spot_img
spot_imgspot_img

විෂ පොල්තෙල් කමින් පිරිසිදු කළ පොල්තෙල් එපා කියන ජාතියක්

පුවත්

විදෙස්

අප ගන්නා ආහාරවල වස විෂ අඩංගු බවත් ඒවායින් පිළිකා ඇතුළු මාරාන්තික රෝග ඇතිවන බවටත් බොහෝ‍ දෙනකු අදහස් දක්වන්නේත්, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා හා වැඩසටහන් පවා සංවිධානය කරන්නනේ අද ඊයේ සිට නොවේ.

දැන් වසර ගණනාවක සිට මෙරට ආහාර ආරක්ෂිතතාව පිළිබඳ දැඩි කතා බහක් ඇතිවෙමින් පවතී. නමුත් මේ අදහස්වලට යම් විද්‍යාත්මක පදනමක් තිබේ ද යන්න සැක සහිතය. විවිධ ආහාරවල විෂ වර්ග ඇති බවට විශාල ප්‍රචාරයක් ගෙන ගිය ද ඒවා සනාථවන්නේ ද යන්නත් ගැටලුවකි.

මේ ආකාරයේ විවාදයට තුඩුදුන් නවතම මාතෘකාව වන්නේ පිටරටින් ආනයනය කළ පිරිපහදු නොකළ පොල්තෙල් තොගයක ඇෆ්ලාටොක්සීන් අඩංගු බවට ප්‍රචාරයවීමයි. ශ්‍රී ලංකාවේ පාරම්පරික පොල්තෙල් හිමියන්ගේ සංගමය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඒ බව අනාවරණය කළේය. ඔවුන් කියා සිටියේ සමාගම් 04කින් ඇෆ්ලාටොක්සීන් අඩංගු පිරිසිදු නොකළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 37,000ක් ආනයනය කර ඉන් කොටසක් රේගුවෙන් පිට‍තට ගෙන ගොස් ඇති බවයි.

මෙය රටම තැති ගැන්මකට ලක්කරන පුවතක් බවට පත්විය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මෙම පොල්තෙල්වල ඇෆ්ල‍ාටොක්සීන් හානිකර මට්ටමට නැතැයි පැවසූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ හානිකර මට්ටමට ඇෆ්ලාටොක්සීන් එහි තිබෙන බවයි. මේ අනුව යළි දෙවැනි වරටත් එම පොල්තෙල් සාම්පල පරීක්ෂාකළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයනය කියා සිටියේ දෙවැනිවර පරීක්ෂාකරන ලද පොල්තෙල්වල ඇෆ්ලාටොක්සීන් තිබිය යුතු ප්‍රමාණකට වඩා අධි මාත්‍රාවක් තිබෙන බවයි. එ් පිළිබඳ ශ්‍රී ලංකා රේගුවට දන්වා තිබූ අතර ඇෆ්ලාටොක්සීන් අඩංගු ‍පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කිරීමට ද තීරණය කර තිබේ. මේ අතර ස්ථාන කිහිපයකින් ඇෆ්ලාටොක්සීන් අඩංගු බවට සැක සහිත පිරිසිදු නොකළ පොල්තෙල් සහිත බවුසර ද අත්අඩංගුවට ගැණිනි.

ශ්‍රී ලංකාවේ පොල්තෙල් ප්‍රමුඛ ආහාරවල අඩංගුවිය හැකි ඇෆ්ලාටොක්සීන් පිළිබඳ දීර්ඝතම පර්යේෂය කර ඇත්තේ සම්මානිත මහාචාර්ය උපාලි සමරජීව මහතා විසිනි. 1974 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වාම මේ පිළිබඳ වරින් වර පරීක්ෂණ සිදුකළ මහාචාර්යවරයාගේ පළමු සමීක්ෂණයට පමණක් රට පුරාම තිබූ තෙල් මෝල් 700කට වැඩි ප්‍රමාණකින් තෙල් නියැදි රැගෙන තිබූ අතර එම මෝල් හිමියන්ගේ පොල්තෙල් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීම ද කර තිබිණි.

ඇෆ්ලාටොක්සීන් ලෝකයේ මුල් වරට සොයා ගැණෙන්නේ 1961 වර්ෂයේ දී රටකජු වලිනි. ඇෆ්ලාටොක්සින් යනුවෙන් හඳුන්වන්නේ රටකජු, බඩඉරිඟු (ඉරිඟු), කපු බීජ ඇතුළු ශාඛමය ඵලදාව හෙවත් කෘෂිකර්ම භෝග මත වර්ධනය වන දිලීරයක් මගින් නිපදවනු ලබන විෂ වර්ගයකි.

ඇෆ්ලාටොක්සීන් නිපදවන ප්‍රධාන දිලීර වන්නේ ලෝකයේ උණුසුම් හා තෙතමනය සහිත ශ්‍රී ලංකාව වැනි රටවල බහුලව හමුවන Aspergillus flavus (ඇස්පර්ගිලස් ෆ්ලෙවස්) සහ Aspergillus parasiticus (ඇස්පර්ගිලස් පැරසිටිකස්) නමැති දිලීර විශේෂ දෙකයි. භෝග වර්ග ගබඩා කිරීමේ දී මෙම දිලීර වර්ධනය වී විෂ ආහාරයට එකතු වේ.

ඇෆ්ලාටොක්සීන් දිලීරය

ඇෆ්ලටොක්සීන් නමැති විෂ පිළිබඳ ලෝකයට අනාවරණය කළ විද්‍යාඥයා සහ ඔහුගේ සහායකයා ද බඩවැලේ ඇති වූ පිළිකා හේතුවෙන් මියගොස් ඇති බව වාර්තාවේ. ඇෆ්ලොටොක්සීන් පිළිබඳ ඇමෙරිකාව නිරන්තර අවධාන‍යෙන් පසු වූ අතර 1970 දී පිලිපීනයෙන් ඇමෙරිකාවට යවන ලද කොප්පරා තොගයක ඇෆ්ලටොක්සීන් අඩංගුවීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප කර තිබිණි. ශ්‍රී ලංකාව ඇෆ්ලටොක්සීන් පිළිබඳ උනන්දුවක් ඇතිකරගන්නේ එතැන් සිටය.

කොප්පරා අපනයන කරුවකු වූ ශ්‍රී ලංකාවෙන් යවන කොප්පරාවල ද ඇෆ්ලටොක්සීන් අඩංගු වුවහොත් එය මෙරට කොප්පරා කර්මාන්තයට විශාල ගැටළුක් විය හැකි බැවින් ප්‍රශ්නය කලින්ම තේරුම්ගෙන විසඳුම් සෙවීමට පොල් සංවර්ධන මණ්ඩලය කටයුතු කරනු ලැබීය. ඒ අනුව පොල් සංවර්ධන මණ්ඩලයේ ද අවශ්‍යතාව අනුව ආරම්භ කරන ලද පර්යේෂණවලට මහාචාර්ය උපාලි සමරජීව මහතා ද සහභාගී වී සිටියේය.

“ශ්‍රී ලංකාවේ අපි කළේ පෙර සූදානමක්. ඒ නිසා ඇෆ්ලටොක්සීන් හඳුනාගැනීමටත් එය මෙරට කොප්පරා සහ පොල්තෙල්වලට එකතුවීම අඩුකරගන්නත් අපි පර්යේෂණ කළා. අන් සෑම රටකටම වඩා හොඳින් මේ ක්‍රමවේදයන් අපේ ‍රටේ දියුණු කරන්න හැකියාව ලැබුණා.”

මහචාර්යවරයා පවසන්නේ වරක් ඔහු පරීක්ෂාකරන ලද මෙරට මහා පරිමාන තෙල් මෝල් 47ක් අතරින්  එක් තෙල්මෝලක් පුස් කෑ, නරක් වූ තෙල් අරගෙන පොල්තෙල් නිෂ්පාදනය කරන්නේ යැයි නිරීක්ෂණය කළ හැකි වූ බවයි. එහි හිමිකරුවා සමඟ සාකච්ඡා කරමින් වරද පෙන්වා දුන් විට

“මම මේවා පිටකොටුවට යවන්නේ. තොග හැටියට. එතැන දී විකිණෙනවා. කවුරුවත් දන්නේ නැහැ කවුද නිෂ්පාදකයා කියා.” යැයි පවසා තිබේ.

එම තෙල් මෝල් 47න් 15ක් ඉතාමත් හොඳ ගුණාත්ක පොල්තෙල් නිෂ්පාදනය කරන බවත්, තවත් පොල්තෙල් මෝල් 15ක පමණ ඇෆ්ලටොක්සීන් අඩංගු වන්නේ නීතිගත කර ඇති ප්‍රමාණයට තරමක් අඩුවෙන් බවත් අනේ 16 හි ම නිෂ්පාදනය කරන පොල්තෙල්වල ඇෆ්ලාටොක්සීන් ප්‍රමාණය වරින් වර ඉහළ පහළ යන බවත් හඳුනාගත් බව මහාචාර්ය සමරජීව මහතා පවසයි.

1974 සිට දිගින් දිගටම කරන ලද පර්යේෂණ අනුව ඔවුන් පෙන්වා දී ඇත්තේ පොල් තෙල් බෝතල් කර නිෂ්පාදකයාගේ ව්‍යාපාරික නාමයන් සහ ලිපිනයන් සහිතව අළෙවි කිරීම අනිවාර්යය කළ යුතු බවයි. නමුත් පවතින කිසිදු රජයක් ඒ සඳහා එකඟ වී නැත. නමුත් රජය සමඟ වරින්වර පැවැත්වූ සාකච්ඡාවලින් පසු 2019 දී එය නීතිගත කර ඇතත් එම නීතියේ ද දැක්වෙන්නේ පොල්තෙල් නිෂ්පාදකයන්ට අවශ්‍යනම් පමණක් බෝතල් ඇසුරුම්වල පොල්තෙල් විකිණිය හැකි බවයි. ඕනෑම අයකුට පොල්තෙල් විශේෂ අසුරුම් නොමැතිව විකිණීමේ හැකියාව තවමත් පවතී.

කොප්පර මැස්ස

මහාචාර්ය සමරජීව පවසන්නේ ශ්‍රී ලංකාවේ කොප්පරාවලින් පොල්තෙල් නිෂ්පාදනය මහා පරිමාන තෙල් මෝල්වල, නාගරික හා ග්‍රාමීය වශයෙන් ඇති කුඩා තෙල් මෝල්වල මෙන්ම නිවෙස්වල ද සිදුවන බවයි. 1950 දශකයේ සිට කොප්පරා වේලීමේ ප්‍රමිතිගත ක්‍රමවේදයක් පොල් සංවර්ධන මණ්ඩලයෙන් හඳුන්වා දී තිබේ. ඒ අනුව කොප්පරා මැස්ස සෑදීම, එය අඩි දෙකක් හාරා පොල්කටු තැබීමේ පිළිවෙල, රාත්‍රී කාලයේ ගිනි දමා දිවා කාලයේ නිවෙන්නට හැරීමෙන් කෝප්පරා වියළීමේ ක්‍රමවේද හඳුන්වා දී තිබේ. නමුත් දැනට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන පොල්තෙල් නිෂ්පාදනය කරන රටවල කොප්පරා නිෂ්පාදනය කරනු ලබන්නේ එවැනි ප්‍රමිතියකට නොවන බැවින් එම පොල්තෙල් මෙරට නිෂ්පාදනය කරන පොල්තෙල්වලට වඩා තරමක් කළු පැහැයට හුරුය. ඇතැම් මාධ්‍ය සාකච්ඡාවල දී රතු පැහැති තෙල් වර්ගයක් පෙන්වමින් පිරිසිදු නොකළ පොල්තෙල් යැයි පැවසුව ද දීර්ඝ කාලයක් පොල්තෙල් හා ඇෆ්ලාටොක්සීන් ගැන පර්යේෂණ කළ මහාචාර්ය සමරජීව මහතා පවසන්නේ පොල්තෙල් කිසි දිනක රතු පැහැ නොවන බවයි. රතු පැහැයට ඇත්තේ පාම් තෙල් බවයි. එය ජනතාව නොමග යැවීමක් බව ද හෙතෙම කීවේය.

“දැන් පොඩි තෙල් මෝල් බිහිවෙලා තියෙනවා. මේ මෝල්වල තෙල් නිෂ්පාදනයට ගන්නා කොප්පරා පරීක්ෂාකළවිට ඉන් 80%ක් ම පුස් කාපුවා. ගෙවල්වල නිකන්ම අව්වේ වේළලා තමයි මේ කොප්පරා ගේන්නේ. පොල් ගෙඩියක මදයෙන් 44% තියෙන්නේ වතුර එය 8% වඩා අඩු වනතුරු වේළුවොත් පුස් හැදෙන්නේ නැහැ. නමුත් ‍කොප්පරා විකුණන්නේ බරට නිසා ඒ තරම් වේලන්නේ නැහැ. ඒ නිසා පුස් හැදෙනවා. පුස් තියෙනවා කියන්නේ හිඳින පොල්තෙල්වල යහමින් ඇෆ්ලාටොක්සීන් තියෙනවා.” මහාචාර්ය සමරජීව මහතා කීවේය.

ඔහු පවසන්නේ ගෘහස්ථව කොප්පරා සකසා කුඩා මෝල්වලට ගෙන ගොස් සාදාගන්නා පොල්තෙල්වල මහා පරිමාන මෝල්වලින් නිෂ්පාදනය කරන පොල්තෙල්වලට වඩා 04 ගුණයක් ඇෆ්ලාටොක්සීන් අඩංගුවන බවයි. නමුත් පොල්කිරි හින්දවමින් සාදන පොල්තෙල් ඉතාමත් පිරිසිදු බවත්, එය සුවඳින් සහ ගුණාත්මක බවින් වැඩි බවත්. ඇෆ්ලාටොක්සීන් නොමැති බවත් මහාචාර්ය වරයා පවසයි.

ශ්‍රී ලංකාවේ පොල්තෙල්වල ඇෆ්ලාටොක්සීන් අඩංගුව තිබෙන ප්‍රමාණයන් සහ ආකාරයන් සොයා බැලීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු මහජන සෞඛ්‍යය හා භිෂක්වේදය‍ දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය නුවන් කරුණාරත්න, ආචාර්ය උපාධි අපේක්ෂිකා චන්දිමා ප්‍රනාන්දු, සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රුචික ප්‍රනාන්දු සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු මූලික අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ආචාර්ය හා පශු වෛද්‍ය  පීඨයේ වත්මන් පීඨාධිපති මධුර මුණසිංහ යන කණ්ඩායම විසින් 2017-18 දී අධ්‍යයනයක් සිදුකර එය “ෆුඩ් කන්ට්‍රොල්” නමැති ජාත්‍යන්තර සඟරාවේ ප්‍රකාශයට පත්කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම

එම පර්යේෂණය සඳහා දිස්ත්‍රික්ක කිහිපයකින් ආහාරයට ගන්නා තෙල් සාම්පල 59ක් ලබාගෙන ඇති අතර ඉන් 32ක් පොල්තෙල්ය. එම සාම්පලවලින් 16ක් මෙරට නිෂ්පාදනය කර පිළිගත් වෙළෙඳ නාම යටතේ විකුණන ඒවා වන අතර අනෙක් සාම්පල 16 මෙරට නිෂ්පාදනය කර වෙළෙඳ නාම නොමැතිව සිල්ලරට විකුණන ඒවා බව පර්යේෂකයෝ කියති.

මෙම පොල්තෙල් සාම්පල රසායානාගර පර්යේෂණ සඳහා ලක්කර ඇත්තේ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ ඇති ආහාර සුරක්ෂිතාව සහ තත්ත්ව සහතික කිරීමේ රසායනාගාරයේ දී ය (Food Safety and Quality Assurance Laboratory). එම පර්යේෂණාගාරය ඇෆ්ලාටොක්සින් පරීක්ෂාව සඳහා මෙරට ඇති හොදම පර්යේෂණාගාරය වන අතර ඇෆ්ලටොක්සින් පරීක්ෂණයන්හි නිවැරදිතාවය තහවුරු කිරීමට පවත්වනු ලබන අධ්‍යයනයන්හිදී (proficiency testing) ලොව ඉහලම තලයේ විද්‍යාගාර සියගණනක් අභිබවා වසර ගණනාවක් පිටපිටම හොඳම පර්යේෂණාගාර 20 අතරට පැමිණ ඇත. එමෙන්ම පොල්තෙල්වල ඇෆ්ලාටොක්සින් පරීක්ෂාව සඳහා සඳහා ජාත්‍යන්තර ප්‍රතීතනය සහිත (ISO 17025) රාජ්‍ය අංශයේ එකම රසායනාගාරය ද වෙයි. 

ඉහත පර්යේෂණයෙන් ලැබුණු ප්‍රතිඵල අනුව සනාථ වී ඇත්තේ පොල්තෙල් සාම්පල 32න් 12ක ම ඇෆ්ලටොක්සින් පැවති අතර එම සාම්පලවල අඩංගු සම්පූර්ණ ඇෆ්ලාටොක්සීන් ප්‍රමාණය (ඇෆ්ලාටොක්සීන් B1, B2, G1 සහ G2) කිලෝ ග්‍රෑමයට මයික්‍රෝ ග්‍රෑම් 2.25- 72.7 අතර වූ බවයි. ඇෆ්ලාටොක්සීන් B1 යනුවෙන් හඳුන්වන වඩාත් හානිකර වර්ගය එම සාම්පලවල කිලෝ ග්‍රෑමයට මයික්‍රෝ ග්‍රෑම් 1.76 – 60.92ක් දක්වා තිබිණි. මෙම ඇෆ්ලටොක්සින් අඩංගු සාම්පල 12 ට වෙළඳ නාම යටතේ අළෙවියට තිබූ සාම්පල 05ක හා සිල්ලර වෙළෙඳාමට ඇති සාම්පල 07ක් අයත් වී ඇත. එම පර්යේෂණයට අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර වෙළෙඳ පොළට නිකුත් කර ඇති පොල්තෙල් අතරින් 37.5% ප්‍රමාණයක ඇෆ්ලාටොක්සීන් නමැති පිළිකාකාරකය අඩංගුවේ.

මෙම පර්යේෂණයේ නියමුවා වන ආචාර්ය රුචික ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙය ඉතාමත් භායනක තත්ත්වයක් බවයි. වෙළඳ නාමයන් යටතේ විකුණන පොල්තෙල්වල සාමාන්‍ය සිල්ලර වෙළෙඳාමට යොදාගන්නා පොල්තෙල්වල අඩංගු ඇෆ්ලටොක්සීන් ප්‍රමාණයට වඩා ඇෆ්ලටොක්සීන් ප්‍රමාණයක් අඩංගු වී තිබුණු බව ද පර්යේෂකයන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත. එම නිරීක්ෂණයට ඔවුන්ගේ උපකල්පනය වන්නේ සිල්ලරට විකුණන පොල්තෙල්වලට ව්‍යාපාරිකයන් විසින් පාම් තෙල් කළවම් කරන බැවින් එම පොල්තෙල් කිලෝ ග්‍රෑමයක තිබෙන ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය අඩු වීය හැකි බවයි. නමුත් ව්‍යාපාරිකයන් විසින් පාම් තෙල් කළවම් කරනවාද කියා ඔවුන් විද්‍යාත්මකව තහවුරු කර නැත.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයනයේ නිර්ණායක අනුව පොල්තෙල් කිලෝ ග්‍රෑමයක ඇෆ්ලටොක්සීන් තිබිය හැක්කේ උපරිම මයික්‍රෝ ග්‍රෑම් 10ක් බවයි. නමුත් 1980 ආහාර පනත යටතේ නිකුත්කරන ලද අතිවිශේෂ ගැසට් අංක 7887 1993 ඔක්තෝබර් අනුව එම සීමාව මයික්‍රෝ ග්‍රෑම් 30ක් යැයි සඳහන් කර තිබේ. කිරිවල තිබිය හැකි ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 01 ක් වේ. මේ පරස්පරය ද ඉතා ඉක්මණින් නිවැරදි විය යුතුය. පොල්තෙල් සඳහා ප්‍රතීතනය යටතේ සහතික නිකුත් කළ හැකි එකම ආයතනය වන පේරාදෙණිය පර්යේෂණාගාරයට ගැටලුවට තුඩුදුන් පොල්තෙල් සාම්පල බ්‍රහස්පතින්දා (01) දහවල් වනතුරුම රජයෙන් යොමුකර තිබුණේ නැත.

කෙසේ වෙත් පොල්තෙල්වල ඇෆ්ලාටොක්සීන් ප්‍රමාණය ‍පිළිබඳ සොයා බලන්නේ ඒවා ආනයනය කිරීමේ දී පමණි. මෙරට නිෂ්පාදනය කරන පොල්තෙල්වල විෂ අඩංගුදැයි සොයා බැලීමේ ක්‍රමවේදයක් නැත. 

මහාචාර්ය උපාලි සමරජීව මහතා පවසන්නේ වෙළෙඳ පොළට නිකුත් කරන ශ්‍රී ලංකාවේ පොල්තෙල් ද පිරිපහදු කරන්නේ නම් ඉන් ඇෆ්ලාටොක්සීන් විෂ සංඝටකය ඉවත්කළ හැකි බවයි. නමුත් මෙරට පිරිපහදු කරන්නේ විදේශයන‍්ගෙන් ආනයනය කරන පොල්තෙල් පමණි.

“පිටරටින් ‍ගේන පොල්තෙල් පිරිපහදු කිරීමේ තාක්ෂණය අපේ රටේ තිබෙනවා. එහි දී පොල්තෙල්වල තිබෙන ආම්ලික ගතිය නැති කරන්න සෝඩියම් හියිඩ්‍රොක්සයිඩ් යොදලා සෙන්ටිග්‍රේඩ් අංශක 80 දක්වා රත්කර කේන්ද්‍රාපසරණ ක්‍රියාවලියෙන් ඉවත් කරනවා. එවිට එම පොල්තෙල්වලට විශාල වටිනාකමක් එනවා.” යැයි මහාචාර්යවරයා පවසයි.

හෙතෙම පවසන්නේ විදෙස් රවටලින් ගෙන්වා ප්‍රශ්නකාරී වී ඇති පොල්තෙල් පිළිබඳ නිවැරදි විද්‍යාත්මකව බැලිය යුතු බවයි. ජනතාව මෙම සත්‍යය තේරුම්ගත යුතු බවත් එම තෙල් ප්‍රති අපනයනය නොකර පිරිපහදු කර වෙළෙද පොළට නිකුත් කිරීමෙන් ඉතාමත් ආරක්ෂිත ආහාරයට ගත හැකි පොල්තෙල් ජනතාව අතට පත්කළ හැකි බවත් මාහාචාර්යවරයා පවසයි. නැතිනම් එම පොල්තෙල් තොග පිරිපහදු කර යුරෝපීය රටවල ෂැම්පු වර්ග, සමේ ආලේපන වර්ග සෑදීමට අපනයනය කිරීම හෝ එවැනි නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ ම ප්‍රයෝජනයට ගත හැකි බවත් මහාචාර්ය සමරජීව මහතා පවසයි.

මහාචාර්ය උපාලි සමරජීව

ඇෆ්ලාටොක්සීන් යනු උග්‍ර විෂයකි. වැඩි මාත්‍රාවක් ශරීරගත වුවහොත් ක්ෂණික මරණයක් ඇතිවිය හැකි අතර දීර්ඝ කාලයක් සුළු වශයෙන් ශරීරගතවීමෙන් අක්මා පිළිකා ඇතිවිය හැකියි. එබැවින් ඇමෙරිකාව වැනි රටවල් ඇෆ්ලටොක්සීන් පිළිබඳ නිරන්තර සොයාබලා ඒවා ආහාරවලට එක්වීම වැළැක්වුව ද අපේ රටේ තෙල් මෝල්වල අතුරු නිෂ්පාදනයක් වන පුනක්කුවල ද ඇෆ්ලටොක්සීන් අඩංගුය. පුනක්කු ගවයන්ගේ ආහාරයක්වන අතර මස් හා කිරි සමග ඒවා යළි මිනිස් සිරුරට පැමිණේ.

පර්යේෂකයන් පවසන්නේ ඇෆ්ලාටොක්සීන් මෙරට නිෂ්පාදනය කරන පොල්තෙල්වල තරම් පිරිපහදුකරන ලද ආනයනික පොල්තෙල්වල නොමැති බවයි. එමෙන්ම අප ආහාරයට ගන්නා තවත් ද්‍රව්‍ය රැසක ඇෆ්ලොටොක්සීන් අඩංගු වුව ද ඒ පිළිබඳ නිසි පර්යේෂණ සිදුකර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!