spot_img
spot_imgspot_img

සෞඛ්‍ය බලධාරීන්ට ගාල්ල වෙනම රාජ්‍යයක් ද? මරණ රටේ මරණවලට එකතු නොකරයි

පුවත්

විදෙස්


මරණ රටේ මරණවලට එකතු නොවේ

ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිව සිටිය දී මියයන කොරෝනා ආසාදිතයන්ගේ මරණ පිළිබඳ විස්තර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිල වශයෙන් ලබා දීම මෙතෙක් ප්‍රමාද කරමින් තිබෙන්නේ ගාල්ල වෙනම රටක් ලෙස පිළිගනිමින් දැයි සිතෙන තරමට ගැටලු සහගත තත්ත්වයක් උදා වී ඇත.

ගාල්ලේ කොරෝනා ආසාදිනයෙන් මියගිය බවට තහවරු වූ මරණ සංඛ්‍යාව අද (25) දින ය වනවිට 11කි. කොරෝනා වසංගතය මෙතෙක් සමාජගත වී නැතැයි පවසමින් තැන තැන හමුවන සියලුම කොරෝනා ආසාදිතයන් මිනුවන්ගොඩ, පෑළියගොඩ පොකුරට බැර කරමින් සිටින සෞඛ්‍ය අංශ මේ මරණ සංඛ්‍යාව සැඟවීමෙන් සිදුවන්නේ ශ්‍රී ලාංකීය ජනතාව කොරෝනා වසංගතයේ සැබෑ තත්ත්වය තේරුම් නොගැනීමයි. ඉන් සිදුවන්නේ ඔවුන් කොරෝන සඳහා හඳුන්වා දී ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් පවා අනුගමනය කිරීමට දක්වන දුර්වලතාවයි.

මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැනුම් දීම අනුව දෛනිකව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මරණ පිළිබඳ වාර්තාවල සඳහන් වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ කොරෝනා බව තහවුරු කරගත් මරණවලින් එක් මරණය් පමණි. ඒ ගිංතොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කොරෝනා ආසාදනය වී හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර සිටියදී මියගිය බව පමණි.

නමුත් ගිංතොට ප්‍රදේශයේ පමණක් තවත් කොරෝනා මරණ 03ක් සිදුව ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය ක‍ොරෝනා මෙතෙක් සමාජගත වී නැතැයි කීව ද ගිංතොට දී සිදුවූ අනෙක් කොරෝනා මරණ තුනම අවම වශයෙන් නිරෝධානය වූ නිවෙස්වලින්වත් වාර්තා නොවූ මරණ වන අතර ඒ තිදෙනාම මියයාමෙන් පසු කොරෝනා බව තහවුරු කරගත් මරණ වීමෙන්ම පැහැදිලි  වන්නේ කොරෝනා වසංගත මේ වනවිට සමස්ත සමාජයම ගිලගෙන ඇති බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු මරණය වාර්තා වූයේ පසුගිය නොවැම්බර් මස 30 වැනි දා කළුබෝවිල රෝහලෙනි. වකුගඩු රෝගයක් හේතුවෙන් රෝහල්ගතව සිටි ඔහු දෙහිවල පදිංචි බවට ව්‍යාජ ලිපිනයක් ලබා දී තිබිණි. ඔහු කෙරෝනා ආසාදිතයෙක් බව මළ සිරුරෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබිණි. මේ මරණය කොරෝනා ආසාදිත මරණයක් බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට ද දැනුම් දී ඇතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා තවමත් එය නිල වශයේන රටට කීවේ නැත.

ගාල්ලේ දෙවැනි මරණය ලෙස වාර්තා වන්නේ අහුංගල්ලේ අක්කර 20 පදිංචි පුද්ගලයෙකි. ඔහු කොරෝනා ආසාදනය වී හම්බන්තොට මූලික රෝහලේ ප්‍රතිකර ලබා නිවසට පැමිණ නිවසේ දී ද දින 14ක නිරෝදායන කාලයක් ගතකිරීමෙන් අනතුරුව හදිසිියේ ම මියගියේය. මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් අනාවරණය වූයේ මියයනව විටත් ඔහු කොරෝනා ආසාදිතයකු බවයි. මේ මරණය අහුංගල්ල ආදාහනාගාරයේ දී ආදාහනය කිරීමෙට මොහොතකට පෙර ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චිගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ගොස් සිරුරු තමන් භාරයට ගෙන එය සෞඛ්‍ය ආරක්ෂිතව ආදාහනය කර තිබිණි. මේ මරණය පිළිබඳ සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා දැනුම්වත් වී නැතැයි කියන්නේ නම් එය ගාල්ල ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා අංශයේ ඇති සම්බන්ධීකරණ ගැටලුවක් විය යුතුය.

ගාල්ලෙන් වාර්තා වූ තුන්වැනි මරණය මෙරට වඩාත් ආන්දෝලනයට තුඩුදුන් කොරෝනා ආසාදිත මරණයකි.  කොරෝනා ආසාදනය වී සුවය ලබා නිවසට පැමිණ සිටි දෙද්දුගොඩ පදිංචිකරුවකු මියගියේය. මරණය භූමදානයට එහෙරව ඥාතීන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පවා ගිය අතර අධිකරණයේ තීන්දුව වූයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත කටයුතු කළ යුතු බවයි. ඒ අනුව නැවත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරල්වරයාගේ උපදෙස් ලිඛිතව ලබාගෙන දේහය ආදාහනය කරන ලදී. දේහය සම්බන්ධයෙන් නැවත විශේෂ උපදෙස් පවා ලබාදුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම මරණය සම්බන්ධයෙන් නිල තොරතුරු මෙතෙක් නිකුත් කර නොතිබීම පුදුමයට කරුණකි.

සිව්වැනි මරණය වාර්තාවන්නේ ගිංතොට ප්‍රදේශයෙනි. 84 හැවිරිදි වියේ සිටි ඔහු නිවසේ දී ම මියගොස් සිටි අතර බහුවිද සංකූළතා සහ කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය බව තහවුරු වීම හේතුවෙන් දේහය රජයේ වියදමින් ආදාහනය කෙරුණි.

පස්වැනි මරණය වාර්තාවන්නේ ද ගිංතොට නිවසකිනි. නිරෝධායනය වන කිසිවකු හෝ නොසිටි එම නිවසේ සිදුවූ මරණයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වූයේ ඔහු හෘදයේ ඇතිවූ සංකූලතා සහ කො‍රෝනා ආසාදනය හේතුවෙන් මියගොස් ඇති බවයි.

ගාල්ලේ සිදුවූ හයවැනි මරණය ලෙස වාර්තා වූයේ ගිංතොට පදිංචි කාන්තාවක් කොරෝනා ආසාදනය වී හෝමාගම රෝහලට ඇතුළත් කර සිටිය දී මියයාමයි. 56 හැවිරිදි වියේ පසු වූ මේ කාන්තාවගේ මරණයක් පමණක් මේ දක්වා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

හත්වැනි මරණය ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන්නේ හික්කඩුව දොඩංදූවෙනි. පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි 78 හැවිරිදි කාන්තාවක් නිවසේ දී මියගියාය. ඇයට අසාධ්‍යවීමත් සමඟ රෝහලට ගෙන එමින් සිටිය දී මරණය සිදුව තිබූ අතර දේහය ඥාතීන්ගේ ද සහභාගීත්වයෙන් ආදාහනය කෙරිණි.

අටවැනි මරණය සිදුවන්නේ ද ‍ගිංතොට ගොඩවත්ත ප්‍රදේශයේ නිවසකය. මියගොස් තිබුණේ 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොරෝනා නිව්මෝනියා තත්ත්වයෙන් මියගිය බවට තීරණය කෙරුණු මෙම මරණය ද ආදාහනය කෙරිණි.

ඉන් පසු එකම දිනයේ දී මරණ දෙකක් වාර්තා විය. ඒ නමවැනි මරණය ලෙස වර්තාවන්නේ අලුත්වල පදිංචි 52 හැවිරිදි වියේ පසු වූ කාන්තාවකි. කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත්ව හෘද සැත්කමකට සූදානම් කරමින් සිටිය දී හදිසියේ ම අසනීපවීමෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කිරීමෙන් අනතුරුව ඇය මියගියාය. මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වූයේ මේ කාන්තව කොරෝනා ආසාදිත බවයි. දේහය ආදාහනය කෙරුණු අතර කොරෝනා ආසාදනය හා කිරීටක ධමනියේ අවහිරතා හේතුවෙන් මරණය සිදුවූ තීරණය කර ඇත.

ගාල්ල බන්ධනාගාරයේ සිට කරාපිටිය රෝහලට ගෙන යමින් සිටි පුද්ගලයකු අතරමග දී මියගියේය. පාකින්සන් රෝගයෙන් කාලයක සිට පීඩා විදි 60 හැවිරිදි ඔහුට කොරෝනා ආසාදනය වී ඇතැයි සිරුරෙන් ලබාගත් ජෛව සාම්පලවලින් තහවරු වී තිබිණි. මේ සිරුරු ද රජයේ වියදමින් දඩල්ල ආදාහනාගාරයේ දී අදාහනය කරනු ලැබීය. ඒ පවුලේ ඥාතීන්ට දේහය සම්න්ධ අවසන් කටයුතු කිරීමට මුදල් නොමැති වීම හේතුවෙනි.

ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිව සිට මියගිය කොරෝනා ආසාදිතයන් 10 දෙනාගේ ඉහත දැක්වෙන මරණවලින් කළුබෝවිල රෝහලේ මරණය සහ හෝමාගම රෝහලේ දී සිදුවූ මරණය හැර අනෙක් මරණ 08 ම සිදුව ඇත්තේ දිස්ත්‍රික්කය තුළය. කළුබෝවිල රෝහලේ මරණය කොරෝනා මරණයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ වනවිටත් දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා වෙත දන්වා ඇතත් රටට කියා නැත.

හෝමාගම රෝහලේ මරණය පමණක් මෙතෙක් නිල වශයේන නිවේදනය කරන ලද එකම මරණයයි.

දිස්ත්‍රික්කය තුළ සිදුව ඇති මරණ 08න් අහුංගල්ලේ මරණයට ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග වේදඥ මැදිහත් වී ඇති බැවින් එම මරණය කොරෝනා මරණයක් නොවේ යැයි සෞඛ්‍ය බලධාරීන්ට ප්‍රකාශ කළ නොහැක. නමුත් නිල වශයෙන් මෙතෙක් නිවේදනය කර නැත.

අනෙක් කොරෝනා මරණ 07 ම වාර්තාවන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලෙනි. මුස්ලිම් ජාතිකයන් මරණ භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බැවින් එම මරණ අතරින් මුස්ලිම් ජාතිකයන්ගේ මළ සරුරු 04ක් ම ආදාහනය කළේ රජයේ වියදමෙනි. බන්ධනාගාරගතව සිටිය දී මියගිය පුද්ගලයාගේ මරණයත් රජයේ වියදමින් ආදාහනර කෙරිණි. ඒ අනුව රජයේ බලධාරීන් මේ මරණ නොදන්නවා යැයි කිව නොහැක. කරාපිටියේ දී සිදුවූ මරණ 07 අතරින් ඥාතීන් විසින් ආදහනය කෙරුණේ හික්කඩුව දොඩංදූවේ මරණය හා ගෝනාපීනුවල මරණය පමණි.

මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරිමේ හේතුව අප දන්නේ නැත. ගාල්ලේ මරණ 10ක් සිදුවූ විට ඉන් 01ක් පමණක් නිල වශයෙන් නිවේදනය කර මරණ 09ක් මෙතෙක් සඟවා තිබේ. ඒ අනුව දිස්ත්‍රික්කයක මරණවලින් රජය නිවේදනය කර ඇත්තේ 10න් 01ක් පමණි. මෙය ජනතාවගෙන් තොරතුරු වසං කිරිමකි.

මේ පිළිබඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ සියලුම මරණ පිළිබඳ විස්තර එම කාර්යාලය විසින් අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ට දැනුම් දී තිබෙන බවයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් විසින් මරණ පිළිබඳ තොරතුරු ප්‍රාදේහීය වසංත රෝග විද්‍යා ඒකකයට දැනුම් දෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දැනුම් දිය යුතුවන්නේ එම කාර්යාලයෙන් බවත් අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මේ පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා ඒකකයේ වසංගත වේදඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චිගෙන් විමසීමට උත්සාහ ගත්තද ඔහු තො‍රතුරු ලබාදෙන්නේ ඔහු කියන කරුණු පමණක් සඳහන් කරන මාධ්‍ය වාර්තාවලට පමණක් බැවින් ඔහු අපට තොරතුරු ලබා දීම සිදුකරන්නේ නැත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මේ පිළිබඳ විමසීමට එම අංශයට දුරකථන ඇමතුම් ගත්ත ද එහි දී දුරකථනයට පිළිතුරු දෙන සියලුම දෙනා සෑම අවස්ථාවක දී ම පවසන්නේ රැස්වීම් පැවැත්වෙන බැවින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කරගත නොහැකි බවයි. අද (25) දැනගන්නට ලැබුණේ සෞඛ්‍ය සේවා අධයක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන සෞඛ්‍ය ඇමතිනියගේ ආශ්‍රිිතයකු වීම හේතුවෙන් නිරෝදායනයට ලක්ව ඇති බවයි.

මෙම කරුණ විමසූ විට ඒ ගැන තමන්ට කිසිවක් කිව නොහැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන්ම විමසිය යුතු බවත් ඔහුගේ කාර්යාලයේ නිලධාරීහු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!