spot_img
spot_imgspot_img

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තාගත ජයග්‍රහණයක් ලබයි

පුවත්

විදෙස්

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ අගනා වටිනා ශතකයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ ඉනිමෙන් සවිමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) ඕස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී පැවැති තුන්වැනි එක්දින ජාත්‍යන්තර තරඟයෙන් කඩුළු 06 පහසු ජයග්‍රහණයක් අත්කරගත්තේ ය.

ඒ සමඟ ම තරඟ 05කින් සමන්විත තරඟාවලිය ද 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායකයා පළමු පන්දුවට පහරදීමට තීරණය කළේ ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක් ලබාදීමෙන් වුව ද ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඕස්ට්‍රේලියානුවන්ට පළමු ඕවර 40 දී එතරම් විශාල ලකුණු සංඛ්‍යාවකට යාමට ඉඩ දුන්නේ නැත.

එ වනවිට පළමු පන්දු වාර 25 දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 117කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සමත්වූහ.

එසේ වුව ද ඕස්ට්‍රේලියානු ඉනිමේ අවසන් භාගයේ පිටියට පිවිසි මැක්ස්වෙල් දියත්කළ වේගවත් ඉනිමත් සමඟ අවසන් පන්දුවාර 10 දී ලකුණු 98ක් ලබාගත් ඕස්ට්‍රේලියානුවෝ පන්දු වාර 50 අවසන් කළේ කඩුළු 06කට ලකුණු 291ක් ලබා ගනිමිනි. මැක්සවෙල් ලබාගත් ලකුණු සංඛ්‍යාව පන්දු 18කින් ලකුණු 33කි. ඒ ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියානු ඉනිම වඩාත් වේගවත් විය.

මැක්ස්වෙල් දැවී යාමෙන් පසු තමන් මුහුණ දුන් පන්දු 33න් ට්‍රැව්ස් හෙඩ් සහ කැමරන් ග්‍රීන් දෙදෙනා ලකුණු 58ක් ලබාගැනීමට සමත්විය. ට්‍රැවස් හෙඩ් සිය අර්ධ ශතකය ලබාගත්තේ දුනිත් වෙල්ලාලගේ යැවූ පන්දුවකට එල්ල කළ දැවැන්ත හයේ පහරකිනි.

ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ රාත්‍රී කාලයේ දෙවනුව පන්දුවට පහර දෙමින් ලකුණු 292ක් ලබා ගැනීම පහසු කාර්යයක් නොවූව ද ඕස්ට්‍රේලියානු අභියෝගය භාරගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ පැකිළීමකින් තොරව ම ආරම්භයේ සිට සිය ඉලක්කය කරා ගමන්  කළහ.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 283කි. ඒ 2012 වර්ෂයේ හොබාර්ට් නුවර දී ය.

ඒ අතීත වාර්තාවන් අනුව ද මෙය පහසු ඉලක්කයක් නොවේ. කෙසේ වෙතත්, හොඳින් පන්දුවට පහරදෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල මුළු ලකුණු සංඛ්‍යාව 42ක් ව තිබිය දී ලකුණු 25කට දැවී ගියේය. ඉන් පසු කුසල් මෙන්ඩිස් පැතුම් නිශ්ශංකට එක්විය. එතැන් සිට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නනට කිසිම ආකාරයකින් හිස එසවීමට මේ පිතිකරුවන්‍ දෙදෙනා ඉඩ දුන්නේ නැත.

ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුණු සම්බන්ධතාව ලකුණු 170කි. පාදයේ මස්පිඬුවල ඇති වූ ආබාධයක් හේතුවෙවන් කුසල් මෙන්ඩිස් ඉතාමත් වේදනාකාරීව පිටියෙන් ඉවත්වන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 87කි. ඒ වනවිටත් ශ්‍රී ලංකාව පහසුවෙන් ම ජයග්‍රහණය කරා යන බව පෙනෙන්නට තිබිණි.

පැතුම් නිශ්ශංකට එක්ක වූ ධනන්ජය සිල්වා වේගයෙන් ලකුණු රැස්කරන්නට වූයේ ශ්‍රී ලංකා ජයග්‍රහණය ඉක්මන් කරන්නට මෙනි. ඒ අතර පැතුම් නිශ්ශංක සිය මංගල එක්දින ශතකය රැස්කරගත්තේය. ධනන්ජය සිල්වාගේ දැවීයාමෙන් පසු චරිත් අසලංක පිටියට එක්විය.

නමුත් ජයග්‍රහණය පෙනි පෙනී සිටිය දී 48 වැනි පන්දුවාරය යැවූ ජායි රිචඩ්ස්න්ගේ පන්දුවකට ගැසූ පහරක් වැරදී යාමෙන් පැතුම් නිශ්ශංක 137කට පිටියෙන් ඉවත්විය. පැතුම්ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි දසුන් ශානකට ද එම පන්දුවාරයේ දී ම දැවී යාමත් සමඟම මෙතෙක් නොනවත්වා ජයඝෝෂා නැගූ ශ්‍රී ලකා ක්‍රීඩාගාරය හදිසියේම නිහඬ කිරීමට හේතුවක් විය.

චරිත් අසලංක සමඟ චාමික කරුණාරත්න පිටියට එකතු වූහ. 49 වැනි පන්දුවාරයේ දී චරිත් අසලංකගේ පිත්තෙන් එල්ල වූ දැවැන්ත හයේ පහරකින් තරඟයේ ලකුණු සම වූ අතර ඊළඟ පන්දුවෙන් ලකුණක් ලබාගනිම්න් ඔහු ජයග්‍රහණය ස්ථිර කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨතම ඉනිමක් ක්‍රීඩා කරමින් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කළ පැතුම් නිශ්ශංක තරඟයේ වීරයා ලෙස නම් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!