spot_img
spot_imgspot_img

“බුදුන් වඳින්න ආවොත් බාවනවා” බුදුන් එපා වූ චණ්ඩි හාමුදුරුවරු තර්ජනය කරති

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර මුදා නොගත් ප්‍රදේශයක් වී ඇති බවත්, විශ්වවිද්‍යාලය තුළ නිදහසේ අධ්‍යාපන කටයුතු පවා කරගෙන යා නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බවත් එම විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝ කීහ.

වල්පොළ ශ්‍රී රාහුල හිමියන් විශේෂ පනතක් මගින් ස්වාධීන විශ්වවිද්‍යාලයක් ලෙස බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආරම්භ කළේ ආරාමික පරිසරයක් තුළ භික්ෂූන් වහන්සේලාට අධ්‍යාපනය ලබා දී ධර්මදූත වහන්සේලා බිහිකිරීමේ අපේක්ෂාවෙන් වුව ද දැන් සිදුවෙමින් පවතින්නේ වෙනත් දෙයක් බව ද උන්වහන්සේ කියති.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ හෝමාගම පිටිපන ප්‍රදේශයේය.

මෙහි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බුදුන් වැඳීම, බුද්ධ පූජාව පැවැත්වීම නයාට අඳුකොළ මෙන් වී ඇතැයි ද මහෝපාධ්‍ය හිමියෝ කියති. මෙහි සිටින ශිෂ්‍ය භික්ෂූන්ට බුද්ධ වන්දනාවට සහභාගී වන්න යැයි දැන්වීමක් යොමුකළ විට ඉන් කුපිත වූ එම භික්ෂූන් පොලු මුගුරු රැගෙන පැමිණ නේවිසාකාගාර‍ පාලක හිමියන්ගේ කාර්යාලය වටලා “බුදුන් වඳින්න ආවොත් බාවනවා” යැයි පවසා තිබෙන බව මහෝපාධ්‍ය හිමියෝ කියති. එමෙන් ම එහි ඇති බෝධි අංකුරයක් ඉවත්කරන ලෙස ද ශිෂ්‍ය සංගමය විසින් තන්ට දැනුම් දී ඇතැයි නෙළුවේව සුමනවංශ හිමියෝ සඳහන් කළහ.

බුදුන් වදින්නට යැයි කී විට බාවනවා යැයි තර්ජනය කරන භික්ෂූන් වහන්සේලා ආගමික වතාවත් ප්‍රතික්ෂේප කරන බැවින් නේවාසිකාගාරයේ ඇති බුදු මැදුරේ බුද්ධ පූජාව තැන්පත් කරන්නේ ගිහියෙකු විසිනි. මේ වනවිට එම නේවාසිකාගාරවලට නේවාසිකාගාර පාලකවරුන් තිදෙනාට මෙන් ම වෙනත් කිසිවෙකුට ඇතුළුවීමට ශිෂ්‍ය භික්ෂූන් වහ‍න්සේලා ඉඩ නොදෙන බව ද වාර්තා වේ. මේ හේතුවෙන් නේවාසිකාගාරයේ සිදුවන කිසිම දෙයක් සම්බන්ධයෙන් තොරතුරු ලබාගත නොහැකි වී ඇත.

උපාධිය අවසන් කළ ඇතැම් භික්ෂූන් වහන්සේලා රැවුල් සහ කොණ්ඩය වවාගෙන නේවාසිකාගාරවල බලහත්කාරයෙන් රැඳී සිටින බවත් ඇතැම් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා නිවාඩු කාලයේදී පවා නේවාසිකාගාරවලින් පිටතට නොයන බවද සඳහන් කරයි. එමෙන් ම නේවාසිකාගාරවලින් ඉවත්න ලෙස ලිඛිතව දැනුම් දුන්න ද එම නියෝග නොතකා ක්‍රියාකරන බව ද වාර්තා වේ.

නේවාසිකාගාරවල සිටින ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා රාත්‍රී 12.00 පසු වන තුරු ම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අශෝභන සහ ඝෝෂාකාරී ලෙස හැසිරෙන බවට අවට පදිංචිකරුවන් විසින් දිගින් දිගටම පැමිණිලි කර තිබේ එය නවත්වන්න යැයි විශ්වවිද්‍යාල පාලන අධිකාරිය දැනුම් දුන් විට විශ්වවිද්‍යාල සංස්කෘතිය අනුව එසේ කරන බව ද ශිෂ්‍ය භික්ෂූහු කියති.

එමෙන් ම අලුතෙන් බඳවගන්නා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අමානුෂික ලෙස නවක වදය ලබාදදෙන බවට ද පැමිණිලි රැසක් තිබේ. අලුතෙන් බඳවාගත් සිසුන් 17 දෙනෙක් නේවසිකාගාර හැර වෙනත් ආරක්ෂිත නේවාසිකාගාර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර විදේශීය ශිෂ්‍යයන් 40 දෙනකු නේවාසිකාගාරවල පවතින ගෝෂාකාරී බව ගැන චෝදනා කරමින් විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව යාමට සූදානම් වන බව ද මහෝපාධ්‍ය හිමියෝ කීහ.

මෙම තත්වය වහාම පාලනය නොකළහොත් අධ්‍යාපනය ලැබීමට කැමැත්තෙන් සිටින ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට එය දැඩි හානිකර තත්වයක් බවත්, මෙවැනි කටයුතු කරන්නේ සිසුන් 50-60ක පමණ පිරිසක් බවත් මේ හේතුවෙන් සංඝ සමාජයම ප්‍රතික්ෂේප වීමේ ගැටලුවක් ද ඇති බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!