spot_img
spot_imgspot_img

මහින්දයට ස්ථිර විදුහල්පති එයි. රිච්මන්ඩ් විදුහල්පති යයි ?

පුවත්

විදෙස්

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිධූරය සඳහා ස්ථිර විදුහල්පතිවරයකුගේ පත්කිරීම අනුමත කළ බව ‍රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඒ.ඩබ්ලිව්.ආර්.විමලවීර පවසයි.

ගාල්ල මහින්ද විද්‍යාලයට වසර 06කට වැඩි කාලයක් ස්ථිර විදුහල්පතිවරයකු පත්නොකළ අතර නියෝජ්‍ය විදුහල්පති ගාමිණී ජයවර්ධන එම කාලයේ දී විදුල්පති ධූරයේ වැඩ බැලුවේය. පසුගිය දා ජාතික පාසල් විදුහල්පතිධූර ඇතුළු අධ්‍යාපන පරිපාලන සේවයේ පත්වීම් 171ක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා තිබිණි. නමුත් මෙම පත්විම් දිනෙන් දින ප්‍රමාදවීම හේතුවෙන් rata.lk ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සහ රාජ්‍ය සේවා කොමිසමෙන් අවස්ථා කිහිපයක් ම විමසන ලදී.

ඒ අනුව අද (09) රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඒ.ඩබ්ලිව්.ආර්.විමලවී කියා සිටියේ සියලුම පත්වීම් එකවර අනුමත කිරීමේ දී ප්‍රමාදයක් විය හැකි බැවින් පළමු ශ්‍රේණියේ ජාතික පාසල් 28ක් සඳහා විදුහල්පතිවරුන්ගේ පත්වීම් අනුමත කර යැවූ බවයි. මෙම පත්වීම් අනුමත කිරීමේ දී ඔවුන් සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් කර තිබූ තොරතුරු නැවත විශ්ලේෂණය කළ බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මේ අනුව මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරය සඳහා කොළඹ ලුම්බිණි විද්‍යාලයේ වැඩබලන විදුහල්පති අතුල නානායක්කාර පත්වීමට නියමිත අතර රිච්මන්ඩ් විද්‍යාලයට පසුගිය ඔක්තෝබර් මාසයේ දී පත්ව ආ ස්ථිර විදුහල්පති තිලක් වත්තුහේවා කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ධූරයට පත්වීමට නියමිතය.

එසේ වුවද රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා රිච්මන්ඩ් ආදි සිසුන්ට සහ පාසල් සංවර්ධන සමිතියේ නියෝජිතයන්ට පසුගිය දා පවසා තිබුණේ තමන් නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිධූරය‍ේ සම්මුඛ පරීක්ෂණය සදහා ඉදිරිපත් වී ඒ සඳහා සුදුසුකම් ලබා ඇතැයි දැනගන්නට ලැබුණ ද එම පත්වීම භාර නොගන්නා බවයි.

නාලන්දා විද්‍යාලයට තිලක් වත්තුහේවා ගෙන්වා ගැනීමට එහි ආදි සිසුවකුවන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු දැඩි උත්සාහයක් ගන්නා බවත් වත්තුහේවා රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති ධූරයේම තබා ගැනීමට රටේ ප්‍රබල දේශපාලකයන් කිහිප දෙනෙකුම උත්සාහ ගන්නා බවත් අධ්‍යාපන ලේකම්වරයා මීට ඉහත අවස්ථාවක දී rata.lk සමඟ කීවේය.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා එම අවස්ථාවේ කියා සිටියේ මහින්ද විද්‍යාලයේ වැඩබලන විදුහල්පති ගාමිණී ජයවර්ධන ඉවත්කරගැනීම සඳහා විද්‍යාලයීය ආදි සිසුන් හා පාසල් සංවර්ධන සමිතිය පවා දැඩි උත්සාහයක නිරත වුව ද ප්‍රබල දේශපලනඥයකු එය වැළැක්වීමට කටයුතු කරන බවයි.

කවර දේශපාලන බලපෑම් එල්ල වුවද සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වූ විදුහල්පතිවරු තමන් අයදුම්කිරීමෙන් පසු තෝරා පත්කරන ලද පාසල්වල පත්විම් අනිවාර්යයෙන් ම භාරගත යුතු බවත්, මෙම පත්වීම් සිදුකිරීමෙන් පසු කිසිදු ජාතික පාසලක වැඩබලන විදුහල්පතිවරයකු තවදුරටත් තැබීමට තමන් ඉඩ නොතබන බවත් අධ්‍යාපන ලේකම්වරයා rata.lk සමඟ කීවේය. ඒ අනුව ඔහු පවසන්නේ මෙවර පාසල් නිවාඩුව අවසන්වීමට පෙර මහින්ද විද්‍යාලයේ විදුහල්පතිධූරය අනිවාර්යයෙන් ම වෙනස් කරන බවයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම පත්වීම් රාජ්‍ය සේවා කොමිෂම විසින් අනුමත කළ පසු මාරුවීම් හා පත්වීම් හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරයක් බවයි. ඊට අදාල සියලු ලේඛන අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකර ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

යම් පාසලක තවදුරටත් විදුහල්පතිධූර පුරප්පාඩු වී ඇත්නම් ඒවා ද කඩිනමින් පියවීම සඳහා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි ද රාජ්‍ය සේවා කොමිෂම සඳහන් කරයි. මහින්ද විද්‍යාලයට වසර 06කට වැඩි කාලයක් ස්ථිර විදුහල්පතිවරයකු නොමැතිවීම විශාල ඛේදවාචකයක් බවත් ‍එය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ දුර්වලතාවක් නොවන බවත් එහි ලේකම්වරයා අප සමඟ කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!