spot_img
spot_imgspot_img

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, තොරතුරු කොමිසමට පිටුපායි. අතිකාල දීමනා හංගයි

පුවත්

විදෙස්

මහනුවර, ගොනගන්තැන්න ප්‍රාදේශීය රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක සහ මුරකරු වෙත ගෙවන ලද වැටුප්, අතිකාල දීමනා, ඔහුගේ පැමිණීමේ වාර්තා සහ නිවාඩු පිළිබඳ වාර්තා ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂට සහ ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට නියෝග කර ඇතත් ඔවුන් එම නියෝගය පවා නොතකාහරිමින් තොරතුරු දීමෙන් වැළකී ඇතැයි වාර්තා වේ.

මෙම තොරතුරු ඉල්ලීම කර ඇත්තේ මහනුවර පදිංචි එස්.එම්.ෆර්ෂාන් විසිනි.

ඔහු 2023-01-24 වැනි දින ගොනගන්තැන්න ප්‍රාදේශීය රෝහලේ තොරතුරු නිලධාරීවරයාගෙන් ලිඛිතව ව ඉල්ලා ඇත්තේ “2018 ජනවාරි මස සිට මාර්තු මස දක්වා එම රෝහලේ සේවයේ නිරතව සිටි සෞඛ්‍ය කාර්ය සහායක හා මුරකරු තම පැමිණීමේ වාර්තා නිවාඩු හා වැටුප් හා අතිකාල දීමනා පිටපත් සමඟ ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි” යනුවෙනි.

නමුත් මේ සම්බන්ධයෙන් තොරතුරු නිලධාරීවරයා නිශ්චිත ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත්වීම හේතුවෙන්, ඉල්ලුම්කරු විසින් 2023-02-16 වැනි දිනැතිව පොදු අධිකාරියේ නම්කළ නිලධාරී වෙත අභියාචනයක් යොමුකර තිබිණි. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නුවරඑළිය විසින් 2023-02-26 වැනි දින අභියාචක වෙත ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ මේ ආකාරයෙනි.

“ඔබ විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා ඇති තොරතුරු එම සේවකයන්ගේ පෞද්ගලික තොරතුරු බැවින් ඔබ වෙත ලබා දීමට නොහැකි බව කාරුණිකව දන්වා සිටිමි”

මෙම පිළිතුරෙන් සෑහීමකට පත්නොවූ ඉල්ලුම්කරු තොරතුරු දැගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, තොරතුරු කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න සහ කොමසාරිස්වරුන් වන විශ්‍රාමික විනිසුරු රෝහිණී වල්ගම, නීතිඥ ක්‍රිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ ජගත් ලියන ආරච්චි, ඒ.එම්.නහියා විසින් මෙම අභියාචනය සළකා බලන ලදී. 2023-11-03 වැනි දින කොමිසම විසින් සිය තීන්දුව ගෙන ඇති අතර එහි දී සිදුකරන ලද පැහැදිළි කිරීම් අනුව තොරතුරු ඉල්ලීමෙන් අපේක්ෂා කරන ලේඛන සියල්ල ඉල්ලුම්කරු වෙත 2023-11-16 වැනි දිනට පෙර ලබා දීමට පොදු අධිකාරිය පොරොන්දු වීම හේතුවෙන් අභියාචනය එතෙනින් අවසන් කර ඇත.

එමෙන් ම මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්.එන්.වීරසූරිය සහ එහි තොරතුරු නිලධාරී ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරීනී එස්.සුබද්‍රා විසින් එම තොරතුරු ලබාදිය යුතු බව ද කොමිසම තීරණය කර ඇත.

නමුත් අභියාචක එස්.එම්.ෆර්ෂාන් පවසන්නේ අද (25) දින වනතුරුම තමන්ට එම තොරතුරු නොලැබුණු බවයි.

තො‍රතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝගය පවා නොතකමින් තොරතුරු ලබාදීමෙන් වැළකී සිටීම මගින් ‍කොමිෂන් සභාවේ තීරණය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම යන වරද සිදුකරන බැවින් එම තැනැත්තන් වරදකරුවකු වෙයි. ඒ අනුව නඩු පැවරීමේ හැකියාව ඇති අතර වරදකරු වුවහොත් රුපියල් 50,000.00ක දඩයක් හෝ ඊට අඩු දඩ මුදලකට හෝ අවුරුදු දෙකකට අඩු කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකටම යටත් කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!