spot_img
spot_imgspot_img

කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගැන බොරු කී පොලිසිය අමාරුවේ වැටෙයි. තොරතුරු කොමිසම දැඩ තීරණයක

පුවත්

විදෙස්

උද්ඝෝෂකයන් විසුරුවාහැරීම සඳහා කල් ඉකුත්වූ විෂ සහිත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සහ එම ගෑස් මිල දී ගැනීම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු දින 10ක් ඇතුළත ලබා දෙන ලෙස තොරතුරු කොමිෂම අද (14) පොලිසියට නියෝග කළේය.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ලද ඉල්ලීමකට තොරතුරු ලබා නොදීම හා ව්‍යාජ තොරතුරු ලබාදීම පිළිබඳ කරනු ලැබූ අභියාචනයක් සළකා බලමින් තොරතුරු කොමිසම විසින් මෙම නියෝගය කරන ලදී.

අද පැවැති අභියාචනය විභාග කිරීමේ දී පොලිස් සැපයුම් කොට්ඨාසය සහ පොලිස් නීති කොට්ඨාසය ඇතුළු නිලධාරීන්, පොලිස්පතිවරයා නියෝජනය කරමින් සහභාගී වී සිටීම හේතුවෙන් වෙනත් පාර්ශවවලින් තොරතුරු ඉල්ලා සිටින ලෙස යෝජනා කළ නොහැකියැයි ද කොමිසම පොලිසියට පැහැදිළි කරන ලදී. නොරතුරු නොදෙන්නේ නම් කොමිසම හමුවට පොලිස්පතිවරයා කැඳවීමට සිදුවන බව ද ප්‍රකාශ කෙරිණි.

2010 වසරේ සිට 2022 වසර දක්වා ශ්‍රී ලංකා පොලිසිය කඳුළු ගෑස් මිලදී ගැනීම ගැනත්, ඊට අදාල ප්‍රසම්පාදන තොරතුරු ගැනත්, 2022 වසරේ දී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම ගැනත්, කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිත කිරීම ගැනත් මෙම තොරතුරු ඉල්ලීම මගින් ඉල්ලා තිබිණි.

අභියාචක තරිඳු ජයර්ධන ප්‍රකාශ කළේ පොලිසිය ව්‍යාජ සහ නොමග යවන සුළු තොරතුරු ලබාදී ඇති බවයි.

මීට පෙර අභියාචනය කැඳවූ අවස්ථාවේදී 2010 සිට 2022 දක්වා කඳුළු ගෑස් මිලදී ගැනීම්වලට අදාල ප්‍රසම්පාදන තොරතුරු ලබාදීමට ශ්‍රී ලංකා පොලිසිය එකඟවූ අතර ඊට අදාලව ලියවිලි ගොනුවක් තොරතුරු ඉල්ලුම්කරුට පිටපතක් සහිතව තොරතුරු දැන ගැනීමේ කොමිසමට එවා තිබිණි.

අදාල කාලසීමාවේදී පොලිසිය කඳුළු ගැස් උණ්ඩ 25,000ක් මිලදී ගෙන ඇති බවත්, අවස්ථා තුනකදී එම කඳුළු ගෑස් උණ්ඩ මිලදී ගෙන ඇති බවත් එම තොරතුරුවල සඳහන් කර තිබුණ ද පොලිසිය සැබෑ ලෙස මිලදී ගෙන ඇති අවස්ථා ගණන සහ මිලදී ගෙන ඇති කඳුළු ගෑස් ප්‍රමාණය මීට වඩා වැඩි බව අභියාචක සාක්කි සහිතව පෙන්වා දුන්නේය.

2016 වසරේ දී කඳුළු ගෑස් මිල දී ගැනීමට අදාල ප්‍රසම්පාදන ලියකියවිලිවල අවසන්වරට 2012 වසරේ කඳුළු ගෑස් මිලදී ගෙන ඇතිබව පෙන්වා දුන් අභියාචක සඳහන් කළේ පොලිසිය මෙම අභියාචනයට අදාලව තොරතුරු ලබා දෙද්දි 2012 වසරේ මිලදී ගැනීම්වලට අදාල තොරතුරු සඟවා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ලේඛන පරීක්ෂා කළ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ගෙන් විමසා සිටියේ එම තොරතුරු ඇතුළත් කර නැතිවිමට හේතුව කුමක්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් පොලිස් සැපයුම් කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ එම අවස්ථාවේ කඳුළු ගෑස් මිලදී ගෙන ඇත්තේ සැපයුම් කොට්ඨාසයෙන් නොවන බැවින් එම තොරතුරු නොමැති බවයි. මීට පෙර අභියාචනයට පැමිණි පොලිස් සැපයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා පැහැදිලි ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා පොලිසියට සියලු මිලදී ගැනීම් කරන්නේ තම කොට්ඨාසය හරහා බව කියා තිබියදී 2012 වසරේ කඳුළු ගෑස් මිලදී ගැනීමට අදාලව තොරතුරු නොමැති බවට මෙම අවස්ථාවේ මෙවැනි ප්‍රකාශයක් කිරීම පරස්පර බවත්, වගකීම් විරහිතව එවැනි ප්‍රකාශ නොකරන ලෙසත් පොලිසියට අවවාද කළේය.

කල් ඉකුත් වූ කඳුළු ගෑස් තොරතුරු සහ 2022 එල්ල කරන ලද කඳුළු ගෑස්වල තොරතුරු පොලිස් සැපයුම් කොට්ඨාසයේ සහ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නොමැති බව පොලිස් සැපයුම් කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා සහ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරියා ප්‍රකාශ කළහ. අභියාචනයට අදාලව තොරතුරු කොමිසම සිතාසි නිකුත් කර ඇත්තේ අදාල කොට්ඨාසවලට නොව පොලිස්පතිවරයාට බවත්, ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා නියෝජනය කරමින් කොමිසමට පැමිණි නිලධාරීන් එක් එක් අංශයේ තොරතුරු නැතැයි කීම පිළිගත නොහැකි බවත්, තිබෙන තැනින් තොරතුරු ලබාදීම ශ්‍රී ලංකා පොලිසියේ වගකීමක් බවත් තොරතුරු කොමිසම අවධාරණය කළේය.

පොලිස්පතිවරයා නියෝජනය කරමින් පැමිණෙන නිලධාරීන් වගකීම් විරහිතව එක් එක් අංශවල තොරතුරු නැතැයි කියමින් අභියාචකට තොරතුරු තිබෙන ස්ථානය සොයා ගැනීමට සැලැස්වීම ගැන විවිවේචනය කළ තොරතුරු කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ප්‍රකාශ කළේ මෙලෙස වගකීම් විරහිතව පොලිස්පතිගේ නියෝජිතයන් කටයුතු කරනවා නම් ඉදිරියේ දී පොලිස්පතිවරයා පුද්ග්ලකිවම කොමිෂන් සභාවට කැඳවීමට සිදුවනු ඇති බවයි.

ඒ ඒ අවස්ථාවල කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධ තොරතුරු පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ලේඛන පවත්වා ගෙන නොයන බව එහි අණ දෙන නිලධාරියා ප්‍රකාශ කළ අතර කොමිසම ඒ සම්බන්ධයෙන් විමතිය පළ කළේය. අදාල තොරතුරු ඇත්තේ ඒ ඒ පොලිස් කොට්ඨාසවල බව පසුව අණ දෙන නිලධාරියා ප්‍රකාශ කළේය. තොරතුරු පනත අනුව පොදු අධිකාරිය සන්තකයේ, පාලනයේ හෝ බාරයේ තිබෙන තොරතුරු ලබා දිය යුතු බවත්, අදාල සියලු කොට්ඨාස ඇත්තේ නම් කළ නිලධාරියා වන පොලිස්පතිවරයා යටතේ බවත් සඳහන් කළ අභියාචක වැඩිදුරටත් ප්‍රකාශ කළේ තොරතුරුවල පාලනය පොලිස්පතිවරයාට ඇති බවයි.

ඒ අනුව තරිඳු ජයවර්ධන විසින් ඉල්ලා ඇති සියලුම තොරතුරු අදාල අංශවලින් කැඳවා ලබා දිය හැකි බව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරියා ප්‍රකාශ කළේය.

සභාපතිවරයා ඊට අදාල නියෝගය සටහන් කරද්දී පොලිස් නීති කොට්ඨාසය නියෝජනය කරමින් පැමිණි පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ කඳුළු ගෑස් එල්ල කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවතින බැවින් එම තොරතුරු මුදා හැරීම ගැටලු සහගත බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් තරිඳු ජයවර්ධන සඳහන් කළේ පොලිසිය සිය අස්ථාවරය අවස්ථා ගණනාවක දී වෙනස් කළ බවයි. ජාතික ආරක්ෂාවට අදාල බැවින් තොරතුරු ලබා දිය නොහැකි බව, තොරතුරු ඒ ඒ කොට්ඨාසවල නැති නිසා ලබාදිය නොහැකි බව, තොරතුරු විනාශ කර ඇති නිසා තොරතුරු ලබා දිය නොහැකි බව ආදී වශයෙන් සිය ස්ථාවරය වෙනස් කර අවසානයේ නඩු පවතින බැවින් ලබාදිය නොහැකි බව ප්‍රකාශ කරන්නේ තොරතුරු ලබාගැනීම වැලැක්වීමට බව ඔහු කීවේය.

ඊට ප්‍රතිචාර දක්වමින් තොරතුරු කොමිෂන් සභාව අවධාරණය කළේ නඩු පවතින පමණින් තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ නොහැකි බවත්, අදාල තොරතුරු හෙළිදරව් කිරීම මගින් අධිකරණයේ අධිකාරී බලය හා අපක්ෂපාතී බව පවත්වාගෙන යෑමට අගතියක් සිදුවන බව පොදු අධිකරිය සනාථ කළ යුතු බවත් ය. කෙසේ වෙතත් පොලිසිය කිසිම අවස්ථාවක ලිඛිතව එවැනි ස්ථාවරයක් ප්‍රකාශ කර නැති නිසා එය පිලිගත නොහැකි බව කොමිසම සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය එකඟ වූ පරිදි දින 10ක් තුල තොරතුරු මුදා හැරීමට අවස්ථාව ලබා දුන් අතර එම තොරතුරු ලැබීමෙන් පසු ලබන ඔක්තෝබර් 06 වැනිදා නැවත අභියාචනය කැඳවීමට නියෝග කළේය.

අද මෙම අභියාචනය තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන විනිසුරු උපාලි අබේරත්න, විනිසුරු රෝහිනී වල්ගම, ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජගත් ලියනආරච්චි ඉදිරියේ කැඳවිණි. අභියාචනා විභාගය සඳහා ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් පොලිස් ක්ෂේත්‍ර බලකා මූළස්ථානයේ අණ දෙන නිලධාරී, පොලිස් සැපයුම් කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා සහ පොලිස් නීති කොට්ඨාසයේ නීතිඥවරයකු වන උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු කණ්ඩායමක් පැමිණ සිටියහ. අභියාචකගේ පාර්ශ්වයෙන් අභියාචක තරිඳු ජයවර්ධන, නීතිඥ සුරේන් ඩී පෙරේරා, නීතිඥ මනුෂිකා කුරේ පෙනී සිටි අතර අභියාචනා විභාගය දැක බලා ගැනීම සඳහා සමාජ ක්‍රියාධරයකු සහ සමාජ හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!