spot_img
spot_imgspot_img

“ගිනිගත් නැවේ පරීක්ෂණ සැක සහිතයි. නීතියේ පිහිට ජනතාවට නෑ”- නීතිඥවරයා කියයි

පුවත්

විදෙස්

ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාවේ සත්‍ය අනාවරණය වීම වැළැක්වීමට  ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන ඇතැම් පාර්ශවයන් විසින්ම කටයුතු කරන්නේ යැයි සැකයක් පවතින බවත්, ස්වාධීන පරීක්ෂණයක් නොකරන ස්ථානයක  නීතියේ පිහිට ජනතාවට හිමිනොවන බවත් නැවේ කපිතාන්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න කියා සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (13) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.

නැව සමඟ සන්නිවේදන ඇතිකරගත් සන්නිවේදන දත්ත අඩංගු යන්ත්‍රයේ තිබූ දත්ත මැකී යෑමේ සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව නීතිපතිවරයා අද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් මගින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මේ පිළිබඳව හාබර් මාස්ටර්වරයා සහ එම කාර්යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් මාධව තෙන්නකෝන් කීවේය.

මෙම දත්ත මැකී ගියේ කෙසේද? ඊට වගකිවයුතු පුද්ගලයින් සිටී ද? යන්න අනාවරණය කරගැනීම සඳහා මෙම විමර්ශන සිදුකරන බව කී හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ එම විමර්ශනවලදී ඊට වගකිවයුතු පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණය වන්නේ නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවයි.

එහි දී කරුණු දැක්වූ නීතිඥ සරත් ජයමාන්න විමර්ශනය ආරම්භයේ පටන් හාබර් මාස්ටර්වරයාගේ කාර්යාලයේ තිබූ මෙම ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයේ තිබෙන දත්ත පරීක්ෂා කරන ලෙස තමන් දිගින් දිගටම ඉල්ලා සිටියත් එය පරීක්ෂා කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිතාමතාම මඟහැර ගිය බවට චෝදනා කළේය.

එම දත්ත පරීක්ෂාකර තිබුණේ නම් මෙම සිද්ධියේ සත්‍යය අනාවරණය කරගැනීමට හැකියාව තිබූ බව පෙන්වා දුන් ඔහු දැන් එම යන්ත්‍රයේ තිබූ දත්ත මැකී ගොස් ඇතැයි ප්‍රකාශ කිරීම බරපතළ සැකයකට තුඩු දෙන බවත් පෙන්වා දුන්නේය.

අදාළ නෞකාවේ ඇතිවූ  ගින්න හේතුවෙන් මුහුදු සත්ත්වයින් විශාල සංඛ්‍යාවක් මියගොස් තිබූ බව ඉකුත් දා පැමිණිල්ල විසින් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි.

එම මුහුදු සත්වයින්ගේ මරණවලට හාබර් මාස්ටර්වරයා සෘජුවම වගකිව යුතු බවත් හාබර් මාස්ටර්වරයාගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් මෙම ඛේදවාචකය හටගත් බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

සත්‍යය වසන් කිරීමේ අවශ්‍යතාවයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොමැති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කීවේය.

නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 24 දෙනාගෙන් 14 දෙනකුට පනවා ඇති විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගය ඉවත් කිරීමට හැකියාව පවතින බව ද රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් ප්‍රකාශ කළේය. ඒ අනුව මහේස්ත්‍රාත්වරිය විසින් එම සාමාජිකයන් 14 දෙනාගේ විදේශ ගමන් තහනම ඉවත්කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළාය.

නැවේ ගින්න ඇති වූ පසු විවිධ ස්ථානවලින් ලබාගත් ජලය හා පස් සාම්පල් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් කැඳවීමට ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මෙම පැමිණිල්ල යළි ලබන 30 වැනි දා කැඳවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!