spot_img
spot_imgspot_img

ජාතික පුවත්පත් දෙකක් හාල් මාෆියාව වෙනුවෙන් රටම නොමග යවයි. නොකළ පර්යේෂණයක් බොරුවට දාලා

පුවත්

විදෙස්

රටින් ගෙන්වන ලද හාල්වල උග්‍ර විෂකාරක ඇති බව පවසමින් ‍ඉරිදා (18) මව්බිම පුවත්පතේ සහ සති අග අරුණ පුවත්පත ව්‍යාජ ප්‍රවෘත්තියක්  මුල් පිටුවේ ප්‍රධාන පුවත ලෙස පළකර තිබේ.

මෙය මුළුමනින් ම රටේ ජනතාව නොමග යවන ප්‍රවෘත්තියක් වන අතර එමගින් මෙරට මහා පරිමාන සහල් මෝල් හිමියන්ට වෙළෙඳ පොළ අවස්ථාවක් උදා කරදීම ද සිදුවෙයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ සහල් මාෆියාවක් ක්‍රියාත්මක වන බවට විවිධ පුද්ගලයන්ගෙන් චෝදනා එල්ලවන අතර සහල් මිල පාලනය කිරීම ද මහා පරිමාන මෝල් හිමියන් විසින් සිදුකරන බව නොරහසකි. ඔවුන් පසුගිය දා දේශීය සහල් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 300.00 ආසන්නයට ඉහළ දැමූ විට රජය කළේ පිටරටින් සහල් ගෙන්වා වෙළෙඳ පොළ මිල පාලනය කිරීම සහ සහල් සඳහා පාලන මිලක් පැනවීමයි.

මෙලෙස මිල පාලනය කිරීමත් සමඟම මහා පරිමාන සහල් මෝල් හිමියන් සිය සහල් තොඟ සඟවා ගත් බවට ද පාරිභෝගිකයන් මෙන්ම සහල් වෙළෙන්දන් ද චෝදනා කළහ.

එවැනි තත්වයක් තුළ ඉරිදා මව්බිම පුවත්පත සහ සති අග අරුණ පුවත්පත මෙලෙස ව්‍යාජා පුවත් දෙකක් සිය මුල්පිටුවේ ප්‍රධාන පුවත බවට පත්කරමින් මෙරට සහල් ජාවාරම්කරුවන්ට සහය ලබා දෙමින් සිටියි.

එම පුවත්පත් දෙකේ ම සඳහන් ප්‍රවෘත්ති සැළකිල්ලෙන් විමර්ශනය කරන විට පෙනී යන්නේ එය කිසියම් පුද්ගලයකු විසින් හෝ ආයතනයක් විසින් ලියා සකස්කර එම පුවත්පත් දෙකෙහි පළකර ඇති බවයි. සහල් මාෆියාකරුවන්ගේ ලක්ෂ ගණනක් මුදල්වලට යට වී මෙලෙස ජනතාව නොමඟ යවන මේ ජාතික පුවත්පත් දෙකෙහි ප්‍රවෘත්තිය පිළිබඳ rata.lk අපි සොයා බැලුවෙමු. Factcheck කිරීමේ දී අපේ සැකය තහවරු විය.

එම පුවත්පත් දෙකෙහිම දක්වා ඇත්තේ රට සහල්වල උග්‍ර විෂ රසායනික ඇති බව පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් කළ පර්යේෂණයකින් තහවුරු වී ඇති බවයි. නමුත් එවැනි ප්‍රකාශයක් කළ පුද්ගලයකු පිළිබඳ හෝ එම පුවත්පත් දෙකම සඳහන් කර තිබුණේ නැත. තව ද එවැනි පර්යේෂණයක් කිසියම් පිළිගත් ආයතනයකින් ප්‍රකාශයට පත්කර තිබේ ද යන්න පිළිබඳ හෝ එහි සඳහන් කර තිබුණේ නැත. පර්යේෂණය සිදුකර ඇති කාලය හෝ ස්ථානය, එහි නියැදිය, කවර දිනයක දී සිදුකරන ලද්දේ ද යන්න හෝ සඳහන් කර තිබුණේ නැත. එමනේ ම කවර රටකින් ගෙන්වන ලද සහල්වල විෂ අඩංගුවේ ද යන්න හෝ මේ පුවත්පත් දෙකෙහිම සඳහන් කර තිබුණේ නැත.

මව්බිම සහ අරුණ පුවත්පත් දෙක පවසන්නේ 2022 වර්ෂයේ ජනවාරි සිට අගෝස්තු දක්වා මෙරටට ගෙන්වන ලද සහල්වල මෙලෙස විෂ රසායනික අඩංගු බවයි.

මේ පිළිබඳ සොයා බැලීම සඳහා අපි පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, ලසන්ත රත්නවීර අමතා විමසූ විට ඔහු කියා සිටියේ එවැනි කිසිදු පර්යේෂණයක් මෑත කාලීනව සිදු නොවූ බවයි ඒ අනුව අදාල මව්බිම පුවත්පත සහ අරුණ පුවත්පත වැරදි ප්‍රවෘත්තියක් පළකර ඇති බව ද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (කෘෂි පර්යේෂණ) පී.ඩබ්ලිව්.වයි.ලක්ෂාණිගෙන් විමසූ විට ඇය කියා සිටියේ සහල්වල අඩංගු රසායනිකයන් පිළිබඳ පර්යේෂණයක්  මෑත කාලීනව සිදුකර නැති බවයි. එමෙන් ම එවැනි පර්යේෂණ සඳහා ආයතනය සතුව මුදල් ප්‍රතිපාදන නොමැති බව ද ඇය කියා සිටියාය.

2017 වර්ෂයේ දී පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ මෙහෙයවීමෙන් සහල්  සම්බන්ධයෙන් එවැනි පරීක්ෂණයක් සිදුකර තිබූ බැවින් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ දැනුම්දීම මත අපි එම පර්යේෂණය සිදුකළ නිලධාරිනිය සම්බන්ධ කර ගත්තෙමු.

ඇය කියා සිටියේ එක් දිස්ත්‍රික්කය වෙළෙඳ පොළෙහි තිබූ දේශීය සහ විදේශීය සහල් වර්ග නියැදි කිහිපයක බැර ලෝහ පරීක්ෂා කළ බවයි. එහි දී දේශීය සහල්වල ද බැර ලෝහ අඩංගුවන බව ද තහවුරු වූ බව ද ඇය කියා සිටියාය. විදේශීය සහල්වල ද බැර ලෝහ සුළු වශයෙන් ඇති බව එම පර්යේෂණයෙන් තහවරු වී තිබිණි. නමුත් එම ප්‍රමාණයන් මව්බිම සහ අරුණ පුවත්පත්වල සඳහන් කර ඇති තරම් ප්‍රමාණයක් නොවන බව ද එම තොරතුරු මේ වනවිට වලංගු නොවන බව ද ඇය පවසයි. එම පරීක්ෂණයේ තොරතුරු හෝ කිසිම පුවත්පතකින් හෝ මාධ්‍යවේදියකු හෝ තමන්ගෙන් ලබා නොගත් බව ද ඇය කීවාය.

මේ අනුව පැහැදිළිවන්නේ මව්බිම පුවත්පත සහ සතිඅග අරුණ පුවත්පත ‍සිදුකර නැති පරීක්ෂණයක් කළා යැයි පවසමින් තම පාඨකයන් නොමග යවමින් සහල් මාෆියාවට උදව් කරන පුවතක් පළකර ඇති බවයි.

ශ්‍රී ලංකාවට සහල් ගෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි Industrial Technology Institute ආයතනයෙන් විමසූ විට එම ආයතනය පවසන්නේ මෙරටට ගෙන්වන ආහාර ගෙන්වීම පෙර සාම්පල් පරීක්ෂාවක් සිදුකර ඒවායේ මිනිස් සිරුරට අහිතකර බැර ලෝහ ඇතුළු රසායනික ද්‍රව්‍ය අඩංගුවන්නේ ද යන්න පරීක්ෂා කරන බවයි. එමෙන්ම ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීමට පෙර එම රටවල් ද එරට පිළිගත් රසායනාගාර මගින් බැර ලෝහ ඇතුළු රසායනික ද්‍රව්‍ය පිළිබඳ වාර්තාවක් ලබාගෙන එය ඉදිරිපත් කළ යුතු වේ. මීට අමතරව අදාල සාම්පල අනුමත කිරීමෙන් පසු ගෙන්වන සහල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍යයක් මෙරටට ගෙන ආ පසු ඒවායේ අහඹු නියැදි පරීක්ෂාවක් පසුව සිදුකරන බව ද එම ආයතනය පවසයි.

ජාතික මට්ටමේ පුවත්පත් යැයි තමන් විසින්ම හඳුන්වාගන්නා මව්බිම සහ අරුණ පුවත්පත් දෙක මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කිරීමේ දී එම ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් ලබා නැති බව එයින් පැහැදිළි වෙයි.

මෙම පුවත්පත් සඳහන් කර ඇත්තේ එම සහල්වල ඊයම් 43%ක් කැඩ්මියම් 26%ක්, රසදිය 20%ක්, සෙලනියම් 47%ක් අඩංගු වන බවයි. එම දත්ත අනුව මේ අහිතකර රසායනික පමණක් 136%ක් සහල්වල අඩංගු බව පුවත්පත් පවසයි. ඒ අනුව සහල්වල තිබිය හැකි සියලු ද්‍රව්‍යවල එකතුවටත් වඩා අහිතකර රසායනික අඩංගු වන්නේ කෙසේ ද යන්න ගැටලුවකි.

බැර ලෝහ සියයට ගණන්වලින් මනින ක්‍රමයක් ලොව කිසිම පර්යේෂණායතනයක සිදු වන්නේ නැත. එවැනි ක්‍රමයක් ලෝකයේ නැත.

Industrial Technology Institute ආයතනයෙන් පර්යේෂකයකු අප සමඟ කීවේ මෙම ප්‍රවෘත්තිය අසත්‍යයක් බව මේ දත්තවලින් ම පෙනී යන බවයි. සහල් මාෆියාවේ ‍බළල් අතක් බවට රටේ මාධ්‍ය පත්ව ඇති බවත් ජනතාව බිය ගැන්වීමට බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර ඇතත් එය නිවැරදි යැයි සිතෙන ආකාරයට හෝ ඉදිරිපත් කරන්නට ඔවුන් සමත්ව නැතැයි ද ඔහු කීවේය.

වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂසිතතා අමාත්‍යාංශයේ ලෙක්ම් එස්.ටී.කොඩිකාර පවසන්නේ මෙම අසත්‍ය වාර්තා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!