spot_img
spot_imgspot_img

ඉන්ෆ්ලුවන්සා වේගයෙන් පැතිරෙද්දී, කොරෝනා වසංගතයත් යළි වැඩිවෙයි

පුවත්

විදෙස්

වේගයෙන් පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මධ්‍යයේ කොරෝනා ආසාදිත මරණ 08ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ දිනවල කොරෝනා වසංගතය යළි ව්‍යාප්තවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද මේ හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමට නැවත යොමුවිය යුතු බව ද වෛද්‍යවරු කියති.

ඉදිරි සතිවල බොහෝ සංචාරක පැමිණීම් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බැවින් සෞඛ්‍ය නීති ක්‍රියාත්මක කිරීම සිදු නොවන බව නිලධාරීහු කියති.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ මාරාන්තික වෛරසයට එරෙහිව සෞඛ්‍ය ක්‍රියාමාර්ග දැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසිදු සැලසුමක් නොමැති බවවයි. එමෙන් ම සංචාරකයන් පැමිණීම සීමා කිරීමට කිසිදු පියවරක් නොගන්නා බව ද හෙතෙම කීවේය.

“ජනතාව පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම වැනි දැඩි සෞඛ්‍ය රෙගුලාසි නැවත පනවන්න බැහැ. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම මත රට රඳා පවතින අතර ඉදිරි සතිවල දී සංචාරකයින් විශාල සංඛ්‍යාවක් අපේක්ෂා කරනවා. බොහෝ සංචාරකයින් පැමිණෙන්නේ ශීත රටවලින්,” ඔහු පැවසීය.

මේ සතියේ වාර්තා වූ COVID-19 මරණ අටෙන් බහුතරය වයස අවුරුදු 60 ට වැඩි අය වෙති. පුද්ගලයන් 150 ක් පමණ ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබිණි. නමුත් ඒ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ සිදුකර ඇත්තේ රෝහල්ගත වූ විට කොරෝනා ආසාදිත යැයි සැකකරනු ලබන අය සඳහා පමණි.

මේ අනුව නිගමනය කළ හැක්කේ කොරෝනා ආසාදිතව පරීක්ෂණවලට මුහුණ නොදුන් දහස් ගණනක් සමාජයේ සිටිය හැකි බවයි.

“දැන් කොරෝනා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ඉතාමත් සීමා සහිත වෙලා තිබෙනවා. මේ නිසා කොරෝනා ආසාදිත සැබෑ පුද්ගලයන් සංඛ්‍යාව නිවැරදිව තීරණය කරන්න බැහැ.” වෛද්‍ය හේරත් පැවසීය.

කොරෝනා වසංගතය අවසන් යැයි සළකමින් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන චීනය මාස හයක් තුළ එහි පළමු මරණය ද පසුගිය සතියේ වාර්තා කළේය. චීනය ආගමන විගමන සීමාවන් ලිහිල් කළ පසු චීන සංචාරකයින් ලක්ෂ 10ක් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බව බීජිං හි ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන කීවේය.

ශ්‍රී ලංකාවේ බීජිං තානාපති කාර්යාලය චීන සංචාරක නෞකා සහ යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාව පිළිබඳව ද ක්‍රියාකාරීව ගවේෂණය කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය පවසයි.

මේ අතර, ප්‍රධාන වශයෙන් නැගෙනහිර ආසියාවෙන් සංචාරකයින් 3000 ක් පමණ සිටින තවත් සංචාරක නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

“සංචාරකයින්ට එන්නත් ලබාගෙන සිටියත් නැතත් බොහෝ දෙනෙක් මුහුණු ආවරණ පැළඳ නොසිටිනු ඇති. නමුත් අපි විශේෂයෙන් අධි අවදානම් කණ්ඩායම්වල සිටින අයගෙන් ඉල්ලා සිටින්නේ පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම දිගටම කරගෙන යන ලෙසයි.”

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට ජනතාවගෙන් බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ මුළු ජනගහනයෙන් අඩක් පමණක් බැවින් අනෙක් පිරිස  අවදානමට ලක්විය හැකි බවයි.

වැඩිහිටියන්, ගැබිනි මවුවරුන්, අවුරුදු දෙකට අඩු දරුවන්, ශ්වසන සහ නිදන්ගත රෝග ඇති අය හැකිතාක් නිවෙස් තුළ රැඳී සිටින ලෙසත්, ජනාකීර්ණ ස්ථානවල සිටින විට මුඛ ආවරණයක් පැළඳ සිටින ලෙසත් වෛද්‍ය ගිනිගේ ඉල්ලා සිටියි.

බෝවන රෝග රෝහලේ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණෙන සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!