spot_img
spot_imgspot_img

රජයේ යෝජිත “ත්‍රිපිටක පනත” ශාසන පරිහානියට හේතුවෙයි ද ? (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

සම්බුද්ධ ශාසනයේ ධර්ම විකෘතිය පිළිබඳ ගැටලුවලට විසඳුම් සොයනවානම් ඒ සඳහා විනය දන්නා, විනය පිළිපදිනා ස්වාමීන්වහන්සේලා පිරිසක් සමඟ හේතුඵල දහමට අනුව විසඳුම් සෙවිය යුතු බවත් යෝජනා කර ඇති ත්‍රිපිටක පනත ශාසනයේ පරිහානිය තවත් වේගවත් කිරීමට හේතුවක් විය හැකි බවත් කිනිතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද හිමියෝ කියති.

සම්බුද්ධ ශාසනයේ ගැටලු විසඳීමටනම් ශාසනය හඳුනාගත් සුදුස්සකු විය යුතු බවත් සුධීරානන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.

ධර්මය විකෘතිකිරීම නැවැත්වීමට බව පවසමින් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට යෝජනා කර ඇති ත්‍රිපිටක පනත පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් සුධීරානන්ද ස්වාමීන් වහන්සේ මෙසේ ද කීහ.

“මේ දවස්වල හුඟක් කතා බහට ලක්වෙනවා සාසනයේ ධර්ම විකෘතිය ගැන පනතක් සකස් කරලා ඒවා වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්නා පනතක් ගැන

ශාසනයේ ප්‍රශ්න විසඳීමට නම් ශාසනය හඳුනාගත් සුදුස්සෙක් වෙන්න ඕන. බුරුම රට වගේ ගත්තම සංඝරාජ කියා ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. උන් වහන්සේ තමයි ප්‍රශ්න විසඳන්නේ. උන්වහන්සේ සෑම අතින්ම පරිපූර්ණයි. නමුත් අපේ රටේ එහෙම කෙනෙක් ඇත්තෙත් නැහැ. එහෙම තානාන්තරයක් දෙන්න සුදුසුකම් ඇත්තෙත් නැහැ.

ඒ නිසා ශාසනය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණාම එය හත් පොළේම ගා ගන්නවා. මේක ඇත්තෙන්ම හත් පොළේ ගා ගැනීමක්. එහෙම නොවිය යුතුයි. මේක ශාසනයේ ඇති වූ ප්‍රශ්නයක්. බාහිරට යන්න අවශ්‍යම නැති දෙයක්. ත්‍රිපිටක ධර්මය ශාසනය රැකෙන්න අවශ්‍ය කටයතු සම්පාදනය කිරීමට ස්වාමීන් වහන්සේලාට හැකියාවක් තියෙන්න ඕන ස්වාමීන් වහන්සේලා එකතුවෙලා පිළියම් සොයන්න. මේ ස්වාමීන් වහන්සේලාට හොඳ ධර්ම ඥානයක් තිබෙන්න ඕන

අද මේ ප්‍රශ්නය දෙපැත්තට ගිහින් එක පැත්තෙක් හොඳයි කියනවා. අනිත් අය නරකයි කියනවා. ඒක නිසා පේන්නේ එක ප්‍රශ්නයට නිවැරදි උත්තර දෙකක් තියෙනවා වගේ. එක ප්‍රශ්නයකට නිවැරදි උත්තර දෙකක් හෝ බොහොමයක් තියෙන්න බැහැ. එක ප්‍රශ්නයට නිවැරදි උත්තර එකයි තියෙන්න පුළුවන්.

එහෙමනම් කොහේ හරි වැරදිච්ච තැනක් පැටලිච්ච තැනක් තියෙනවා. ඒ නිසා මේක සෙවිය යුතුයි. ශාසනික ප්‍රශ්නක් නිසා ශාසනික අර්බුදයක් තිබුණාම ඒ අර්බුදයට විසඳුම් සොයන්නේ කෙසේ ද ? එහෙම නම් ප්‍රශ්නය හඳුනාගන්න ඕන. ප්‍රශ්නයට සුළමුල හොයන්න ඕන. උත්තරය ඊට අනුරූපීව සොයන්න ඕන.

මුලු බුද්ධ ශාසනයම රැඳී පවතින සාරාංශය තමයි හේතුඵල ධර්මතාව. හේතුඵල ධර්මතාවට අනුකූලව මේක සොයන කෙනෙකු මිසක ඉන් එහා ගිහින් මේකට උත්තර සොයන අය ඉන්නවානම් කොහොම ද උත්තර හොයන්නේ. හේතුව හඳුනාගෙනත් නෑ. එහෙම පිළියම් කරන්න ක්‍රමය හොයන්න බැහැ

මෙතැන දී කියන්නේ ධර්මය විකෘති කරනවා. ඒකට පිළියමක් හැටියට විසඳුම් සොයන්න ඕන. ධර්මය විකෘති කිරීම ඵලය. ඵලයට විසඳුම් සොයන ශාසනයක් නැහැ. හේතුව හොයන්න ඕනෑ. හේතු හොයන විට අපිට පෙනෙන දෙයක් තමයි ගිහි සමාජයට හෝ ශාසනයට හෝ මේ ධර්මය සම්බන්ධ මතබේදයක් ඇති වුණානම් එමෙහම නම් නිසි ධර්මය නිසි විනය භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා සිව් පිරිසට නොගිය නිසයි මේක වෙලා තියෙන්නේ.

එහෙනම් අපිට විකෘතියට හේතුව ලැබිලා තියෙනවා.  ඒ වැරදි ඵලයක් ලබාදුන් හේතුව නැති කළ යුතුයි. අපිට පේන දෙයක් තමයි ඵලයට තමයි ප්‍රතිකර්ම හොයන්නේ. අපිට කරන්න තියෙන්නේ ධර්මය විනය හරියට සමාජගත කිරීම සඳහා හොඳ යාන්ත්‍රණයක් හදන්න. යාන්ත්‍රණකරුවෝ කොතරම් දුරට ධර්මයෙන්, විනයෙන් බහුශ්‍රැතතාවෙන් ඒවා ගලපා බැලීමේ හැකියාවෙන් කොතරම් පිරිපුන් භික්ෂු පිරිසක් ඉන්නවා ද කියන එක තමයි ප්‍රශ්නය තියෙන්නේ

මේ ප්‍රශ්නය හඳුනාගන්නා කොට අපිට හේතු හොයන්න පුළුවන්. මොනවිදියේ ක්‍රමවේද පිනුම් පන්නගෙන ආවත් මේ හේතුඵල ධර්මතාව කියන න්‍යාය අනුව පිළියම් සෙව්වේ නැත්නම් හැමදාම අපි දෙපැත්තට වෙලා මේක හොඳයි අරක හොඳයි කිය කියා ලෝකයා හිනස්සනවා. අන්‍ය ආගමික ඇත්තන් හිනස්සනවා.

එසේ නොවන්නනම පනතේ නම ගැටලුවක් නෑ. මුළු බුද්ධ ශාසනයම පනතක්නේ. බුදු රජාණන් වහන්සේ දේශනා කරපු විනය පිටකය අපේ හික්මෙන පනත. ඒක තමයි අපේ ව්‍යවස්ථාව. එහෙම ගත්තට පස්සේ මෙන්න මෙතන ඉදලා තමයි අපි මෙතැනට ආ යුත්තේ. ගිහි පැවදි අය මෙය තේරුම්ගත යුතුයි. ගිහි විනය එකක්. පැවිදි විනය එකක්.

මේ විනය පදනම් කරගෙන තමයි මේකට උත්තර සොයන්න ඕන. විනය දන්න, විනය පිළිපදින ස්වාමීන් වහන්සේලා පිරිසක් මගින් මේ ප්‍රශ්නයට උත්තර සෙවිය යුතුයි. මේ පනතක් ගෙන එන පනත හෝ මොකක් හෝ වේවා මේ ගේන එක නැති ප්‍රශ්න ඇතිවීමට බලපානවා. ශාසනයේ පරිහානිය තවත් වේගවත් වීමට බලපානවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ.

1 COMMENT

  1. අනිවාර්යයෙන්ම…අරමුණ ථේරවාද ධර්මය අණු කොට චීන මහායානය මෙරටට කැඳවා ගැනීමයි

Leave a Reply to Sandhya Nissanka Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!