spot_img
spot_imgspot_img

“රාජ්‍ය සේවයේ 71.55% ට රැකියා එපාවෙලා. බහුතරයක් රාජකාරී වෙලාවේ ව්‍යාපාරවල සහ වෙනත් රැකියාවල” – විගණකාධිපති වාර්තාවකින් හෙළිවෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා රාජ්‍ය සේවයට බඳවා ගෙන පත්වීම් ස්ථිර වී සිටින සංවර්ධන නිලධාරීන්ගෙන්  71.55% ප්‍රමණයක් තම රැකියාව පිළිබඳ කළකිරී සිටින බවත් ක්ෂේත්‍රයේ රාජකාරී කරන වැඩි දෙනකු වෙනත් රැකියාවල සහ ව්‍යාපාරයන්හි නිරතවන බවත් රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයකින් තහවුරු වී තිබේ.

එමෙන්ම ඔවුන්ගේ ඵලදායීතාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සහ එක් නිලධාරියක වසරකටම අධීක්ෂණය කරනු ලබන්නේ ව්‍යාපෘති 2-9ත් අතර (කොරෝනා වසංගතයට පෙර) ප්‍රමාණයක් වීමෙන් ම ඒ බව පැහැදිළිවන බවත් විගණකාධිපති වාර්තාවේ දක්වා ඇත.

ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරී සේවය ස්ථාපිත කිරීම, නිලධාරීන් බඳවා ගැනීම, ස්ථානගත කිරීම විධිමත් විද්‍යාත්මක ඇගයීමක් අනුව හඳුනාගත් අවශතා මත ක්‍රියාත්මක නොවීම මෙයට හේතුවන බව ද අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 14.5% ප්‍රමාණයක් රාජ්‍ය සේවකයෝය.

මෑත කාලයේ දී රාජ්‍ය සේවයේ සංඛයාත්මක වර්ධනයට උපාධිධාරීන්, සංවර්ධන නිලධාරීන් වශයේන බඳවා ගැනීම කැපී පෙනිනි. ඒ අනුව මුළු රාජ්‍ය සේවයේ නිලධාරීන්ගෙන් 41,668ක් සංවර්ධන නිලධාරීන් බව වර්තමාන සමීක්ෂණ අනුව පැහැදිලි වී ඇත.

මෙම උපාධිධාරී ඉටුකරන සේවය ප්‍රමාණාත්මකභාවය ඇගයීමකට ලක්කිරීම, ගෙවනු ලබන වැටුපට සරිලන ආකාරයට රාජකාරී ස්වභාවය සකස්වීම රාජකාරෙියේ ස්ථානත වීම, වැඩ පිරිසරය නිර්මාණය වී ඇති ප්‍රමාණය හා මෙම නිලධරීණ්ග‍ේ  සවේය කොතෙක් දුරට මහනජතාවගේ අවශ්‍යත සඳහා යොමු වූවක් ද යන්න අවබෝධ කරගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුුතුය.

සමීක්ෂණය අනුව පෙනී ගියේ බඳවාගත් සංවර්ධන නිලධාරීන්ගෙන් 86%කට වැඩි ප්‍රමාණයක් ශාස්ත්‍රවේදී උපාධිධාරීන් වන බවයි.

එයින් 75%කට ආසන්න ප්‍රමාණයක් කාන්තාවෝය.

සංවර්ධන නිලධාරීන් ක්සේත්‍ර ගත තනතුරක් ලෙස සළකණු ලැබුව ද නිලධාරීන් අතරින් 22% ප්‍රමාණයක් කාර්යාල ගතවව සිටිති. ක්ෂේත්‍රයේ සිටින්නේ 78%කි.

ඔවුන් වසරක් තුළ අධීක්ෂණයට ලක්කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 02-09ත් අතර ප්‍රමාණයකි

සංවර්ධන නිලධාරීන් සඳහා ස්ථානමාරු පටිපාටියක් සකස්කර වාර්ෂික ස්ථානමාරු ක්‍රමයක් ක්‍රියාත්මක කර නැති බැවින් එකම සේවා ස්ථානයේ දීර්ඝ කාලීනව සේවයේ නියුක්තවව සිටීම ද කාර්ය සාධනය කෙරෙහිි බලපානු ලබන බැවින් සංවර්ධන නිලධාරීන් සේවය තුලින් අපේක්ෂිත කාර්යසාධනය ඉටුවී නැති බව පැහැදිලිය.

පසුගිය දශක කිහිපයේ දී රාජ්‍ය විශ්වවිද්‍යාල තුළින් අභ්‍යන්තර හා බාහිර ලෙස ද  පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මෙන් ම උපාධි මෙන්ම උපාදිය හා සමාන තත්වයේ ඩිප්ලෝම‍ා පිරිනැමීම සිදුවිය.

එබැවින් උසස් අධ්‍යාපන සුදුසුකම් ලාභීන් වැඩි වූ අතර ඊට සරිලන රැකියා ලබාදීම රජයේ වගකීමක් බවට සමාජ මතවාදයක් ද ගොඩනැගිණි.

පෞද්ගලික අංශයට සාපේක්ෂව රජයේ රැකියාවල පවතින සුරක්ෂිතභාවය හේතුවෙන් උපාධිධාරීන්ද සංවිධානාත්මකව රජයෙන් රැකියා ඉල්ලා සිටියහ.

ඒ අනුව වරින් වර උපාධිධාරීන් රජයේ රැකියා සඳහා විශාල වශයෙන් බඳවා ගැනීම් සිදුවිය.

ඔවුන්ගෙන් වැඩිම පිරිසක් ස්ව‍දේශ කටයුතු අමාත්‍යාංශයට අනුයුක්ත කිරිම මගින් ප්‍රාදේශීය පාලනය පදනම්වන දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ද පළාත් සභා හා ප්‍රාදේශීය සභා වෙත ද අනුයුක්ත කෙරිණි. මෙසේ බඳවාගත් උපාධිධාරීන් කාර්යාල ගත තනතුරුවල කාර්යයන් සඳහා ද ග්‍රාම නිලධාරී වසම්වල සංවර්ධන නිලධාරීන් ලෙස ද අනුයුක්ත කර ඇත.

මෙලෙස බඳවාගත් නිලධාරීන්ගේ කාර්යසාධනය, රැකියා තෘප්තිය පිළිබඳ ශ්‍රී ලංකා විගණන දෙපාර්තමේන්තුව විසින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ 2017 මාර්තු මස 15 වැනි දිනට සේවයේ නිරත සංවර්ධන නිලධාරීන් 17,263ක් අතරින් නිලධාරීන් 2,000ක නියැදියක් භාවිතා කරමින් මේ සමීක්ෂණය සිදුකර තිබේ.

මේ අනුව පැහැදිළි වන්නේ සංවර්ධන නිලධාරීන් ලෙස සේවයේ යෙදී සිටින අයගෙන් 86.15%ක් ම ශාස්ත්‍රවේදී උපාධිධාරීන් බවයි. වාණිජ විෂයධාරා හදාරා ඇති උපාධිධාරීන් ප්‍රමාණය 10%කි, උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා උපාධිධාරීන් 3.25%ක් ද සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරන අතර වෙනත් විෂයයන්ගෙන් උපාධිය ලබා ඇති පිරිස 0.35%ක් තරම් අඩු අගයක් ගනී.

මෙ සමීක්ෂණයෙන් පැහැදිලි වන තවත් කරුණක් වන්නේ ශාස්ත්‍රවේදී උපාධිධාරීන් සඳහා ප්‍රමාණවත් රැකියා අවස්ථා සමාජය තුළ නිර්මාණ්‍ය වී නොතිබීම සහ ශාස්ත්‍රවේදී උපාධිධාරීන් සඳහා පවතින ඉල්ලුමට සාපේක්ෂව උපාධිධාරී සැපයුම වැඩි වී ඇති බවයි.

සංවර්ධන නිලධාරීන්ගෙන් 74.9% ප්‍රමාණයක් කාන්තා නිලධාරිනියන් වන අතර පිරිමි නිලධාරීන් සංඛ්‍යාව 25.1%ක් තරම් අඩු අගයක් ගනී.

සංවර්ධන නිලධාරීන් 2,000ක් යොදා ගනිමින් කරන ලද මේ සමීක්ෂණයේ දී පැහැදිලි වී ඇත්තේ එම නිලධාරීන්ගෙන් බහුතරයක් රැකියාව පිළිබඳ අතෘප්තිමත් තත්වයක පසුවන බවයි. එම සංඛ්‍යාව ලබාගත් නියැදියෙන් 1,431ක් හෙවත් 71.55% ප්‍රතිශතයකි.

මෙලෙස ඔවුන් අතෘප්තිමත් වීමට ප්‍රධානතම හේතුව ලෙස දැකිය හැකිවන්නේ උසස්විම් ක්‍රමවේදයක් නොමැති වීම හා උපාදිය මූලික සුදුසුකමක් වන අනෙකුත් විධායක ශ්‍රේණියේ තරඟ විභාගවලට පෙනී සිටීම සඳහා ඇති අඩුපාඩුවයි. තමන්ගේ රැකියාව සම්බන්ධ අතෘපතිවීමට එය හේතුවෙක් ලෙස දැක්වූ සංඛ්‍යාව 36.35% ප්‍රමාණයකි.

නමුත්, මෙම සමීක්ෂණයට සම්බන්ධ වූ අයගෙන් 87.2% ක ප්‍රමාණයක් පවසන්නේ තමන්ට යහපත් වැඩ පරිසරයක් පවතින බවයි. වැඩ පරිසරය අයහපත් බව පවසන ප්‍රමාණය 10.55%ක් වන අතර ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ ප්‍රමාණය 2.25%කි.

කෙසේ වෙතත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ සේවයේ නිරත සංවර්ධන නිලධාරීන් අතරින් 21.05% ප්‍රමාණයක් කාර්යාලගතව සිටින අතර 78.85% පිරිසක් ක්ෂේත්‍රයේ රාජකාරීවල නිරතව සිටිති. ඔවුහු බොහෝ විට සතියකට දිනක් පමණක් කාර්යාලයට වාර්තා කරන අතර අනෙක් දින හතර ක්ෂේත්‍රයේ රැඳී සිටිති.

මෙහි දී රජයේ අවධානයට ලක්විය යුතු ප්‍රධාන කරුණක් තිබේ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ 2017 ජූලි 12 දිනැති අංක HAF 1/12/GR/DUTY LIST දරණ ලිපිය මගින් සංවර්ධන නිලධාරීන් වෙත රාජකාරී ලේඛනයක් සපයා තිබේ. නමුත් එම රාජකාරී ක්ෂේත්‍රයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ග්‍රාම නිලධාරී සහ සමෘද්ධි සංවර්ධන නිලධාරී විසින් ඉටුකරන බැවින් ක්ෂේත්‍රගත සංවර්ධන නිලධාරීන්ට ඉටුකිරීමට කාර්යයක් නොමැති බව ද මෙම සමීක්ෂණයේ දී හෙළි වී ඇත. එබැවින් ඔවුන්ගේ රැකියා තෘප්තිය හීන වී ඇති බවට ද කරුණු ඉදිරිපත් කර ඇත.

එමෙන්ම රාජ්‍ය සේවයේ ඵලදායීතාව පිළිබඳ නැවත ප්‍රශ්න කළ යුතු කරුණු කිහිපයක් ද මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

2017 වසරේ දී ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා විවිධ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ විසින් ප්‍රාදේශී්‍ය ලේකම්කාර්යාල වෙත යොමුකර ඇති සියලු ව්‍යාපෘති වැඩසටහන් සහ කාර්යයන් (පාසල් විද්‍යාගාර ඉදිකිරීම්, මාර්ග සංවර්ධන වැඩසටහන්, සමාජ සහ සංස්කෘතික වැඩසටහන්) අධීක්ෂණය පවරා තිබිණි. නමුත් විගණන දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ සංවර්ධන නිලධාරියකු වාර්ෂිකව අධීක්ෂණය කළ වැඩසටහන් ප්‍රමාණය ඉතාමත් අඩු අගයක පැවැති බවයි. එය එක් නිලධාරියකු උපරිම 09ක් වූ අතර ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරියක වසරකටම අධීක්ෂණය කළ ව්‍යාපෘති සංඛයාව 02ක් වැනි අඩු අගයක් ගෙන තිබේ.

මෙයින් පෙනී යන්නේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඵලදායී ද යන්න නැවත සිතා බැලිය යුතු බවයි.

ඔවුන්ගේ අධීක්ෂණ කටයුතු එතරම් අඩු අගයක තිබුණන ද මෙම නිලධාරීන්ගෙන් 98.41%ක් ම තම පදිංචි ස්ථානයට ආසන්න රැකියා ස්ථානයක සේවය කිරීම ද විශේෂත්වයකි.

මේ නිලධාරීන්ගේන සැළකිය යුතු පිරිසක් තම රාජකාරී වේලාවන්හි දී වෙනත් රැකියාවල හෝ ව්‍යාපාරවල නිරතවන බව ද සමීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

මෙම සියලු කරුණු සැළකිල්ලට ගනිමින් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ හතක් ඉදිරිපත් කර ඇත.

  1. ක්‍ෂේත්‍රගත නිලධරීන්ගේ කටයුතු අධීක්ෂණය විධිමත් කළ යුතු අතර ඔවුන්ගේ රාජකාරී ප්‍රගති වාර්තා මගින් විමර්ශනයට ලක්කළ යුතුය
  2. වෙනත් සේවාවන්වල සේවා ව්‍යවස්ථා අනුව ඔවුන් විසින් ඉටුකළ යුතු සේවාවන් සංවර්ධන නිලධාරීන්ට පැවරීමෙන් හැකිතාක් වැළකීමට කටයුතු කළ යුතුය
  3. නිලධාරීන්ගේ සේවා තෘප්තියට අහිතකර ලෙස බලපා ඇති කරුණු අවම කිරීමට කඩිනමින් පියවර ගත යුතුය
  4. නිලධාරියකු වෙනුවෙන් රජය විසින් දරනු ලබන වැය බරට ප්‍රමාණවත් සේවාවක් ඔවුන් වෙතින් ලබා ගැනීම සහතික වන පරිදි කාර්යභාරයන් හඳුනාගැනම හා පැවරීම යාවත්කාලීනව පවත්වාගත යුතුය.
  5. සංවර්ධන නිලධාරීන් සේවයට බඳවා ගැනීම සඳහා වූ අවම සුදුසුකම් උපරිම වයස ස්ථාවර ලෙස පවත්වාගෙන යා යුතුය
  6. සංවර්ධන නිලධාරීන් සේවයට අදාල කාර්යභාරයන් පවතින නිලධාරී සංඛ්‍යාවට වඩා අඩු නිලධාාරීන් සංඛ්‍යාවක් තුළින් කළමනාකරණය කරගත හැකි ද යන්න පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කර එම අතිරික්ත කාර්ය මණ්ඩලයක් පවතී නම් එම නිලධාරන් වෙනත් ගැලපෙන කාර්යභාරයක් සඳහා විධිමත් පරිදි විතැන් කළ හැකිදැයි පරීක්ෂා කළ යුතුය
  7. නිලධාරීන්ගේ කාර්යසාධනය මැනීමට ක්‍රමවේදයක් සැකසිය යුතුය.

විගණකාධිපතිවරයා පවසන්නේ උපාධිධාරීන්ගේ රැකියා විරහිතභාවයට පිළියමක් ලෙස සවර්ධන කටයුතු සඳහා තොරතුරු රැස්කිරීමේ අවශ්‍යතාව මත පදනම්ව ඇරඹුණු ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරී සේවාව තුළින් ගෙවනු ලබන වැටුප් හා දීමනාවට උපරිම කාර්යසාධනයක් ලබා ගැනීමට ඔවුන්ව අධීක්ෂණය සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමුව නැති බවයි.

එමෙන් ම ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරී සේවය ස්ථාපිත කිරීම, නිලධාරීන් බඳවා ගැනීම, ස්ථානගත කිරීම විධිමත් විද්‍යාත්මක ඇගයීමක් අනුව හඳුනාගත් අවශතා මත ක්‍රියාත්මක වී නැතැයි ද විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දක්වා ඇත.

3 COMMENTS

  1. මෙම ලිපියේ තිබෙන්නේ සංවර්ධන නිලධාරීන් පිලිබඳව. ඒත් හෙහෙඩිමේ දක්වා ඇත්තේ රාජ්‍ය සේවකයන් ලෙස. එය සමස්ථ රාජ්‍ය සේවකයන් අපහසුතාවට පත් කරනවා.
    එබැවින් ලිපියේ මාතෘකාව සංවර්ධන නිලධාරීන් ලෙස වෙනස් කරන මෙන් ඉල්ලමි.

  2. විගනකාධිපති වාර්තා කරන්න ඕන නැහැ.. උපාධිධාරින් බඳවගන්න හැම රජයක්ම කරන්නෙ සේවා අවශතාවය රජයේ රැකියා ලබාදීම නෙවි.. සංවර්ධන නිලධාරී නෙවි සමහර රජයේ රැකියා වලට විභාගයට වාඩි වෙන්න විතරයි ඕනි.. දේශපාලන ලයිස්තු වලින් බඳව ගැනීම් කරනව.. ඉස්කෝලයක් ගත්තත් සමහර ඉස්කෝල වල ගුරුවරු පිරිල.. තව සමහර ඉස්කෝල වල ගුරුවරු නැහැ.. ඉස්පිරිතාල ගත්තත් එහෙමයි.. පුලුවන්කම අැති හැකිකම තියන අය වරප්රසාද ගන්නව.. සමහර වෘත්තීය සමිති, පෙර රජයන්, පවතින රජය අැස්කන් පියන් ඉන්නව.. සංවර්ධන නිලධාරී නෙවි සමස්ථ රාජ්‍යසේවයම අවිධිමත් වෙලා.. සෘජුව නිවැරදිව වැඩකලත් එහෙම වැඩකරන්න දෙන්නෙ නැහැ.. ප්රාදේශීය සභාවෙ මන්තිරීට පවායටවෙලා ඉන්න වෙලා.. මේවා නිවැරදි කරන්න බැරි තරම්..

  3. මම 99 වැඩසටහන් සහකාර ලෙස බ.ප.සෞඛ්‍ය දෙපාර්තමෙින්තුවට බදවාගත් කෙනෙක් පසුව අපි සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ගුුහනය වුනා ,අපිට පැවරී ඇත්තේ රෝහල් සංසංඛ්‍යාලේඛන සකස්කිරීම ,ජාත්‍යන්තර රෝගීන් වර්ගීකරනය අනුව රෝහල් වාර්තා සකස් කිරීම ,⁣ආයතනය මටිටමින් වාර්ශික සංවර්ධන සැලැස්ම සකස්කිරීම,වැනි කාර්යාල ගත රාජකාරි කටයුතු පමණි. මෙි සදහා විධිමත් පුහුණුවක් සහිත සහතිකයක් ද දෙපාර්තමෙින්තු මටිටමින්බා දී ඇත කෙසේ වුවද මෙි වනවිට අධික ලෙස උපාධිධාරීන් බදවාගෙන ඇති බැවින් ඇතැමි ආයතන වල ඹවුන්ට කළමණාකරන සහකාර රාජකාරි පැවරීම ද සිදුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!