spot_img
spot_imgspot_img

“ශීතාගාරවල ආසාදිත සිරුරු තබාගැනීම භයානකයි” – ගාල්ලේ මළ සිරුරෙන් සනාථ වෙයි

පුවත්

විදෙස්

කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදනයේ උපදෙස් නොතකා මළ සිරුරු ශීතාගාරවල තබාගැනීම කොරෝනා වයිරසය ගබඩාකර තබාගැනීම හා සමාන බව ගාල්ලේ ආන්දෝලනයට තුඩුදුන් මළ සිරුරෙන් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි අධිකරණ වෛද්‍යවරු කියති.

ගාල්ල දෙද්දුගොඩ දී මියගිය පුද්ගලයාගේ මළ සිරුර රජයේ වියදමින් ආදාහනය කිරීමට ගෙන යාමට පෙර ගන්නාලද සාම්පලවලින් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ද එම මළ සිරුරේ කොරෝනා වයිරසය සක්‍රීය මට්ටමේ පැවැති බව තහවුරු වීමත් සමගම කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ අංශයේ වෛද්‍යවරු මේ බව ප්‍රකාශ කළහ. එම සාම්පලය ගෙන තිබුණේ මියගොස් දින 05ක් ගතවූ පසුවය. මෙතෙක් වෛද්‍යවරුන්ගේ පිළිගැනීම වූයේ මළ සිරුරක කොරෝනා වයිරසය පවතින්නේ දින 04ක කාලයක් බවයි. නමුත් මළ සිරුරක කොරෝනා වයිරසය පවතින කාලය පිළිබඳ නිශ්චිතව දැනගැනීම සඳහා පර්යේෂණයක් සිදුකර තිබුණේ නැත.

මෙම පීසීආර් පරීක්ෂණ වාර්තාව අද (26) උදෑසන එම ඒකකයට ලැබී තිබිණි. 84 හැවිරිදි වියේ පසු වූ එම පුද්ගලයා පසුගිය 19 වැනි දින උදෑසන නිවසේ දී මියගොස් තිබිණි. කොරෝනා ආසාදනය වී රෝහල්ගතව පැමිණ සිටි අයකු බැවින් ඔහුගේ මරණය කොරෝනා ආසාදිතයකු ලෙස සළකා ආදාහනය කිරීමට ඥාතීන් එරෙහි වූ බැවින් 20 වැනි දින මළ සිරුරෙන් පළමු පීසීආර් පරීක්ෂණය සිදුකළ අතර ඉන් තහවරු වූයේ ඔහුගේ සිරුරේ ඒ වනවිටත් කොරෝනා වයිරසය ඇති බවයි.

නමුත් එම ප්‍රතිඵලය පිළිගැනීමට ඥාතීන් සූදානම් නොවූ අතර ඔවුන් මියගිය පුද්ගලයා මුස්ලිම් ජාතිකයකු බැවින් දේහය ආදාහනය කිරීමට එරෙහිව අධිකරණයට ද ගියේය. මේ අතර 22 වැනි දා මළ සිරුරෙන් දෙවැනි පීසීආර් පරීක්ෂණයක් පැවැත්වූ අතර එයින් ද සනාථ වූයේ තවදුරත් එම සිරුරේ කොරෝනා වයිරසය සක්‍රීය මට්ටමේ තිබෙන බවයි. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වීසින් දුන් නියෝගය අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි දේහය දඩල්ල ආදාහනාගාරයේ දී 24 වැනි දින එනම් මියගොස් දින 05කට පසුව ආදාහනය කෙරිණි.

දේහය ආදාහනාගාරයට රැගෙන යාමට මොහොතකට පෙර ඉන් ලබාගත් සාම්පල යළි පීසීආර් පරීක්ෂණයකට යොමුකිරීමට කටයුතු කෙරිණි. එම පරීක්ෂණයේ ප්‍රතිඵල අද (26) ලැබුණු අතර එම වාර්තාවෙන් තහවරු වන්නේ ද සිරුර ආදාහනය කළ 24 වැනි දිනයේ දී ද එම මළ සිරුරේ කොරෝනා වයිරසය සක්‍රීය මට්ටමක පැවැති බවයි.

මේ පිළිබඳ විශේෂ අදහස් දැක්වීමක් කරන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර, රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා, විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර පවසන්නේ මෙම සිරුරෙන් කරන ලද පීසීආර් පරීක්ෂණ අනුව මළ සිරුරක වයිරසය සක්‍රීය මට්ටමේ පවතින ආකාරය පිළිබඳ පැහැදිලි අදහසක් මතුවන බවයි.

ඇතැම් කණ්ඩායම් විසින් කොරෝනා මෘත දේහ ශීතාගාරවල තැබීම සඳහා ඉල්ලීම් කළ ද එය ප්‍රායෝගික නොවන බවත්, මේ අනුව මළ සිරුරුක් ශීතාගාරයක තැබීමෙන් එහි කොරෝනා වයිරසය වැඩි දින ගණනක් සක්‍රීයව පවතින බව තහවුරු වී ඇතැයි ද වෛද්‍යවරු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!