spot_img
spot_imgspot_img

ගාල්ලේ ඉඩමකට රිංගූ මැර පිරිසක් නිවැසියන් පැහැරගෙන නිවස ඩෝසර් කරලා

පුවත්

විදෙස්

ගාල්ල දිසා අධිකරණයේ විභාග වෙමින් පවතින බෙදුම් නඩු තුනකට අදාල ඉඩමකට බලෙන් ඇතුළු වූ පිරිසක් එහි නිවැසියන් පැහැරගෙන ගොස් ඩෝසරයක් යොදා නිවසක් බිමට සමතලා කිරීමේ සිද්ධියක් ගාල්ල හවුප ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙම ඉඩම අවිවාහක ධානපතියකු විසින් ඔහුගේ රියදුරාට පවරා දී තිබිය දී එම ධානපතියා නැවතී සිටි වැඩිහිටි නිවාසයක හිමිකරුවන් දැන් ඔහුගේ දේපළ ලියවාගෙන ඊට බලපෑම් කරන බැවින් ඉඩම නිරවුල් කර දෙන ලෙස පවසමින් ගාල්ල දිසා අධිකරණයේ නඩු තුනක් ගොනුකර තිබේ.

මෙම ඉඩමේ මුල් හිමිකාර ධානපතියා වැඩිහිටි නිවාසයේ සිටිය දී අභිරහස් ලෙස අතුරුදන්ව ඇති බවත්, එම වැඩිහිටි නිවසේ හිමිකරුවන් සියලු දේපළ ඔවුන්ගේ නමට ලියා ඇති බැවින් ඉඩමෙන් ඉවත්වන ලෙස අවස්ථා කිහිපයක දී ම තමන්ට තර්ජනය කළ බවත් එහි පදිංචිව සිටි පිරිස පවසයි. එම වැඩිහිටි නිවස පිහටා ඇත්තේ කොළඹ ඇතුළු කොට්ටේ ප්‍රදේශයේය.

ඊයේ රාත්‍රී 12ට පමණ හවුපේ පිහිටි නිවසට කඩා වැදුණු 10කට වැඩි මැර පිරිසක් එම නිවසේ සිටි සියලුම පුද්ගයන් අල්ලා ගැටගසා ඔවුන්ගේ ජංගම දුරකථන ද පැහැරගෙන ඔවුන් වෑන් රථයකින් වෙනත් ප්‍රදේශයකට ගෙනගොස් නිවස ඩෝසර් කර ඇතැයි ඉමදුව පොලිසියට කරන ලද පැමිණිල්ලක සඳහන් වේ.

එම නිවසේ පදිංචිව සිටිය දී පැහැර ගැනීමට ලක්වූ කාන්තාවක් මේ වනවිට අධි රුධිරපීඩනය සහ මානසික ආතතිය හේතුවෙන් ඉමදුව රෝහලට ඇතුළත් කර සිටියි.

නිවස ඩෝසර් කිරීමට පැමිණි පිරිස තමන් කරන්නේ මුදලකට ගත් කොන්ත්‍රාතුවක් පමණක් බව ද පැවසූ බව අද උදෑසන පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන්ව ඇත. එමෙන්ම තමන් ඇතුළු කණ්ඩායම වෑන් රථයේ හිරකරගෙන සිටිය දී ම කොළඹ වැඩිහිටි නිවාසයේ භාරකරු යැයි කියාගන්නා කාන්තාවක් විසින් නිවස ඩෝසර් කරන පිරිසට රුපියල් ලක්ෂ 06ක මුදලක් ගෙවූ බවත් එම පැමිණිල්ලේ සටහන් කර තිබේ.

ආරවුලට ලක්ව ඇති ඉඩමේ එක් කොටසක හිමිකරුවකු වූ ප්‍රියන්ත ජයසිංහ පවසන්නේ මේ මැර පිරිස මෙහෙයවූයේ කොළඹ ඇතුළු කෝට්ටේ පිහිටි වැඩිහිටි නිවාසයක හිමිකාරිනිය බවයි. ඇය සහ ඇගේ සැමියා අවස්ථා කිහිපයක් ම තමන්ට ඉඩමෙන්  ඉවත්වන ලෙසත් නැතිනම් එළවා දමන බවටත් තර්ජනය කළ බව ද ඔහු කීවේය.

එමෙන්ම එම කාන්තාව සහ ඇගේ සැමියා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ‍ගේ නම පවා භාවිතා කරමින් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ පාර්ශවයෙන් තමන්ට ඥාතීත්වයක් ඇති බව ද ඔහුට පවසා තිබේ. මේ බව නාමල් රාජපක්ෂ ඇමතිවරයාට කියන්නේ නම් තවත් කරදර විය හැකි බව ද පවසමින් ඔහුට යළි යළිත් තර්ජනය කරන බව ද පොලිස් පැමිණිල්ලේ ඇමතිවරයාගේ නම සඳහන් කළහොත් වැඩ වරදින බව ද කිවේයැයි ප්‍රියන්ත ජයසිංහ කීවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉමදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!