spot_img
spot_imgspot_img

බද්දේගම ක්‍රිස්තුදේව බාලිකාවේ ශිෂ්‍ය නායක අර්බුදය ගැන මානව හිමිකම් පරීක්ෂණයක්

පුවත්

විදෙස්

බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගත් සිසුවියට එම තනතුර නොදී අලුතෙන් පත්ව ආ විදුහල්පතිනියගේ අභිමතය පරිදි වෙනත් ශිෂ්‍යාවකට එම තනතුර ලබාදීමට උත්සාහ ගැනීම සම්බන්ධයෙන් අද (15) මානව හිමිකම් කොමිෂන් සභාවේ දී පරීක්ෂණයක් පැවැත්වෙයි.

මෙම පරීක්ෂණය පැවැත්වෙන්නේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස තෝරාගත් නමුත් එම ධූරය අහිමිව ඇති ශිෂ්‍යාවගේ මව විසින් මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුවය.

ගයාත්‍රී ලොකුබාලසූරිය නමැති එම මව ද බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර ඇය ද එම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස කටයුතු කර ඇත.

ඇය පවසන්නේ විද්‍යාලයෙන් පත්කරන ලද සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයකින් තම දියණිය ප්‍රධාන ශිෂ්‍ය නායිකා ධූරයට තෝරාගත් බවයි. ඒ අනුව 2024 මාර්තු මස 27 වැනි දින තම දියණියට ප්‍රධාන ශිෂ්‍ය නායිකා ධූරයේ පදක්කම් පැළඳවීමේ නිල උත්සවය විද්‍යාලය විසින් ම සංවිධානය කර තිබූ බවත් ඒ සඳහා අවශ්‍ය ආරාධනා පත්‍ර සහ නිල කබා පවා සූදානම් කරන ලෙස ශිෂ්‍ය නායිකා මණ්ඩලය භාර ආචාර්යවරිය විසින් දැනුම් දී තිබූ බවයි.

මේ අතර නව විදුහල්පතිනියක් පාසලට අලුතෙන් පත්ව  ආ බවත් විදුහල්පතිනිය රාජකාරී ආරම්භ කළ දිනයේ උත්සවයේ දී ද ප්‍රධාන ශිෂ්‍ය නායිකාවගේ කාර්යභාරය ඒ වනවිටත් උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක වූ තම දියණිය විසින් සිදුකළ බවත් ඇය මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබේ.

දියණියට පදක්කම් පැළඳවීම සඳහා පැවැත්වෙන උත්සවයේ දී සංග්‍රහය සඳහා ලබාදෙන පළතුරු පානයේ සාම්පල පවා දියණිය මාර්ගයෙන් ම විද්‍යාලයට ගෙන්වාගෙන මාර්තු 15 වැනි දින පරීක්ෂා කිරීමක් ද කළ ඇති බව මව පවසයි.

නමුත් එදින ම සවස විදුහල්පතිනිය සියල්ල වෙනස් කරමින් විද්‍යාලයේ ගුරුවරුන් කිහිප දෙනකු යොදා ගනිමින් නැවත ඡන්ද විමසීමක් පවත්වා වෙනත් ශිෂ්‍යාවක් ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස පත්කරන බවට දැනුම් දී ඇති අතර එමගින් තම දියණියගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ද මව විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

ඇය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ ‍විදුහල්පතිනියගේ මෙම අත්තනෝමතික තීරණය හේතුවෙන් තම දියණිය දැඩි මානසික පීඩනයකට ලක්ව  සිටින බැවින් ඉක්මන් විමර්ශනයක් පවත්වන ලෙසයි.

මෙම පැමිණිල්ලට අනුව ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වගඋත්තරකරු ලෙස නම්කරමින් මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්ය‍ාලයේ දී අද (15) පැමිණිල්ල විභාගය සිදුවෙයි.

මේ අතර දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විෂය සමගාමී කටයුතු සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ යූ.ආර්.පී.ගමගේ විසින් ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලයේ විදුහල්තිනිය වෙත 2024-05-07 වැනි දින ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත්තේ විද්‍යාලයේ 2024 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු සොයා බලා සුදුසු තීරණයක් ගන්නා තුරු ශිෂ්‍ය නායිකා ධූරයට පත්කිරීම හෝ ඒ සම්බන්ධව කිසිදු ඉදිරි කාර්යයක් සිදු නොකරන ලෙසයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!