spot_img
spot_imgspot_img

පාරම්පරික පළිබෝධ මර්දන ක්‍රම මගින් ගොවිතැන සරුකර ගැනීම

පුවත්

විදෙස්

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පර්යේෂණ නිලධාරී ආර්.එම්.රණවීර බණ්ඩා සහ කෘසිකර්ම මෙහෙයුම් නිලධාරී ඩබ්.ඩී.එස්.එල්. ප්‍රනාන්දු විසින් සකසන ලද ලිපියකි.

ඈත අතීතයේ සිට අපේ පාරම්පරික ගොවීන් තම වගාවන්ට වැළ‍ඳෙන රෝග හා පළිබෝධකයින් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සටනක යෙදී සිටි පුරාණ කාලයේ අපේ ගොවීන් පළිබෝධ  මර්ධනය සඳහා විවිධ ආගමික විශ්වාස සහ ඇදහිලි මත වූ කෙම් ක්‍රම,  ස්වභාවික මර්ධන ක්‍රම, යාන්ත්‍රික සහ ජෛව විද්‍යාත්මක ක්‍රම ආදිය භාවිත කළහ. පසුව ජනගහනය වර්ධනයත් සමඟ ම ආහාර නිෂ්පාදනයේ අවශ්‍යතාව වැඩි විය. මේ නිසා ස්වභාවර්ධනයයට එරෙහිව සූක්ෂම වගා  කම භාවිතයත් වැඩි දියුණු කළ බීජ වර්ග භාවිතයත් වැඩිවීම නිසාත් නව තාක්ෂණය බිහිවීම තුළින් 1960 ගණන්වල දී ඇති වූ හරිතවිප්ලවයත්  නිසා කෘෂිකර්මාන්තයේ දී පලිබෝධනාශක භාවිතය ආරම්භ විය.

අතීතයේදී අපේ ගොවියන් වගා කළ දේශීය ප්‍රභේද රෝග හා පළිබෝධවලට මරොත්තු දීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පැවති අතර ඔවුන් භාවිත කළ ක්‍රමවේදයන් නිසා බහුලව පළිබෝධ හානි දක්නට නොලැබිණි. තවද අපේ ගොවීන් මිශ්‍ර වගා ක්‍රමයන් අනුගමනය කළ නිසා ද නියමිත කාලයට වගාවන් ආරමික කිරීම් සහ සාමුහිකව ගොවිතැන් කිරීම නිසා ද පළිබෝධ හා රෝග හානි අඩුවිය. එසේම එකම යැපුම් මට්ටමේ ගොවිතැනක් වූ බැවින් තනි බෝගයක් ලෙස විශාල ප්‍රමාණයෙන් වගා නොකොට ගොවියාට එදිනෙදා  අවශ්‍ය සෑම දෙයක්ම ලබා ගැනීම සදහා මිශ්‍ර වගාවන් කරන ලදී. මේ නිසා බලවත් ලෙස කෘමින්ගෙන් හානි සිදු නාවූ අතර සුළු සුළු අවස්ථාවල දී ඔවුන් ගතානුගතික කෙම් ක්‍රම් සහ ස්වභාවික ක්‍රම මගින් පළිබෝධ හානි අවම කර ගත්තේත්ය. එබැවින් පරිසර භානිය සහ හිතකර කෘමීන්ට වන භාතිය අවම විය. එමගින් මිනිසාටද අහිතකර බලපෑමක් ඇති නොවීය.

ගොවිතැන සිංහලයාට ජීවනෝපාය පමණක් නොවීය. එය ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය වන ආහාර සඳහාම වැදගත් වන කාර්යයකට වඩා උතුම් පුජනීය කාර්යක් වුයේය. ගොවිතැන් හා සම්බන්ධ එම උතුම් ගෞරව සම්ප්‍රයුක්ත භාවයේ පදනම වුයේ ආගම හා ආගමික විශ්සයන්ය. එබැවින් කුඹුරු, ගොයම සහ හේනේ ආරක්‍ෂාව සඳහා කෙම් පහන් පැවැත්වීමත් ඒවා කෙරෙහි අචල විශ්වාසයක් පවත්වාගෙන යැමත් එකල සමාජයේ සිරිතක් විය.

පැරණි ගොවියෝ භෞතික හා අධ්‍යාත්මික වශයෙන් තම කාර්යයක් ඉටුකරගැනීම සඳහා දැනුමෙන් ස්වයං පෝෂිත විය. ඔවුනට බැහැරින් සේවාවක් අවශ්‍ය නොවීය ගොවිතැනට අවශ්‍ය සේවාව තමාටම සපයා ගැනීමට හැකිවිය. තමුන් කාකාලයත් සමග ඔවුන් එම දැනුමත් දුරස්ථ විය. එබැවින් අද ගොවියාව අවශ්‍ය දැනුම, පොහොර, කෘමිනාශක හා බීජ ආදී සෑම දෙයක් ම මිලට ගත යුතුවේ. මෙයට හේතුව ගොවිකම ගොවියාගෙන් ඈත් වීමයි

කෘමිනාශක භාවිතයේ ප්‍රතිඵල

කාෂිකාර්මික කටයුතුවල දී වගාවන් කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීමටත් රෝග කාරක ජීවිත් මර්ධනය කිරීමටත් පළි‍‍බෝධ නාශක ද්‍රව්‍ය යොදාගැනීම සීඝ්‍රයෙන් වැඩිවිය. රසායනික සංයෝග වන කෘමි නාශක භාවිතයෙන් කෘමීන් විනාශ කිරිීම ඉක්මන් ප්‍රතිඵල ලබාදෙන හෙයින් හා යෙදිමට පහසු බැවින් එය අය ප්‍රචලිත කෘමි මර්ධන ක්‍රමය බවට පත්ව ඇත. එහෙත් එයින් අද මතුව ඇති අර්බුද රාශියකි. විෂ සහිත පළිබෝධ නාශක ද්‍රව්‍යයන් භාවිතය එක් අතකින් ජනතාවගේ සෞඛ්‍යයට දැඩි අභියෝගයක් වී ඇත. රසායනික ද්‍රව්‍ය කෘමීන් මර්ධනයට අමතරව එම ද්‍රව්‍ය බෝගවල කාලයක් ගැබ්ව තිබී මනුෂ්‍ය ශරීරයට ඇතුළු වීම නිසා මිනිසාට උදර රෝග මොළයේ රෝග, හදවත් රෝග, ස්නායු රෝග හා පිළිකා රෝග ඇතිවීමට හේතු කාරක ‍වන බව විද්‍යාඥයන් විසින් සොයාගනෙ ඇත.  

තවත් පැත්තකින් රටේ ස්වභාවික සෞන්දර්ය ඔප කරවන පක්ෂීන්ගේ පැවැත්මටද මිරිදිය මසුන් හා ජලජ ජීවින්ගේ බෝවීමටද එල්ල වී ඇත්තේ විශාල තර්ජනයකි. එමෙන්ම පළිබෝධ නාශක යෙදීමේ අවිධිමත් බව නිසා පළිබෝධ ගහනය වැඩි වී ඒවා පාලනය කර ගැනීම අසීරු තත්ත්වයකට පත්වී ඇත. පළිබෝධ නාශක වලට ප්‍රතිරෝධී කෘමි පළිබෝධ ජීව දර්ශ ඇතිවීම නිසා කෘමි ගහනය අධික වීමත් මර්ධනය අපහසු වීමත් සිදුවේ

වගාවන්ට හානි සිදු කරනු ලබන සෑම පළිබෝධ කෘමියතුම විනාශ කරන හිතකර කෘමින් පරිසරය තුළම සිටී. අපරික්ෂාකාරි කෘමි නාශක භාවිතය හේතුවෙන් කෘමි මර්ධනයේදී ඉතාම වැදගත් කාර්ය භාරයක් ඉටුකරන හිතකර කෘමීන් වන කෘමිභක්‍ෂක කෘමීන්, ගෝනුස්සන් සහ මකුළුවත් විනාශ විය හැකි අතර ඔවුන් ආරක්‍ෂා කිරීමෙන් පළිබෝධ හානියද මඟහරවා ගත හැක.

පළිබෝධ යනු

වගාවට හානි කරන සෑම ජීවියෙක්ම ය. කෘමින් පමණක් නොව මීයන් වැනි කුඩා සතුන්, වල් සතුන්, වල් පැළ දිලීර, බැක්ටීරියා සහ වයිරස් සියල්ල පළිබෝධ ගණයට අයත් වේ. පළිබෝධකයින් මිනිසාට සහ මිනිසා විසින් වගා කරනු ලබන බෝගවල වර්ධනයට, බෝවීමට සහ අස්වැන්නට සෘජුවම හෝ වක්‍රව බලපෑම් ඇති කරයි.

පළිබෝධ ගහනය වැඩි වීමට හේතුන් සැලකූ විට බොහෝ ගොවීන් වැඩි ආදායමක් ලබාගත හැකි බෝග (මිරිස්, ළූණු වැනි) මහා පරිමාණයෙන් එකම ස්ථානයේ දිගින් දිගටම වගා කිරීම, වැඩි දියුණු ප්‍රභේද වගා කිරීම. පළිබෝධ ගහනය වැඩි අවුරුද්දේ සමහර මාස සමපාත වන ලෙස වගාවත් ආරම්භ කිරීම සහ වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අභිලාෂයෙන් රසායනික පොහොර සහ ජලය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර භාවිත කිරීම පළිබෝධකයින් වර්ධනයට හිතකර තත්ත්ව පළිබෝධි ගහනය වැඩි වීමට බලපානු ඇත.

කෘමිනාශක වලින් පමණක් කෘමීන් පාලනය කළ හැකිද?

පුරාණයේ අපේ පාරම්පරික ගොවි මහතුන් ඔවුන්ගේ අත්දැකීම් අනුව කන්නයට වගා කිරීම. යාය එකට වගා කිරීම, යාන්ත්‍රික ක්‍රම, ජෛව විද්‍යාත්මක ක්‍රම සහ රසායනික ක්‍රම ආදිය භාවිත කර කෘමීන් මර්දනය කර වගාවන් ආරක්ෂා කර ගත්හ. වර්තමානයේ අප භාවිත කරන ඒකාබද්ධ පළිබෝධ පාලනය නමැති සංකල්පය පුරාණයේ ගොවිත්ද යොදාගෙන ඇති බැව් අපට පැහැදිලි වේ. නමුත් කෘමිනාශක පමණක් භාවිත කර කෘමීන් මර්දනය කර ගැනීමට අපහසු බව ඔවුන් ද දැන සිටියහ.

ඒකාබද්ධ පළිබෝධ පාලනය

පළිබෝධ පාලන ක්‍රම කීපයක් ඒකාබද්ධව යොදා ගනු ලබන ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රම කෘෂිකාර්මික බෝග නිෂ්පාදනය සඳහා උපයෝගී කර ගැනීම විශේෂයෙන් අවශ්‍යව ඇත. ඒකාබද්ධ පළිබෝධ පාලනය යනු විවිධ ක්‍රම මගින් පළිබෝධ ගහනය හැකිතාක් දුරට අඩු කොට කිසියම් උපරිම මට්ටමකට වඩා පළිබෝධ ගහතයන් වැඩි වන්නේ නම් පමණක් අවශ්‍ය ස්ථාන වලට අවශ්‍ය වේලාවන්හි දී පමණක් පළිබෝධනාශක යෙදීම මගින් පළිබෝධකයින් පාලනය කර ගැනීම ඒකාබද්ධ පළිබෝධ පාලනය ලෙස සැලකේ.

අවධිමත් ලෙස කෘමි නාශක භාවිතයේ අහිත කර ප්‍රතිඵල නිසා කෘමිනාශක මගින් මර්දනය කළ නොහැකි කෘෂි දර්ශ පරිසරයේ ඇතිවීම.

යම් කෘමි විශේෂයක ගහණයකට කෘමිනාශකයක් යෙදූ විට එයින් 99% ක්ෂණිකව හෝ පමා වී හෝ මිය යා හැකිය. එම කෘමි ගහණයේ සාමාජිකයන් තුළ යොදන ලද කෘමිනාශකයකට ඉතා පහසුවෙන් ගොදුරු වන තත්ත්වයේ සිට ඉතා තදින් ඔරොත්තු දීම දක්වා ඊට දක්වන ප්‍රතික්‍රියාවේ ස්වභාවය වෙනස් විය හැක. මෙය ස්වභාවික සිද්ධියකි. එනිසා යෙදු කෘමිනාශකයෙන් නොමැරී ඉතිරි වන කෘමියාගෙන් ඉදිරියට බෝවෙත කෘමීන් අතරින් පරම්පරාවෙන් පරම්පරාවට වැඩි ප්‍රතිශතයක් කෘමිනාශකයකට ඔරොත්තු දීමේ හැකියාව සහිත වූවන් වන විට, කලක් ගතවෙද්දී මුළු ක්‍ෂේත්‍රය පුරාම ඇතැම් විට දක්නට ලැබෙනු ඇත්තේ එකී නාශකයට මුළුමනින්ම ඔරොත්තු දෙන ගහණයක් විය හැක. උදාහරණ ලෙස අප රටේ මැලේරියා මදුරුවා මර්දනයට ඩී. ඩී. ටී. යෙදීම කාලයක් තිස්සේ කරගෙන ගොස් අවසානයේ අතහැර දැමීමට සිදු වූ අන්දම මේ අනුව පැහැදිලි වේ.

ඵලදායී ලෙස පළිබෝධ නාශක භාවිත කරනුයේ කෙසේද?

පළිබෝධ නාශක භාවිතා කළ යුත්තේ අවශ්‍ය වූ විටදී පමණි. පළිබෝධනාශකය ඵලදායි ලෙස භාවිත නොකළහොත් පරිසරය දුෂණය වී ස්වභාවික තුල්‍යතාවය බිඳ වැටෙනවා පමණක් නොව අවශ්‍ය ප්‍රයෝජනයද නොලැබේ. කෘමිනාශක ඉසිත වේලාව ද ඵලදායී පළිබෝධ පාලනයක් සඳහා වැදගත් වේ. වැස්සකින් පසු හෝ වැස්සක් ආසන්නයේ කෘමිනාශක භාවිත කළහොත් වැස්සට සේදී යයි. නැතහොත් පින්න නිසා සාන්ද්‍රගතිය අඩු වීමෙන් අවශ්‍ය ප්‍රතිඵල නොලැබී යයි. පළිබෝධ නාශක මිලදී ගන්නා අවස්ථාවේ සිට එය භාවිත කොට භෝගයකින් අස්වැන්න ලබා ගන්නා අවස්ථාව දක්වා සිදුකරනු ලබන ක්‍රියාවලිය පිළිබඳව එබැවින් සැලකිලිමත් විය යුතුය. ආරක්ෂගී ලෙස පළිබෝධ නාශක භාවිතාද ඉතා වැදගත් වේ.

  • මුහුණු ආවරණ පැළදීම
  • .දිග කලිසමක් හා අත්දික කමිසයක් පැළඳීම
  • අත් වැසුම් භාවිතා කිරීම
  • පළිබෝධ නාශක ඉසීමට කලින් සුළං අත බලා තමාගේ ඇඟ දෙසට පළිබෝධ නාශක නොයන පැත්තේ සිට පළිබෝධ නාශක ඉසිය යුතුය.
  • පළිබෝධ නාශක ඉසින අවස්ථාවේ බුලත්විට කෑ, දුම් පානය, කෑම වර්ග අනුභවය නොකළ යුතුය.

රසායහික ද්‍රව්‍ය භාවිතාය නිසා, සිදුවන අහිතකර බලපෑම් සඳහා ඉක්මන් ප්‍රතිකාර නොයදුවහොත් ඉතාම භයානක ප්‍රතිඵලවලට ද මුහුණ දීමට සිදුවේ. එම නිසා රෝග සහ පළිබෝධ පාලනය සඳහා රසායනික ද්‍රව්‍ය වෙනුවට අනාදිමත් කාලයක පරම්පරාවෙන් පැවත එන ඉතා සරල සහ පහසු ප්‍රදායික ක්‍රම කිහිපයක් අප කතුව ඇති අතර මේ සඳහා අවධානය යොමුකළ යුතු කාලද දැන් එළඹ ඇත.

මෑතකදී අප රටේ භාවිතයට හුරු වූ පළිබෝධනාශක ද්‍රව්‍යයන් එදා අපේ මුකුත් මිත්තත් භාවිත නොකළත් එකල අපූරුවට සිය වගාවන් කෘම වසංගත වලින් ආරක්ෂ කර ගැනීමට පැරැන්නෝ දක්ෂ වූහ. ඒ සඳහා ඔවුහු විවිධ උපක්‍රම, කෙම් ක්‍රම මෙන්ම ඔෂධ වර්ග ද උපයෝගී කරගත්හ. එම උපාය මාර්ග සාර්ථක වන්නනට ඇත්තේ ඒවායේ විද්‍යාත්මක සත්‍යයක් විය නිසා විය හැක. එවැනි විද්‍යාත්මක සත්‍යයන් අදට ද වලංගු විය හැකි බැවින් පාරම්පරික පරිසර හිතකාමී පළිබෝධ මර්ධන ක්‍රම කෙරෙහි අවධානය යොමුකළ යුතුව ඇත. මෙම ක්‍රම මගින් පරිසර හිතකාමී කෘමීන් ද ආරක්ෂා වීම සිදු වේ.

පාරිසරික පරිසර හිතකාමී පළිබෝධ මර්ධන ක්‍රම

  1. කෙම් ක්‍රමය
  2. ශාක කොටස් භාවිතය
  3. ආලෝකය මගින් / පහන් උගුල්
  4. ශබ්දය මගින්
  5. උගුල් ඇටවීම
  6. කුලු ගෑම
  7. කල්යල් බලා ගොවිතැන් කිරීම
  8. චිත්ත බලය

කෙම් ක්‍රම

කම් ක්‍රම යනු  පළිබෝධ පාලනය සඳහා අප සතු දේශීය ඥානයකි. මෙම දේශීය පළිබෝධ පාලන ක්‍රම ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ වර්ග කර දැක්විය හැකිය. එනම් ජෛව විද්‍යාත්මක ක්‍රම, ඖෂධ ක්‍රම හා යාන්ත්‍රික ක්‍රම වශයෙනි.

බොහෝ කෙම් ක්‍රම කරන ලද්දේ සවස් වරුවේය. නැත්නම් අඳුර වැටීමට ආසන්න වන විට දී ය. ගොක් මැස්සා බොහෝ විට බිත්තර දමන්නේ සවස් කාලයේ පත්‍ර මතයි. දුඹුරු පැල කීඩෑවා ගෙඩවෙල්ලා හා කොපු පණුවාගේ හානිය වැඩිපුර සිදුවන්නේ රාත්‍රී කාලයේ දී ය. මේ අනුව අතීත ගොවියාට පළිබෝධකයාගේ ක්‍රියාකාරී කාලය පිළිබඳ සියුම් දැනුම්ක තිබූ බව අපට වැටහේ. කෙම් කිරීමෙන් පසු දින තුනක් පමණ යනතුරු කුඹුරට නොයන ලෙස උපදෙස් දෙන්නේ ඖෂධ මගින් කෘමි පාලනය කිරීමට යම් කාලයක් ගතවන බැවිනි.

ජෛව විද්‍යාත්මක ක්‍රම

  • පණු භාතිය කලනය කිරීම සඳහා කපුටන් සහ අතිකුත් කුරුල්ලන් කුඹුරට ගෙන්වා ගැනීම සඳහා සිසු බත් හා කිරිබත් කුඹුරේ විසිරවීම
  • විවිධ වර්ණයෙන් යුත් මල් පහන් සෑදීම. මෙම මල් පහන්වල විවිධ වර්ණයෙන් යුක් මල්වලට රත් පැහ මල් ද මුසු වූ විට එය මාංශයක් ලෙස අහසට දිස්වේ. එය දකින මාංශ භක්ෂක කුරුල්ලෝ කෙතට එති.
  • පක්ෂීන් කුඹුරට ආකර්ෂණය කර ගැනීම සඳහා කෙතට ආධාරක සිටුවීම. මෙම ආධාරක මත මුං ඇට පැළකිරීම හා කිරිබත් තැබීම සිදුකරයි.
  • කෙතෙහි මැද තැගින් තැක ගස් වැවීමෙන්ද පළිබෝධ පාලනයට වැදගත් කාර්යයක් ඉටු වේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ මී ගස්ය. මී ගස පක්‍ෂීන්ට කූඩු තනන්නට හොඳ වාසස්ථානයකි.
  • මැස්සකු අල්ලා මුදා හැරීමේ කෙමද පෙරමෝන් භාවිතා වන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මෙහිදී කෙනත් අල්ලා ගන්නා ගොයම් මැස්සකු කෙතෙන් පිටතට ගෙන ගොස් හිස වටා කරකවා අත හරිනු ලැබේ.  ගොයම් මැස්සා සතුව ආවේණික ගන්ධයක් ඇති බව අපි දනිමු. එය පෙරමෝන් ඩිය හැකිය. මැස්සා ගොවියාගේ හිස වටා කරකවන විට මැස්සාට ඇතිවන අපහසුතාව හිසා ඌ වැඩිදුර එම ගන්ධය නිකුත් කරනුයේ ආරක්ෂිත ක්‍රියාවක් වශයෙනි. ඒ ගන්ධයට ආකර්ෂණය වන කෙතෙහි සිටින ගොයම් මැස්සන් කෙතේ සිට ඒ දෙසට ඇදී එනවා විය හැකිය.

ඖෂධ භාවිතා ක්‍රම

පළිබෝධක අනුව ඖෂධ යෙදිය යුතු ආකාරය ගැන ද විශේෂඥ දැනුමක් පැරැන්නන් සතුව තිඛි ඇත. උදාහරණය ලෙස දලුක් තැලීම, දලුක් පෙති දැමීම, අන්නාසි පිති හා මුඩු අතු තැලීම, කලවැල් කෙම හා තිත්ත වැල් කෙම දක්විය හැකිය

මෙයින් කලවැල්, තිත්ත වැල් හා අන්නාසි යන ඖෂධ ගොප් මැස්සා කඳ මැස්සා සාර්ථකව පාලනය කරන බවත් විශ්වාස කෙරේ. කෙම් ක්‍රමවලදී ඖෂධය කෙතේ ජලයට මිශ්‍ර කර මුල් මඟින් ගසට උරා ගැනීමට සලස්වයි එමගින් ගස තුළ හෝ කඳෙහි පිටිඟ කෘමීන්ට ගස තුළින් ඖෂධය ලබාදීම මගින් උන් පාලනය කරයි.

බොහොමයක් ශාක සාර පලිබෝධනාශක පළිබෝධකයන් මරණයට පත් කරහු වෙනුවට වෙනත් ක්‍රම මගින් උගේ වර්ධනය හා පැතිරීම පාලනය කරයි. කොහොඹ ශාක සාරය බොහොමයක් කාමීන්ගේ හැව හැලීමටත්, රූපාන්තරණයටත් බලපානු ලැබේ. මේ නිසා ඒ කාමීන්ගේ පියාපත්, ස්පර්ශක හා පාදවල ආබාධ ඇති වන බවත්, ඒ නිසා ඒ කෘමින් බෙලහීන වී ඒ වගාවට වන භාතිය අවම වන බවත් සොයාගැන

යාන්ත්‍රික ක්‍රම

මේ යටතේ ප්‍රධාන වශයෙන් යොදාගෙන ඇත්තේ ආහාර උගුල් කා ආලෝක උගුල් සහිත කෙම් ක්‍රමය. ඊට අමතරව පහසුවෙන් ලබාගත හැකි අමුද්‍රව්‍ය යොද ගනිමින් සරල යන්ත්‍ර සාදා ජලයෙන් හෝ සුළඟින් ක්‍රියාත්මක කරවා ශබ්ද නැගීට සළස්වා පළිබෝධකයන් බියපත් කර පළවා හැරීමේ ක්‍රම ද භාවිතා කර ඇත. පහන් උගුලේ පදනම වි ඇත්තේ රාත්‍රී කාලයේ දී ඉතා දීප්තිමත් පහන් දැල්වීමයි. ‍මේ දීප්තිමත් දල්ලට ඇදී එන මැස්සන් එක්කෝ දැල්ලට හසුවී පිළිස්සී මිය යති. නැතහොත් දැල්ල වටා පියඹා අඩපන වී කුඹුරේ ජලයට වැටෙති.

වැලි මතුරා ඉසීම

සමහර අවස්ථා වලදී වැලි සමග දුම්මලද මතුරා ඉසිනු ලැබේ. වැලි පහර නිසා දුර්වල වන පලිබෝධකයා එක්කෝ කෙතේ ජලයට වැටී මසුන්ට ගොදුරු වේ. එසේත් නැත්නම් පලා යයි. ඉතුරු වූ සතෙක් වූයේ නම් ඌ දුම්මල ගන්ධයට ඉවත් වේ.

ශාක කොටස් භාවිතය

  • දලුක් අතු කැබලිවලට කපා වක්කඩ වලට දමීමෙන් ජලය මගින් එම කොටස් ලියද්ද පුරා විසිරි යෑමෙන් කෘමීන් හා පණුවන් මර්දනය වේ.
  • කොහොඹ ඇට සහ කරඳ ඇට එකට එක ගෙන හොඳින් වංගෙඩියෙන් කොටා පොඩි කර වතුර දමා මිරිකා ගන්න. මිරිකා ගත් සාරයට කලවැල් කපා තලා එයට වතුර දමා මිරිකා ගත් සාරය කලින් මිරිකා ගත් මිශ්‍රණයට සමානව මිශ්‍ර කර කල ගෙඩියක හෝ බැරල් එකක දින 03 ක් තබා පිල අත්තකින් ගොයමට ඉසින්න.
  • කුඹුරු වල මීයන්ගේ හානිය දුටු ගොවීන් අන්නාසි කොළ ගලවා කුඹුරේ තැනින් තැන තබනු ලැබේ. මෙය කරනු ලබන්නේ කතා කිරීමෙන් තොරවය. මෙම අන්නාසි ගොබ සර්පයන් යැයි රැවටීම නිසා මියන්ගේ හානිය අඩු වේ. ඒ වගේම අන්නාසි පත්‍ර කුණු වීම නිසා ඇති වන දුගඳ මගින් මීයන් පලවා හරියි.
  • හණ ගොබ කුඹුරේ තැනින් තැන සිටවීමෙන් ඒවා කුණු වීම මගින් ඇතිවන දුගඳ නිසා මීයන් පලවා හරියි.
  • පැපොල් කඳ සහ පත්‍ර කුඩා කොටස් වලට කපා මියන් ඇති ස්ථාන වලට තැබීමෙන් මීයන් පලවා හරියි. දලුක් කොළ මිටි බැඳ කුඹුරේ තැනින් තැන එල්ලීම මගින් කෘමීන් පලවා හරියි.
  • කප්පරවල්ලිය කොළ අතු කුඹුරේ තැනින් නැත එල්ලීමෙන් ද ගොයම් මැස්සා පලවා හරියි.
  • හබරල පෙති කුඹුරට දැමීම ඒවා දිරාපත් වීම මගින් එම ගන්ධයට  බිංඌරාගේ හානිය අවම වේ.
  • පුස්වැල් හෝ කලවැල් හොඳට අඹරා වක්කඩයේ ජල මාර්ගයට දමයි එමගින් කෘමින් මර්දනය වීම සිදු වේ.
  • මහපට්ටා ගසේ පොත්ත ( අක්කරයකට කිලෝ 5 ක්) හොඳට අඹරා කුඹුරේ වක්කඩවලට දමයි. මෙමගින් මැස්සන් මර්දනය වීම සිදුවේ.
  • කොළ ඉවත් කරන ලද කෙසෙල් පිති තැනින් තැන සිටවා ඒ මත කිරිබත් තබනු ලැබේ. ඒ වගේම කෙසෙල් පිති උඩ තෙල් පහන් තබයි. තුරුල්ලන් කිරිබත් කෑමට යන විට කිරිබත් කුඹුරට වැටෙයි. එවිට එම කුරුල්ලක් විසින් කුඹුරේ ඇති කාමින් කෑමට ගනියි.
  • කැකුණ ගෙඩි පත්තුකර කුඹුරේ තැබීම මගින් කාමින් පළවාහරියි.
  • ඉත්ත කොළ කොටා වියල් දුමට සමඟ මිශ්‍ර කර වස්කඩවල තැබීමෙන් පණුවන් මර්දනය වේ.
  • මඩු මල් වංගෙඩියේ දමා කොටා කුඹුරට දමීම මගින් කමින් පළවා හරී

සියලුම ගොවින් එකතුවී යකදුරු කෙනකු ගෙන්වා කෙම්මුර දිනවල (සෙනසුරාද, බදාදා  මල් පැළවල් කීපයක් සාදා පුවක් මල්වලින් පරසයි. මෙම පුවක් මල්වලට යාතිකා කර කුඹුරේ තැනින් තැන එල්ලා දිවිකදුරු කෝටු එකසිය අට වාරයක් මතුරා ඉරිදා  දිනයක සවස් වරුවේ කුඹුර් මුළු හනක සිටවයි.

තුන් කිරි ප්‍රතිකාරය

කිරි වර්ග 3 ක් භාවිත කරයි. එනම් කොස් කිරි. දෙල් කිරි සහ පොල් කිරි මිශ්‍ර කර පත්තිනි දෙවියන්ට පූජා කරයි. දෙවියන්ට පූජා කිරීමෙන් පසු පුවක් මලෙකින් කුඹුරට ඉසියි. එමගින් සෘමින් පාලනය වේ

පස් තෙල් මැතිරීම

මී, තල, එඬරු, පොල් සහ කොහොඹ යන තෙල් වර්ග 5 මිශ්‍ර කර පරණ සිවුරු වලින් සාදා ගන්නා ලද පන්දම් හතරක පොඟවා කුඹුරේ හතර මුල්ලේ සිටවයි. කුකුළා හැඬලීමට පෙර පන්දම සිටවයි. එම තෙල් 108 වාරයක් මතුරා කුඹුරට ඉසිනු ලැබේ. එමගින් කෘමින් පාලනය වීම සිදු වේ.

ආලෝකය මගින් / පහන් උහල්

  • ආලෝකයක් දුටු විට මැස්සන් ඇදී ඒම සිරිතකි. එය වටහා ගත් ගොවියා සහන් දැල්වීම වැනි උපක්‍රම ප්‍රයෝජනයට ගත්තේය. මැස්සන්ට පහත උගුලක් බවට පත්වන බැවින් එයට පහත් උගුල් ලෙස හඳුන්වයි. පහනට ඇදී එන මැස්සන් පහන් දැල්ලට ගොදුරු වී විනාශ වෙයි.
  • පොල් කෝම්බ රිටිවල ගසා තෙලින් පෙභ වූ පාත්කඩ ඔබා ගිනි දැල්වීම සමහර ප්‍රදේශවල සිදු කරයි. ඒ වගේම පොල් කෝම්බයක පාන්කඩ පුරවා කැකුණ තෙල් දමා අවුළුවා කුඹුරේ ලියද්දක් ගානේ ගොස් අන්තිමේදී කුඹුර ආසන්නයේ ගොඩබිමක එය රඳවා තැබීම තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවීන් විසින් කරනු ලබයි.
  • සිවුරු පහන් දල්වීම නුවර කලාවියේ මෑතක් වන තුරු පැවතියේය. පන්සලේ හාමුදුරුවන් ඉවත් කරන සිවුරු වලින් පහන්තිර අඹරා මී තෙල් හි පොඟවා කදුරු කෝටු වල බැඳ දල්වා කුඹුරේ තැනින් තැන සිටුවීම කරනු ලබයි.
  • කුඹුරේ හතර පැත්තේ ගොක් කොළ වලින් සාදා ගත් මල් පැළ හතරක් පත්තු කර (පහන සඳහා පැපොල් භාගයක් භාවිත කරයි) පිරිත් කරන ලද වැලි කුඹුරට ඉසියි. මේ සඳහා වැලි සේරු තුනක් භාවිත කරයි. පසුව දින තුනක් යනතුරු කුඹුරට ඇතුළු නොවේ.
  • පරණ සිවුරු වලින් පහන් තිර සාදා පොල්තල් 108 වාරයක් මතුරා එම තෙල්වලින් පහත් පත්තු කරයි.
  • වී වපුරන දිනවල සේරුන් නමැති පක්‍ෂීන් විසින් වී ඇට උරා බිම නිසා විශාල හානියක් සිදුවේ. මෙය වැළැක්වීම සඳහා ද අතේ පැරැණි ගොවින් කුඹුරේ පහන් දැල්වීම සිදු කරයි.

ශබ්දය මගින්

  • කෘමි හානි පවතින කාලවලදී බෙරයක් වයමින් කුඹුරට ගියේය. බෙරයේ විවිධ තාල අනුව විවිධ සංඛ්‍යාත වලින් වාතය කම්පනය වේ. කම්පන ධාරාවලට ඔරොත්තු නොදෙන කෘමීන් මැරී වැටෙකි. නැත්නම් පලා යති. මෙහිදී භාවිත කරන්නේ ශබ්දය පිළිබද භෞතික විද්‍යාත්මක සිද්ධාන්තයකි.
  • මල් යහනත් තන දවුල එහි තබා 21 වරක් මතුරා දවුල ගසමින් ගොවිපොළ වටා ඇවිද පිටවී ගොස් තුන් වරුවක් ගතවන තෙක් කෙතට ඒමෙන් වැළකී සිටියි.
  • බෙර ගැසීම – ගොයමට මැස්සන් බෝ වූ විට බෙරයක දෙපැත්තේ රතන සූත්‍රයේ ගාථාවක් ලියා කයිල වැලකින් බෙරයට තට්ටු කරමින් කුඹුර වටා ඇවිද කුඹුරෙන් පිට වී ගොස් එදින හුදකලාව සිටිය යුතුයි.

කල්යල් බලා ගොවිතැන් කිරීම

සූර්යයා මිථුන, කන්‍යා, ධනු සහ මීන යන රාශිවල ගමන් කරන සූර්ය මාස, කෝණ මාස ලෙස හඳුන්වයි. මෙම කෝණ මාසවල වෙනත් සුබ කටයුතු ( ගෙවල් සැදීම, අකුරු කියවීම සහ විවාහ මංගල කටයුතු) හැර ගොවිතැන් කටයුතු වලට සුඛ ලෙස පැරැණි ගොවින් හඳුනාගෙන ඇත. එම නිසා මහ සහ යල කන්න වල දී මෙම මාසවල ගොවිතැන් කටයුතු කිරීමෙන් කෘමි හානි අවම වන බව පැරැණි ගොවීන්ගේ විශ්වාසයයි.

ජුනි 15 – ජුලි 15

සැප්තැම්බර් 15 – ඔක්තෝබර් 15

දෙසැම්බර් 15 – ජනවාරි 15

මාර්තු 15 – අප්‍රේල් 15

යන මාස කෝණ මාස ලෙස හඳුන්වයි. ජනවාරි 15 සිට මාර්තු 15 දක්වා කාලය තුළ පස තිත්ත බවද ගොවින්ගේ හැඟීමයි. එම කාලය තුළදී ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සුදුසු නොවන බව ගොවීන් විශ්වාස කරයි. එයට ප්‍රධාන හේතුව වන්නේ එම කාලය තුළ දී පසේ සිටින ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අවම වීමයි.

චිත්ත බලය

පිරිත්, කෙම් නා යන්ත්‍ර මන්ත්‍ර ද ගොවියාගේ චෛතසික යහගුණ ද මුසු කරමින් ගොවිතැන් කිරීම තිරසාර ගොවිතැනේ මුලධර්මයයි. කන්නය පටන් ගැනීමට පෙර පුජා පැවැත්වීම, බාරවීම. පොල් ගෙඩියක් එල්ලීම, පඬුරක් ගැට ගැසීම හා කිරි ඉතිර වීම, කන්නය අවසානයේ නැවත කිරි ඉතිරවීම, අඩුක්කු පිදීම, අලුත් සහල් මංගල්‍යය වැනි උත්සව පැවැත්වීම, මුට්ටි නැමීම්, ගම්මඩු පැවැත්වීම සහ අං ඇදීම ආදී ක්‍රියාවන් නිසා ආධ්‍යාත්මික ශක්තියෙන් ගොවිතැන් කටයුතු සාර්ථක වන බව ගොවීන්ගේ විශ්වාස යයි.

අපේ පැරැණි ගොවි මහතුන් එදා කාමි නාශක භාවිත නොකර ස්වාභාවික මර්දන ක්‍රම, යාන්ත්‍රික, භෞතික, ජෛව විද්‍යාත්මක සහ ආධ්‍යාත්මික ක්‍රම ආදිය භාවිත කරමින් පලිබෝධ මර්දනය කරගෙන ගොවිතැන් කටයුතු කරන ලදී. වර්තමානයේ අප ඒකාබද්ධ පලිබෝධ පාලනය ලෙස සලකන පලිබෝධ පාලන ක්‍රමයේ බොහෝ අවස්ථාවන් පුරාණයේ ගොවීන් ද භාවිත කර ඇත. මේ නිසා එකල සමාජය තුළ වර්තමානයේ මෙන් පරිසර දූෂණය, හිතකර කෘමින් විනාශවීම, රෝගී තත්ත්ව ඇතිවීම වැනි ආපදා සිදු නොවිණි.

(මෙම ලිපියේ අන්තර්ගතය මුළුමනින්ම එහි කතුවරුන් සතුය. මෙම ලිපියේ ඇත්තේ පාරම්පරික විශ්වාසයන් මත පදනම් කරගත් තොරතුරු සමුදායකි. එහි ඇතැම් කරුණු විද්‍යාත්මක ව තහවුරු කළ නොහැකිය. එවැනි කරුණු අඩංගු වුව ද මෙම ලිපිය මෙරට සම්ප්‍රදායික දැනුම සම්බන්ධව සාරගර්භ කරුණු අඩංගුව ඇති බැවින් ප්‍රකාශයට පත්කරන්නෙමු. විද්‍යාත්මක කරුණු සහ ඒවා අතර ඇති විද්‍යාවෙන් බැහැර වූ කරුණු පිළිබඳ ඔබ නූතන දැනුම සමඟ තේරුම්ගත යුතු බව පාඨකයන්ගෙන් rata.lk අපි ඉල්ලා සිටින්නෙමු.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!