spot_img
spot_imgspot_img

අඹන් ගඟ ඉවුරු වනසන මහා වැලි ජාවාරමක්

පුවත්

විදෙස්

අඹන්ග‍ඟේ ඉවුර කපා වැලි විකිණීමේ මහා පරිමාන ජාවාරමක් සිදුවන බව අනාවරණය වී තිබේ. මේ පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය නිලධාරීන් සමඟ එහි යන වටත් ජාවාරම්කරුවන් තම උපකරණ අතහැර පැන ගොස් සිටි බව පොලිසිය පවසයි.

ඇලහැර ප්‍රාදේශීය සභාවේ සභාපති ජානක නලින් කුමාර, ප්‍රාදේශීය ලේකම් සී.එන්.කරුණාරත්න, වනජීවී නිලධාරීන් සහ ඇලහැර පොලිස් ස්ථානාධිපතිවරයා ද එහි ගියහ.

ප්‍රාදේශීය සභාවේ සභාපතිව ජානක නලින් කුමාර පවසන්නේ අඹන්ග‍ඟේ ඉවුර අත්තරගොල්ලෑව, මිණිපුරගම හා 16 කණුව ප්‍රදේශවල දී කපා වැලි ජාවාරමක් කරගෙන යන බවට ලැබුණු තොරතුරු අනුව එහි ගිය බවයි.

සභාපති ජානක නලින් කුමාර

මේ අතර කිරිඔය ප්‍රදේශයේ මැණික් ගැරීම සඳහා ලබා දී ඇති බලපත්‍ර යොදා ගනිමින් ද වැලි ජාවාරමක් සිදුවන බව පෙනෙන්නට ඇත.

මැණික් ගැරීම සඳහා බලපත්‍ර ලබා දී ඇත්තේ අඹන්ගඟ අවට ඉඩම්වල පස් හාරා මැණික් ගරා නැවත එම පස් දමා වළවල් වසා දැමීමේ කොන්දේසිය මතය. නමුත් නිලධාරන් ගියවිට දක්නට ලැබුණේ ඩෝසර් යොදා වළවල් හාරමින් මැණික් ගරා ඉතිරිවන වැලි ගොඩගසා ඇති ආකාරයයි. මෙලෙස වැලි ගොඩගසා තබාගන්නේ වැලි විකිණීමේ ජාවාරමට බව ප්‍රදේශවාසීන්ගෙන් එල්ලවන චෝදනාවකි.

ප්‍රාදේශීය ලේකම්වරිය පවසන්නේ මේ වනවිට මැණික් ගැරීමේ බලපත්‍ර අලුත් කිරීමට යවා ඇති බැවින් එම ස්ථානවල මැණික් ගැරීමට කිසිදු අවසරයක් නොමැති බවයි.

මේ විනාශය සිදුවන්නේ වන රක්ෂිතය තුළය. අඹන්ගඟ ඉවුරු දෙපස කපා මහා පරිමාණයෙන් වැලි සඳහා විකුණා දැමීමෙන් ප්‍රදේශයේ මහා විනාශයක් සිදුවිය හැකි බැවින් මේ ජාවාරම් කල්ලි සොයා ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසයි.

ඔවුන් එහි යනවිට වැලි ජාවාරම්කරුවන් පළාගොස් තිබූ අතර ඔවුන් භාවිතා කළ වතුර මෝටරයක්, ජල නළ, උදලු සහ සවල් ඇතුළු උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගැණිනි.

පොලිසිය පවසන්නේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි.

(රුමේෂ් මධුශංක)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!