බන්ධනාගාර ගතකර සිටි පුද්ගලයකු වෙසක් පොහොයට සමගාමීව නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිවේදන නිකුත්කර තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අතුල තිලකරත්න නම් සිරකරු නිදහස් කරන ලද්දේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංඝනය කිරීමහේතුවෙන් ගෙවීමට ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන්න යැයි අධිකරණය විසින් නියම කිරීම හේතුවෙන් බවයි.
දඩ මුදල නොගෙවන්නේ නම් මාස 06ක බරපතළ වැඩ සහිත සිර රදඬුවම් නියමකිරීමට මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබිණි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පසුගිය වෙසක් පොහොය යෙදී තිබුණු 12 වැනි දා පොදු සමාව ලබාදීමේ කොන්දේසිවලට මැයි මස 05 වැනි දින වනවිට බන්ධනාගාරගතව සිටි රැඳවියන් අදාළ වන බවයි.
එබැවින් මෙම සමාව පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන සිදුකරන ලද්දක් නොව පොදු සමාවක් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයකු නිදහස් කිරීම සම්බන්ධයෙන් බලවත් අක්‍රමිකතාවක් ඇතැයි යනුවෙන් සිදුකෙරෙන සමාජ මාධ්‍ය ප්‍රචාර සම්බන්ධයේන ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇති බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 34 (1) වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය හිමිවී ඇත. ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරනු ලබයි. එම ලේඛනය අධිකරණ අමාත්‍යාංශය මගින් පරීක්ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරනු ලබන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමි වෙයි.
කෙසේ වුවද ඉහත සිදුවීමට අදාළව 2025-05-06 හා 06/01/යෝජිත /ජ.පො.සමා/වාර්:/05-12/2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාමලේඛනය නම් 388කින් සමන්විත අතර එම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත් නොවූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
එනම් සමාව දීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද නම් 388ට එම පුද්ගලයා කිසිසේත් ඇතුළත්ව නැති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.
මෙම සිදුවීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඊයේ (06) දින “ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව” යන ශීර්ෂය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බවද එම නිවේදනයේ දක්වා ඇත.