spot_img
spot_imgspot_img

“මුදල් ඉතිරිව නැත. ශ්‍රී ලංකාව බංකොලොත් භාවයේ එළිපත්තේ” – The Guardian අනාවරණය

පුවත්

විදෙස්

උද්ධමනය වාර්තාගත මට්ටමක් දක්වා ඉහළ යාමෙන් ආහාර මිල රොකට් බවට පත්ව තිබීමත්, භාණ්ඩාගාරය සිඳී යාමත් හේතුවෙන් 2022 වර්ෂයේ දී බංකොලොත් විය හැකි බවට බියෙන් ශ්‍රී ලංකාව ගැඹුරු මූල්‍ය හා මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටියි.

විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු රජය මුහුණ දී තිබෙන කඩා වැටීම කොරෝනා අර්බුදයේ ක්ෂණික බලපෑම සහ සංචාරක ක්ෂේත්‍රයේ සිදුවූ කඩාවැටීම හේතුවෙන් ඇති වූවක් වන නමුත් රජයේ ඉහළ ගිය වියදම් සහ බදු කප්පාදුව මගින් රාජ්‍ය ආදායම අඩුවීම, විශාල වශයෙන් ණය ආපසු ගෙවීමට සිදුවීම මෙම තත්වය උග්‍ර කිරීමට හේතු විය.

විදේශ විනිමය සංචිත අඩුවී ඇති අතර දේශීය ණය සහ විදේශ බැඳුම්කර ගෙවීමට රජය මුදල් මුද්‍රණය කිරීම නිසා උද්ධමනය ද වේගයෙන් ඉහළ ගොස් තිබේ.

ලෝක බැංකුව ඇස්තමේන්තු කරන්නේ වසංගතයේ ආරම්භයේ සිට 500,000ක ජනතාවක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇති බවයි. එය දරිද්‍රතාවට එරෙහිව සටන් කිරීමේ වසර 05ක ප්‍රගතියට සමාන ‍වන්නකි.

පසුගිය නොවැම්බර් මාසයේ දී උද්ධමනය 11.1%ක වාර්තාගත අගයකින් ඉහළ ගිය අතර මෙලෙස උද්ධමනය වර්ධනය වීම හේතුවෙන්, මෙතෙක් සාමාන්‍ය ජීවිතයක් යහපත් ලෙස ගතකළ අයට ද තම පවුල් පෝෂණය කිරීමේ අරගලයක නරතවන්නට සිදුව තිබේ. අත්‍යවාශ්‍ය භාණ්ඩ දැන් බොහෝ දෙනකුට දැරිය නොහැකි තරම් වී ඇත. ශ්‍රී ලංකාව ආර්ථික හදිසි තත්වයකට පත්ව ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසු සහල් සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රජය නියම කළ මිළට අළෙවි කිරීම ද නැවතී තිබේ. මෙය ජනතාවගේ දුක් වේදනා ලිහිල් කිරීමට හේතු වන්නේ නැත.

කොළඹ නගරයේ රියදුරකු ලෙස කටයුතු කරන අනුරුද්ධ පරණගම ආහාර මිල ඉහළයාම නිසා ඇතිවන ආර්ථික අපහසුතාවලින් සහ තම රථයේ ණය පියවා ගැනීමට අමතර රැකියාවවකට ගිය ද එය ප්‍රමාණවත් නැති බව කියයි.

“මට ණය ගෙවන්න හරිම අමාරුයි. ලයිට් බිල්, වතුර බිල් ගෙවලා කෑමට වියදම් කරන්න වුණාම සල්ලි ඉතුරු වෙන්නේ නෑ. අපි දැන් කෑම වේල් තුනක් කන්නේ නෑ. දෙකකට අඩු කළා” ඔහු කියයි.

මේ වනවිට කිරිපිටි පැකට්ටුවක මිල ද වෙන කවදාවත් නොතිබූ තරම් මිල ඉහළ ගොස් තිබේ. ඒ නිසා ගමේ කඩේ ව්‍යාපාරිකයන් කරන්නේ කිලෝ ග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුව විවෘත කර එය ග්‍රෑම් 100 බැගින් වෙනත් කවරවලට අසුරා අළෙවි කිරීම බව ද ඔහු කීවේය. “අපි දැන් සතියකට කිලෝ ග්‍රෑම් 01ක් විතර ගත්තු බෝංචි සතියකටම ගන්නේ ග්‍රෑම් 100ක් විතර ඔහු පවසයි.

ලෝක සංචාරක කවුන්සිලයට අනුව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%කට වඩා වැඩි දායකත්වයක් සපයන සංචාරක ව්‍යාපාරයේ රැකියා අහිමිවීම සහ එමගින් විදේශ ආදායම නොලැබීම මේ කඩා වැටීමට සැළකිය යුතු හේතුවක් වී තිබේ.

මේ වනවිට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම දිගු පෝළිම් නිර්මාණය වී ඇති අතර වඩාත් දරුණු වන්නේ ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකුගෙන්න එක් අයෙක් වැඩි වශයෙන් තරුණ සහ උගත් අය තමන්ට රට හැර දමා යාමට අවශ්‍ය බව කීමයි. වැඩිහිටි පුරවැසියන් සඳහා සහ නිවෙස් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ද ආනයන පාලනය හේතුවෙන් උග්‍ර ලෙස හිඟ වී තිබේ. මේ තත්වය කිරි සහ සහල් සඳහා දිගු පෝළිම් ඇති කළ 1970 දශකයේ මුල් භාගය සිහිපත් කරන්නකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ඩබ්ලිව්.ඒ.විජේවර්ධන සාමාන්‍ය ජනතාවගේ අරගලය මූල්‍ය අර්බුදය උග්‍ර කරනු ඇතැයි අනතුරු ඇඟවූවේය. එමගින් ඔවුන්ගේ ජීවිතය වඩාත් දුෂ්කර වනු ඇති බව ඔහු කියයි.

“ආර්ථික අර්බුදයෙන් මිදීමෙන් ඔබ්බට රට මූල්‍ය අර්බුදයකට ලක්වීම වැළැක්විය නොහැකියි. විදේශ විනිමය හිඟය හේතුවෙන් නිෂ්පාදන පහත වැටීමෙන් සහ ආනයනය කිරීමට අපොහොසත්වීමෙන් ආහාර සුරක්ෂිතතාවත් අඩුවනු ඇති. එවිට එය මානුෂීය අර්බුදයක් වේවි.” ඔහු කීවේය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන විශාලතම අභියෝගයක් වන්නේ චීනයට ඇති විශාල ණය බරයි. චීනයට ඩොලර් බිලියන 05කට වඩා ණය වී ඇති අතර පසුගිය වසරේ එහි උගු මූල්‍ය අර්බුධයට ආධාර කිරීම සඳහා අමතර ඩොලර් බිලියන 01ක ණයක් බීජිං වෙතින් ලබාගෙන ඇති අතර එය වාරික වශයෙන් ගෙවීමට සිදුව ඇත.

2021 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව සතුව තිබූ සමස්ත විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 1.6ක් පමණි. නමුත් 2022 ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ‍ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීම ඇතුළුව ඇස්තමේන්තු දේශීය හා විදේශීය ණය ඩොලර් බිලියන 7.3ක් ආපසු ගෙවීමට සිදුව තිබේ.

රජයේ වැවිළි අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ඉරානයට ගෙවීමට ඇති තෙල් ණය ශ්‍රී ලංකාවෙන් තේ සපයා දීමෙන් පියවීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව මෙම ණය පියවීම සඳහා සෑම මාසයක දී ම ඩොලර් මිලින 05ක් වටිනා තේ තොග ඉරානයට යවන බව ද අමාත්‍යවරයා කීවේය.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආර්ථික විශේෂඥයකු වන හර්ෂ ද සිල්වා පවසන්නේ 2022 ජනවාරි මාසයේ දී මෙරට ඇති විදේශ මුදල් සංචිතය ඩොලර් මිලියන 437ක්දක්වා පහත වැටෙන බවයි. 2022 පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා ගෙවීමට ඇති මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4.8ක් බවත් ඔහු පවසයි.

“මේ නිසා අපි මුළුමනින්ම බංකොලොත් වෙනවා.” ඔහු පාර්ලිමේන්තුවේ දී කීවේය.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකාවට එහි ණය “සීමා රහිතව” ගෙවිය හැකි බවට ප්‍රසිද්ධ සහතිකයක් ලබා දුන් නමුත්, ව්‍යසනකාරී ආර්ථික ප්‍රතිවිපාක ගෙන දෙන ආපසු ගෙවීම් පැහැර හැරීමේ සැලකිය යුතු අවදානමක් රටේ පවතින බව හිටපු නියෝජ්‍ය අධිපති විජේවර්ධන පැවසීය.

මේ අතර, සියලු පොහොර සහ පළිබෝධනාශක තහනම් කිරීමට සහ අනතුරු ඇඟවීමකින් තොරව ගොවීන්ට කාබනික පොහොර භාවිතා කිරීමට බලකරමින් රාජපක්ෂ රජය මැයි මාසයේ හදිසියේම තීරණය කළේය.

මීට පෙර පොහොර සහ පළිබෝධනාශක භාවිතා කිරීමට පුරුදු වී සමෘද්ධිමත්ව සිටි බොහෝ ගොවීන් මේ හේතුවෙන් අසරණ විය. සෞඛ්‍ය සම්පන්න බෝග නිෂ්පාදනය කිරීමට හෝ වල් පැලෑටි හා කෘමීන්ට එරෙහිව සටන් කිරීමට ක්‍රම නොමැතිව හදිසියේම කෘෂිකර්මාන්තයට ගැටලු ඇතිවිය. අලාභයක් ගැන බියෙන් බොහෝ දෙනෙක් භෝග වගා නොකිරීමට තීරණය කළ අතර එය ශ්‍රී ලංකාවේ ආහාර හිඟයට හේතු විය.

රජය ඔක්තෝබර් අවසානයේ දී රසායනික පොහොර තහනම නාට්‍යාකාරයෙන් ආපසු හැරවීමට කටයුතු කළ අතර ගොවීහු දැන් ආධාර නොමැතිව ආනයනික පොහොරවල අධික පිරිවැය පියවා ගැනීමට අරගල කරමින් සිටිති.

“වී වගා කිරීමේ පිරිවැය ඉහළ ගොස් තිබෙනවා. පොහොර සහනාධාර ලබාදීම සඳහා රජයට මුදල් නෑ. අපේ ගොඩක් ගොවීන් මුදල් ආයෝජනය කරන්න බයයි. අපිට ලාභයක් ලැබෙයිද දන්නේ නැති නිසා” රංජිත් හුළුගල්ල නම් ගොවියෙක් පැවසීය.

ගැටලු තාවකාලිකව ලිහිල් කිරීමට සහ දුෂ්කර හා බොහෝ දුරට ජනප්‍රිය නොවන ප්‍රතිපත්ති වළක්වා ගැනීමට රජය විසින් තාවකාලික සහන ක්‍රියාමාර්ගවලට යොමු වී ඇත. තම අසල්වැසි මිත්‍ර රාජ්‍ය වන ඉන්දියාවෙන් ආහාර, ඖෂධ සහ ඉන්ධන ආනයනය කිරීමට ණය ලබා ගැනීම මෙන්ම මුදල් හුවමාරු කිරීම් වැනි දෑ කෙරහි රජය අවධානය යොමුකර තිබේ. ඉන්දියාව, චීනය, බංග්ලාදේශ සහ ඕමානයෙන් ඛනිජ තෙල් මිලදී ගැනීමට ණය ගැනීමට උත්සාහ ගනිමින් සිටියි. කෙසේ වෙතත්, මෙම ණය ලබා දෙන්නේ කෙටි කාලීන සහන පදනමට පමණක් වන අතර, ශ්‍රී ලංකාවේ ණය බර වැඩි කරමින් ඉහළ පොළී අනුපාත යටතේ එම ණය නැවත ඉක්මනින් ගෙවීමට සිදුවේ.

පෞද්ගලික පුහුණුකරුවෙකු වන අනුෂ්ක ශානුක ද සැප පහසු ජීවිතයක් ගත කළ අය අතර සිටි නමුත් දැන් ජීවිතය ජය ගැනීමේ අරගලයක නිරත වෙයි.

“වසංගතයට පෙර අපට පුරුදු ආකාරයට දැන් ජීවත් වෙන්න බැහැ. එළවළු මිල 50%කින් විතර වැඩි වෙලා.” ඔහු කීවේය.

“රජය අපට උදව් කිරීමට පොරොන්දු වුණත් කිසිම දෙයක් ලැබුණේ නැහැ. ඒ නිසා අපට කළ හැකි හොඳම දේ කළමනාකරණය කරමින් ඉන්නවා. තව කොච්චර කාලයක් අපිට මෙහෙම ජීවත්වෙන්න පුළුවන් ද කියා මම දන්නේ නැහැ.” ඔහු වැඩිදුරටත් පවසයි.

theguardian.com හි ඉංග්‍රීස භාෂාවෙන් පළ වී තිබූ මෙම ලිපියේ මුල් පිටපත මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!