spot_img
spot_imgspot_img

“රසිකත්වය” සිසු පරපුරෙන් පලා ගිහින්. ‍සමාජය නිර්වින්දනය වෙලා

පුවත්

විදෙස්

විචාරය, සිනමාව, ගීතය ඇතුළු සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඉසව් ගණනාවක් වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් ඉටු කරමින් සිටින මහාචාර්ය සුනිල් ආරියරත්න සිංහල සාහිත්‍යය පමණක් නොව, දෙමළ සාහිත්‍යය පවා මෙරට පාඨකයාට සමීප කරවීමට ගත් වෙහෙස සුළුපටු නොවේ. සිංහල ගීත කලාව සුපෝෂණය කරනු වස් ඔහුගෙන් ඉටුවූයේ අමිල මෙහෙවරකි. ඒ ගීත සියල්ල ම පාහේ රසික හද නොමැකෙන සටහන් තබා අවසානය.

නමුත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවසන්නේ මේ වනවිට සිසු පරපුරෙන් “රසිකත්වය” පලාගොස් ඇති බවයි.

සාහිත්‍ය කලා ක්ෂේත්‍රවල විශ්වවිද්‍යාල පද්ධතිය තුළ යම් පසුබෑමක් ඇත්තටම දක්නට ලැබෙනවා. විශ්වවිද්‍යාලවල මානව ශාස්ත්‍ර ඉගැන්වීම් බිඳ වැටීමට ලක්වුණේ අද ඊයේ නොවෙයි. එය කාලාන්තරයක් තිස්සේ සිදු වූ දෙයක්.

විශ්වවිද්‍යාලයේ පවත්නා ඒක පාර්ශ්වීය දේශපාලන පසුබිමත්, සිසුන්ගේ දැනුම මොට කිරීමට හේතුවක් වෙනවා. මෙතනදීත් සිදු කරන්නේ ශිෂ්‍යයා දේශපාලන නායකයන් පවසන දේ කටපාඩම් කිරීම පමණයි.

අපි සිංහල ව්‍යාකරණ ගනිමු. විශ්වවිද්‍යාලය තුළ මූලික ව්‍යාකරණයක් උගන්වන්නේ නැහැ. විශ්වවිද්‍යාලයට එන ශිෂ්‍යයා භාෂා සාහිත්‍යය ගැන මූලික අවබෝධයක් ලබා ඇතැයි ආචාර්යවරයා විශ්වාස කරනවා. ඒත් බොහෝ සිසුන්ට එවන් මූලික දැනුමක්වත් නෑ,

බොහෝ කාලයක සිට අපට හමුවන්නේ “ටියුෂන් පන්තියේ” සටහන් කටපාඩම් කර විභාගය සමත් වූ සාහිත්‍ය කලාව ගැන අතිරේක දැනුමක් නැති ශිෂ්‍ය පිරිසක්.

එදා පන්තියක දේශනයක් කරන විට ළමයි ඊට ප්‍රතිචාර දැක්වූවා. ආච‍ාර්යවරයා සමඟ තර්ක විතර්ක කළා. ඒත් අද පන්ති කාමරයේ සිටින්නේ සුවච කීකරු නිහඬ ශිෂ්‍ය පිරිසක්. ඔවුන් ප්‍රාණීන් බව අපට වැටහෙන්නේ ඇසිපිය හෙළන පමණින්. බිත්තියකට දේශනයක් පැවැත්වීමේත් මෙවැනි පන්ති කාමරයක දේශනයක් පැවැත්වීමේත් වෙනසක් නෑ. රසිකත්වය මේ සිසු පරපුරෙන් පලා ගිහින්.

දේශනය තේරුණූ බවටවත්, නොතේරුණු බවටවත් ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නෑ. තමන්ට ගැටලුවක් ඇත්නම් පන්ති කාමරයේ නැගී සිට එය ඉදිරපත් කරන්නවත් ශිෂ්‍යයාට ශක්තියක් නෑ. සමාජය නිර්වින්දනය වෙලා.

අපේ කාලේ පැරණි සාහිත්‍ය කෘතියකින් පරිච්‍ඡේද කිහිපයක් නියම වෙලා තිබ්බොත් ගුරුවරයා ඒ මුළු පොතම අපට කියා දෙනවා. ඒත් අද විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන විෂය ඒකක ක්‍රමය නිසා ඒ ඉඩ කඩ ඇහිරී තිබෙනවා. මානව ශාස්ත්‍ර විෂයයන් නීරස වැදගැම්මකට නැති ඒවා බවට ළමයින්ට තහවුරු කිරීමයි මේ ඒකක ක්‍රමයෙන් සිදුවෙන්නේ.

සම්භාව්‍ය සාහිත්‍යයේ තියෙන රසවත් ම පද්‍ය කාව්‍ය ලෙස සැලකෙන්නේ කව්සිළුමිණයි. අපේ කාලයේ නියම වෙලා තිබුණේ එහි පරිච්ඡේද පහක් පමණයි. අපේ ගුරුවරු එය වසරක් පුරා ඉගැන්නුවා. අපිත් මේ ඒකක ක්‍රමය එනතුරු වසරක් පුරා මේ පොත ශිෂ්‍යයන්ට ඉගැන්නුවා.

අවුරුද්දක්වත් නැතිව එවන් විශිෂ්ඨ කාව්‍යයක් විඳගන්න බෑ. ඒත් මේ විෂය ඒකක ක්‍රමය තුළ කව්සිළුමිණ ඉගැන්වීමට ඇත්තේ පැය අටක් පමණයි. එයින් පැහැදිලි වෙන්නේ දරුවන්ට සැබෑ සාහිත්‍යය ඥානයක් නොලැබෙන බවයි. මුලින් කීවා මෙන් සමස්තයක් ලෙස බැලුවොත් පාසල්වල සිට විශ්වවිද්‍යාලයට එන දරුවන්ගෙන් අපි අපේක්ෂා කරන මූලික දැනුම නොමැතිවීම බරපතළ ගැටලුවක්.

මෙය පාසල් අධ්‍යාපන ක්‍රමයේ පටන් නිවැරදි විය යුත්තක්.

වින්දනාත්මක අධ්‍යාපනයක් විශ්වවිද්‍යාලනේ නොලබන ශිෂ්‍යයන් ඉන් පිටව විශ්වවිද්‍යාලයේ ගුරුවරු වූ විට තමන් නොලැබූ සාහිත්‍ය වින්දනයක් තම සිසුන්ට කොහෙන් දෙනන් ද ? මේක චක්‍රයක්. අපට ඉගැන්නුවේ විද්වතුන් වූ රසවතුන්. ඒත් දැන් එවැන්නන් බිහිවන්නේ කලාතුරකින්.

මේ සියලු දේ අතර ඇතැම් පාසල්වල සීමිත දරු පිරිසකුත් ඇතැම් විශ්වවිද්‍යාලවල කීප දෙනෙකුත් සිසු දරු දැරියන්ගේ කුසලතා වර්ධනය කර ගන්නට දිරි දෙන බවත් කිව යුතුයි.

ගත වූ කාලයේ විශිෂ්ඨ ලේඛකයන් බිහිව ඇත්තේ උපාධිධාරීන් අතරින් ම නොවන බව අප පිළිගත යුතුයි. ඇත්තෙන් ම උපාධිය කියන්නේ දැනුම පිළිබඳ මූලික සහතිකයක් මිස නිර්මාණශීලීත්වය පිළිබඳ සහතිකයක් නොවෙයි. නිර්මාණකරුවන් වන්නේ විශ්වවිද්‍යාල පද්ධතියනේ මතු වූ අයම නොවෙයි.

මාර්ටින් වික්‍රමසිංහ, පරාක්‍රම කොඩිතුවක්කු, ඇරැව්වල නන්දිමිත්‍ර, පරාක්‍රම නිරිඇල්ල, ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රසන්න විතානගේ වැනි උදාහරණ ගණනාවක් ඒ වෙනුවෙන් සපයන්න පුළුවන්.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරු නිර්මාණශීලීත්වයෙනුත්, පර්යේෂණ ක්‍රියාකාරකම්වලිනුත් පසුබා සිටින බව පෙනෙන්නට තිබෙනවා. ශාස්ත්‍රීය පොතක් පතක් ලිවීමට උත්සුත වන්නේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියෙන් ම ඉතා ටික දෙනකු පමණයි. ඒත් පිටස්තර විද්වතුන් වැදගත් පර්යේෂණ කිරීමට උත්සාහ ගන්නා බව පෙනෙනවා.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අද සාහිත්‍ය විචාරයක් නෑ. සමස්ත සාහිත්‍ය ක්‍ෂේත්‍රය ගත්විට විචාර කලාව කණගාටුදායක ලෙස බිඳ වැටී තිබෙනවා. මීට දශක කිහිපයකට පෙර සාහිත්‍ය, නාට්‍ය කලාව, සිනමාව, සංගීතය, චිත්‍රකලාව ගැන කතා කළ හැකි පිරිසක් මෙරට සිටියා. අද එවන් විචාරකයන් අතේ ඇඟිලි ගණනටවත් නැති තරම්.

අද අඩු තරමේ නාට්‍යයක් නරඹන විශ්වවිද්‍යාල ඇදුරෙක් මා දකින්නේ ඉතා කලාතුරකින්. ඒත් විශ්වවිද්‍යාලයේ නාට්‍ය කලාව ඉගැන්වෙනවා. නාට්‍ය විචාරය කරනවා. ද්විභාෂිත උගතුන් හැලී යාමත් සමඟ මේ ක්ෂේත්‍රවල දුර්දශාව එළැඹෙන බවයි මට නම් සිතෙන්නේ. සැබෑ විචාරකයන් හිඟවීම නිර්මාණකරුවන්ගේ අවාසනාවක්.

මහාචාර්ය ගම්ලත් නිර්දය විචාරකයෙක්. ඔහු ඒ නිර්දය විචාරය ඉදිරපත් කරන්නේ පෙරපර දෙදිග භාෂා සාහිත්‍යය පිළිබඳ ශක්තිමත් අඩිතාලමක පිහිටා සිටිමින් බව හැම දෙනාම දැනගෙන සිටියා.

ශක්තිමත් මතවාදයකින් තොරව කෙරෙන කෑ කෝ ගැසීම්, බැන අඬ ගැසීම් විචාර ලෙස පිළිගැනෙන්නේ නෑ. නූතන සාහිත්‍ය විචාරයේ බිඳවැටීමට විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන් ම වගකිව යුතුයැයි මා කියන්නේ නෑ. සාහිත්‍ය විචාරය තියෙන්න ඕනේ විශ්වවිද්‍යාලවල විතරක් නොවෙයි. මාර්ටින් වික්‍රමසිංහ නමැති විචාරකයා බිහිවෙන්නේ විශ්වවිද්‍යාලයෙන් නොවෙයි.

මම කියන්නේ සාහිත්‍ය විචාර කලාව විෂයයක් ලෙස විශ්වවිද්‍යාලවල පැවතිය යුතු බවයි. විචාරකයා පෙර අපර දෙදිග සාහිත්‍යය පිළිබඳ මනා දැනුමක් ඇත්තෙක් වගේම නිර්මාණ දෙස උපේක්ෂා සහගතව බැලිය හැකි කෙනෙක්. එවැන්නන් නැති වෙනව කියන්නේ විචාර කලාවක් නැති වී යාමයි.

(ලංකාදීප සාහිත්‍ය විමර්ශා අතිරේකයේ ගාමිණී කන්දෙපොළ විසින් මහාචාර්ය සුනිල් ආරියරත්න සමඟ සාකච්ඡා කර ඉදිරිපත් කරන ලද සංවාදයක් පදනම් කරගනිමින් මෙම ලිපිය ලියන ලදී)

මහාචාර්ය සුනිල් ආරියරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!