spot_img
spot_imgspot_img

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට, යහපාලනේ කරන්න ගිය දේ ගම්මම්පිල කරයි. ටැංකි ගත්තා ද? විකුණුවා ද?

පුවත්

විදෙස්

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා ලෙස තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව උදය ගම්මම්පිල අමාත්‍යවරයා කීවේය. ඒ අනුව ඉදිරි සතියේ දී අදාල ගිවිසුම් අත්සන් කරන බව ද හෙතෙම පවසයි.

ඔහු කැබිනට් පත්‍රිකාවකින් ඉදිරිපත් කර ඇති කරුණු අලුත් දෙයක් නොවේ. පසුගිය යහපාලන රජය පැවති කාලයේ දී ද එවැනිම උත්සාහයක් ගත් අතර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ද ලැබිණි. නමුත් තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ඇති ගිවිසුම් අනුව කිසිදු පාර්ශවයකට ඒකාපාර්ශිකව එහි කොන්දේසි වෙනස් කළ නොහැකිය. ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලය ඊට ඇනුමැතිය දුන්න ද එය එදා ක්‍රියාත්මක වූයේ නැත.

එවකට විපක්ෂයේ සිටි වත්මන් බලශක්ති අමාත්‍ය උදය ගම්මම්පිළ එදා රජයට චෝදනා කළේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීරණය විකුණා දමන බව පවසමිනි. නමුත් අද ඔහු අමාත්‍යවරයා වී එදා යහපාලන රජය ගෙන ආ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරුණුම අඩංගු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමත කරගෙන ඇති බව ඔහු දැක්වූ අදහස්වලින්ම ගම්‍ය වෙයි.

ඔහු පවසන්නේ තෙල් බැරල් ලක්ෂ 80ක් එකවර ගබඩා කළ හැකි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වසර 100කට වැඩි කාලයක් ප්‍රයෝජනයට නොගත් බවයි.

වරින් වර ආණ්ඩු තුනක් විසින් අත්සන් කළ ගිවිසුම් හේතුවෙන් වත්ත බද්දට දී ඇස්සට දත නියවන බව ද ගම්මම්පිල අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේ දී කීවේය.

ඔහු පවසන්නේ ඊයේ (03) පැවැති කැබිනට් රැස්වීමේ දී ලබාදුන් අනුමැතිය අනුව එම තෙල් ටැංකි සියල්ල රජයට හිමිවන බවයි. ඉන් 24ක් තෙල් සංස්ථාවටත්, දැනටමත් ලංකා අයිඕසී සමාගම භාවිතා කරමින් සිටින පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14ක් ලංකා අයිඕසී සමාගමටත් ටැංකි 61ක් තෙල් සංස්ථාවට සහ ලංකා අයිඕසී සමාගම් එක්වී ගොඩනගන සමාගමකටත් හිමිවන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. එම නව සමාගමේ කොටස් 51%ක් තෙල් සංස්ථාවට සහ 49% කොටස් ලංකා අයිඕසී සමාගමට හිමිවන බවද සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි බලය හිමිවන්නේ තෙල් සංස්ථාවට බවත් අමාත්‍යවරයා කීවේය.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීරණයට අදාලව ඉන්දීය සමඟ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මාස 16ක කාලයක් පුරා පැවැති බවයි. පැරණි ගිවිසුම් සමාලෝචනය කර ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ද ඔහු පවසයි.

උදය ගම්මම්පිල අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේ දී පවසන්නේ 1987 දී මේ සම්බන්ධයෙන් එවකට තිබූ එක්සත් ජාතික පක්ෂ රජය තෙල් ටැංකි සංවර්ධනය කර පවත්වාගෙන යාමට එකඟවීමේ ගිවිසුමක් අත්සන් කළ බවයි.

නමුත් සැබැවින්ම එවැනි ගිවිසුමක් නැත. නමුත් 1987 ජූලි මස 29 වැනි දින අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමේ ඇමුණුමක් ලෙස මේ තෙල් ටැංකි පිළිබඳ සඳහන් කර තිබිණි. එම ඇමුණුම අනුව ශ්‍රී ලංකාවට ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමඟ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධව කිසිවක් කළ නොහැකිය.

නමුත් වසර 15කටත් වැඩි කාලයක් ශ්‍රී ලංකාව ඉන්දියාවට මේ ටැංකි ලබාදුන්නේ නැත.

2003 වර්ෂයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ කාලයේ දී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කොටි සංවිධානය සමඟ සාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු Indian Oil Company (IOC) සමඟ ගිවිසුමක් අතස්න කරන ලදී. ඒ 2003 පෙබරවාරි 07 වැනි දා ය. එම ගිවිසුම අනුව වසර 35ක බදු පදනමක් යටතේ ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණය ඉන්දියානු ඔයිල් සමාගමට පවරා දෙන ලදී. ඒ වෙනුවෙන් ඉන්දියාව සෑඹ වර්ෂයක ද ම ඇමෙරිකානු ඩොලර් 100,000ක් ශ්‍රී ලංකාවට ගෙවිය යුතුය. එම ගිවිසුම කිසිදු පාර්ශවයකට ඒකපාර්ශිකව අවසන් කළ නොහැකි අතර ගිවිසුම්ගත කාලය අවසන් වන්නේ 2038 වර්ෂයේ දීය.

අමාත්‍යවරයා අද කියා සිටියේ මෙම කැබිනට් අනුමැතිය අනුව එම කාලය වසර 15කින් දීර්ඝවනවා පමණක් බවයි. නමුත් එක්සත් ජාතික පක්ෂ රජය තෙල් ටැංකි 99ම වසර 99කට බදු දී තිබූ බව ද ඔහු කියා සිටියේය. එම කාලය නව කැබිනට් පත්‍රිකාවෙන් වසර 50ක් දක්වා අඩුකර ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.

2017 වර්ෂයේ දී අත්සන් කෙරුණු මලික් – සුස්මා ගිවිසුම අනුව ඉන්දියානු ඔයිල් සමාගමට මෙරට තෙල් බෙදාහැරීමෙන් 1/3ක් හිමිවූ අතර රුපියල් බිලියන 80ක ආදායමක් උපයා ගත් එම සමාගම ඉන් රුපියල් බිලියන 30ක් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.

උදය ගම්මම්පිල අමාත්‍යවරයා අද (04) කියූ පරිදි තෙල් ටැංකි 99ක් ඉතිරිිව තිබේ. නමුත් ඉන්දියන් ඔයිල් සමාගම භාවිතා කරන්නේ ඉන් තෙල් ටැංකි 14ක් පමණි. ඉන් 16ක් සුළු අළුත්වැඩියාවකින් භාවිතයට ගත හැකි තත්වයේ පැවතිය ද අනෙක් සියල්ල සම්පූර්ණයෙන් ම අලුත්වැඩියා කළ යුතුව තිබේ.

ඔහු පවසන්නේ ටැකි 99න්, දැනට අයිඕසී සමාගම බාවිතා කරන පහළ සංකීරණයේ ටැංකි 14 ඔවුන්ට ඒ ආකාරයෙන් ම ලබාදෙන බවයි. අනෙක් ටැංකි අතරින් 24ක් තෙල් සංස්ථාවටත් ලැබෙන බව ද ඔහු කියයි. නමුත් එම ටැංකි 24 සුළු අළුත්වැඩියාවකින් භාවිතා කළ හැකි මට්ටමේ තිබෙන ටැංකි 16 ඇතුළත්ව ද යන්න පැහැදිලි කරන්නේ නැත. මීට අමතරව තෙල් ටැංකි 61ක් නව සමාගමකට පවරන බව ද හෙතෙම සඳහන් කරයි.

කෙසේ වෙතත් උදය ගම්මම්පිල ඉදිරිපත් කරන ලද මෙම කැබිනට් පත්‍රිකාව ඔහුගේම යෝජනාවක් ද යන්න සැකසහිතය. ඔහු විපක්ෂයේ සිටිය දී දිගින් දිගටම මීට පෙර පැවැති යහපාලන රජයට කළ චෝදනා අතර ප්‍රමුඛ චෝදනාවක් වූයේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ම සින්නකර දීමට යහපාලන රජය සැළසුම් සකස්කරන බවයි.

එය මෙසේය.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දු ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගැනීම සම්බන්ධයෙන් නව ගිවිසුමක් අත්සන් තැබීමට එවකට රජය උත්සාහ ගත්තේය. එහි දී උත්සාහ කළේ අයිඕසී සමාගම භාවිතා කරන තෙල් ටැංකි තවදුරටත් ඔවුන් භාරයේ ම තිබිය දී සුළු අලුත්වැඩියාවකින් භාවිතයට ගත හැකි ටැංකි 10ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවරා ගැනීමයි. ඉන් පසු ඉතිරි ටැංකි 74 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයිඕසී සමාගම් එක්ව ස්ථාපිත කරනු ලබන නව හවුල් සමාගමක් මගින් සංවර්ධනය කිරීමයි. අද අමාත්‍ය උදය ගම්මම්පිල කියනු ලබන කැබිනට් අනුමැතිය එදා ඒ යෝජනාවටද ලැබී තිබිණි.  නමුත් ඒ සැළසුම් කිසි දිනක ක්‍රියාත්මක වූයේ නැත.

ඉන් පසු 2020 පෙබරවාරි මාසයේ දී ද උදය ගම්මම්පිල ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාව සමඟ එක්ව සංවර්ධනය කිරීමට කැිනට් යෝජනාවක් ඉදිරිපත් කරන බව කීවේය. දැන් ක්‍රියාත්මක වෙමින් ඇත්තේ එම යෝජනාවයි.

කෙසේ වෙතත් යහපාලන රජය ද ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගත් තෙල්ටැංකි සංවර්ධනය කිරීමේ යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක ‍වන ආකාරය කෙසේ ද යන්න දැනගැනීමට තවත් කාලයක් ගතවනු ඇත.

1 COMMENT

  1. තෙල් ටැංකි වල ළගදීම චීනයෙන් හාල් ගෙනත් පොහොට්ටු ගොටිටො හට නොමිලේ බත් මුලක් බැඳලා දෙන්න ඕනේ බත් පිසීම සඳහා තෙල් ටැංකි නොමිබර එකයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!