spot_img
spot_imgspot_img

රජය මාධ්‍ය නිදහස සීමා කරයි. සංවර්ධන කමිටු වාර්තා කිරීමට ඉඩ අහුරලා

පුවත්

විදෙස්

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා මාධ්‍යවේදීන් සහභාගීවීම වළක්වමින් රජය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මෙතක් පාර්ලිමේන්තු, පළාත් සභා, පාළාත් පාලන ආයතන මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් ද වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමිවූ අතර සෑම මාධ්‍ය ආයතනයක් ම එම සම්බන්ධීකරණ කමිටු වාර්තා පුවත්පත්වල පළ කිරීම සඳහා විශේෂ ඉඩක් ද වෙන්කර තිබිණි. එමෙන්ම පාර්ලිමේන්තු වාර්තාකරුවන් මාධ්‍ය ආයතනවලින් පත්කර තිබෙන ආකාරයට ම ඒ ඒ පළාත් සභා, පළාත් පාලන ආයන රැස්වීම්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් ද පත්කර තිබිණි.

ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් කමල් ගුණරත්න විසින් නිකුත් කරන ලද දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පැවැත්වීම පිළිබඳ මාර්ගෝපදේශ සැපයීම සඳහා නිකුත්කර ඇති චක්‍රලේඛයේ මාධ්‍යයට කරුණු වාර්තා කිරීම යන තේමාව යටතේ නිකුත් කර ඇති උපදෙස් අනුව මාධ්‍යවේදීන් මෙම රැස්වීම් සඳහා සහභාගීවීම වළක්වා ඇත. එම රැස්වීමවල කරුණු වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවශ්‍යනම් ඒ සඳහා අදාල දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අවසානයේ එම කමිටුවල සභාපතිවරයා ඇතුළු මහජන නියෝජිතයන්ගේ කරුණු විමසා දැනගත හැකි බව ද එම චක්‍රලේඛයේ සඳහන් කර ඇත.

මේ පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් මාධ්‍යවේදියකු විමසූ විට පවසා ඇත්තේ තමන් ඒ පිළිබඳ දැනුම්වත් නැති බවයි.

මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වල දී ප්‍රදේශයේ සංවර්ධයට අදාල යෝජනා සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කෙරෙන අතර ඊට ප්‍රදේශයේ සියළුම රාජ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් ද සහභාගී වෙයි.  

රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් ‍සඳහා මාධ්‍යවේදියෝ සංවිධානයේ ප්‍රකාශක මාධ්‍යවේදී  සුනිල් ජයසේකර මෙසේ කීවේය.

පළමු කාරණය ආණ්ඩුව තොරතුරුවලට බයයි. ඒක තමයි මේ පෙන්වන්නේ. දෙවැන්න මේ රටේ මාධ්‍යවේදීන්ට මෑත කාලීනව එල්ල කළ බරපතලම ප්‍රහාරයක්. මෙයින් නැති වෙන්නේ මාධ්‍යවේදීන්ට තමන්ගේ වෘත්තීය නිදහසේ කරගෙන යන්න තිබූ අවකාශය. වැටුප් ලබන රාජ්‍ය සේවකයන් සහ මහජන නියෝජිතයන් ගන්නා තීන්දු තීරණ ගැන මහජනතාවට දැන ගැනීමට තිබූ අයිතිය නැති කිරීමක් ලෙස අපි මෙය දකිනවා. කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රජයකට මෙවැනි දේවල් කළ නොහැකියි. මේවා කරන්න පුළුවන් එකාධිපති සහ ඒකාධිකාරී පාලනයක් ගෙනයන ආණ්ඩුවලට පමණයි. මේ රටේ මාධ්‍ය නිදහසට සීමාවන් පනවන මෙයින් පැහැදිලි වෙනවා. අපි මේ තත්ත්වයට විරුද්ධව සෘජුව පෙනී සිටින්න ඕනෑ. මෙවැනි තත්ත්වයක් තුළ රටේ මාධ්‍ය නිදහසක් පවතින්න විදියක් නෑ”

නිදහස් මාධ්‍යය ව්‍යාපාරයේ ලේකම් මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා මෙසේ කීවේය.

“ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසකමක් ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිගත්තා. ඉන් පසු 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත මගින්  ඒ සම්බන්ධ නීතියක් ස්ථාපිත කළා. මේ ගැන දැනුමක් ඇති පුරවැසියන් සහ සිවිල්  ව්‍යාපාර ඒ ව‍ෙගේම මාධ්‍යවේදීන් එය සැළකුවේ බොහොම වැදගත් දෙයක් හැටියට. මේ ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ගෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කරන විට තොරතුරු අයිතියට අත තිබ්බේ නැහැ. ඒ අයත් තොරතුරු අයිතිය පවත්වාගෙන යාමට කිසියම් එකඟතාවක ඉන්නවා කියන එක එයින් පැහැදිළි වෙනවා. තොරතුරු අයිතියත් එක්ක කියවෙන දෙයක් තමයි තොරතුරු හෙළි කරන්න පොදු අධිකාරීන් ක්‍රියාත්මක වීම යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් බව. මේක එක්තරා විදියක පාර්ලිමේන්තුව හැටියට දේශපාලන අධිකාරියම එකඟ වූ මහජනතාවට ජනමාධ්‍ය හරහා විවෘතවන අවකාශ්‍යක් අහුරා දැමීමක්. මෙය සුදුසු නැහැ. මේ කමිටුවල සාකච්ඡා වෙන දේවල් පෙරහණයක් තුළින් යවා කරුණු සහ තොරතුරු සීමාකරලා ජනතාවට දෙන එක ගැන අවධානය යොමු කරලා තියෙන බව පෙනෙනවා. කරන්න ඕන වෙන්නේ මේ සංවාද ශිෂ්ඨ සම්පන්න කරන්න . ඒවා ඇතුළේ මාධ්‍ය හිටියා කියලා වරදක් වෙන්නේ නැහැ. මෙය මහජනතාවගෙන් වසන් කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. මහජනතාවට ඇති ව්‍යවස්ථාමය අයිතියක් මේ සීමා කරනවා. මේ භාවිතාව ශිෂ්‍ඨ සම්පන්න කරන්නේ නැතිව මාධ්‍යයට ඉඩ අහුරා තැබීම සුදුසු දෙයක් නෙවෙයි. නමුත් මේකත් සීමා සිහිතයි. විපක්ෂයේ මන්ත්‍රීවරුත් ඉන්නවා. ඔවුන්ට පුළුවන් සිදුවන දේ වීඩියෝ කරන සිදුවන දේ ලයිව් දෙන්න හෝ අප්ලෝඩ් කරන්නත් පුළුවන්. මේවා ප්‍රායෝගික නොවන තාර්කික නොවන තමන් ශිෂ්ඨ සම්පන්න නොවී වෙන පැලැස්තර ඇළවීමක්. මෙය සමාජයේ යහපතට හේතුවෙනවා කියලා අපි හිතන්නේ නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!