spot_img
spot_imgspot_img

නිවසට ගල් ගසන, කෑමට වැලි දමන භූතයා ඇල්ලූ හැටි

පුවත්

විදෙස්

එකවිටම නිවසිින් අමුතු ශබ්දයක් ඇසිණි. ධර්මදාස ඉක්මණින් ක්‍රියාත්මක වූයේය. මේ ශබ්දය වෙනදා ඇසෙන ශබ්දයට වඩා වෙනස් ස්වභාවයක් ගත්තකි. ඔහු වහාම දිවගොස් ශබ්දය ආ ස්ථානය ගැන සොයා බැලුවේය. පුදුමයකි. කළු පැහැති තරමක් මිටි වකුටු වූ මිනිසුන් දෙදෙනෙක් තම නිවසින් එළියට බැස ඈතට ඇවිද යති.

“ඒ භූතයෝ මගේ ගෙදරට අරක්ගෙන සිටින භූතයන් දෙනේනා තමිය මේ ගියේ. අපිට මේ දේ නිතර නිතර අත්දකින්න ලැබෙනවා. නිතරම විවිධ ශබ්ද ඇහෙනවා. වෙනත් අය කතා කරනවා ඇහෙනවා. සමහර වෙලාවට කවුරු හරි ඇවිදගෙන එනවා. ඒත් බලනකොට කවුරුවත් පේන්න නෑ. මේක දැන් හරිම කරදරයක් වෙලා තියෙන්නේ.” නාගොඩ පදිංචි ධර්මදාස එසේ කීවේය.

ධර්මදාස මහතා මේ ගැන කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ට මේ බ පැවසීමෙන් පසු වෛද්‍යවරයා ඒ භූතයා ඇල්ලීමට ඔහුගේ නිවසට යාමට තීරණය කළේය. ඒ තනිවම නොවේ. ඒ අප කණ්ඩායම ද සමගිනි. ඒ අනුව පසුගිය දා අපි එහි ගියෙමු.

ඒ යනවිට ධර්මදාස, ඔහුගේ බිරිඳ, දරු දෙදෙනා, ධර්මදාසගේ පියා සහ බිරිඳගේ මව ද නිවසේ සිටියහ.

ධර්මදාසගේ බිරිඳත් පවසන්නේ නිතර නිතර තම නිවසට පැමණෙන මාර්ගයේ කතා කරමින් එන භූතයන්ගේ ශබ්ද ඇසෙන බවයි. ඇය පවසන්නේ ද මේ ශබ්ද ඇසෙන නිශ්චිත වේලාවක් නොමැති බවයි. එමෙන්ම විටින් විට වාහනවලින් නිවස ආසන්නයටම එන ශබ්ද ඇසුණ ද පැමිණෙන වාහනයක් නොමැති බව ද ඔවුහු කියති. බිරිඳ පවසන්නේ විටින් විට කට හඬ ඇසෙන බවයි. කතා කරමින් එන දෙදෙනකු පුතේ කියා කෑ ගසා තම සැමියා ධර්මදාස අමතන බව තමන්ට ද ඇසෙන බව ඇය කියන්නීය.

ඇය පපවසන පරිදි තවත් විටෙක පැමිණෙන්නේ තරුණයන් දෙදෙනෙකි. ඔවුන් තම ගෙවත්තට පැමිණ අයියේ යැයි කියා ධර්මදාස අමතයි. එහෙත් පැමිණි තැනැත්තෙක් නැත.

ධර්මදාස පවසන්නේ තමන්ට බිරිඳට සහ වැඩිමල් දරුවාට මේ ශබ්ද හොඳින්ම ඇසෙන බවයි.

මෙහි ව‍ිශේෂත්වයක් තිබේ. මේ පිළිබඳ පර්යේෂණය කරන වෛද්‍ය රූමි රූබන් හරස් ප්‍රශ්න ඇසුවේය. එයින් අනාවරණය වූයේ විවිධ පුද්ගලයන් කතා කරමින් පැමිණෙන බවට ශබ්ද ඇසුණ ද කිසිදු රූපයක් ඔවුන්ට පෙනී නොමැති වීමයි. ධර්මදාස මහතා පමණක් එක් දිනක් නිවසේ සිට පිටතට යන කළු පැහැති රූඵ දෙකක් දැක ඇතැයි පවසයි.

“මහත්තයෝ අපිට විතරක් නෙවෙයි පිට අයටත් මේ ශබ්දය ඇසෙනවා” ධර්මදාසගේ බිරිඳ කීවාය.

“කාටද ඇහුණේ” වෛද්‍ය රූමි ප්‍රශ්න කළේය.

“ආපු අයට ඇහිලා තියෙනවා.” සැමියා සහ බිරිඳ කීහ.

“මගේ තාත්තාටත් අහිල තියෙනවා.” ඇය කීවාය.

මේ අවස්ථාවේ දී ඇගේ පියා කැඳවූ වෛද්‍ය රූබන් ඔහු සමඟ ගෙවත්තේ පසෙකට ගොස් සාකච්ඡා කළේය. ඔහු පවසන්නේ මෙවන් කතාවකි.

“ඇත්තටම ඔය කියන ශබ්ද මටනම් ඇහෙන්නේ නැහැ මහත්තයෝ. එක දවසක්නම් එයාලටත් මටත් එක පාරටම ශබ්දයක් ඇහුණා. මට හොඳටම විශ්වාසයි ඒ මට ඇහුණු ශබ්දය මේ කිට්ටුව ගෙදරක කවුරු හෝ කෑ ගහන ශබ්දයක් කියලා. නමුත් මේ දෙන්නාම කියනවා භූතයෝ කියලා. මටනම් වෙන ශබ්දයක් ඇහිලා නැහැ.” එ තාත්තාගේ අදහසයි.

“තාත්තාට ඇහිලා තියෙන්නේ කවුරුහරි කෑ ගහන ශබ්දයක්නේ. තාත්තා ඒ ශබ්දය භූතයන්ගේ ශබ්දයක් කියලා විශ්වාස කරන්නේ නැහැනේ.” යනුවෙන් වෛද්‍ය රූමි මේ යුවළට කී‍වේය. ඔවුන් ඒ ප්‍රතිචාරයෙන් නිහඬ වූ බව පෙනෙන්නට තිබිණි.

නමුත් ධර්මදාස පවසන්නේ තමන් කුඩා කාලයේ සිට මේ නිවසේ විවිධ භූත බලවේග තිබෙන බව තමන්ට හොඳින් දැණුනු බවයි. නිතර නිතර ශබ්ද ඇසෙන බවත් තමන් විවාහ වනවිටත් මේ ශබ්ද අසන්නට ලැබුණු බවත් ඔහු කීවේය. ඒ පිළිබඳ අපට ඇති හොඳම සාක්ෂිය වූයේ ධර්මදාසගේ තාත්තා යූ.කේ.ගුණපාලය. ඔහු මෙසේ කියයි.

“ධර්මදාස මගේ පුතා. මම එයා එක්ක 2009 දක්වාම මේ නිවසේ ජීවත් වුණනා. ‍පුතා මේ වගේ ශබ්ද ඇහෙනවා කියන්නේ අද ඊයේ නෙවෙයි. එයා පොඩි කාලේ ඉදලාම කියනවා. අපි කාටවත් මේ ශබ්ද ඇහිලා නැහැ. අදටත් මටනම් ඇහෙන්නේ නැහැ. මම නම් මේවා විශ්වාස කරන්නේ නෑ.”

ධර්මදාසගේ බිරිඳ පවස්නනේ තමන් විවාහ වූ කාලයේ ම මේ ශබ්ද තමන්ට ද ඇසෙන්නට පටන්ගත් බවයි. අලවංගුවක් විසි කරන ශබ්දයකින් මෙය ආරම්භ වූ බව ඇය කියයි. තම නිවසට පැමිණෙන අමුත්තන්ට දොරවල් හයියෙන් වසා දමන ශබ්දය වහළට ගල් ගසන ශබ්දය ඇසී ඇති බව ද ඇය කියන්නීය.

“කවුරුහරි ආවම කෙකේ ගෙදරට ගල් ගහනවා ඇති. ඇතැම් විට ගෙදරට එන අය බිය කරන්න හිතාගෙන සාමාන්‍ය මනුෂ්‍ය චරිතයක් ම දොර ජනෙල් වේගයෙන් වසා දමනවා ඇති. අපිට එහෙම හිතන්න පුළුවන් නේද ?” යැයි වෛද්‍යවරයා යෝජනා කළේය.

ධරමදාස එය පිළිගැනීමට මැළිකමක් දක්වයි. ඔහු තරයේ ම කියා සිටින්නේ යම් අදෘෂ්‍යමාන බලවේගයකින් මේ ශබ්ද ඇති කරන බවයි.

ධර්මදාසගේ බිරිඳගේ මව තවත් අපූරු කතාවක් කීවාය.

“මම මේ ගෙදරට ඇවිත් දුව සමඟ දින කිහිපයක් ගත කරනවා. ඒ වගේ අවස්ථාවල දී ගෙදර ආහාර පිළියෙල කරන්නේ මම. ඇතැම්විට අපි හදන කෑමවලට වැලි දාලා. මේ ළඟ දී පරිප්පු ව්‍යංජනයකට ලුණු කැට දාලා තිබුණා. හුඟක් දවස්වලට බත් හට්ටියේ ඇඟිලි පාරවල් තියෙනවා. කවුරුහරි අත දාලා බත් බෙදාගෙන.”

ඔවුන් පවසන්නේ තමන් පිළියෙල කරගන්නා ආහාරය පවා භූතයන් අනුභව කරන බවයි.

“මිදුලේ තියෙන වැලි තමයි මහත්තයෝ බත් හට්ටියට දාන්නේ. දවසක් පුංචි කොණ්ඩ කෑලි තිබුණා. මේක වෙන්නේ හදිසියෙන්.” එසේ කීවේ ධර්මදාසගේ බිරිඳය.

ධර්මදාස තවත් කතාවක් කීවේය.

එක් දිනක් හීනයෙන් පැමිණි වයස්ගත කාන්තාවක් අන්න බද්දේගම දූ එල්ලිලා යැයි කියූ බවත් මම අල්ලපු ගෙදර ආච්චී යැයි ඇය කී බව ද ඔහු පවසයි. නමුත් අල්ලපු ගෙදර ආච්චී මියගොස් නැතැයි ද ඇය මියගොස් නැති බවත් තමා පැවසූ විට මේ හීනෙන් පැමිණි කාන්තාව ඈතින් ඈතට ගිය බවත් ඔහු කීවේය. එමෙන්ම සුනාමිය ඇතිවීමට පෙර තමන් ඇතුළු ඥාතීන් ගමන්ගත් වාහනයක් නිල් පැහැති වතුරකට හසුවන ආකාරය සිහිනෙන් දුටු බව ද ඔහු පවසයි.

මේ පවුල භූතයන්ගෙන් ගැලවීම සඳහා පුද පූජා රාශියක් සිදුකර තිබේ. ඒ සඳහා දස දහස් ගණනක් මුදල් වැයකර ඇත. දැනටත් නූල් බැඳ ආරක්ෂාවල් සිදුකර ඇත. එහෙත් ඒ කිසිවකින් සුවයක් ලැබී නැත.

පසුගිය දා මේ නිවසේ ඇත්තන්ගේ වේලපත්කඩ රැගෙන ගිය ස්ථානයකින් කියා ඇතතේ නිවසින් පිටතට යනවානම් ආරක්ෂාවක් කරගත යුතු බවයි. ඒ සඳහා රුපියල් 75,000ක් අවශ්‍ය බව ද දැනුම් දී ඇත. නිවසේ සිටිනවානම් වෙනස් ආකාරයක ආරක්ෂාවක් කළ යුතු බව ද ඔවුන්ට පවසා තිබේ.

අප සමඟ මේ ගමනට සහභාගී වූ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රදාස ලොකුගේ මෙසේ කීවේය.

“අපි මේ ගැන විද්‍යාත්කව හිතමු. මේ ගේ පිහිටා තියෙන්නේ කන්දක් මුදුනේ. ඒ වගේම ඈතින් ව‍ටේටම තවත් කඳු තියෙනවා. නිවස කෙළින්ම කඳු අතරින් දක්නට ලැබෙන සුළං කපොල්ලක් වගේ තැනකට විවෘතයි. ඒ නිසා ඈතින් එන ශබ්ද ඔබේ නිවසේ දෝංකාර දෙනවා. මෙන්න මේ ශබ්ද තමයි ඔය භූතයන් වගේ ඇහෙන්නේ කියා සිතන්න පුළුවන් නේද ?”

ධර්මදාස ඒ මතය පිළිගන්නේ නැත. ඔහු පවසන්නේ මේ හඬ තම නිවස ඇතුළින්ම හා ආසන්නයෙන් ම ඇසෙන බවයි.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසන්නේ චන්ද්‍රසේන ලොකුගේ පැවසූ කරුණ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරිම සුදුසු බවයි.

වෛද්‍යවරයාගේ නිගමනය වූයේ ධර්මදාස වසර ගණනාවක සිට පීඩා විඳි මානසික තත්ත්වයකින් තවමත් පෙළෙන බවයි. එය මේ වනවිට ඔහුගේ බිරිඳට සහ දරුවාට ද ආදේශ වී ඇතැයි ද වෛද්‍යවරයා කීවේය.

“භූතයන් කියා දෙයක් නෑ. මේවා තම තමන්ගේ මනසේ ගොඩනැගෙන දේවල් ඔවුන් ජීවත්වන සංස්කෘතිය අනුව තමයි මේ සංකල්ප ඇති වෙන්නේ. නිවසේ නිතර සිටින ධර්මදාසගේ පියාට මේ ශබ්ද ඇසෙන්නේ නැහැ. එමෙන් ම පිටිතින් පැමිණෙන ඇයට ද මෙවැනි ශබ්ද ඇසුණු බව පවසන්නේ ධර්මදාස සහ බිරිඳ පමණයි. ඒ ඇසී තිබෙන්නේ ද දොරවල් වේගයෙන් වසන ශබ්ද වැනි දේ නිසා අපිට  හිතන්න පුළුවන් දේ තමයි නිවැසියෙක් හෝ ඔවුන් සමඟ සිටින අසල්වැසියෙක් මේ ශබ්ද ඇතිකරනවා කියලා. ඒ වගේම බත් පතට වැලි දමන්නේත් වහළට ගල් ගසන්නේත් එම තැනැත්තා හෝ තැනැත්තිය විසින්ම විය යුතුයි. මේ වගේ ශබ්ද ඇසෙන්න ගන්නේ නිවසක සිටින පෞරුෂත්වයෙන් දුර්වලම තැනැත්තාට හෝ තැනැත්තියට. එය හිස්ටීරියා තත්ත්වයක්. එම තැනැත්තා එය ගෙදර අනෙක් අය සමඟ බෙදා ගන්නවා. ඒ කියන්නේ මෙය බෙදා හදා ගන්නවා. මේ වගේ අව්සථා දෙර අයට පමණක් නොවේ ඇතැම් අවස්ථාවල ගමේ විශාල පිරිසකට ඇහෙන්න ගත්තු අවස්ථා වාර්තා වෙලා තියෙනවා.”

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසන්නේ ධර්මදාස කුඩා කාලයේ සිට මේ ශබ්ද පිළිබඳ දැඩි විශ්වාසයකින් කටයුතු කර තිබෙන බවයි. ඒ අනුව ඔහු නිවසට කැන්දාගෙන ආ මනාලිය ද පසු කාලීනව මේ ශබ්ද භූතයන් විසින් ඇතිකරන ශබ්ද යැයි විශ්වාස කර ඇති බව ද වෛද්‍යවරයා කියයි. මේ ශ්ද සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ ඇසෙන ශබ්ද සහ ඔහු හෝ යම් ජීවමාන පුද්ගලයකු විසින් සිදුකරන ක්‍රියාවන් හේතුවෙන් සිදුවිය හැකි බවයි. නිවසට ගල් ගැසීම හා ආහාරවලට වැලි කොණ්ඩා කෑලි දැමීම යමකු විසින් හිතා මතාම හෝ එසේත් නැතිනම් නොදැනුවත්ව සිදුවන්නක් විය හැකි බව ද වෛද්‍යවරයා කියයි.

එදින සිදුකළ පර්යේෂණයෙන් අවබෝධ වූයේ මේ නිවැසියන්ගේ ඇති මානසික ඝට්ඨනය පිළිබඳ තවදුරටත් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවයි. ඒ සඳහා තමන්ගේ සහයෝගය උපරිමයෙන් ලබාදීමට ද ධර්මදාස සහ පවුලේ සියලු දෙනා වෛද්‍ය රූමි හා එකඟ වූහ.

(මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගල නම් හා ගම් වෙනුවට මනංකල්පිත නම් සහ ග්‍රාම නාමයන් යෙදීමට අප තීරණය කළ ද ධර්මදාස කියා සිටියේ මේ ගැටලුව දැන් විසඳී ඇති බැවින් ඒ පිළිබඳ සමාජය දැනුම්වත් කිරීම සඳහා තම නම පමණක් නොව ඡායාරූප පවා සඳහන් කරන ලෙසයි. නමුත් ඔහුගේ දරුවන්ගේ අනන්‍යතාව හෙළි කළ නොහැකි බැවින් අපි ඡායාරූප පළ නොකිරීමට තවදුරටත් තීරණය කළෙමු.)

2 COMMENTS

  1. ඔය භූතයෝ නෙවෙයි අල්ලන්න ඕන මෙන්න මේ වගේ උන්.

    රජයේ කාඩ් එක කා දමන දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ද විනාශ කරන, මුළු ආයතනයම හොර ගුහාවක් කරගෙන‍ ගසා කන ප්‍රධානීන් කීපදෙනා. දිවිහිමියෙන් උන් ආරක්ෂා කරන්නේ ඔය රජයේ සේවය නිවැරදි කරන්න කියලා ආණ්ඩුවෙන් පඩි ගන්න විගණන නිලධාරීන්.

    පළාත් විගණන දෙපාර්තමේන්තුවේ දෙවැනි නිලධාරියාට හොරුන් ආරක්ෂා කරන්න තියෙන්නෙ පුදුම අමාරුවක් .

    ගාල්ලේ ඉන්න රජයේ විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් දෙන්නා ගෑනු අය. ඒ දෙන්නා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ දූෂණ, වංචා, මහජන මුදල් හා රජයේ දේපළ අවභාවිතා කිරීම් වලට සහයෝගය දැක්වීම් හරිම පිළිකුල් .

    මේ වගේ හොරකංම් වලට උදව් කරන්නේ නිකං වෙන්න බෑ ඒවායේ කුට්ටිය මෙයාලට ලැබෙනවා අනිවාර්යයි. කාන්තාවන් දෙන්නෙත් මේ වගේ වැඩ කරන්න එක හරිම නින්දිතයි.

    ඒ අයගේ ළමයින්ට දෙන ආදර්ශය මොකක්ද ?

    විගණන පනත අහෝසි කරනවා කියලා ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කළේ හොරුන් සමග එකතු වෙන්න බැරි වෙන නිසාද ?

    ඉඳලා හිටලා ජාතික වශයෙන් වැදගත් වන කරුණු වලට විගණන විමසුම් දැම්මට ප්‍රාදේශීය වශයෙන් සිදුවන දූෂණ වල දී මොවුන් ඉන්නේ දූෂිතයන් සමගයි. ඒක රටේ මිනිස්සු හරියට දන්නේ නෑ.

  2. ඔයා භූතයා කොච්චිර ලස්සනද? පුෂ්පා දැක්කොත් ඔය භූතයා පැනල දුවනවා ෂුවර්.. පුෂ්පා දමන්නේ වැලි නෙවෙයි දකුණු පළාත්ටම අසූචි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!