ්‍ය වෙත මිනීමරු ප්‍රහාර එල්ල කළ බවට චෝදනා එල්ල වුවද, වසර ගණනාවක් තිස්සේ රාජපක්ෂලා සිංහල ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටියහ. සිංහල බහුතරය අතරින් වැඩි දෙනෙක් එදා ඒ සම්බන්දව කතා කළේ නැත.

නමුත් දැන් මුළු රටම දුක් විඳිමින් සිටින අතර ජීවන වියදම් විරෝධය නිසා වාර්ගික ප්‍රජාවන් එක්සත් වී ඇති අතර සිංහල විරෝධතාකරුවන් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පවා හඬ නඟයි.

“ආර්ථික දුෂ්කරතාවය ඇත්ත වශයෙන්ම බහුතර ප්‍රජාවට පහර දුන්නේය. දශක ගණනාවක් තිස්සේ බොහෝ දේවලින් ගැලවීමට හැකි වූ රාජපක්ෂලා මෙම කෝපයේ මට්ටම දැකීමෙන් පුදුමයට පත් වූ බව මම සිතමි,” මානව හිමිකම් නීතීඥ භවානි ෆොන්සේකා පවසයි.

එහෙත් රාජපක්ෂලා එතරම් පහසුවෙන් පාලනය අත්හැරීමට කැමති නොවනු ඇත. ඔවුන් තම දේශපාලන අනාගතය ගැන පමණක් නොව නව රජයක් බලයට පත් වූ විට ඔවුන්ගේ ආරක්ෂාව ගැන ද සැලකිලිමත් වෙයි.

විපක්ෂයේ පරිනත දේශපාලන චරිතයක් වන රනිල් වික්‍රමසිංහ මීළඟ අගමැති ලෙස පත් කිරීමෙන් මේ බව පැහැදිළිව දක්නට ලැබෙයි. ඔහු රාජපක්ෂවරුන් සමඟ හොඳ සබඳතා පවත්වන අයෙකු ලෙස සැලකේ.

කෙසේ වෙතත්, බොහෝ ශ්‍රී ලාංකිකයන් ජනාධිපතිවරයාගේ උපක්‍රම නිසා කලකිරී සිටින අතර, ඔවුන්ගේ ඉවසීම නැති වී ගොස් ඇත.

ස්ථාවර රජයක් නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය සම්බන්දව සාකච්ඡා කිරීම හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අපහසු වනු ඇත. නමුත් මීළඟට එන ආණ්ඩුව ඒ දේ ඉක්මනින්ම නොකළොත් තවත් විදුලි කප්පාදුවක්, ඉන්ධන හිඟයක් ඇති වන බවට අනතුරු අඟවා ඇත..

“මේ රට කවුරු පාලනය කළත් අපට අවශ්‍ය වන්නේ අපේ මූලික අවශ්‍යතා සපුරාලීම පමණයි,” කොළඹ පදිංචි චාන්දනී මානෙල් පවසන්නීය.

“මට කන්න දෙන්න දරුවෝ දෙන්නෙක් ඉන්නවා, බලාගන්න පවුලක් ඉන්නවා. දේශපාලකයින්ට තමන්ගේ ධනයෙන් ජීවත් වෙන්න පුළුවන් ඒත් අපිට බෑ,” ඇය පවසන්නීය.

(බීබීසී වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි. එහි මුල් ලිපිය පහතින්)

https://www.bbc.com/news/world-asia-61411532

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!