spot_img
spot_imgspot_img

තන පට රහිත ජාත්‍යන්තර දිනය

පුවත්

විදෙස්

”තන පට රහිත” ජාත්‍යන්තර දිනය (International No bra day) යෙදී තිබුණේ ඊයේ (13) දවසේ.

මේ දිනය ගැන ඇහුවම පිරිමි වගේම ගැහැනු අයත් පොඩ්ඩක් කුතුහලයෙන් බලන්න පුළුවන්. ඔලුවට යන්නේ අමු කුණුහරුපයක් වගේ දෙයක් වුණාට තන පටය කිව්වම ගැහැනු විතරක් නෙවෙයි පිරිමිත් ඒ ගැන උනන්දු වෙනවා කියන එක අමුතු දෙයක් නෙවිය. ක්ෂීරපායී සත්ත්වයන් වන මිනින් වර්ගයත් තමන් කිරිබීපු ”තනය” ගැන උන්දුවක් නැත්නම් පුදුමයක් නේ. ඒ විතරක් නෙවෙයි එය ලිංගික උද්දීපනය ඇතිකරන අවයවයක්.

මේ දිනයට හේතුව ඔබට මතුපිටින් පේන සරළ විහිලුව නෙමෙයි,මේකෙන් සංකේතවත් කරන්නෙ පියයුරු පිලිකා පිලිබඳ දැනුවත් කිරීම දිරි ගැන්වීමයි! ඒවගේම කාන්තාවන් පෙලෙන මේ අසීරු තත්වය ගැන පිරිමි සමාජයට යම් පණිවුඩයක් ලබාදීමයි. හැම වසරකම ඔක්තොම්බර් මාසය ජාත්‍යන්තරව පියයුරු පිළිකා ගැන කතාබහට ලක් කරන මාසය.

ඔබේ වෛද්‍යවරයා ඔබට කිව්වොතින්” ඔබට පියයුරු පිළිකාවක් තිබෙනවා “කියලා.

ඔයා වෛද්‍යවරයාගෙන් කවදාවත් අහන් නෑ” මට මගෙ පියයුර නැති වෙනවද?”. කියලා .

ඒ වෙනුවට ඔබ අහන්නෙ… හෝ ඔබේ හිතට එකවරම එන්නෙ” අනේ මට මගේ ජිවිතය නැති වේවිද” කියන බියයි.’

තේරුම් ගන්න.. ඔබ බය වෙන්නෙ පිළිකා වර්ගයට නෙමෙ. අනේ ඔබ බය වෙන්නෙ පිළිකාව කියන නමටයි.

ඒ කාලේ මහරගම අපේක්ශා රෝහලට හැමෝම භාවිතා කරපු ජනප්‍රිය නාමය උනේ ” පිළිකා රෝහල” කාලයත් එක්ක අපි සභ්‍ය වෙද්දි අපි ඒකට කියන්න ගත්තා පිළිකා වෛද්‍ය පර්යේෂණ ආයතනය කියලා.

මේ මොන නමින් කීවත් පිළිකාව කියන නම කියවෙද්දි ඒක මරණයේ ද්වාරය එහෙම නැත්තම් මරණයේ දොරටුව කියන බියකින් හිත වෙලාගන්න එක කාටවත්ම නවත්වන්න බෑ.

පිලිකාව කියන තුච්ඡ අසික්කිත වචනය අත් හැරලම දාලා

” අපේක්ශා රෝහල ” කියන නම වහරට ආවම මම ගොඩක් සතුටු උනා. හේතුව පිලිකා රෝහල කියන නම ඇහිච්ච ගමන් පිලිකා රෝගියෙකුගෙ ආත්ම ශක්තියෙන් 95% ක්ම කඩා වැටෙනවා. ඕන ශක්තිවන්ත මිනිහෙක්ගෙ ආත්ම ශක්තිය පවා දෙදරවන වචනය ” පිළිකාව” පිළිකා රෝහලට නොයෙන ගමන් යන්න කවුරුත් කැමති නෑ. ඔබ දැන් යන්නේ අපේක්ෂාවේ රෝහලට.

ඔබ විශ්වාස කරනවද? ” අපේක්ශා රෝහල” හුදු වචනයක්ම නෙමෙයි. ඒක පණ ටික ගැහි ගැහි ඉන්න දුප්පත් හිත්වලට ඔක්සිජන් ටිකක් කියලා!!

පියුයුරු පිළිකා එහෙම නැත්තම් ප්‍රණාල පිළිකා .ඔව් එක වර්ගයක් විතරයි.

ඔබ කාන්තාවක් හැටියට මසකට වතාවක් ස්වයං පියයුරු පරික්ෂාවක් කරගන්නවද?

හිනාවෙන්නෙපා. ඔබ දැනටමත් මසකට වතාවක්වත් අවම වශයෙන් පියයුරු පරික්ෂාවක් කර නොගන්නවා නම් ඔබ අවදානමක, ලංකාවෙන් වසරකට වාර්තා වන පිළිකා රෝගීන්ගෙන් සියලු පිළිකා වර්ග අතරින් 27% ක් හිමිවෙන්නෙ පියයුරු පිළිකා තත්වයට. දළ වශයෙන් ශ්‍රී ලංකාවෙ වසරකට පියයුරු පිළිකා රෝගින් 2500 ක් පමණ වාර්තා වෙනවා. ( සෞඛ්‍ය අමාත්‍යාංශ සංඛ්‍යා දත්ත)

ඒ වගේම ඔබ දැනගත යුතුයි. බොහෝ පිළිකා වර්ග අතරින් සුව කිරිමේ ඉහළ සම්භාවිතාවක් ඇති වර්ගය පියයුරු පිලිකා බව.

ඔබ මේකත් අහලා ඇති පියයුරු පිළිකා තත්වය රෝගි පියයුර ඉවත් කිරීමෙන් පාලනය කල හැකි බව. නමුත් ඔබ දැනුවත් ද? වසරකට ලෝකය පුරා පියයුරු පිළිකා රෝගින් මිලියන 1.7 ට ආසන්න ප්‍රමාණයක් අලුතෙන් හඳුනා ගන්නා අතර වසරකට එයින් ආසන්න වශයෙන් ලක්ෂ 6 ක් මිය යන බව ?

ඇයි මිය යන්නේ ඔබට යම් ප්‍රමාණයකට පාලනය කල හැකි පියයුරු පිළිකාවෙන් ඔබ මිය යන්නෙ ඇයි ? ප්‍රධානතම වරද මුල් අවදියේදි ඔබ පිළිකාව හදුනා නොගැනීම හා නිසි ප්‍රතිකාර සදහා යොමු නොවීම. ස්වයං පියයුරු පරික්ෂාවක් කරගන්නෙ කොහොමද?

හොඳයි යන්න කන්නාඩියක් ඉදිරියට. ඔබේ පියයුරු හොඳින් ස්පර්ශ කරන්න.. මේ වෙනස්කම් ඔබේ අත්ලට දැනෙනවද?

# පියයුරු වල හැඩයේ වෙනස්වීමක්.

# පියයුරු වල ගැටිත්තක් හෝ ඝන වීමක්.(බොහෝ දුරට වේදනාකාරි නොවන)

# පියයුරු මතුපිට වල ගැස්මක්.

# පියයුරු මතු පිට සමේ වර්ණ වෙනසක්.

# පියයුරු මතු පිට තුවාලයක් හෝ දදයක්.

# තනපුඩු වලින් ලේ හෝ ස්‍රාවයක් ගැලීම.

# තනපුඩු ඉදිමීම හෝ වේදනාකාරී වීම.

මේ කිසියම්ම වෙනසක් ඔබට දැනෙනවා නම් වහාම ඔබ වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතුමයි. එහිදි වෛද්‍යවරයා ඔබව යොමු කරනවා මැමොග්‍රෑම් පරීක්ෂණයකට ( පියයුරු වල විශමතා අනාවරණය කිරීමේ X කිරණ පරික්ෂණය). මැමෝග්‍රෑම් හරහා ඔබ තුල පිළිකා සෛල වර්ධනය වනවාදැයි යම් රෝග විනිශ්චයකට ලක් කල හැකියි.

පියයුරු පිළිකා සඳහා වැඩි අවදානමක් සහිත කාන්තාවන් කවුද?

# මින් පෙර පිළිකාවක් ඇතිවී ප්‍රතිකාරගත් කාන්තාවන්

# පියයුරු පිළිකා පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන්

# වයස අවුරුදු 11 ට පෙර ඔසප් වීම ආරම්භ වු කාන්තාවන්

# අවුරුදු 55 පසුවීත් ආර්ථවය නතර නොවු කාන්තාවන්

# දරුවන් ලබා නොමැති කාන්තාවන්

# මව්කිරි ලබා නොදුන් කාන්තාවන්

# පළමු දරු උපත අවුරුදු 35 ට පසුව සිදුවූ කාන්තාවන්

මේ අතරින් ලෝක සෞඛ්‍ය. සංවිධානය අවදානම් කලාප නම් කරනවා. 35-55 ත් අතර පලමු අවදානම් කලාපය් 55-70 අතර දෙවන කලාපය නමුත් මෙයින් අදහස් වෙන්නෙ නෑ මේ වයස් සීමාවන්ට හසු නොවන ඔබ ආරක්ශිත බව? ඔබ පාසල් යන දැරියක් සමයේ පටන් ඔබ ඔබේ පියයුරු ස්වයං පරික්ෂාවකට ලක් කළ යුතුමයි. යම් හෙයකින් ඔබ පියයුරු පිළිකාවක් දරන්නෙකු බව තහවුරු උවහොත් මේ තත්වය පාලනය කිරීමට රසායනික චිකිත්සාව ශෛල්‍ය කර්ම මගින් පියයුරු ඉවත් කිරිම හෝ කොටසක් ඉවත් කිරිම , විකිරණ ප්‍රතිකාර ආදියට යොමු වෙන්න පුලුවන් වෛද්‍ය උපදෙස් මත. නමුත් වඩාත් වැදගත් වන්නේ ඔබේ ශරිරය පිලිබද ඔබට ඇති දැනුවත් භාවය. විමසිලිමත්බව. යම් හෙයකින් ඔබ මුල් අදියරේදි පියයුරු පිළිකාව හදුනා නොගන්නා තරමට ප්‍රමාද වීමෙන් ඔබේ පියයුරු අහිමි වෙන්න පුළුවන්. සමහර විට මේ කතා කරන මොහොතේ ඔබ පියයුරු අහිමි තැනැත්තියක් වෙන්න පුළුවන්. එක් පියයුරක් අහිමි වීමෙන් පස්සේ හෝ දෙකම අහිමි වීමෙන් ඔබට හිතෙනවද ඔබ අංග සම්පුර්ණ ගැහැනියක් නොවේය කියලා? එහෙම හිතෙනවා නම් පිළිකාවට ලක් වූ අයෙකුගෙ අත්දැකිම් ඇසුරින් ඩයිජස්ට් සඟරාවට ලියවුනු ලිපියක පුංචි කොටසක් මා මෙතනට පිටපත් කරන්නම්

“මා අතිශයින් කෝපයට පත් ව සිටින්නෙ මා ගැනමය.. තව දුරටත් මා අංග සම්පුර්ණ ගැහැණියක බව මගෙ සැමියා සිතාවිද? , පිළිකාව ට ගොදුරු වීමට පෙර මා තුල සිටි ගැහැණිය තවමත් මා තුළම සිටින බව මගේ සැමියා විශ්වාස කරාවිද? යන සිතුවිල්ලෙන් මම බලවත් පීඩාවකට පත් වූයෙමි. එහෙත් පුදුමයකට මෙන් පෙර ඉතා සුන්දර පිරිපුන් පියයුරු සහිතව සිටියදි මෙන්ම, දැන් එක් පියයුරක් මුළුමනින්ම ඉවත් කොට, අනෙකද සැලකිය යුතු තරම් කුඩා කර තිබියදි පවා මා සම්පූර්ණ ගැහැණියක බව ජිවිතය මට ඉගැන්නුවේය. මා මා ගැනම පරිපුර්ණව සිතන තාක් කල් මගේ ජිවිතයත්, මගෙ විවාහයත් , මගේ ශක්තීනුත් පරිපුර්ණ බව මට වැටහිණි. මගේ සැබෑ පියයුර නොමැතිව තිබියදි පවා මට පෙරට වඩා අංග සම්පුර්ණ ගැහැනියක විය හැකි බව පිළිකාව මට උගන්වා තිබිණි.”

ඒ වචන ටික මාව සසල කලා, පිරිමියෙකුගෙ ආලය ගැහැණියකගේ පියයුරකට කේන්ද්‍ර වූවක් නම් ඔබ තවමත් ආදරය දැක නැත. ඔබ ගැහැණියක් වන්නෙ ඔබේ පියයුර නිසා හෝ ඔබට පියයුරක් තිබු පමණින් ඔබ ආදරයට සුදුසු වන්නේත් නැත. මාංශයෙන් එහා අධ්‍යාත්මය වැළදගන්නා පිරිමියෙකුට පියයුරක් යනු හුදු මස් වැදැල්ලක් මිස ආදරය නොවේ. පියයුරු සහිතව හෝ රහිතවත් ඔබට තව දුරටත් ගැහැණියක් ලෙස සිටිය හැකියි. එහෙත් ආත්ම විශ්වාසය අත් හලදාට ඔබට නැතිවන්නේ ගැහැණුකම හෝ පිරිමිකම නොවේ ජිවිතයයි.

දැනුම්වත් වෙන්න. කල්පනාකාරි වෙන්න.

(මේ ලිපිය ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කංචිත සමරරත්න මහතාගේ Facebook පිටුවෙන් උපුටා ගත්තත් ඔහු කියන්නේ ඒක ඔහුගේ ලිපියක් නෙවෙයි කියලා. අපි කතුවරයා දන්නේ නැහැ. ඒ නිසා කතුවරයාගේ අයිතිය නාමිකව පිරිනමන්න නොහැකි වුණත් rata.lk අපි මෙහි මුල් කතුවරයාට හිසනමා ආචාර කරමින් එහි කතු අයිතිය පිරිිනමනවා. මේ සටහන දුටුවොත් අපට පණිවිඩයක් දෙන්න ([email protected]) ඔබේ නම මෙහි සටහන් කළ යුතුයි.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!