spot_img
spot_imgspot_img

සුනාමිය දා බිහිසුණු මතකය – මාධ්‍යවේදියකුගේ අත්දැකීම්

පුවත්

විදෙස්

අප හැමදාමත් ආදරය කළ සෑම මොහොතක ම සොඳුරු දසුනක ්මවා පෑ මහ මුහුද ගම් බිම් යටකරමින් ජීවිත දහස් ගණනක් බිලි ගිනිමින් අපට එරෙහිව නැගී සිටිනු ඇතැයි අප කිසිවෙකුත් කිසි දිනක සිතුවේ නැත. එහෙත් නොසිතූ නොපැතූ දෙයක් ම සිදුවිය. සුනාාමිය සිදුවී වසර දෙකක් ගතවුව ද එදා විඳින්නට සිදු වූ අහන්නට දකින්නට සිදු වූ ඒ මහා කේදවාචකය තවමත් අප සිත් තුළ රැව් දෙමින් පවතී.

2004 දෙසැම්බර් 26 වැනි දා ට හිරු උදාවූයේ කිසිදු වෙනසක් නොපෙන්වමිනි. එකල මාධ්‍ය වෘත්තියෙන් ඈත්ව සිටි මම වෙනත් කටයුත්තක් සඳහා ගාල්ල නගරයට යාමට නිවසින් පිටත්වූයෙමි. මා විසින් ධාවනය කරන ලද වෑන් රථ‌ේ මගේ එකම සහෝදරයා ද විය. අප ගාල්ල නගරයට කිලෝ මීටර් දෙකක් පඹණ දුරක් දක්වා ආසන්න වීමත් සමඟම විශාල කලබලයකින් අප දෙසට පැමිණෙන වාහන රැසක් හා පුද්ගලයන් රාශියක් දක්නට ලැබිණි. ඔවුන් කීවේ “මුහුද ගොඩ ගලනවා යන්න එපා” යන්නයි.

ගාල්ල මාතර පාරට විටින් විට මුහුදු රළ ගැසීම ගාල්ලේ පදිංචි අපට සාමාන්‍ය දෙයකි. හාවා ලෝකේ පෙරළෙනවා කියලා දිව්වා නේදැයි සිතූ අපි ඉදිරියට ගියෙමු. කිලෝ මීටරයක් යාමට නොහැකි විය. අප ඉදිරියේ මාර්ගය ඔස්සේ ජලය පැමිණෙමින් තිබිණි. ගාල්ල නගරයේ සිටි බොහෝ දෙනකු මර හඬ දීගෙන දිව එති. කුමක් හෝ භයාන දෙයක් සිදු වී ඇත. ගාල්ල නගරයට යාමට ඇති මඳක් උස් වූ මර්ගයක් වන රිච්මන්ඩ් කන්ද මාර්ගය තෝරාගත් අපි නැවත එදෙසට වාහනය ධාවනය කළෙමු.

එම මාර්ගය ඔස්සේ මඳ දුරක් ගොස් මහමෝදර රෝහල දෙසට හරවනවාත් සමඟ දුටු දසුන මව් කුසින් බිහි වූ අපට කිසිදා අමතක නොවන්නකි. මහමෝදර රෝහලේ දරු ප්‍රසූතිය සදහා ඇතුළත්ව සිටි කාන්තාවෝ අතට හසුවන යමක් රැගෙන මාර්ගය ඔස්සේ ඉදිරියට දිව එති. දරුවන් බිහිකළ මව්වරු තම කිරිකැටි බිළිඳුන් ඔසවාගෙන සේලයින් බෝතල් එල්ලාගෙන දිවඑන ආකාරය අති බිහිසුණු සිනමා රූපයක් සිහිගන්වයි.

අපගේ ආරාධනාවකින් තොරව ම දරුවන් රැගත් මව්වරු රැසක් අපගේ රථයට ගොඩවූහ. කරාපිටිය රෝහලට රැගෙන යන ලෙස ඉල්ලමින් ඔවුහු ආයාචනා කරති. රථයට ගොඩවීම සඳහා පිරිසක් පොරකති.

මහමෝදර රෝහලේ රෝගීන් රැගෙන අපි කරාපිටියට ගියෙමු. එහි යනවිට තත්ත්වය තව තවත් භයානක බව වැටහී ගියේ වැල නොකැඩී එන රෝගීන් සංඛ්‍යාව මෙතෙක් නොදුටු තරම් විශාල වූ බැවිනි. අපි නැවතත් නගරයට යාමට පිත්වීමු මුහුද ගොඩගලා ඇති බවත් මල්ලීත් මමත් නිරුපද්‍රිතව සිටින බවත් දන්වා නිවසට දුරකථන ඇමතුමක් ලබා දුනිමි. නිවසින් කීවේ අප නිවසින් පිටත්වීමට අප්පච්චී යතුරුපැදියෙන් ගාලු ගිය බවයි. එසේනම් අප්පච්චී සොයාගත යුතුය.

වාහනය හිතවකුගේ නිවසක නවතා කළුවැල්ල දෙසින් කොළඹ මාර්ගයට ඇතුළු වූ අපි නගරය දෙසට පැමිණියෙමු. මුහුද පැත්තේ ඇති ගොඩනැගිලි බොහොමයක් කැඩී ගොසිනි. සුන් බුන් මාර්ගයට පැමිණ ඇත. නගර සභා භූමිය එකම ජලාශයක් බවට පත්ව තිබේ. ධර්මපාල උද්‍යානයේ තිබූ ළමා ක්‍රීඩා උපකරණය එම ස්ථානයට පාවී පැමිණ ඇත.

අප මෙතෙක් අතිවිඳි දරුණුතම ඛේදවාචකයේ බිහිසුණු බව අවබෝධ වූයේ ඒ නිමේෂයේ දී ය. ගාල්ලේ බස් නැවතුම්පොළ තිබූ ස්ථානයක් පෙනෙන්නට නැත. සෙල්ම් භාණ්ඩ ගොඩක් සේ ඒ මේ අත පෙරළා දැමූ බස් රථ සහ වෙනත් මෝටර් රථ රාශියක් ඒ ස්ථානයේ තිබේ. ඒ සෑම රථයක් තුළින්මේ අනේ මාව බේරාගන්න නම් ම හයින් කෑ ගසන හඬයි. අසළ ඇති කුණු ඇලේ ද බස් රථ කිහිපයක් පාවෙමින් තිබේ. සිදු වූයේ කුමක් දැයි වටහාගත නොහැකි වූ කිහිප දෙනෙක් විපතට පත්වූවන්ට උදව් කරමින් සිටිති.

වෙනදා දක්නට ඇති සොඳුරු සිනහවන් මැකී ගොසිනි. ගාල්ලේ කොටු පවුර අසළ රත්ගම වෙරළ ඉදිරිපිට ඇති සෙනරත් පරණවිතාන මහතාගේ පිළිරුව ආසන්නයේ වූ අනුස්මරණ උත්සවය සඳහා අප්පච්චී පැමිණීමට නියිමිතව සිටියේය. ඔහු පිටත් වූ වේලාව අනුව අප්පච්චී ජල පහරට හසුවීමේ සම්භාවිතාව  අධික විය. සෑම දෙයක් ම විනාශ වී ගොසිනි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයත් විනාශ වී ගොසින්ය. මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු තැන තැන විසිරී ඇත. ගාලු නගරය අමු සොහොන් පිටියක් බවට පත්ව තිබේ.

ගාල්ල පොලිසිය ද විනාශ වී ඇත. එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙන්ඩිස් මහතා පොලිසිය ඉදිරිපිට දී හමුවිය. මම ඔහු සමඟ කතා කළෙමි.

“වැලිගමට මුහුදු වතුර ආවා කියලා මගේ දුරකථනයට ඇමතුමක් ආවා. කෝල් එක අරගෙන පහළට බහින්න ලැබුණේ නැහැ. මහා වතුර පාරක් ආවා. මම හිතන්නේ ලංකාවේ ගොඩක් ප්‍රදේශ හානි වෙලා” යනුවෙන් ඒ මහතා කීවේය.

ජීවිතයේ ප්‍රථම වරට අනාරක්ෂිත බවක් සිතට දැනෙන්නට විය. සියල්ල විනාශ වී ඇති බවක් දක්නට ලැබේ. ගාල්ල නගරයේ තවත් විනාශ වන්නට දෙයක් නැත. ගාල්ල කොටුව දක්වා ගොස් අප්පච්චී සෙවූව ද කිසිදු හෝඩුවාවක් නැත. ඔහු නගරයට පැමිණෙන ගාල්ල වක්වැල්ල මාර්ගය තවමත් ජලයෙන් යටවී ඇත. මමත් මල්ලීත් ඒ ජලයේ බැස ගමන් කළෙමු. යමක් කකුලේ පැටලුණි. ඒ ජලයේ පා වෙමින් සිටි පුද්ගලයෙකි. අප දෙදෙනා ඔහු ඔසවා ගත්තෙමු. ඒ වනවිටත් ඔහු මියගොසිනි. ජලයේ ගිලුණු පුද්ගලයන් රැසකගේ මළ සිරුරු රාශියක් තවමත් පාවෙමින් තිබේ. අප ඉදිරියට ගමන් කළෙමු. තුවාල වූ පිරිස් ද උස්තැන්වලට වී වේදනාවෙන් සිටිති. එ් කිසිදු ස්ථානයක අප්පච්චී නැත.

තැපැල් කාර්යාලයේ සේවකයකු අප සමඟ කීවේ වතුර ආපසු යනවිට ‌ගොඩක් අය මුහුදට ගසාගෙන යනු තමන් දුටු බවයි.

අපි කරාපිටිය රෝහලට යාමට තීරණය කළෙමු. වාහනය තිබූ ස්ථානයට ගමන්ගත් අපි මහමෝදර රෝහලෙන් පැමණෙන ගැබිණි කාන්තාවන් හා දරුවන් ලැබූ මව්වරු කිහිප දෙනකු නංවා ගත්තෙමු. අප රථයේ සිටි කාන්තාවකගේ සිරුරෙන් රුධිරය වහනය වෙයි.

“අනේ මල්ලී ඉක්මනට යමු. මගේ දරුවා ගන්න සීසර් කළේ ඊයේ හවස මට හරි අමාරුයි” යනුවෙන් ඇය කීවාය. ඇය සිය දරුවා සිය ඇකයට තුරුළු කරගෙන සිටින්නීය.

තවත් කාන්තාවක් කීවේ “මගේ දරුවා කවුද කරාපිටියට ගෙනිච්චා. ඒ වාහනයට මට නගින්න බැරිවුණා” යනුවෙනි.

ලංකාවේ ප්‍රදේශ රාශියක් මෙලෙස විනාශ වී ඇති බවත් මුහුදේ සිදුවූ භූමිකම්පාක් නිසා මෙම මුහුදු ගොඩගැලීම වූ බවත් ලංකාව ඇතුළු රටවල් ගණනාවකට එය බලපා ඇති බවත් මෙය සුනාමි තත්ත්වයක් ලෙස හඳුන්වන බවත් වාහනයේ ගුවන් විදුලි යන්ත්‍රයෙන් ඇසිණි.

සෑම දෙසින්ම අසන්නට දකින්නට ලැබෙන්නේ සිහි විකල්වන දේ පමණි. අපි කරාපිටිය රෝහලට පැමිණියෙමු. තුවාල ලැබූ සිය ගණනක් මේ වනවිටත් රෝහලට පැමිණ ඇති අතර දියේ ගිලී මියගිය අයගේ මළ සිරරු 20ක් පමණ රෝහලේ විය. මේ වනවිට ලොරි රථවල ට්‍රැක්ටර්වල පටවාගත් මළ සිරුරු රෝහල වෙත ලැබෙමින් පැවතුණි. ඒ කිසිවක් දමන්නට තැනක් නැත. රෝහලේ සායන ඉදිරිපිට බිම මළ සිරුර තබන්නට සකස් කෙරුණි. අප දන්නා හඳුනන බොහෝ දෙනකුගේ මළ සිරුරු රෝහලට රැගෙනවිත් ඇත. තුවාල කරුවන්ගෙන් සියලු වාට්ටු පිරී ගොසිනි. මට රෝහලේ සිටිනට යැයි කියූ මල්ලී නැවත අප්පච්චී සොයා ගාල්ලට ගියේය.

පැය දෙකක් ගත විය මල්ලී නැවත පැමිණියේ කිසිදු තොරතුරක් නැතිවය.

මේ වනවිට කරාපිටිය රෝහලට සිය ගණනක් මළ සිරුරු පැමිණ තිබිණි. කරාපිටිය රෝහලේ ඉඩ ඇති සෑම තැනකම මළ සිරුරු ගොඩගසා ඇත. කිසිවෙකුත් කිසිදිනක මියගිය එතරම් පිරිසක් දැක ඇතුවාට සැකයක් නැත.

අප රෝහලේ සිටිය දී පැමිණි අසල්වැසියකු පැවසුවේ අප්පච්චී ගෙදර යනු තමන් දුටු බවයි. මේ මහා ඛේදවාචකයට අසුවන්නට ඇතැයි සිතා සිටි අප්පච්චී ගෙදර ගියා යැයි යන පණිවිඩය මහත් අස්වැසිල්ලකි. සියල්ල නවතා අපි වහා ගෙදර ගියෙමු. ඔහු ජීවිතය බේරාගෙන ඇත්තේ ඉතාමත් ආයාසයෙනි.

සෙනරත් පරණවිතාන ගුණ සැමරුම් උත්සවයට සහභාගී වීමට ගිය අප්පච්චී එම පිළිරුව අසළ සිටි පරණවිතාන මහතාගේ මුණුපුරකු සහ නන්දකෝරළ නමැති මහත්මයකු සමඟ කතා බහක නිරතව සිටිය දී වැල්ලේ සිටි ධීවරයන් මුහුද ගොඩ ගලනවා යනුවෙන් පවසමින් දුවන්නට පටන්ගෙන තිබේ. අප්පච්චී යතුරුපැදිය පන ගන්වන්නට උත්සාහ ගත්ත ද එය අසාර්ථක වූයෙන් යතුරුපැදිය තල්ලුකරගෙන කොටුව ඇතුළට යාමට පටන්ගෙන ඇත. ඔහු සමඟ සිටි දෙදෙනා කලින් ම කොටුව දෙසට දුව ගොස් තිබේ. අප්පච්චීට අඩි 10ක් යාමට ලැබී නැත. පසු පසින් පැමිණි විශාල ජල කඳක් සමඟ යතුරුපැදිය විසි වී ඔහු ඉහළට එසවි ඇත. ඒ මොහොතේ කෙටු බැම්මේ ඉහළ තමන්ට හොඳින් දර්ශනය වූ බව අප්පච්චී කියයි.

“මම ඒ වතුර පාරත් එක්කම උඩ විසිවුණා. කෙටු තාප්පේ උඩ තණකොළ පවා පෙනෙන මට්ටම මාව විසිවුණා. මම දන්නේ නැහැ මොනවා වුණා ද කියලා. එක පාරටම මාව බිමට වැටෙනවාත් එක්කම තවත් වතුර පාරකට අහුවෙලා මාව වේගනේ කොටු දොරකොඩ පැත්තට ගසාගෙන යන්න පටන්ගත්තා. එතකොට හැමතැනම වතුර. ගාල්ලේ පිට්ටනියත් සම්පූර්ණයෙන් ම වතුරෙන් යටවෙලා තිබුණා. මට හිතුණා ලෝක විනාශය වෙනවා කියලා. පීනලා පුරුද්දක් තිබුණු නිසා මම වතුරේ නොගිලී ගසාගෙන ගියා. ඒ එක්කම ලොකු පොලිතීන් පාර්සලයක් වගේ වේගයෙන් මගේ දෙසට ආවා. මම ඒක අමාරුවෙන් අල්ලා ගත්තා. මම හිතුවේ වතුර පාරට මාව මුහුදට ගසාගෙන ගියත් ඒකේ එල්ලිලාල ඉන්න පුළුවන් වේවි කියලා. මේ වෙනකොට මට පේනනේ කොටු තාප්පයත් ධර්මපාල උද්‍යානයේ ගස් ටිකත් නගරයේ ගොඩනැගිලි කිහිපයකුත් විතරයි. බැලූ බැලූ හැම පැත්තෙම පෙන්නේ මහා ජල කඳක්. හැමදේම ජලයෙන් යටවෙලා.  ගඳ ගහන බොරපාට වතුර. මම අර පාර්සලයත් අල්ලගෙන කොටු තාප්පය පැත්තට පීනුවා. සමනල පාලම පැත්තෙනුත් වරාය පැත්තෙනුත් වතුර ආපු නිසා කොටුව ඉස්සරහා තටාකයක් වගේ හැදිලා. මම කොටු දොරකොඩ ළඟ තියෙන තල් ගහක් අල්ල ගත්තා. වතුර පාර සැර වැඩියි. මම ගසාගෙන යන්න හැදනවා. එක අතකින් අර පාර්සලය අල්ලගෙන අනෙක් අතින් තල් ගහේ ඉති බදාගත්තා. ඒවයේ කටු වලට මගේ අත තුවාල වුණා. ඒත් මැරෙණවට වඩා තුවාල හොඳයි කියා හිටියා.

බෝට්ටුවක් වේගයෙන් කොටුව පැත්තට පාවෙලා ආවා. ඒක එන විදියට කොටු දොරකොඩින් ඇතුළට යනවා. මම ඒක අල්ලගන්න හදනකොටම ඒක පෙරළී ගියා. ඒ එක්කම පීනගෙන ආපු තරුණයෙක් මා හිටපු තල් ගහට ගොඩවෙලා ඉතිවලින් නැගලා කොටු තාප්පෙට පැන ගත්තා. ඒත් මට ඒ තරම් හයියක් තිබුණේ නෑ,  මම එල්ලිලා ම හිටියා.

වතුර ගිය පසු ඔහු තල්ගසෙන් ම බැස යතුරුපැදිය ඇත්දැයි සොයා තිබේ. සොයාගත නොහැකි වූ අතරතුර ගාල්ල නගරය දෙසට පැමිණ ඇත. ඒ වනවිට ආයෙත් වතුර එනවා කියා කෑ ගසන හඬත් සමඟ ජලයෙන් බේරීම සඳහා දුම්රිය නැවතුමේ ඉහළ මාලයට ගොඩවී තිබිණි. එහි සිට දෙවැනි වතුර පහර බැස ගිය පසු තුවාල කරුවන්ට පිහිට වූ අප්පච්චී කිලෝ මීටර 07ක් දුර ගෙවා පයින්ම ගෙදර ආ බව පවසයි.

එදා අප්පච්චී සමඟ කතා කරමින් සිටි සිය සීයාගේ ගුණානුස්මරණයට සහභාගී වූ පරණවිතාන මහතාගේ සිරුර සෙයාගත නොහැකි විය. කෝරළ මහතාගේ සිරුර දින දෙකකට පසු සෙයා ගැණින.

සියල්ල විනාශ වී ඇති මොහොතක අපට නිවසට වී සිටිය නොහැක. අපි නැවත ගාල්ල නගරයට ගියෙමු. අපි එහි යනවිට එවකට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලයනල් ප්‍රේමසිරි බස් නැවතුම් පොළ තිබූ ස්ථානයේ බස් රථවල ඒ වනවිටත් සිරවී සිටි අය එළියට ගනිමින් සිටියේය.

තැන තැන විසිරී තිබූ මළ සිරුරු එක්කරමින් සිටි එතැන ගාල්ලේ නගරාධිපතිවරයා ද වූයේය. මේ මහා විනාශයක් ගාල්ලට මෙහෙම කළක් යාවි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැනේ. දැන් ඉතින් මොනවා කරන්න ද ? වැටුණු තැන ඉදන් පටන්ගන්න වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී ලයනල් ප්‍රේමසිරි කීවේය.

මළ සිරුරු 10ක් පමණ රථයට පටවාගත් අපි ඒවාත් රැගෙන යළි රෝහලට පැමිණියෙමු. අපගේ ඥාති සොහොයුරකු සිය නිවසට ගොස් පැමිණෙද්දී දෙවට ප්‍රදේශයේ දී ජලයට හසුවී ඇති බවත් ඔහු පමණක් බේරී ඇති බවත් දැනගන්නට ලැබිණි.

එතැන් පටන් අපගේ මෙහෙයුම වූයේ අතුරුදන් වූ එම සොහොයුරිය හා දරුවා සොයාගැනීමයි.

ඔහු එම සිද්ධිය මා සමඟ කීවේ මේ ආකාරයෙනි.

“අපි ඉමදුව ඉදලා ඇවිත් දෙවටේ නතර කළා හාල් වගයක් ගන්න. මම වාහනය නැවත්තුවේ මාතර පාරේ. වාහනයෙන් බැහැලා අපි තුන්දෙනා කඩේට යනවිට කට්ටිය කෑ ගැහුවා වාහය ගන්න කියලා. මම හැරෙන කොට මුහුදු වතුර ගහනවා කියලා ඇහුණා. අපි තුන්දෙනාම වාහනයට නැගලා පන ගන්වන්න හැදුවා ඒත් බැරිවුණා. අපි වාහනයෙන් බැහැලා මිනිස්සු දුවන පැත්තට දිව්වා. එක පාරටම වතුර පාරක් ආවා. පුතාව මම වඩාගෙන හිටියේ. මගේ නෝනාවත් ඇදගෙන දිව්වේ. කඩේක පඩිපෙළක් තිබුණා. ඒ පඩිපෙළ දිගේ උඩට නගින්න හදනකොටම බිරිඳ මගේ අතින් අතඅරුණා. වතුර පාරට අහුවුණු එයා ගසාගෙන ගියා. දරුවාත් ඒ සමඟම අත අරුණා. මම වතුරට පැනලා දරුවා අල්ලා ගත්තා. මට දරුවාගේ එක් කකුලයි අල්ලාගන්න පුළුවන් වුණේ. එයා එතකොටම ඉස්සිලා අතින් මුහුණ පිහදාලා මගේ දිහා බැලුවා. ඒ එක්කම ආපු රළ පහරින් දරුවාත් එක්ම මමත් වැටුණා. මට මගේ දරුවා අත අරුණා. කවුදෝ මාව උඩට ඇදලා ගත්තා.

අතුරුදන් වූ ඔවුන් සොයා අපි ඔවුන් සිටි ප්‍රදේශයට ගියෙමු. ඒ ප්‍රදේශයේ ද සියල්ල විනාශ වී ඇත. වෙනදා සුපුරුදු මාර්ග පවා අපට සොයාගත නොහැකි තරමට විනාශය දරුණුය. මුළු ගාල්ල ම යුද්ධයකින් විනාශ වූ නගරයක් වැනිය. ඔවුන් ගමන් කළ වාහනය මීටර 500ක් පමණ ඈතට පාවී ගොස් උඩුකුරුව පෙරැළී නතර වී තිබිණි. අසළ තිබූ ඇළ මාර්ගයක මළ සිරුරු 50ක් පමණ පාවෙමින් තිබූ අතර ජලයේ බැසගත් තරුණ පිරිස් ඒවා ගොඩගනීන් සිටිති. මේ වනවිටත් සිරුරු රැසක් රෝහලට ගෙන ගොස් තිබූ බැවින් අපි එහි ගියෙමු. ඒ සිරුරු අතර අප සොයන දෙදෙනා නැත. ගැහැණු පිරිමි බේදයක්, උස් මිටි පහත් බේදයක්, ජාති ආගම් කුල ගොත් බේද කිසිවක් නොමැතිව සියලු මළ සිරුරු රෝහලේ ඉඩ ඇති සෑම තැනකම ගොඩගසා ඇත. මිය ගිය කුඩා ළමයින් සිය ගණනකගේ ද සිරුරු ඒ අතර තිබේ. සියලු දෙනා මේ දෙස බලන්නේ හැඬූ කඳුළිණි. සිය ඥාතියකුගේ සිරුර හඳුනාගත් අය විටින් විට නගන විලාප හඬ රෝහල් භූමිය පුරා පැතිරී යයි. මියගිය අය සොයා පැමිණෙන දහස් සංඛ්‍යාත පිරිසගෙන් රෝහල පිරී ගොස් තිබේ.

පසු දා පහන් වූයේ ද මුළු මහත් ප්‍රදේශයම තවදුරටත් අවිනිශ්චිතව තබමිනි. ඉවත් කළ නොහැකි වූ මළ සිරුරු තැන තැන කුණු වෙමින් පවතී. රෝහලට ගෙන ගිය මළසිරුරු කිහිපයක් හඳුනාගත්ත ද හඳුනානොගත් බොහොමයක් ඉදිමී විකෘති වී කුණු වෙමින් තිබිණි. සියලු ප්‍රදේශයන්ගෙන් හමා ආවේ දැඩි දුගඳකි.

රෝහලෙන් මළ සිරුරු බාරගන්නා පිරිස් සිය ඥාතීන් වෙනුවෙන් පෙට්ටි රැගෙන ආවද පසුව රැගෙන ආ පෙට්ටි කිසිවක් නිමාවකින් යුතු ඒවා නොවුණි. දෙවැනි දිනයේ දහවල් වන විට රෝහලෙන් ගන්නා මළ සිරුරු ඉටි රෙද්දක ඔතාගෙන යාමට සිදුවිය. පසුව ඉටිරෙදි ද නොමැති විය. කරාපිටියට පැමිණෙන බොහේා දෙනකුට තම මියගිය දුවගේ පුතාගේ සැමියාගේ බිරිඳගේ මවගේ පියාගේ සිරුරු හඳුනාගත හැකි වුව ද ඒවා නිවසට ගෙන යාමට නොහැකි විය.

ඔවුන්ගේ නිවාස තිබූ තැනක්වත් සොයාගත නොහැකිය. අතේ තඹ දොයිතුවක් නැත. තිබුණේ හැඳ සිටි වස්ත්‍ර පමණි. මියගිය ඥාතියා වෙනුවෙන් අවසන් ගෞරව දැක්විය නොහැකිව කම්පාවන මිනිසුන් දෙස අපි බලා සිටියෙමු. හැකි පමණින් ඔවුන්ට උදව් කරන්නට ඉදිරිපත් වූවන් සිටිය ද කොපමණ පිරිසකට උදව් කරන්නේ ද යන්න පිළිබඳ නිමාවක් ද නොවුණි.

මේ වනවිට මිය යන්නට ඇතැයි සිතා සිටි පෙර කී ඥාතිය සොයුරියගේ ම සිරු හෝ සොයා ගැනීමේ අපේක්ෂාවෙන් යළි දෙවට ප්‍රදේශයට ගිය මට සිනමා පටයක හෝ දැකගත නොහැකි වූ දර්ශනයක් දැකගත හැකිවිය.

මියගිය සිය පියාත්, මවත්, සැමියාත්, දරුවන් සිව් දෙනකුගේත් සිරුරු හතක් පොලිතීන්වලින් ඔතා නිවසක තබාගෙ බිම වාඩිවී ඒ දෙස බලා සිටින කාන්තාවකගේ දර්ශනය මට කිසි දා අමතක නොවන්නකි. ඒ අසළ පුංචි ඉටි පන්දමක් ආයාසයෙන් පත්තු වෙයි.

ඇය සමඟ මම කතා කළෙමි.

“අනේ මම මොනවාට ඉතුරුවුණා. හැමෝම මැරිලා. මේ ටික වළ දාලා මම මුහුදේ පැනලා මැරෙනවා. ජීවත් වෙන්නේ නම් නැහැ. ගෙයක් දොරක් නෑ ඔක්කොම විනාශ වෙලා. මම මේ කට්ටියව හොයාගෙන මෙතෙන්ට ගෙනාවා. ළමයි වගයක් ඇවිත් කිව්වා වළක් කපලා දෙන්නම් කියලා. ඊට පස්සේ වළ දානවා. හත් දොහේ දානේ දීලා මමත් මේ අය ගිය තැනටම යනවා.”

ඇය කීවේ තමන් බෞද්ධ කාන්තාවක බවයි. ඇගේ ඥාතීන්ගේ සිරුරු තැබා ඇත්තේ දෙවටේ මුස්ලිම් ව්‍යාපාරිකයකු සතුව තිබූ හෝටලයකය. එහි බිත්ති හතරින් දෙපස බිත්ති සහ උඩ ඇති කොන්ක්‍රීට් ස්ලැබ් එක ඉතිරව ඇත. අන් සියල්ල විනාශ වී ගොසිනි. ව්‍යවසනය හමුවේ ජාති ආගම් බේද නැත. ඇයගේ පවුලේ සිරුරු මිහිදන් කරන්නට උදව් කරන්නේ අවට මුස්ලිම් සහෝදරවරුය.

දෙසැම්බර් 27 වැනි දිනයත් මළ සිරුරු අතරම ගෙවී ගියේය. අප නිවස අසළ පදිංචි පුද්ගලයකුගේ ආදාහනයක් පැවැත්විණි. හික්කඩුවේ දී සුනාමියට හසුව මියගිය ඔහුගේ සිරුර සොයාගත හැකිව තිබූ බැවින් ආදාහන කටයුතු සිදුකරන අවස්ථාවේ මම ඒ නිවසට ගියෙමි. එක් කුඩා සාමණේර හිමිනමක් පැමිණ ආගමික වතාවත් ඉටු කරයි. නිවැසියෝ එම අවස්ථාවට සහභාගී වී සිටිති. සාලයේ තැන්පත් කර ඇති එම පෙට්ටියෙන් අධික දුගඳක් හමයි. එය වසා දමා ඇත. ඒ මෙහොතේ මා එහි නොගියානම් පෙට්ටියට අත ගැසීමට පිරිමි හතර දෙනකු නැත. සුනාමියෙන් සිදුවූ මරණයන්ට අත්වූ ඉරණමයි ඒ.

දෙසැම්බර් මස 29 වැනි දින සවස ගාල්ල කොටුපවුර අසළ මහාමාර්ගයේ පෙරළී තිබූ බෝට්ටුවක් මත මියගිය කුඩා ළමයින් තිදෙනකුගේ සිරුරු දක්නට ලැබිණි. ඒවායේ ශරීර බෝනික්කන් මෙන් ලා පැහැ ගැන්වී තිබූ අතර කළු වී ගිය හම තැන තැන ඉතිරිවී තිබිණි. ඉදිමී විකෘති වී ගිය මුහුණු අතිශය බිය උපදවන සුළුය. ඒ අසළ මුහ මුහුද දැන් නිශ්චලය. මෙවන් විනාශයක් කරන්නට අප ආදරය කළ මහ මුහුද දරුණු වූයේ කෙසේදැයි සිතා ගත නොහැක. මේ ඛේදවාචකය අත්විඳි මම සුනාමියෙන් අවතැන් වූ මිනිසුන්ට හඬක් විය යුතුයැයි ඉටා ගත්තෙමි. අවසානයේ මධයවේදියකු බවට යළි ක්‍රියාත්මක වන්නට පටන් ගත්තෙමි. එහි ප්‍රතිඵලයක් ලෙස සුනාමි පිළිබඳ ඉන්දියාවේ තිබූ මාධය වැඩමුළුවකට ද සහභාගී වීමේ අපූරු අවස්ථාවක් මට හිමිවිය.

එම වැඩමුළුවේ දී මා අත්දුටු මේ සිදුවීම් හා කළ කී දෑ කියන විට ඉන්දියාවේ මාධ්‍යවේදීහු මුඛ අයාගත්වනම බලා සිටියහ. ඔවුන් මේ තරම් දරුණු සුනාමියක් අත්විඳ තිබුණේ නැත. සියයකට අඩු සංඛ්‍යාවක් මියයාම ගැන ඔවුන් පවසද්දී තෙල්වත්ත දුම්රිය අනතුරින් මියගිය අප කතා කිරීම ඔවුන්ට මහත් පුදුමයක් විය.

අද, එදා සුනාමිය ගැන බොහෝ දෙනෙකුට මතක නැත සැබැවින්ම මේ සුනාමියට සෘජුව මුහුණ පෑ අපට එය බියකරු සිහිනයක් වැනිය. සෑම වසරකම සුනාමිය සමරමින් සමරු උත්සව සංවිධානය වෙයි. අද දිනයත් එවැනි තවත් සැමරුම් දිනයක් පමණි.

නමුත් සුනාමියෙන් අපට ඉගෙන ගත යුතු දේ බෙහොමයක් තිබේ.

ස්වභාවික ආපදා හමුවේ ශ්‍රී ලංකාවේ මධ්‍ය ඉටුකරන කාර්ය භාරය පිළිබඳ අප වෙනම අධ්‍යනයක් කළ යුතුයැයි අද නැවත සිහිපත් විය.

එය පසුවට තබමු.

නැවත මෙවන් විපතක් ලෝ වැසි කිසිවෙකුට අත් නොවේවා යන්න සැමගේ ප්‍රාර්ථනය වනු ඇත.

(සජීව විජේවීර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!