spot_img
spot_imgspot_img

රනිල් ඉල්ලා අසුවුණොත් ? සිදුවන දේ මෙන්න

පුවත්

විදෙස්

ඇතැම් පාර්ශව සහ පුද්ගලයන් බලපෑම් කරන ආකාරයට අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වුවහොත් සමස්ත ශ්‍රී ලංකාව ම නැවත ගොඩගත නොහැකි ආකාරයට කඩා වැටෙනු ඇතැයි මහාචාර්ය රොහාන් සමරජීව පවසයි.

ශ්‍රී ලංකාවේ 69 ලක්ෂයක් වූ ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ අති බහුතර ජන වරමකින් මෙරට විධායක ජනාධිපතිවරයා බවට පත්කර වසර 03ක් ඉක්මයාමට පෙර මහා ජනඅරගලයකින් සැබැවින්ම බලයෙන් පහකර තිබේ. මේ වනවිට ඔහුට කිසිදු ජනවරමක් නැති අතර රටින් පලාගොස් හෝ සිටින තැනකින් එළියට පැමිණිය නොහැකි ආකාරයෙන් සැඟවී සිටියි.

දැවැන්ත ආර්ථික අර්බුදයකට හා දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ජූලි 09 වැනි දා සිට දේශපාලන බල තුලනයේ කුප්‍රකට අවස්ථාවකට එළැඹ සිටියි. ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇතත් ඔහු එය නිල වශයෙන් සිදුකර නැත. නමුත් සැබැවින් ම ඔහු මේ වනවිට ජනතාව විසින් ම බලයෙන් පහකර ඔහුගේ කාර්යාලය, නිල නිවස පමණක් නොව අගමැති නිල නිවසද අත්පත් කරගෙන අගමැතිවරයාගේ පුද්ගලික නිවස ද ගිනිතබා විනාශ කර තිබේ.

මේ වනවිට විධායකය බල රහිත වී ඇතත් ව්‍යවස්ථාදායකයේ නායකයා වූ අගමැතිවරයා තවදුරටත් ධූරය දැරීම හේත‍ුවෙන් රට අරාජික වි නැත. තීන්දු තීරණ ගැනීමට, ජන වරමකින් තේරීපත් වූ පාර්ලිමේන්තුවක් සහ පත්කරන ලද අගමැතිවරයෙක් ද කැබිනට් මණ්ඩලයක් ද සිටියි. එම ව්‍යුහයන් පවතින තාක් මේ රටේ රාජ්‍ය පාලනයේ අඛණ්ඩ පැවැත්ම තහවරු වෙයි.

නමුත්, දේශපාලන හය හතර නොදන්නා ඇතැම් පුද්ගලයන් ආවේගශීලීව පවසන්නේ මේ අරගලය සම්පූර්ණ වීමට නම් අගමැතිවරයා ද ඉල්ලා අස්විය යුතු බවයි.

රාජ්‍ය සේවයේ නිරත වූ පුද්ගලයකු වශයෙන් මහාචාර්ය රොහාන් සමරජීව පවසන්නේ එය කිසිසේත්ම නොකළ යුතු බවයි. දේශපාලන බල හුවමාරුව සම්පූර්ණ වී එය ස්ථාවරවනතුරු අගමැතිවරයා ධූරයේ රැඳී සිටිය යුතු බව ඔහු අවධාරණය කරයි.

අගමැතිවරයා ඉල්ලා අස්වුවහොත් කැබිනට් මණ්ඩලය ඉබේම අහෝසි වී යයි. එවිට අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ධූරයන් දැරීම ද නතර වෙයි. එතැන් සිට රජයේ කිසිදු කාර්යයක් සිදුකිරීමට හැකියාවක් නැත. අවම වශයෙන් උප්පැන්න සහතිකයක්, ජාතික හැඳුනුම්පතක්, විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම පමණක් නොව අමාත්‍යාංශයක හෝ වෙනත් රජයේ ආයතනයක සාමාන්‍ය ගෙවීමක් කිරීම ද නීත්‍යානුකූල නොවන බවට කෙනෙකුට තර්ක කළ හැකිවනු ඇත.

මහාචාර්ය සමරජීව පවසන්නේ 2018 දියත් වූ ව්‍යවස්ථා විරෝධීව අගමැතිධූරයට මහින්ද රාජපක්ෂ පත්කිරීමේ කුම්න්ත්‍රණ අවස්ථාවේ දී රජයේ සේවයේ යෙදී සිටි තමන්ට ඒ පිළිබඳ හොඳ අත්දැකීමක් සහ මතකයක් ඇති බවයි. අමාත්‍යාංශ නොමැතිව ආයතන පවත්වාගෙන යා නොහැකි බවත්, එදිනෙදා කටයුතු මන්දගාමී වීම හෝ සම්පූර්ණයෙන් ම නතරවීම නිරායාසයෙන් ම සිදුවන බවත් හෙතෙම පවසයි.

දැවැන්ත අර්ථික අර්බුදයක් හමුවේ අවශ්‍ය මුදල් අසීරුවෙන් සොයා ගනිමින් තාවකාලිකව ගෙවීම් සිදුකරමින් රටේ ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරාගන්නා වාතාවරණයක් තුළ ‍අගමැතිවරයා ඉල්ලා අස්වුවහොත් සැපයුම් නතරවී ශ්‍රී ලංකාව මුළුමනින්ම කඩාවැටෙන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

එමෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට මහ බැංකු අධිපතිවරයා හැර වෙනත් කිසිවෙකු නොසිටින බව ද මාහචාර්ය රොහාන් සමරජීව පවසයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් තිබෙන ආකාරය අනුව අවශ්‍ය සාකච්ඡා, තීරණ ගැනීම් පමණක් නොව අනුමතිරීම් සිදුකරගත නොහැකිවීමෙන් තවදුරටත් රටේ ආර්ථිකය ආගාධයටම යනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් මේ ගැන අනතුරු අඟවා තිබේ.

අගමැතිවරයා ඉල්ලා අස්වන්නේ නම් එය විය යුත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු ඒ සඳහා නව ජනාධිපතිවරයකු තෝරාගැනීමෙන් පසුව යැයි දේශපාලන විචාරකයෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!