spot_img
spot_imgspot_img

IMF එකඟතා ක්‍රියාත්මක කිරීම සාර්ථක ද ? අසාර්ථක ද ?

පුවත්

විදෙස්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති කැපවීම් 100ක් අතරින් ශ්‍රී ලංකාව මැයි මාසය අවසානය වනවිට ඉටුකර ඇත්තේ 29ක් පමණි. කැපවීම් 03ක් ඉටුකිරිමට ශ්‍රී ලංකාව මේ වනතුරු අපොහොසත්ව ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.

වෙරිටේ රිසර්ච් ආයතනය මගින් පවත්වාගෙනයන IMF මීටරයේ නවතම යාවත්කාලීන කිරීමෙන් මේ බව අනාවරණය වෙයි.

එම කැපවීම් අතරින් එකක් වන්නේ, බදු ආදායම් ඉහළ නැංවීමයි. 2023 මාර්තු මාසයේ බදු ආදායම දළ දේශීය නෂ්පාදිතයෙන් 2.1%ක් දක්වා හෝ රුපියල් බිලියන 650ක් දක්වා ඉහළ නැංවීමට නියමිතව තිබුණ ද එය ඉහළ නංවා තිබුණේ රුපියල් බිලියන 578ක් දක්වා පමණි. ඒ අනුව එම කැපවීම සම්පූර්ණ කර නැත.

සූදු ක්‍රීඩාව සඳහා වාර්ෂික බද්ද රුපියල් මිලියන 500 දක්වා ඉහළ නැංවීම, නියෝජිතයින් හරහා ඔට්ටු ඇල්ලීම සඳහා වාර්ෂික බද්ද රුපියල් මිලියන 5ක්, සජීවී රූපවාහිනී විකාශනය භාවිතා කරන අවස්ථාවක වාර්ෂික බද්ද රුපියල් මිලියනයක්, සජීවී රූපවාහිනී විකාශනයකින් තොරව ඔට්ටු ඇල්ලීම සඳහා වාර්ෂික බද්ද රු. 75,000 ක්, සහ දළ එකතුව (gross collection) මත බද්ද 15% ක් ලෙස නියම කිරීමට යෝජනා කර තිබිණි.  එයට අදාළ පනත් කෙටුම්පත 2023 අප්‍රේල් මස 4 වැනිදා ප‍්‍රකාශයට පත් කෙරුණ ද, එම පනත සඳහා සංශෝධනයක් මෙතෙක් ඉදිරිපත් කර නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර සකස් කරන ලද නව මහ බැංකු පනතට මාර්තු 07 වැනිදා වනවිට අනුමැතිය ලබාගත යුතු වුව ද මේ දක්වා ම මහ බැංකු පනත මෙතෙක් සංශෝධනය කර නොමැත.

මැයි මස අවසානය වන විට, Online ක්‍රමයට මූල්‍ය විනිවිදභාවය ප්‍රකාශිත වන අයුරින් වේදිකාවක් පිහිටුවිය යුතුය යන කැපවීම අර්ධ වශයෙන් ඉටු වී ඇත. මෙම වේදිකාවේ අපේක්ෂිත අරමුණ වන්නේ

  • සැලකිය යුතු රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු,
  • ආයෝජන මණ්ඩලය විසින් ලබා දී ඇති බදු නිදහස් කිරීම්වලින් ප්‍රතිලාභ ලබන සමාගම්වල නම් ලැයිස්තුවක්
  • සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා බදු නිදහස් කිරීම්වලට යටත්වන පුද්ගලයන් සහ සමාගම් පිළිබඳ තොරතුරු

ප්‍රකාශයට පත් කිරීම වන අතර මෙම තොරතුරු අර්ධ වාර්ෂික පදනමින් නිකුත් කළ යුතුය.

මැයි මස අවසානය වන විට හඳුනාගත් කැපවීම් 06ක ප්‍රගතියේ තත්ත්වය නොදනී යනුවෙන් වර්ගීකරණය කර ඇත. එම කැපවීම්වල ප්‍රගතිය තක්සේරු කිරීමට අවශ්‍ය තොරතුරු නොතිබිණ යන්න එහි අදහසයි. මාර්තු සහ අප්‍රේල් මාසවලට සාපේක්ෂව යම් දියුණුවක් දක්නට ලැබුණද, තවදුරටත් තොරතුරු නොමැති තත්ත්වයක් පැවතීම කණගාටුදායකය.

වෙරිටේ රිසර්ච් ආයතනයට අනුව, IMF වැඩසටහනේ කාලීන ප්‍රගතියෙන් රටට ලැබෙන වාසි දෙකක් තිබේ.

පළමුවැන්න නම්, කැපවීම් ඉටුකිරීම හරහා (සියල්ලගෙන්ම නොවුනද) රටට ලැබෙන ප්‍රතිලාභයන්ය. දෙවැන්න නම්, කැපවීම් ඉටුකිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම පෙන්වා දීමෙන්, රටේ පාලනය කෙරෙහි විශ්වාසය වැඩිදියුණු කිරීම හරහා අතීත ණය බර ප්‍රතිව්‍යුහගත කිරීම සහ අනාගත ආර්ථික ප්‍රකෘතිය කරා යන ගමන කඩිනම් කිරීම සඳහා වන සාකච්ඡාවලට උපකාරයක් වීමයි.

IMF මීටරය යනු 2023 ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යැවූ අභිප්‍රාය ලිපිය ප්‍රකාරව, එම අරමුදලේ අනුමැතිය හිමිවූ ණය වැඩසටහනේ, හඳුනාගත් කැපවීම් 100ක ප්‍රගතිය මනින ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වේදිකාවයි.

ශ්‍රී ලංකා රජයට, ජනතාවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, වැඩසටහනේ අන්තර්ගත කැපවීම්වල ප්‍රගතිය මනා ලෙස අවබෝධ කර ගැනීමට සහ නිරීක්ෂණය කිරීම සඳහා සහය ලබාදීමක් වශයෙන් මෙම වේදිකාව නිර්මාණය කර ඇත.

වැඩි විස්තර දැනගැනීමට manthri.lk/en/imf_tracker  වෙත පිවිසෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!