spot_img
spot_imgspot_img

වගා කටයුතු සඳහා ආරම්භ කළ මොරවැව කඳවුර ගුවන් හමුදාවේ සුවිශේෂීත ම ස්ථානයක් වෙයි

පුවත්

විදෙස්

අලි ඇතුන් වග වලසුන් සැරිසරන මහා වන්නාතරයට පසෙකින් ඇත්තේ සුවිසල් වගා බිමකි.

මේ වගාබිම හරහා නිරන්තරව ම සෙබළ බල මුළු ඔබ මොබ යති. විටෙක නිල ඇඳුමින් සැරසී ආයුධ සන්නද්ධව යන ඔවුහු තවත් විටෙක මහ වනයට වැදී දින ගණන් එහි ගත කරති. තවත් පිරිසක් නිල ඇඳුම් පසෙක තබා ගොවි බිමට පිවිස වගා කටයුතුවල නිරත වෙති. හරකුන් දිගේලි කරති. අවට ඇති වැව්වලින් ගලා එන ජලය පාලනය කර වගා බිම්වලට යවති.

අස්වැන්න නෙලා මිනිස් පරිභෝජනය සඳහා සකසති.

මේ ස්ථානය අතිශය කාර්ය බහුලය.

දශක කිහිපයක් පුරා පැතිරී ගිය බිහිසුණු යුද්ධයේ ඉතාමත් වැදගත් කේන්ද්‍රස්ථානයක් වූ මේ ස්ථානය අද මොරවැව ගුවන් හමුදා කඳවුරයි.

අක්කර 1398ක සුවිසල් භූමියක පැතිර තිබෙන මේ ගුවන් හමුදා කඳවුර 1973 ජූලි මස 29 වැනි දින ආරම්භ කර ඇත්තේ එවකට රජයේ වගා විප්ලවයට දායක වීමේ අරමුණෙනි.  ඒ ත්‍රිකුණාමලයේ පිහිටි චයිනාබේ ගුවන් හමුදා කඳවුර යටතේය. ඉන් පසු පයිලට් ඔ‍ෆිසර් ලියෝ ද සිල්වා මෙහි ප්‍රථම අණදෙන නිලධාරියා වූයේය.

කෘෂිකාර්මික අරමුණකින් ආරම්භ කෙරුණු මේ කඳවුරට ඒ සඳහා අවශ්‍ය උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර සැපයුණු අතර කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රවීණතාවක් සහ උනන්දුවක් ඇති නිලධාරීන් සහ භට පිරිස් ද බඳවා ගැණිනි.

කඳවුර සඳහා වෙන්කළ භූමියේ තිබූ මොරවැව ප්‍රතිසංස්කරණය කර එහි ජලය වගා කටයුතු සඳහා යොදා ගත් අතර ගුවන් හමුදාවේ මෙහෙයවීමෙන් රම්බ වැව සහ ඉන්දි වැව හාරා ජලය රැස්කිර ප්‍රයෝජනයට ගැණිනි. මේ හේතුවෙන් වැව් තුනක් මේ කඳවුර සතුවිය. වැව් වලින් ජලය වගා බිම් වෙත යැවීමට සුළං මෝලක් ද සවිකර තිබී ඇත.

එවකට අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1975 වර්ෂයේ දී ද පසුව ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා 1979 වර්ෂයේ ද මේ කඳවුරට පැමිණ එහි කෘෂි නිෂ්පාදන කටයුතු නිරීක්ෂණය කර තිබේ.

චයිනාබේ ගුවන් හමුදා කඳවුරේ කෘෂිකාර්මික නිෂ්පාදන භූමිය ලෙස හැඳින්වූ මෙම කඳවුර 1980 ජනවාරි 01 වැනි දා මොරවැව ගුවන් හමුදා කඳවුර නමින් ස්ථාපිත කෙරිණි.

පසුව උතුරේ යුද්ධය වඩාත් දරුණු වෙමින් තිබිය දී මොරවැව ගුවන් හමුදා කඳවුර අතිශය වැදගත් මර්මස්ථානයක් වූයේ කොටි ත්‍රස්තවාදීන්ගේ උතුර සහ නැගෙනහිර අතර ප්‍රධාන සැපයුම් මාර්ගය මේ කඳවුර ආසන්නයෙන් විහි දී තිබීම හේතුවෙනි. ඒ නිසා ම අවට ගම්වල ආරක්ෂාවත්, ත්‍රස්තවාදීන්ගේ සැපයුම් මාර්ග වැළැක්වීමේ වගකීමත් මොරවැව ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ට පැවරිණි.

මේ හේතුවෙන් ම වගා කටයුතුවලට අවධානය යොමුකරීම පසෙක තිබිය දී ජාතික ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන්නට සිදුවිය. කෘෂිකාර්මික කඳවුර වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම යුද කඳවුරක් බවට පත්විය. ඒ අනුව මේ කඳවුරේ පළමු රෙජිමේන්තු භාර නිලධාරියා ලෙස බලඝන නායක ආර්.ඒ.ආනන්ද පත්කෙරිණි.

යුද්ධයේ දී ඉතාමත් වැදගත් කාර්යයක් මේ කඳවුරෙන් ඉටු වෙමින් තිබිය දී ආරක්ෂාව පිළිබඳ වඩාත් වැදගත් වූ පියවරක් ලෙස මොරවැව ගුවන් හමුදා කඳවුර පාන්කුලම් වාරිමාර්ග දෙපාර්තමේන්තු පරිශ්‍රයට ගෙන යන ලදී. ඒ අනුව 1996 ජූලි මස 31 වැනි දින එතෙක් ගුවන් හමුදාව භාරයේ තිබූ කඳවුර ශ්‍රී ලංකා පොලිසිය වෙත භාර දෙන ලදී.

2008 වර්ෂයේ දී එය යළි ගුවන් හමුදාව භාරයට පත්කෙරිණි. එදා සිට අද දක්වාම මොරවැව ගුවන් හමුදා කඳවුර පවත්වාගෙන යන අතර 1973 වර්ෂයේ දී වගා විප්ලවයට දායක වීම සඳහා ආරම්භ කළ කඳවුර අදට ද කෘෂි වගාවන් පවත්වාගෙන යන කඳවුරකි. මීට අමතරව ගුවන් හමුදාවේ විශේෂ බලකා පුහුණු කඳවුර ලෙස ද භාවිතා වන්නේ මොරවැව කඳවුරයි.

මේ හේතුවෙන් අද වනවිට මොරවැව ගුවන් හමුදා කඳවුර මෙරට ඇති ගුවන් හමුදා කඳවුරු අතරින් අතිශය සුවිශේෂී කඳවුරක් ලෙස හැඳින්වීමට හැකිය.

ගෲප් කැප්ටන් ලලිත් සුගතදාස මේ කඳවුරේ වත්මන් අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කරයි.

කෘෂිකාර්මික කටයුතු මෙන්ම ගුවන් හමුදාවේ විශේෂ බලකා පුහුණු කටයුතු හේතුවෙන් මේ කඳවුර නිරන්තරව ම කාර්ය බහුලය. කඳවුරේ දෛනිකව නිලධාරීන් සහ සෙසු නිලයන්ට අයත් 700කට වැඩි පිරිසක් රැඳී සිටිති.

කඳවුරු භූමියේ කුඹුරු අක්කර 147ක් මේන විටත් දේශීය පාරම්පරික වී වර්ග සහ කීරි සම්බා වගා කරන අතර එම වගාබිම් ප්‍රමාණය වැඩිකිරීමේ කාර්යය ද සිදුකරමින් පවතී. ඊට අමතරව අඹ ඇතුළු පළතුරු වර්ග රැසක් ද කඳවුරු භූමියේ වගා කර ඇති අතර, කඳවුරේම ඇතිකරන කිරි ගවයන් සිය ගණනකගෙන් ලබාගන්නා කිරි සහ ගම් වැසියන්ගෙන් එකතු කරගන්නා කිරි භාවිතා කරමින් මොරවැව යෝගට් නිෂ්පාදනය කරයි. හතු වගාව ද මෙහි සිදුකරයි. මීට අමතරව පොල් වගාවක් ද ඇතිකර තිබේ.

මොරවැව කඳවුරේ වී මෝල

වගාවන් සඳහා අවශ්‍ය  කාබනික පොහොර නිපදවා ගන්නේ ද කඳවුරේ දී ම වීම ද විශේෂත්වයකි.

මේ සියලු නිෂ්පාදන ගුවන් හමුදාවේ සාමාජික සාමාජිකාවන් අතර අළෙවි කරයි. මොරවැව කඳවුරේ හාල් ඇතුළු නිෂ්පාදන අළෙවි කරන්නේ මොරවැව යන වෙළෙඳ නාමයක් යටතේය. “මොරවැව යෝගට්” ‍ “මොරවැව කීරි සම්බා” “මොරවැව හතු” ඇතුළු සියලු නිෂ්පාදන අළෙවියෙන් ලැබෙන ආදායම හිමිවන්නේ ගුවන් හමුදාවට වීම ද විශේෂත්වයකි.

කුඹුරු සී සෑම, වැපිරීම, වී නෙලීම පමණක් නොව වී අස්වැන්න සහල් බවට පත්කිරීමේ කාර්යය ද සිදුවන්නේ මොරවැව කඳවුරේ දී මය. ඒ සඳහා වී මෝලක් ද කඳවුර භූමියේ ස්ථාපිත කර තිබේ.

ගුවන් හමුදාව කියූ පමණින් ඕනෑම අයකුට සිහිපත් වන්නේ ගුවන් යානා යොදා ගනිමින් කරන සංග්‍රාමයන්ය. නමුත් ගුවන් හමුදාව රටේ ජාතික ආරක්ෂාව, ආපපදා කළමනාකරණය, ප්‍රභූ ආරක්ෂාව මෙන් ම කෘෂිකර්මාන්තය නගා සිටුවීම කෙරෙහි ද දක්වන දායකත්වය සුවිසල් බවට මොරවැව කඳවුර සාක්ෂි දරයි.

මෙහි කඳවුරේ වගාබිම් අසළ ඇති වනාන්නතරයෙන් කොටසක් ගුවන් හමුදා විශේෂ බලකායේ පුහුණුවට යොදා ඇත.

රූස්ස ගස්වලින් සහ කටු පඳුරු ඇතුළු තුරු ලතාවන්ගෙන් සුසැදි මේ මහා වනයට වැදී ගුවන් හමුදාවේ විශාල පිරිසක් පුහුණුව ලබති. ගුවනේ සිදුකරන ගුවන් යානා මෙහෙයුම්, පැරෂුට් භාවිතය, ගුවනින් ආරක්ෂාව සැපයීම, සෝදිසි කිරීම, ගලවා ගැනීම්, මෙන්ම භට කණ්ඩායම් මුදා හැරීම්වලට අමතරව ගොඩබිම කරන සටන් සඳහා ද ඔවුහු විශේෂ පුහුණුවක් ලබති. එමෙන් ම යුද සටහන්වල දී මෙහෙයුම් සිදු කිරීම, ප්‍රහාර එල්ලකිරීම අතුළු යුද පිටියේ සියලු ආකාරයේ ප්‍රතිචාර දැක්වීම මේ විශේෂ පුහුණුවට ඇතුළත් වේ. එමෙන්ම ඔවුන් ගුවන් හමුදාවේ වුව ද මුහුදේ සහ ගොඩබිම මෙහෙයුම් පිළිබඳ ද පුහුණුව ලබයි.

මේ සඳහා ම මහ වනය අභ්‍යන්තරයේ සුවිශේෂී පුහුණු භූමියක් සකසා තිබේ. වැව් සහ ඇළ දොළ යන සියල්ලෙන් පරිපූර්ණ මේ පරිසරය ඒ පුහුණුව සඳහා වැදගත්වෙයි.

දිවංගත වින්ග් කමාන්ඩර් එක්සත් පීරිස් මහතා මේ සංකල්පය බිහිකළ පුරෝගාමියාය. ගුවන් හමුදා විශේෂ බලකායේ වත්මන් අණදෙන නිලධාරී ලෙස වින්ග් කමාන්ඩර් ප්‍රියදර්ශන හෙට්ටිආරච්චි මහතා කටයුතු කරන අතර ඔහුගේ නියෝජ්‍ය බලඝන නායක ලෙස රොමේෂ් බැස්ටියන් මහතා කටයුතු කරයි.

ඔවුන් පවසන්නේ 2001 වර්ෂයේ දී කටුනායක ගුවන්තොටුපොළට එල්ල වූ එල්ටීටීඊ  ප්‍රහාරයෙන් පසු මෙම විශේෂ බලකා පුහුණුව ආරම්භ කළ බවයි.

පුහුණුවන සියලු දෙනා සහ පුහුණු කරුවෝ වනාන්තරයට ගැලපෙන සුවිශේෂී ඇඳුමක් ඇඳ සිටිති. කැලයේ දී මේ ඇඳුම හේතුවෙන් ඔවුන් හඳුනාගත නොහැක.

වින්ග් කමාන්ඩර් ප්‍රියදර්ශන හෙට්ටිආරච්චි

“මේ පුහුණුව ඉතාමත් දුෂ්කරයි. මෙය ගුවන් හමුදාවේ විශේෂ බලකාය හෙවත් තවත් විදියකින් කියනවානම් කමාන්ඩෝ බලකාය. ඔවුන්ට ඕනෑම තත්වයකට මුහුණ දිය හැකි ඉතාමත් වැදගත් සහ හොඳ පුහුණුවක් ලබාදෙනවා.මෙය තෝරාගන්නා අයට ඕනෑම පරිසර තත්වයකට සහ ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට හැකි ආකාරයෙන් පුහුණුව ලැබෙනවා. ඇතැම් විට පුහුණු වන්නන් අලි ඇතුන් ඉන්නා මේ වනාන්නතරයට ගෙන ගොස් දමනවා. ඔවුන්ට ලැබෙන පුහුණුව තමයි එවැනි දුෂ්කර පරිසරයක දී දින ගණනක් තමන්‍ගේ ජීවිතය ආරක්ෂා කරගැනීම. ඒ වගේ ම සතුරන් පිළිබඳවත් විමසිලිමත් වෙන්නේ කොහොමද කියන පුහුණුව ලැබෙනවා.” යැයි වින්ග් කමාන්ඩර් ප්‍රියදර්ශන හෙට්ටිආරච්චි කීවේය.

පුහුණු භූමියට ගිය විට වනාන්තරයේ පුහුණු වන අය වෙනත් අයකුට හඳුනාගැනීම පහසු නැත. ඔවුන්ගේ ඇඳුම පමණක් නොව සැඟවී සිටීමට භාවිතා කරන උපක්‍රම ද එයට හේතුවකි.

ඇතැම් විටෙක ඔවුහු සැඟව සිටින්‍නේ උසැති ගස් මතය. වනයේ සැරිසරන වඳුරන් හෝ රිලවුන් රංචුවකට හෝ ගසක් මත නොසෙල්වී පැය ගණනක් රැකවල් ලා සිටින මේ සෙබළුන් හඳුනාගත නොහැක. ඔවුහු ද ඔවුන් අසළින්ම ඔබ මොබ පැන යති.

තවත් තැනක මහ වනයේ හුඹසක සාදා ත් පුංචි ඉඩක ඔවුහු සැඟවී සිටති. වනයේ ඇති දිරාගිය කොළ අතු කැබලිවලින් පවා ඔවුන් ආරක්ෂාව සළසා ගනී. වනයේ සිටින ගෝනුස්සකු, සර්පයකු හෝ පත්තෑයකු පැමිණිය ද ඔවුන්ට සෙ‍ලවෙන්නට ඉඩක් නැත.

පුහුණු කරුවන් පවසන්නේ එවැනි පුහුණුවක් ලබන විට එක දිගට එතැන දින පහක් පමණ ගත කරන බවයි.  

ඒ අනුව ඔවුන්ට ලැබෙන මේ පුහුණු අතිශය දුෂ්කර සහ වෙහෙසකර එකකි. සතුරු තර්ජනවලට පමණක් නොව ස්වභාවික තර්ජනවලට මුහුණ දෙන ආකාරය ද පුහුණුවට ඇතුළත්ය.

සතුරු ප්‍රහාර එල්ලවන අවස්ථාවක දී මහ වනයේ හෝ වෙනත් දුෂ්කර ප්‍රදේශයක කිසිදු හව් හරණක් හෝ පහසුකමක් නොමැතිව තම බෑගයේ ඇති ආහාර සහ ජලයෙන් දිවිබේරාගෙන දින ගණන් ගත කරන ආකාරය සම්බන්ධයෙන් ද පුහුණුව ලැබේ.

වනයේ දී තමන්ට සතුන්ගේ එල්ලවන තර්ජනවලට මුහුණ දෙන ආකාරයත් ආහාර නොමැතිනම් අල්ලා ආහාරයට ගත හැකි සතුන් පිළිබඳවත් ඔවුන්ට පුහුණුවක් ලැබේ. එපමණක් නොව වනාන්තරයේ දී කෑමට ගත හැකි ඵලවැල පමණක් නොව විෂ සහිත ගස් වර්ග ගැන ද ඔවුන්ට අවබෝධ කරදෙන බව පුහුණු කරුවෝ කියති.

යුද කටයුවල දී භාවිතා කරන අති නවීන අවි ආයුධ පිළිබඳ පුහුණුව සේම යම් අවස්ථාවක දී නිරායුධව ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම ද මේ විශේෂ පුහුණුවට ඇතුළත්. ඒ සඳහා වනාන්තරයේ පිහිටි විශේෂ බලකා පුහුණු භූමියේ දී අංගම්පොර සටහන් පවා පුහුණු කරයි. ඒ සඳහා විශේෂ ස්ථානයක් ද සකසා ඇත.

ගුවනේ සිට පැරෂුට් මගින් යම් ප්‍රදේශයකට පැන එහි අවශ්‍ය මෙහෙයුම් දියත් කිරීම, ගුවනේ සිට කඹ ආධාරයෙන් විපතට පත්වූ වෙනත් කණ්ඩායම් බේරාගැනීම වැනි පුහුණු වීම් ද ඔවුන් සඳහා ලබා දෙයි. එමෙන්ම ස්නයිපර් පුහුණුව මෙන් ම ජලය මත සිදුකරන මෙහෙයුම් ද දිය යට කිමිදී සිදුකරන මෙහෙයුම් ද මේ පුහුණුවට ඇතුළත්ය.

ගුවන් හමුදාවේ නිලධාරීන්ට සහ ගුවන් භටයන්ට ගුවන් හමුදා විශේෂ බලකා පුහුණුව ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.

නියෝජ්‍ය බලඝන නායක ලෙස රොමේෂ් බැස්ටියන් පවසන්නේ ඔවුන් තෝරාගන්නේ ද දුෂ්කර පරීක්ෂණයකින් පසුව බවයි.

“මේ සඳහා තෝරාගන්නා අය පුහුණුව සඳහා ගැලපෙන මානසිකත්වයකින් ශාරීරික යෝග්‍යතාවයකින් ඉන්නවා ද කියා බලනවා. ඒ වගේ ම ඔවුන්ගේ හැකියාව දක්ෂතා මේ පුහුණුවට සුදුසු පරිදි තියෙනවා ද කියා සොයා බලනවා. අපේක්ෂකයන් තෝරාගන්නේ දැඩි සොයාබැලීමකින් අනතුරුව. හොඳම, දක්ෂම සහ දුෂ්කරතාවලට හොඳින් මුහුණ දීමට හැකි පිරිසක් තමයි මේ සඳහා තේරාගන්නේ.”

මෙම පාඨමාලව මාස හක කාලයක් පවතී. එහි දී ගුවන් හමුදාවේ නිලධාරීන් සහ භටයන් කිසිදු වෙනසකින් තොරව එකට පුහුණුව ලැබීම ද විශේෂත්වයකි. ඔවුන් අතර අපූරු සහයෝගීතාවක් තිබිය යුතුය. නැතිනම් ස්වභාවික අභියෝග මෙන්ම සතුරු උපද්‍රව ජය ගැනීම අසීරු වනු ඇත.

මේ පුහුණුව සඳහා උපදේශකයන් ලෙස ගුවන් හමුදාවේ විශේෂ දක්ෂතා දැක්වූ රණශූරයන්ගේ ද සහයෝගය නිරන්තරව ලබා ගනී. ඔවුහු තම හැකියාව, දක්ෂතාව, උපක්‍රම මෙන්ම අත්දැකීම් ද නව කණ්ඩායම් සමඟ බෙදා ගැනීම සිදුකරයි.

පුහුණුව අවසානයේ සියල්ලෝ ම සියලු අංශවලින් ප්‍රවීණයන් විය යුතුය. පුහුණුව පවා ජීවිතයත් මරණයත් අතර සටනක් බව එය බලා සිටින්නට ලැබුණු දුලබ අවස්ථාවෙන් අපට ක්ෂණයකින් අවබෝධ විය. වෙඩි පුහුණුව සඳහා භාවිතා කරන්නේ ද ජීව උණ්ඩ වීම විශේෂත්වයකි. දිවා කාලයේ පමණක් නොව රාත්‍රී කාලයේ ද සිදුකරන මේ පුහුණුවෙන් සියලුම පුහුණුවන්නන් සෑම අංශයකින් ම 60%ට වඩා සාමාර්ථයක් ලබාගත යුතුය.

බැලූ බැල්මට මහා වනයක් සහ වගා බිමක් ලෙස දිස්වන මොරවැව කඳවුරේ අණදෙන නිලධාරී ලෙස ගෲප් කපිතාන් ලලිත් සුගතදාස කටයුතු කරයි.

මොරවැව කඳවුරේ අණ දෙන නිලධාරී ගෲප් කපිතාන් ලලිත් සුගතදාස

ඔහු ‍කඳවුර ගැන මෙසේ කීවේය.

“මොර වැව කඳවුර ඉතාමත් සුවිශේෂී ස්ථානයක්. 1973 දී කෂිකාර්මික කටයුතු සඳහා ආරම්භ කළ මේ කඳවුර පසුව යුදමය අවස්ථා සඳහා යොදා ගැනීමෙන් අනතුරුව දැන් ගුවන් හමුදාවේ විශේෂ බලකා පුහුණු කඳවුර ලෙස යොදා ගන්නවා. අපි මේ අංශ දෙකම වැඩි දියුණු කරනවා. දැනටමත් වගා කරන කුමුරු ප්‍රමාණය වැඩි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සහල් ඇතුළු විවිධ කෘෂිකාර්මික නිෂ්පාදන වඩාත් ගුණාත්මක බවින් යුතුව නිෂ්පාදනය කරලා ගුවන් හමුදා කඳවුරුවල ප්‍රයෝජනයට ‍යොමුකරනවා. දැනටමත් අපි කෘෂිකර්ම විශේෂඥයන්ගේ සහයෝගයෙන් එම කටයුතු වැඩිදියුණු කරගෙන යනවා. මේ අතර විශේෂ බලකා පුහුණු කටයුතු වඩාත් විධිමත්ව හා සාර්ථකව සිදුකෙරෙනවා.”

මෙරවැව කඳවුරේ ගුවන් හමුදා නිලධාරීන් සහ භටයන් සඳහා රෝහලක් ද පිහිටා ඇත. භටයන් 700ක් පමණ සිටින මේ කඳවුරේ ගුවන් හමුදා වෛද්‍යවරයකු යටතේ රෝහල පවත්වාගෙන යයි. රෝහල වටා ප්‍රදේශය වා දැන් වගා කටයුතු සඳහා සැළසුම් සහගතව ප්‍රයෝජනයට ගනිමින් තිබේ.

මීට අමතරව තවත් සුවිශේෂී ස්ථානයක් වන්නේ කඳවුරු භූමියේ පිහිටා ඇති ඔසු උයනයි. එහි ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන ඉතාමත් දුර්ලභ සහ වඳවීයාමේ තර්ජනයට ලක්වූ ඖෂධ වර්ග රැසක් සිටුවා ඇත. පුහුණුවන පිරිසට මේ ඔසු උයනේ දී මෙරට ඇති පැලෑටි වර්ග පිළිබඳ අවබෝධයක් ද ලබා දීමට කටයුතු කර ඇත.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මොරවැව ගුවන් හමුදා කඳවුර පිළිබඳ මෙසේ පවසයි.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ

“මොරවැව ගුවන් හමුදා කඳවුර ආරම්භ කළ අරමුණ වගේ ම අද එය ප්‍රයෝජනයට ගන්නා ආකාරයත් ඉතාමත් සුවිශේෂීයි. මෙරට වගාවන් ප්‍රචලිත කිරීමේ පියවරක් ලෙස ආරම්භ කරපු මේ කඳවුරට අක්කර 1400ක පමණ විශාල භූමියක් අයත් වෙනවා. අලි ඇතුන් පවා සිටින වනාන්තර, වැව්, ඇළ දොළ වගේම අක්කර ගණනක වගාබිම්වලින් සමන්විත මේ කඳවුර මෙරට ඉතාමත් ආදර්ශවත් කඳවුරක් බවට පත්කිරීම තමයි අපේ අපෙක්ෂාව. මොරවැව කෘෂිකාර්මික නිෂ්පාදන ගුවන් හමුදාවේ ඉතාමත් ප්‍රසිද්ධයි. ඒ වගේ ම මොරවැව කඳවුරේ දී විශේෂ බලකායට ලබාදෙන පුහුණුවත් විශේෂිතයි.”

කෘෂිකාර්මික කටයුතු සඳහා ආරම්භ කළ ද මේ වනවිට එම අරමුණට අමතරව ගුවන් හමුදා විශේෂ බලකාය සඳහා පුහුණු මධ්‍යස්ථානය බවට පත්ව ඇති මොරවැව කඳවුර ඔවුන්ගේ ආදර්ශය වූ  “කිසි විටෙකත් පරාජය පිළිගන්න එපා” යන්නට අපූරු වටිනාකමක් එක්කර තිබේ.

(සජීව විජේවීර)

මොරවැව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!