spot_img
spot_imgspot_img

සිංහරාජයේ වැව් ගැන වීරකැටියේ දී කී කතාව චමල් පාර්ලිමේන්තුවේ දී වෙනස් කරයි

පුවත්

විදෙස්

සිංහරාජ වනය මුදුණේ වැව් සාදන බව තමන් කීවේ යැයි පළවන වාර්තා බොරුවක්බවත් එවැනි කිසිදු සැළැස්මක් නොමැති බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ අද (23) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ගිංඟේ හා නිල්වලා ගඟේ ජල ගැලීම් හේතුවෙන් විශාල හානියක් සිදුවන බවත්, කළු ගඟේ හා ගිං ගඟේ ජලය හැරවීමේ සැළසුමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සකසා වසර 90ක් ගත වී ඇතත් කිසිම රජයක් ඒවා ක්‍රියාත්මක නොකළ බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කීවේය. පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින ජනතාව අති විශාල බවත් ඒ නිසා මේ ව්‍යාපෘතිය මතු දිනක ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු පවසයි. ගිං ගඟේ පහළින් ජනතාව පදිංචි ප්‍රදේශයේ අක්කර පහක් වැනි කුඩා ජලාශක් ඉදිකිරීමේ සැළැස්මක් ඇති බවත් අමාත්‍යවරයා පාර්ලමේන්තුවේ දී හෙළිදරව් කළේය.

වාරිමාර්ග අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“අපි මේ සම්බන්ධ සැළැස්ම යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කළා. ඒ ඉදිකිරිමෙන් කිසියම් හානියක් සිදුවෙනවා ද කියා අධ්‍යයනක් කර බැලීමට. මේ දේවල් නොකරනවානම් ගංවතුර වැළැක්වීමට නොහැකි වනවා වගේම පිපාසයෙන් ඉන්න ජනතාවගේ ජල ප්‍රශ්නයටත් විසුම් නැති වෙනවා.”

ගිං – නිල්වලා ජල යෝජනාක්‍රමය සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සකසා මාදුගැටේ සහ අම්පනාගල වැව් දෙකක් ඉදිකරන්න යැයි විශේෂඥයන් යෝජනා කර තිබුණේ එම ප්‍රදේශයේ ශාක හා සත්ත්ව විවිධත්වය ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දෙමින් බව ද චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි.

තමන් වීරකැටියේ දී ප්‍රකාශ කළේ මූලික අයිතිවාසිකමක් වූ පානීය ජලය ලබාදීම හා වනාන්තර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රජය මුහුණ දෙන සැබෑ තත්ත්වය සහ වගකීම බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙවැනි කාර්යයන් ඉටුකිරීමට යාමේ දී පරිසරය ගැන උනන්දුවක් හා දැනුමක් ඇති පාරිසරික මාධ්‍යවේදීන්ගේ අදහස් හා යෝජනා ද ලබාගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටි‍යේය.

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී අද (23) එසේ කීව ද ඔහු වීරකැටියේ දී කීවේ වෙනත් කතාවකි. එම කතාව පදනම් කර ගනිමින් අප සැකසූ වාර්තාව පහත දැක්වේ. ඉන් පසු දක්වා ඇත්තේ අමාත්‍යවරයාගේ කතාවේ වීඩියෝ පටයයි. අමාත්‍ය චමල් රාජපක්ෂ ජනතාවට කියන දේ සහ පාර්ලමේන්තුවේ දී කියන දේ අතර විශාල පරස්පරයක් තිබේ. මේ කතා දෙකෙන් ඇත්ත කුමක්ද යන්න දැනගැනීමට ඉවසීමෙන් බලා සිටීමට සිදුවනු ඇත.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!