spot_img
spot_imgspot_img

ශ්‍රී පාද අඩවියේ පරිසරය වනසන්න පකිස්තාන ජාතික පුෂ්පය සිටුවයි. චීවරධාරීන්, පොලිසිය සමඟ කල්‍යාණි මෑණියෝ හවුල්

පුවත්

විදෙස්

ඉතාමත් සංවේදී ජෛව විවිධත්වයෙන් අනූන පාරිසරික පද්ධතියක් වන සිරීපාද වනාන්තර ප්‍රදේශයේ ජෛව විවිධත්වය වෙනස් කර එම පරිසරය වැනසීමේ ක්‍රියාවලියක් කළ්‍යාණි මෑණියන් නමින් හඳුන්වාගන්නා කාන්තාවක් සමඟ එක්ව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න විසින් ආරම්භ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය හඳුන්වා දී ඇත්තේ සිරිපා අඩවිය සමන් පිච්ච මල් සුවින් සුවදවත් කිරිමේ අරමුණින් සමන් පිච්ච මල්පැල සිටුවීමේ මහා පුණ්‍යකර්ම ව්‍යාපෘතිය යනුවෙනි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඊට ප්‍රචාරක අනුග්‍රහය දක්වන බව ද වාර්තා වෙයි.

අධි සංවේදී පරිසර පද්ධතියක් ලෙස හඳුනාගෙන ඇති ශ්‍රී පාද අඩවිය රක්ෂිත වනාන්තරය තුළ ට පිටතින් පැල ගෙනවිත් සිටුවීම තුරුලතා සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ දඬුවම් හිමිවිය යුතු වරදකි.

ඔවුන් සිරිපා අඩවියේ සිටුවීමට සැළසුම් කර ඇත්තේ පකිස්තානයේ ජාතික පුෂ්පයයි. එය උද්භිද විද්‍යාත්මකව Jasminum officinale  ලෙස  හැඳින්වේ. එය සිංහල භාෂාවෙන් සමන් පිච්ච නමිනු හඳුන්වයි.

උතුරු ඉරාකය, ඇෆ්ගනිස්තානය, පකිස්තානය, ටජිකිස්තානය, ඉන්දියාවේ ඇතැම් ප්‍රදේවල, නේපාලයේ වියළි කාලගුණයක් සහිත ප්‍රදේශවල සහ වැවෙන මේ ශාකය ශ්‍රී ලංකාවට ආගන්තුක ය. ස්වභාවික පරිසරයේ දක්නට නැති සමන් පිච්ච ශාකය මෙරට විසිතුරු මල් වවන්නන් අතර ජනප්‍රිය ශාකයකි.

ශ්‍රී පාද කඳු මුදුනට බුදු රජාණන් වහන්සේ වැඩමකර එහි තම පාදයේ සළකුණක් තබා ඇතැයි බෞද්ධයන් විශ්වාස කරන අතර, ක්‍රිස්තු භක්තිකයන් විශ්වාස කරන්නේ ආදම් සහ ඒව පහළ වූයේ ශ්‍රී පාද අඩවියේ බවයි. මුස්ලිම් ජාතිකයන් ශ්‍රී පාද අඩවියේ නබි තුමාගේ පාද සළකුණ ඇති බවට විශ්වාස කරයි.

පොලිස් නිලධාරියකුගේ බිරිඳක වෙනුවෙන් සිදු වූ භාරයක් ඔප්පු කිරීමට යැයි කියමින් මීට ඉහත දී වරක් සමනල අඩවියේ සමන් පිච්ච මල් සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ අතර පරිසරවේදීන්ගේ දැඩි විරෝධය හමුවේ එය නවතා දැමිණි.

නැවත එවැනිම ව්‍යාපෘතියක් කරළියට පැමිණ ඇත. එය ක්‍රියාත්මක කරනු ලබ්නනේ විමංසා බෝධිසත්ව සංවිධානය නමින්, බොරැල්ල ගෝතමී පාරේ පවත්වාගෙන යන සංවිධානයක් විසිනි. ඔවුන් ප්‍රචාරය කරන්නේ ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්දින්න සහ නල්ලතන්නිය කල්ප වෘක්ෂ විහාරයේ අධිපති දෙහිපේ නන්ද යන දෙදෙනාගේ ආශිර්වාදයෙන් සහ අනුශාකත්වයෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

ආගන්තුක පැල සිරිපා රක්ෂිත භූමියේ සිටුවීම නීති විරෝධී බැවින් පිච්චමල් පැල සිටුවීමේ සංවිධාන කටයුතු සිදුකරන බව කියන 0716816174 නමැති දුරකථන අංකයට අපි ඇමතුමක් ගෙන ඒ ගැන විමසීමක් කළෙමු.

එහි දී අප සමඟ කතා කළ කල්‍යාණි මෑණියන් ලෙස හඳුන්වාගන්නා කල්‍යාණි වර්ණසූරිය නම් කාන්තාවක් කියා සිටියේ මෙම පැල සිටුවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ වනජීවී දෙපාර්තමේන්තුවෙන් හෝ කිසිදු අවසරයක් ලබා නොගත් බවයි.

සිරිපාද අඩවිය සමන් දෙයියන්ට අයිති බවත්, සමන් දෙවියන් අදහන ගුරු මෑණියකු වන තමන්ට එහි සමන් පිච්ච පැල සිටුවීමට කිසිම අවසරයක් කාගෙන්වත් අවශ්‍ය නැතැයි ද ඇය කීවාය.

සමන් පිච්ච යනු ශ්‍රී ලංකාවට ආගන්තුක, වියළි කාලගුණයක් යටතේ වැවෙන පැලෑටියක් බැවින්න එවැනි පැල සිටුවීමෙන් ශ්‍රී පාද අඩවියේ ජෛව විවිධත්වයට විශාල බලපෑමක් වනවා නේදැයි අප විමසූ විට ඇයට ඒ කිසිවක් වැඩක් නැති බවත් පින් කම් කිරීමට එය අදාල නොවන බවත් ඇය කීවාය.

ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“ඕවා ඔක්කොම බටහිර විද්‍යා‍වනේ. විද්‍යාත්මක නම්, ශාක වර්ගීකරණ, වියළි කලාපයේ වැවෙන්නේ ඕව අපිට අදාල නෑ. ඒවා බටහිර විද්‍යාව. අපි ඕව පිළිගන්නේ නෑ, අපිට අදාලත් නෑ. අපි නල්ලතන්නියේ ඉඳලා සීත ගඟුල දක්වා පාර දෙපැත්තේ සමන්පිච්ච පැල 1,500ක් ඉන්දනවා. ඒ ගැන සමන් දෙවියන් ඒකක අපි ගනුදෙනු කරගන්නම්” එසේ කියමින් ඇය තම දුරකථනය විසන්ධි කළාය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අපි ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න ඇමතීමට උත්සාහ ගත්ත ද සම්බන්ධ කරගත නොහැකිවිය. ශ්‍රී පාදස්ථානාධිපතිගේ ලේකම්වරයා ලෙස රාජ්‍ය ආයතන සමඟ කටයුතු කරන උපාලි නමැති පුද්ගලයකුගේ ජංගම දුරකථන අංකයක් අපට රත්නපුර දිසත්‍රික් ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියකුගෙන් ලැබිණි. එම අංකය ලබාදුන් නිලධාරියා කියා සිටියේ ශ්‍රී පාදස්ථානාධිපති සම්බන්ධ කරගැනීමට අවශ්‍ය ඕනෑම වේලාවක ඔහුට ඇමතුම් ලබාගන්නා බවයි.

නමුත් දින 03ක් පුරා උපාලිගේ ජංගම දුරකථනයට ඇමතුම් 38ක් විවිධ අවස්ථාවන්වල දී අප ලබාදුන්න ද ඔහු ඒ කිසිම අංකයකට පිළිතුරු දුන්නේ නැත.

නීති විරෝධී ශාක සිටුවීමේ ව්‍යාපාරයකට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අනුග්‍රහය දක්වන්නේ කවර පදනමක් යටතේ ද යනුවෙන් විමසීමට අපි ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාට ඇමතුමක් ගත් විට එම කාර්යාලයේ සිටි පුද්ගලයකු අපගේ විස්තර විමසා “ආ මෙන්න මෙයාගෙන් අහන්න. එතුමා ඉතාමත් හොඳට ඔය ව්‍යාපෘතිය ගැන දන්නවා” යැයි කීවේය.

මා කියූ කරුණු සියල්ල අසා සිටි ඇමතුම හා සම්බන්ධ වූ තැනැත්තා අපගේ ජංගම දුරකථන අංකය විමසා එය සටහන් කරගනිමින් කීවේ මේ ගැන මට නැවත ඇමතුමක් දෙන බවයි. ඔහු උපාලි යනුවෙන් හඳුන්වා දුන්නේය.

නමුත් ඔහුගෙන් ඇමතුමක් ලැබුණේ නැත. ඉන් පසු නැවත පැය දෙකකට පමණ පසු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාගේ කාර්යාලයට ඇමතුමක් ගත් විට එතැන සිටි නිලධාරිනියක් කීවේ උපාලි යනුවෙන් කිසිවකු එම කාර්යාලයේ සේවය නොකරන බවයි. එමෙන්ම සමන් පිච්ච මල් පැල සිටුවීමේ ව්‍යාපෘතියකට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ද කිසිදු අනුග්‍රහයක් නොදක්වන බව ද ඇය කීවාය.

මෙම පැල සිටුවීමේ ව්‍යාපෘතියට අවසර දී තිබේ ද යන්න නුවරඑළිය දිස්ත්‍රික් දිසා වන නිලධාරී ප්‍රනීත් සුරවීරගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එවැනි කිසිම ව්‍යාපෘතියකට අවසර ලබා දී නැති බවයි. එමෙන්ම එවැනි ව්‍යාපෘතියකට කිසිසේත්ම අවසර ලබාදිය නොහැකි බවත්, වන සංරක්ෂණයට අයිත් බිම් අඟලක හෝ කිසිම පැලයක් රෝපණය කිරීමට ඉඩ නොදෙන බවත් දිසා වන නිලධාරීවරයා සහතික වූයේය.

වනජීවී දෙපාර්තමේන්තුවෙන් ද අප මේ ගැන විමසූ විට ඔවුන් කියා සිටියේ නල්ලතන්නියේ සිට සීත ගඟුල දක්වා ප්‍රදේශය වනජීවී දෙපාර්තමේන්තුවට අයිති නැති බැවින් ඒ ගැන තම දෙපාර්තමේන්තුවට තීරණයක් ගත නොහැකි බවයි. සීත ගඟුල අසළ සිට උඩ මළුව දක්වා කොටස වනජීවී දෙපාර්තමේන්තුවට අයත් කලාපය බැවින් එම කොටසේ කිසිම පැලයක් සිටුවීමට ඉඩ නොදෙන බව ද වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් මේ වනවිට පොලිසියේ නිලධාරීන් පිරිසක් වනජීවී දෙපාර්තමේන්තුවට දුරකථන ඇමතුම් දෙමින් සිරීපාද අඩවියේ සමන් පිච්ච මල් පැල සිටුවීමට අවසර දෙන ලෙස බලපෑම් කරන බව ද වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කීවේය.

(මෙම ලිපිය සම්බන්ධයෙන් යම් කිසි පුද්ගලයකුට අගතියක් සිදුවන්නේ යැයි ඔවුන් විශ්වාස කරන්නේ නම් ඔවුන්ගේ පැහැදිළි කිරීම් ද මේ හා සමාන ඉඩක් ලබාදෙමින් පළකිරීමට අපි බැඳී සිටින බව ද සඳහන් කරන්නෙමු.) 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!