spot_img
spot_imgspot_img

මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිට මාසයකට පසු ඇප ලැබෙයි

පුවත්

විදෙස්

ගාල්ල මහින්ද විද්‍යාල‍යේ පාසල් සංවර්ධන සමිතියේ ගිනුමෙන් මුදල් වංචාකර ඇතැයි සැකපිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි එම විද්‍යාලයේ හිටපු වැඩ ආවරණය කරන විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනියක් ඇප මත මුදාහැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවෙල අද නියෝග කළේය.

ඔවුන් දෙදෙනා මුදාහරින ලද්දේ එක් අයකුට රුපියල් 25,000.00 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක් වූ ශරීර ඇප දෙකක් බැගින් එක් අයකු වෙනුවෙන් තබාගනිමිනි.

එමෙන්ම එම ඇප කරුවන් පිළිගත් හැකි පුද්ගලයන් සහ පදිංචිය සනාථ කළ පුද්ගලයන් විය යුතු බව ද නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා සැකකරුවන් දෙදෙනාගේ ම විදේශ ගමන් බලපත්‍රය තහනම් කළේය. ඒබව ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් සැකකරුවන්ට සෑම මාසයකම අවසන් ඉරුදින ගාල්ල පොලිසියේ වි‍ශේෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය යුතු බවටත් නියෝග කළේය. එමෙන් ම මෙම නඩුවට අදාල සියලු නඩු භාණ්ඩ අධිකරණ සේප්පුවේ ආරක්ෂිතව තැබීමට ද නියෝග කෙරිණි.

සැකකරුවන් ඇප ලබාගැනීමෙන් අනතුරුව හෙි පරීක්ෂණ කටයුතුවලට, වෙනත් සැකකරුවන්ට හෝ සාක්ෂිකරුවන්ට යම් බාධාවක් හෝ බලපෑමක් කළහොත් ඇප අවලංගුකර නඩුව විභාග කර අවසන්වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කරන බව ද ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන කැකුණාවෙළ කීවේය.

අද (03) නඩුව කැඳවූ අවස්ථාවේ දී ගාල්ල පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සහ උප පොලිස් පරීක්ෂක උදයකාන්ත කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකටයුතු චෙක්පත් 34ක් සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා කැඳවන බවයි. එමෙන් ම තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබෙන බැවින් හිටපු වැඩ ආවරණය කරන විදුහල්පතිවරයාට සහ සංවර්ධන නිලධාරිනියට ඇප ලබාදුනහොත් ඇප පනතේ 14 (01) සහ (02) වගන්ති අනුව පරීක්ෂණයට බාධා සිදුවිය හැකි බවයි. එබැවින් සාක්ෂිකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න යැයි ද පොලිසිය ඉල්ලා සිටියේය.

සැකකාර සංවර්ධන නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් කුමාර සහ නීතිඥ ප්‍රසන්ත ද සිල්වා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ තම සේවාදායිකාව දැනට මාස එකහමාරක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවයි. ඇය සම්බන්ධ පරීක්ෂණ සම්පූර්ණයෙන් ම අවසන් බවත්, ඇය කිසිම අවස්ථාවක සාක්ෂිි කරුවන්ට හෝ පරීක්ෂණවලට බාධාවක් කර නැති බවත් කැඳවූ පළමු අවස්ථාවේ දී ම ඉදිරිපත් වූ බවත් ඔවුහු කියා සිටියහ. පරීක්ෂණ කටයුතු සඳහා උපරිම සහය ලබාදුන් ඇය‍ රක්ෂිත බන්ධනාගාරගත කර තිබීමෙන් ඇයගේ දරුවා පාසලකට ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත්වීමට නොහැකි වීමෙන් දරුවාට ද බරපතල අසාධාරණයක් සිදුව ඇති බැවින් ඕනෑම කොන්දේසියක් මත ඇයට ඇප ලබාදෙන ලෙස ද නීතිඥවරු ඉල්ලා සිටියහ.

සැකකාර ගාමිණී ජයවර්ධන වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක් සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස කියා සිටියේ 2021 දෙසැම්බර් මස 17 වැනි දා සිට සැකකරු වැඩ තහනමකට ලක්ව සිටින බයි. එබැවින් ඔහුට සාක්ෂිකරුවන් වෙත බලපෑම් කිරීමට හෝ පරීක්ෂණවලට බලපෑම් කිරීමට හෝ හැකියාවක් නැති බව ද දැනට මාසයකට අධික කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගතව සිටීමෙන් ඇප පනතේ මූලික පදනම වන සැකකරුවන්ට ඇප ලබා දී‍ම යන්න කඩවීමෙන් සැකරුවන්ගේ පුද්ගලික නිදහසට සීමා වී ඇති බවත් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස කීවේය. එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගාල්ල පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් දැනට සාක්ෂිකරුවන් රාශියකගෙන් කටඋත්තර සටහන් කරගෙන කාර්යක්ෂමව පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බැවින් ද දෙවැනි සැකකරු අධිකරණය මඟ හැරීමට තරම් තැනැත්තෙකු නොවන බැවින් ද ඇප නොදීමට තරම් විශේෂිත වූ කිසිම කරුණක් නොමැති බවයි. එබැවින් තම සේවාදායකයාට ඕනෑම කොන්දේසියක් මත ඇප ලබාදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

නැවත අදහස් දක්වමින් පොලිස් පරීක්ෂක උදයකාන්ත කියා සිටියේ සැකකරුවන්ට ඇප ලබාදුනහොත් දැනට අත්අඩංගුවට ගැනීමට සිටින සැකකරුවන්ට බලපෑම් සිදුවිය හැකි බවයි. එමෙන් ම මෙම චෙක්පත් මාරුකරන ලද පුද්ගලයන් සහ මේ මුදල් ලබාගත් පුද්ගලයන් සම්බන්ධව පරීක්ෂණ අවසන්ව නැති බැවින් අප ලබා නොදෙන ලෙස ද හෙතෙම තවදුරටත් ඉල්ලා සිටියේය.

මෙම සියලු කරුණු සැළකිල්ලට ගත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් තහර්ෂණ කැකුණාවෙළ මහතා නියෝගය ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ මෙම නඩුවට සම්බන්ධ මූලික පරීක්සණ කටයුතු බොහේ දුරට අවසන්ව ඇති බැවින් සහ ඇප පනත ප්‍රකාරව එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් පරීක්ෂණයට බලපෑම් විය හැකි කරුණු හෙළිදරව් නොවන බැවින් ඔවුන්ට ඇප ලබාදෙන බවයි.

මෙම නඩු විභාගය නැවත මාර්තු 31 වැනි දින කැඳවීමට ද නියම කරන ලදී.

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් රජින්ද්‍ර නාරංගොඩ, විශ්වනාත් අරඹෙවෙල, ඉඳුනිල් හේවගේ, රංජිත් ප්‍රියන්ත, ඒ.ඩී.සී.දර්ශන, මෙත්සිරි රත්නායක, ජයමිණි ජයතිලක සහ නිසංසලා තෙන්නකෝන් යන නීතිවරු පෙනී සිටියහ.

සැකකාර සංවර්ධන නිලධාරිනය වෙනුවෙන් නීතිඥ අජිත් කුමාර සහ නීතිඥ ප්‍රසන්ත ද සිල්වා පෙනී සිටි අතර සැකකාර වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!