ජාතීන්ට අනුව ඉඩම් වෙන් කරන්නේ නෑ.

0
88

ජාතීන් අනුව ඉඩම් මායිම් වෙන් කිරීමට තමන් කිසිසේත්ම එකඟ නොවන බවත් එය රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හමුවේ අද කියා සිටියාය.

ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියේ දිවුලපතාන ප්‍රදේශයේ ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔවුන් අද (14) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ දී අදහස් දකවමිනි.

මේ සාකච්ඡාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාසමානික්කම් සානකියන් මහතා, ගෝවින්දන් කරුණාකරන් මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පි. සෙල්වරාජ් මහතාත්, මඩකලපුව නගරාධිපති ටී.සරවනබවන් මහතාත් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික් මායිම් ප්‍රදේශයේ පිහිටි දිවුලපතාන ප්‍රදේශයේ ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා ජනතාවට ලබා නොදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. ඔවුන් එහි දී කියා සිටියේ මෙම ඉඩම් මඩකලපුවේ පශුකර්මාන්තයේ යෙදෙන ජනතාවගේ ගවයන් ආහාර සපයාගන්නා තෘණ භූමි බවයි. එම ඉඩම් කෘෂිකර්මාන්තයට යොදා ගැනීමෙන් ජාතීන් අතර ගැටුම් ඇතිවිය හැකියැයි ද ඔවුහු පැවසූහ.

එහි දී ආණ්ඩුකාරවරිය කියා සිටියේ මෙම ඉඩම් ලබාදෙන්නේ 2015 වර්ෂ‍යට පෙර එම ඉඩම්වල වගා කටයුතු කළ පිරිසට කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් බවයි. එලෙස ඉඩම් ලබාදුන්න ද ඒවා සින්නක්කර අයිතියකට ලබානොදෙන බවත් ඉඩම් පවරාදීම හෝ අත්පත් කරගැනීම තම වගකීම නොවන බවත් ඇය කියා සිටියාය.  

එ‍සේ වුව ද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මේ සඳහා කිසිසේත්ම එකඟවූයේ නැත. ඔවුන් දිගින් දිගටම කියා සිටියේ මෙම ඉඩම් කෘෂිකර්මාන්තයට යොදා ගැනීම සම්බන්ධයෙන් තමන් අධිකරණ ක්‍රියාමාර්ග පවා ගන්නා බවයි.

” ජාතීන් මත පදනම්ව තීන්දු තීරණ ගැනීම මගේ ප්‍රතිපත්තිය නෙවෙයි. ඉඩම් ඒ ඒ ජාතීන්ට වෙන වෙනම අයිති නැහැ. මේවා රජයේ ඉඩම්. රජය ජාතියක් හෝ ආගමක් ඉලක්ක කරගෙන ගැටලු විසඳන්න කටයුතු කරන්නනේ නැහැ. සියළුම පුරවැසියන්ට අපි එක හා සමානව සේවය කරන්න බැඳී සිටිනවා. අපි ඉදිරියේ දී මේ ගැටලුව විසඳන්න සියලුම පාර්ශව කැඳවා සාකච්ඡාවක් කරමු. කොරෝනා වැනි වසංගත තත්ත්වක් නිසා අපි පිටරටින් ආහාර ගෙන්වීම සීමා කරලා රට කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත කරන්න සැළසුම් කරලා තිබිය දී මේ වගේ ඉල්ලීම් කිරීම ඇත්තටම කණගාටුදායකයි. “

යනුවෙන් ආණ්ඩුකාරවරිය මෙහි දී කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here