spot_img
spot_imgspot_img

ගොඩවායේ පැරණි නැව ගොඩදාන්න, ඇමෙරිකාවෙන් උදව් ලැබෙයි

පුවත්

විදෙස්

හම්බන්තොට පිහිටි, ග‍ොඩවාය පැරණි වරාය ආසන්න මුහුදෙන් හමු වී ඇති දකුණු ආසියාවේ පැරණිත ම නෞකාවේ ගවේෂණ සහ සංරකෂණ කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් 82,900ක මුදලක් ප්‍රදානය කිරීම අද (13) සිදුකෙරිණි.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ජුලී චංග විසින් මෙම ප්‍රදානය සිදුකෙරුණේ ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාර පරිශයේ දී ය.

මෙම මුදල පරිත්‍යාග කර ඇත්තේ සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපති අරමුදල මගිනි.

“ඉන්දු ශාන්තිකර කලාපයේ සංචාරකයන්ට සහ වෙළෙඳුන්ට මුල් කාලයේය පටන් ම කේන්ද්‍රස්ථානයක් වූ ශ්‍රී ලංකාව නිරූපණය කළ වැදගත් භූමිකාව ලේඛනගත කිරීම මගින් ශ්‍රී ලංකාවේ උත්කර්ෂවත් සංස්කෘතික උරුමය සංරක්ෂය කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට උදව් උපකාර ලබාදීමට ඇමෙරිකාව බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඇමෙරිකා තානාපතිනිය එහි දී කීවාය.

ගොඩවාය පුරාණ වරාය ආසන්න මුහුදේ කිමිදුම්කරුවන් දෙදෙනකු විසින් සොයාගත් ගල් බංකුවක් ඔස්සේ පර්යේෂණ කටයුතු ආරම්භ කළ ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් විසින් 2008 වර්ෂයේ දී මෙම පැරණි නෞකාව පළමුවරට සොයාගන්නා ලදී. එය ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ගිලී ගිය නැවක් බවත් දැවයෙන් සාදා තිබී ඇති බවත් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව ගොඩවායෙන් හමුවූ මෙම නැව දකුණු ආසියානු කලාපයෙන් හමු වී ඇති පැරණිත ම නෞකාව වන අතර ලෝකයේ හමු වී ඇති පැරිණිත ම නෞකා අතරින් ද එකකි.

මෙම නැව ගිලී අති ස්ථානය තවදුරටත් ගවේෂණය කිරීමටත්, ඒවා ලේඛනගත කිරීමට, රසායනාගාර පරීක්ෂණ සහ සංරක්ෂණ කටයුතු සඳහා ඇමෙරිකාවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබුණු මෙම මුදල් යෙදවීමට නියමිය. සංරක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු නැවෙන් හමුවන පුරාවස්තු සහ අවශේෂ ගාල්ල සමුද්‍රික පුරාවිද්‍යා කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තැබීමට ද නියමිතය.

සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපති අරමුදල 2001 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 15ක් සඳහා අරමුදල් සපයා තිබේ. එලෙස ලබා දී ඇති අරමුදල්වල එකතුව ඇමෙරිකානු ඩොලර් 1,387,294කි. අනුරාධපුර ලෝක උරුම පරිශ්‍රයේ ඇති බටහිර ආරාමය, රජගල බෞද්ධ වන ආරණ්‍යය සංරක්ෂණය කිරීම, අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඇති බෞද්ධ, හින්දු සහ අනෙකුත් පුරාවස්තු සංරක්ෂණය කිරීම, මඩකලපුව ලන්දේසි බලකොටුව ප්‍රතිසංස්කරණය, ආදිවාසී, දෙමළ  සහ බෞද්ධ ප්‍රජාවගේ චාරිත්‍රාණුකූල නර්තන සහ ගායන රටා සංරක්ෂණය කිරීම සහ මහනුවර රජවාසල සංරක්ෂණය කිරීම මෙම ව්‍යාපෘති අතර වෙයි.

එහි දී අදහස් දැක්වූ ඇමෙරිකානු තානාපතිනි ජුලී චංග් වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ප්‍රථම විධිමත් සම්බන්ධතා ඇතිවන්නනේ ඇමරිකානු වාණිජ ඒජන්සියේ පැමිණීමෙන්. ඒ 1870 දී. ඒ කාර්යාලය ගාල්ලේ පිහිටුවා තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර මම අපගේ තානාපපති කාර්යාලය කොළඹ නව පරිසර සංවේදී  ගොඩනැගිල්ලකට ගෙන ගියා. එය සැබැවින් ම ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා අපගේ කැපවීම පිළිබඳ සාක්ෂියක්.

ඓතිහාසික වටිනාකමක් ඇති මේ දියබත් වූ නැවේ පර්යේෂණ සහ සංරක්ෂණ කටයුතු සඳහා සහය දීමට හැකිවීම ගැන එක්සත් ජනපදය ආඩම්බර වෙනවා. ඉන්දු පැසිෆික් සාගරය මුළුල්ලේ ගවේෂකයන්, වෙළෙඳුන් සහ ජාතීන් සඳහා වෙළෙඳ හවුල්කරුවකු, මිතුරකු සහ ආරක්ෂිත සහ විවෘත වරයාන් සහිත ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහ ඉතා වැදගත් භූමිකාවක් ගොඩවාය නැව දියබත් වූ ස්ථානය මගින් තහවුරු වෙනවා. එය ඉතාමත් කීර්තියක් අතකර දෙන සොයාගැනීමක්.

ගොඩවාය ව්‍යාපෘතිය කියන්නේ එක් වරක් ලැබුණු ව්‍යාපෘතියක් පමණක් නෙවෙයි. පසුගිය වසර 17ක කාලයේ දී එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ  හවුල් වී ක්‍රියාත්මක කළ සංස්කෘතික සංරක්ෂණ ව්‍යාපෘති අතරින් මෙය නවත ම ව්‍යාපෘතියයි.

ශ්‍රී ලංකාවේ විස්මිත සහ වටිනා සංස්කෘතික උරුමයන් හඳුනා ගැනීම, සංරක්ෂණය කිරීම සහ අධ්‍යයනය කිරීම සඳහා ගෞරව කරන, සහ අරමුදල් සැපයීමට උපකාර වන ධූත මණ්ඩලයක් මෙහෙයවීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ ානාපති අරමුදලේ ප්‍රධාන අරමුණ මෙයයි.”

එම අවස්ථාව සදහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ ස්ථානභාර නිලධාරී ඩබ්ලිව්.එම්.චන්ද්‍රරත්න, ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ, ගාල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා අධ්‍යක්ෂිකා වසන්ති අලහකෝන්  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!