spot_img
spot_imgspot_img

ගාලු කොටුවේ උණුසුම් තත්වයක්. තෙල් අවසන් වී පෝළිම හරවා යැවීමට උත්සාහයක්

පුවත්

විදෙස්

ගාල්ල කොටුව ඉන්ධන පිරවුම්හළේ සිය ගණනක් සෞඛ්‍ය සේවකයන් පෝළිමේ රැඳී සිටිය දී ඉන්ධන අවසන් වූ බව දැනුම්දීමත් සමඟ මේ වනවිට උණුස්ම් තත්වයක් උද්ගත වී තිබේ.

අද (19) සිට එම ඉන්ධන පිරවුම්හළ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් වෙන්කිරීමට තීරණය කර තිබූ අතර අද දිනයේ සෞඛ්‍ය සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවලට වෙන්කර ඇතැයි කලින් දැනුම් දී තිබිණි.

මේ අනුව සෞඛ්‍ය වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු ‍සෞඛ්‍ය සේවකයෝ විශාල පිරිසක් තම මෝටර් රථ රැගන කොටුව ඉන්ධන පිරවුම් හළේ පෝළිමේ රැඳී සිටියහ.

මේ අතර ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාග ඇගයීම් මධ්‍යස්ථානයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාකරන ගුරුවරු කියා සිිටියේ තම කණ්ඩායමක් කොටුව ඉන්ධන පිරවුම්හළට ගිය ද අද සෞඛ්‍ය සේවකයන්ට පමණක් වෙන්කර ඇතැයි කියූ බැවින් ඉන්ධන නොගෙන ආපසු හැරී ආ බවයි. ඔවුන්ට ඉන්ධන නොලැබීම හේතුවෙන් හෙට (20) සිට විභාග ඇගයීම් කටයුතු නවතා දැමීමට ද තීරණය කර ඇත.

සෞඛ්‍ය සේවකයන් පවසන්නේ තම ක්ෂේත්‍රයේ අයගේ වාහන 05කට ඉන්ධන ලබා දී වෙනත් පුද්ගලයකුට ඉන්ධන ලබාදෙන අයුරින් 5:1 අනුපා‍තයෙන් තෙල් ලබාදුන් බවයි. එය යුද හමුදාව මැදිහත්ව ඉතාමත් හොදින් සිදුකළ බව ද ඉතාමත් විශිෂ්ඨ සේවාවක් ලබාදුන් බව ද ඔවුහු කියති.

මේ අතර අද රාත්‍රී 9.00 පසු වී සුළු වේලාවකින් යුද හමුදා නිලධාරීන් පැමිණ පෝළිමේ සිටි සෞඛ්‍ය සේවකයන්ට පවසා ඇත්තේ ඉන්ධන පිරවුම් හළේ ඉන්ධන අවසන්ව ඇති බැවින් පෝළිමේ රැඳී නොසිට ආපසු හැරී යන ලෙසයි. නමුත් ඒ වනවිටත් කිලෝ මීටරයකට ආසන්න දුරක පෝළිමක් තිබී ඇත.

මේ අවස්ථාවේ දී පෝළිමේ රැඳී සිටි සෞඛ්‍ය සේවකයන් හෙට දිනයේ හෝ තමන්ට ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ ද එය ප්‍රතික්ෂේප කර තිබේ.

හෙට දිනය අධිකරණ ක්ෂේත්‍රයට සහ පොලිස් සේවාවට වෙන්කර ඇති බැවින් සෞඛ්‍ය සේවකයන්ට හෙට ඉන්ධන ලබා නොදෙන බව පැවසීමත් සමඟ එම ස්ථානයේ උණුසුම්කාරී තත්වයක් ඇති වී තිබේ.

මේ වනවිට ඉන්ධන පිරවුම්හළ වසා දමා ඇති අතර තෙල් අවසන්ව ඇතැයි පවසයි. සෞඛ්‍ය සේවකයන් පවසන්නේ මේ මොහොතේ නැති තෙල් හෙට ලැබෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක් බවයි.

එබැවින් ඔවුන් අතරින් විශාල පිරිසක් පෝළිමෙන් ඉවත්ව නොගොස් යළි තෙල් ලැබෙන තුරු පෝළිමේ රැදී සිටින බව පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!