spot_img
spot_img
spot_imgspot_img

ත්‍රිපෝෂවල ඇෆලටොක්සීන් හමු වූ කතාව අතේ රෝලක්. rata.lk සොයා බැලීමෙන් තහවුරු වෙයි

පුවත්

විදෙස්

මේ වනවිට ළදරුවන්ට සහ ගැබිනි කාන්තාවන්ට නිකුත් කර ඇති ත්‍රිපෝෂවල පිළිකාකාරක ඇෆලටොක්සීන් තිබේයැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ විසින් මාධ්‍යයට කරන ලද ප්‍රකාශය සාවද්‍ය පුවතක් බව rata.lk කරන ලද සොයා බැලීමෙන් තහවුරු විය.

උපුල් රෝහණ ඊයේ (20) කොළඹ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කියා තිබුණේ රජයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා මේ වනවිට ළදරුවන්ට සහ ගැබිනි කාන්තාවන්ට බෙදාහැර ඇති ත්‍රිපෝෂවල උග්‍ර විෂ ඇ‍ෆලටොක්සීන් අඩංගු බවයි. ඒ නිසා බෙදාහැර ඇති ත්‍රිපෝෂ යළි එකතු කරන බව ද ඔහු පවසා තිබිණි. ඇතැම් ත්‍රිපෝෂ ඔවුන් ආහාරයට ගෙන ඇතැයි ද උපුල් රෝහණ කියා සිටියේය.

නමුත් එම මාධ්‍ය සාකච්ඡාවේ දී ඇෆලටොක්සීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ ආයතනයක් ඔහු සඳහන් කර තිබුණෙන් නැත.

එබැවින් rata.lk අපි ඔහුට ඇමතුමක් දී විමසූ විට එවැනි වාර්තාවක් ඔහු සතුව නැති බවත්, ත්‍රිපෝෂවල ඇෆලටොක්සීන් අඩංගුයැයි වාර්තා වී ඇත්තේ 2022 අගෝස්තු මාසයේ දී බවත් ඔහු කීවේය. එම පරීක්ෂණය සිදුකළ ආයතනය කුමක් ද යන්න විමසූ විට ඔහු කියා සිටියේ තමන්ට තොරතුරු ලැබුණු පරිදි එම පරීක්ෂණය සිදුකර ඇත්තේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව බවයි.

ඒ අනුව අපි ආණ්ඩුවේ රස පරීක්ෂක දීපිකා සෙනෙවිරත්නට කතා කළෙමු. ඇය කියා සිටියේ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රසායානගාර 05ක ඇෆලටොක්සීන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවයි. එම පරීක්ෂණ වාර්තා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණයට ලබා නොදෙන බවත් ඒවා ලබාදෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධනට බවත් ඇය කීවාය.

ඒ අනුව අපි විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන ඇමතුවෙමු.

ඔහු කියා සිටියේ උපුල් රෝහණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කී කතාවට අදාල එවැනි නියැදියක් බව තමන් දැනුම්වත් නැති බවයි. 2021 දෙසැම්බර් මාසයේ ත්‍රිපෝෂවල ඇෆලටොක්සීන් අඩංගු බවට නියැදි පරීක්ෂණයකින් සොයාගත් බවත් ඒ වනවිටත් එම සාම්පල බෙදා නොදී ගබඩාවල තිබූ බැවින් ඒවා විනාශ කළ බවත් ඔහු කීවේය.

විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“2021 වර්ෂයේ දී ඇෆලටොක්සීන් ත්‍රිපෝෂවල අඩංගු බව තහවුරු කරගැනීමෙන් පස්සේ අපි ඒ කර්මාන්තායතනය පරීක්ෂා කරලා නිර්ණායක ලබාදුන්නා නැවත ඇෆලටොක්සීන් ඇති නොවන ආකාරයට තම නිෂ්පාදනය සිදුකරන්න. ඒ වගේම සෑම ත්‍රිපෝෂ තොගයක ම සාම්පල අරගෙන වෙළෙඳ පොළට නිකුත් කිරීමට පෙර ඇෆලටොක්සීන් පරීක්ෂණයක් සිදුකරන්නත් උපදෙස් දී තිබෙනවා. මා දන්නා තරමින් ඒ විදියට සිදුවෙනවා. ත්‍රිපෝෂ කියන්නේ ධාන්‍ය නිෂ්පාදනයක් ඒ නිසා දිලීර වර්ග ඇතිවිය හැකියි. අපි ඇෆලටොක්සීන් එහි අඩංගුද යන්න නිරන්තර සොයා බලනවා. 2022 අගෝස්තු කරපු පරීක්ෂණයකින් ඇෆලටොක්සීන් වාර්තා වුණා කියලා අපි දැනුම්වත් වී නැහැ”

උපුල් රෝහණ ඊයේ (20) මාධ්‍ය හමුවේ කියා සිටියේ මේ වනවිට බෙදාහැර ඇති ත්‍රිපෝෂ පවා එකතු කරන්න යැයි සෞඛ්‍ය අංශවලට උපදෙස් දී ඇති බවයි.

ඒ ගැන ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කිහිප දෙනකුගෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ තමන්ට එවැනි උපදෙසක් ලැබී නැති බවයි. එමෙන්ම ත්‍රිපෝෂවල ඇෆලටොක්සීන් අඩංගුබටව උපුල් රෝහණ කීව ද එවැනි වාර්තාවක් ගැන තමන් නොදන්නා බව ද ඔවුහු කිියති.

ත්‍රිපෝෂ තර්ජනයක් වූයේ කාට ද ?

පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ කිරිපිටි වර්ගවල මිල අධික ලෙස ඉහළ ගිය අතර හිඟයක් ද ඇති වී තිබිණි. එවැනි අවස්ථාවක දී කුඩා දරුවන් සිටින පවුල්වල උදෑසන ප්‍රධාන පෝෂකයක් වූයේ ත්‍රිපෝෂ හා ඒ හා සමාන අදේශකයක් වූ සම පෝෂ වැනි ධාන්‍ය සාරයන් ය. මෙය දුප්පත් පවුල්වල බහුලව භාවිතා කළ විකල්පයක් විය.

මේ නිසා කිරිපිටිවලට ඉල්ලුම අඩුවී ගිය බව වෙළෙඳ පොළ නිරීක්ෂණයේ දී අපට පෙනී යයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නැතිව මාධ්‍ය හමුවක දී ත්‍රිපෝෂවල ඇෆලටොක්සීන් නමැති උග්‍ර විෂ කාරකය ඇතැයි පවසා ත්‍රිපෝෂ සහ එවැනි පෝෂක අතිරේක ආහාර ගැනීමෙන් ජනතාව ඈත් කරන්නේ කිරිපිටි සමාගම්වල වුවමනාවකට ද යන්න අප සොයා බැලිය යුතුය.

අප අවස්ථා කිහිපයක දී නිරීක්ෂණය කර ඇති කරුණක් මෙහි දී සිහිපත් කළ යුතුය. උපුල් රෝහණ සභාපතිවරයා ලෙස කටයුතු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විවිධ උත්සව පැවැත්වෙයි. වාර්ෂික ක්‍රිකට් තරඟ, සුහද හමු ආදී එවැනි බොහෝ අවස්ථා සඳහා මෙරට ප්‍රධාන පෙළේ කිරිපිටි සමාගමක් අනුග්‍රහය දක්වයි. එම සමාගමෙන් අනුග්‍රාහකත්වය ලබා ගැනීම මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට ඉතාමත්  පහසු කටයුත්තක් බව එම සංගමයේ ම සාමාජිකයෝ කියති.

වෙළෙඳ ඒකාධිකාරියේ බොරු පුවතක් ද ?

ශ්‍රී ලංකාවේ වෙළෙඳ ඒකාධිකාරියක් පවත්වාගෙන යන ඇතැම් පුද්ගලයන් සහ ආයතන විසින් වරින් වර ජනමාධ්‍යතුළ විවිධ පුද්ගලයන් යොදා ගනිමින් අසත්‍ය පුවත් පළ කර තම වෙළෙඳ පොළ පැවැත්ම තහවුරු කරගන්නා අවස්ථා කිහිපයක් පසුගිය කාලයේ දක්නට ලැබිණි. පොල්තෙල්වල ඇෆලටොක්සීන් අඩංගු බව ඉන් එක් පුවතකි. එම පුවත සම්බන්ධයෙන් අප කරන ලද විමසා බැලීමක් මෙතැනින් පසුගිය ඉරිදා පුවත්පත් දෙකක පළ වූ ප්‍රධාන පුවතකින් කියැවුණේ රටින් ගෙන්වන සහල්වල උග්‍ර විෂ අඩංගු බවයි. නමුත් එවැනි පරීක්ෂණයක් සිදුකර සිදුකර තිබුණේ ද නැත. එම කරුණ සම්බන්ධයෙන් අප කරන ලද විමසා බැලීම මෙතැනින්.

දැන් ත්‍රිපෝෂවල ඇෆලටොක්සීන් අඩංගු බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සිය නිල නාමය සහ තනතුර භාවිතා කරමින් කියයි. නමුත් එවැනි වාර්තාවක් ඔහු පවා ඉදිරිපත් කරන්නේ නැත.

මේ වෙළෙඳුන්ට අවශ්‍ය පුවත් සමාජගත කිරීමක් දැයි සැකයක් මතුවන්නේ එබැවිනි.

මාධ්‍ය තම වගකීම ඉටු කරන්නේ නැත

ජනමාධ්‍ය කළ යුත්තේ කිසියම් අයකු කියන ඕනෑම කරුණක් සත්‍ය යැයි පිළිගෙන කිසිදු වග විභාගයක් නැතිව පළ කිරීම නොවේ. සියල්ල මුදල් සහ වරදාන වරප්‍රසාද මත තීරණය වන සමාජයක මාධ්‍යයට පුවතක් ප්‍රචාරය කිරීමට පෙර එහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට වගකීමක් තිබේ. එසේ නොකර පුවතක් පළ කරන්නේ නම් ඉන් සමාජයට සිදුවන හානිය සුළුපටු නැත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය යනු පිළිගත් වෘත්තීය සමිතියක. සිය නිල නාමය භාවිතා කරමින් එහි සභාපතිවරයා කුමක් කීව ද එය විචාරයකින් තොරව පළ කිරීම වරදකි. රසායානාගාර පරීක්ෂණ සඳහා සාම්පල යොමුකිරීමට උපුල් රෝහණට නිල බලයක් තිබේ. නමුත් ඒ වාර්තා සකසන්නේ වෙනත් පිළිගත් ආයතනයක් මගිනි.

ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න කිරිමේ අයිතිය හිමි මාධ්‍යවේදීන් මෙවැනි අවස්ථාක දී උපුල් රෝහණගෙන් අදාල රසායනාගාර වාර්තාව ඉල්ලා නැත.

ඇමතිවරයා කී කතාව

මේ පුවත පිළිබඳ සත්‍ය අසත්‍යතාව අපි ගවේෂණය කරන අතරතුර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිලමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ත්‍රිපෝෂවල ඇෆලටොක්සීන් අඩංගු නැති බවයි. එහි ඇෆලටොක්සීන් අඩංගුයැයි පළ වූ පුවත සාවද්‍ය බවත් මේ පිළිබඳ සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවත් ඔහු කියා සිටියේය.

ත්‍රිපෝෂවල ඇෆලටොක්සීන් තිබිය හැකි ද ?

ත්‍රිපෝෂ යනු ධාන්‍යමය ආහාරයකි. ඉතාමත් අධික පෝෂනයෙන් යුතු ත්‍රිපෝෂවල ඕනෑම මොහොතක ඇෆලටොක්සීන් විෂ බීජය තිබිය හැකි බව පර්යේෂකයෝ කියති. ත්‍රිපෝෂ හෝ එවැනි වෙනත් අතිරේක ආහාර නිෂ්පාදනයට ගන්නා ධාන්‍යවල පුස් අඩංගුවන්නේ නම් පුස් හේතුවෙන් ඇතිවන ඇෆලටොක්සීන් නමැති විෂ රසායනිකය එහි තිබීමට ඉඩ ඇත. එමෙන් ම ත්‍රිපෝෂ හෝ ඒ හා සමාන අනිකුත් අතිරේක ආහාර නිෂ්පාදනයෙන් පසු නිසි පරිදි ඇසුරුම් නොකරන්නේ නම්, වියළි ස්ථානයක නොතබා තෙත් ස්ථානයක තිබෙන්නේ නම්, ආහාර සඳහා විවෘතකර දිගු කලක් තිබෙන්නේ නම් මෙන්ම කල් ඉකුත් වූ පසුව ද එහි ඇෆලටොක්සීන් විෂ ඇතිවිය හැකි බව නොරහසකි.

(මෙම ප්‍රවෘතිය සම්බන්ධයෙන් යම් පුද්ගලයකුට හෝ ආයතනයකට හෝ අගතියක් සිදුවන්නේ යැයි හැ‍ඟෙන්නේ නම්  ඔවුන් විසින් කරනු ලබන පැහැදිළි කිරීම් ද මේ හා සමාන ඉඩක් ලබා දෙමින් පළකිරීමට අපි බැඳී සිටින්නෙමු)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles

error: Content is protected !!