spot_img
spot_imgspot_img

මෙරට දුම්රිය සන්නිවේදන පද්ධතිය ලෝකයේ පළමු තැන ලබද්දී, දුම්රිය රියදුරෝ එය එපා කියති

පුවත්

විදෙස්

ජනතාවගේ සුරක්ෂිතභාවය තහවරු කරන, ඔවුන්ගේ එදිනෙදා කටයුතු වඩාත් පහසු කරන ප්‍රවාහන සේවයක් ගැන කතා කරද්දී සිතට දැනෙන මතකයන් අතර “සුනාමි දුම්රිය” ප්‍රධාන ස්ථානයක් ගනී.

එදා දුම්රියේ ගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් අතරින් දිවි බේරාගත් එකම පුද්ගලයා වූ දුම්රියේ ප්‍රධාන නියාමක කරුණාතිලක මහතා මට පසු දිනක මෙසේ කීවාය.

“මුහුද ගොඩට ගලනවා. ඒ නිසා කෝච්චිය අම්බලන්ගොඩ හරි කහව හරි නවත්තගන්න කියලා අපිට පණිවිඩයක් ලැබුණනම් මේ තරම් ජීවිත එතැන දී අහිමිවෙන්නේ නෑ. කොච්චියේ හිටපු අය විතරක් නෙවෙයි දුවල ඇවිත් කෝච්චියට නැගපු මිනිස්සුත් මැරුණා. දුම්රිය මදිරි හැමතැනම විසිරිලා තිබුණේ”

ඔහු තවමත් එය සිහිපත් කරන්නේ මහත් හැඟීම්බරවය.

ඔහු අදින් වසර 20කට පෙරාතුව කීවේ එවැනි අනතුරු වළක්වාගැනීමට නම් ශ්‍රී ලංකාවේ දුම්රිය සඳහා දියුණු සන්නිවේදන පද්ධතියක අවශ්‍යතාවක් ඇති බවයි.  

දැනට මාස කිහිපයකට පෙර මම කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් අපේක්ෂාවෙන් සිටිය දී මේ නිවේදනය සවනට වැකිිණි.

“තුන්වැනි වේදිකාවට පැමිණෙන දුම්රිය, පැය භාගයක් පමණ ප්‍රමාද වී පැමිණෙන බව දුම්රිය මගීන් කරුණාවෙන් සළකන්න.”  

එම නිවේදනය අසා කිසිම මගියෙක් කලබල වූයේ නැත.

රටේ දුම්රිය මගීන්ට එවැනි නිවේදන අලුත් හෝ අමුතු දෙයක් හෝ නොවේ.

ලෝකයේ රටවල් රැසක් අද දුම්රිය ධාවනයේ දී සන්නිවේදන කටයුතු සඳහා නවීන තාක්ෂණික මෙවලම් භාවිතා කරයි. අන්තර්ජාල සේවාවන් සහිත GPS තාක්ෂණය ඇති සන්නිවේදන උපකරණ එවැන්නකි. මෙවැනි තාක්ෂණයක් භාවිතා කරන විට දුම්රිය කාල සටහනේ විනාඩියක් හෝ එහා මෙහා නොවී දුම්රිය ධාවනය වෙයි.  මගීන් ද ඊට පුරුදු විය යුතුය. එවිට රටේ ප්‍රවාහන සේවය වැඩි දියුණු වී පුද්ගලික වාහන මාර්ගයෙන් හැකිතරම් ඈත්ව වාහන තදබදය අඩුවනු ඇත.

එවිට රටක් සංවර්ධනය කරා යනු ඇතැයි අප හැමදාමත් ප්‍රාර්ථනා කරන සුබ සිහින යථාර්ථයක් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

එවැනි පද්ධති නිර්මාණය කිරීම ලෝකයේ අලුතෙන් සංවර්ධනය වී ඇති විෂය ක්ෂේත්‍රයක් වන අතර හමුදා, ගුවන්, නාවික ආරක්ෂක පද්ධති සැකසීම, විදුලි ආරක්ෂක පද්ධති සැකසීම, නගර නිරීක්ෂණ ආරක්ෂක පද්ධති සැකසීම පමණක් නොව දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය පද්ධති සකස්කර වැඩිදියුණු කිරීම ද එම ක්‍රමයට සිදුකරයි.

ලෝකය පුරා සිදුකරන එවැනි සන්නිවේදන ක්‍රමවේදයන් අතරින් හොඳම සන්නිවේදන ක්‍රමවේදයට ජාත්‍යන්තර සම්මාන පිරිනැමීම වාර්ෂිකව සිදුවන්නකි. මෙවර ලෝකයේ හොඳම ප්‍රවාහන සන්නිවේදන ක්‍රමවේදය ලෙස ජගත් සම්මානයට පාත්‍ර වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ක්‍රමවේදය සැකසූ හයිටෙරා සමාගමයි. (HYTERA)

ඔවුන් විසින් සැකසූ ක්‍රමවේදයෙන් දුම්රිය පද්ධති යාන්ත්‍රණය මුළුමනින් ම නවීන තාක්ෂණය යොදා සංවර්ධනය කර ඇති අතර විශේෂයෙන් ම දුම්රිය ධාවනය පරිපාලනය කිරීම, දුම්රිය නැවතුම්පොළවල් සහ දුම්රිය රියදුරන්, නියාමකවරු පමණක් නොව කම්කරුවන් පවා එකතු කරගෙන කරන ජාලගත කිරීමකින් ද සමන්විත වේ.

මේ සඳහ වියදම් වූ සියලු මුදල් ලබා දී ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) වන අතර ඩයලොග් ආසියාටා සමාගම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු සහ 4G ආවරණ සැපයුම්කරු ද වෙයි.  ශ්‍රී ලංකාවේ මෙම දුම්රිය සන්නිවේදන පද්ධතිය හොඳින් පවත්වාගෙන යාම සඳහා සියලු දුම්රිය මාර්ග ආවරණය වන පරිදි ඩයලොග් 4G සේවා ලබාදීමට නව කුළුණු පවා ඉදිකිරීමට ඩයලොග් ආයතනය කටයුතු කර තිබේ. 

මෙම ව්‍යාපෘතියට සම්බන්ධ තාක්ෂණික ශිල්පියෙක් මෙසේ කීවේය.

“ දුම්රිය සේවාවේ සන්නිවේදන ක්‍රමවේදය සඳහා අපි නව තාක්ෂණික ක්‍රමෝපායක් හඳුන්වලා දුන්නා. මේක ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් වුණත් භාවිතා කිරීම ඉතාමත් පහසු වගේම ඉතාමත් ඵලදායී දෙයක් මෙය සම්පූර්ණයෙන් ම දුම්රිය පරිපාලන ක්‍රියාවලියක්. දුම්රිය තිබෙන ස්ථානය හඳුනාගැනීම, දුම්රිය දෙපාර්තමේන්තුවේ ඒ ඒ කාර්යයන් භාරව ඉන්න සේවකයන් වෙත වෙන වෙනම පණිවිඩයක් යොමු කිරීමේ හැකියාව ආදී දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍යයි කියපු සියලු දේ මේ නව සන්නිවේදන පද්ධතියට ඇතුළත් කළා. ඒ වගේම දුම්රිය කම්කරුවන් පවා මේ ක්‍රමවේදය දැන් භාවිතා කරනවා. මේක ලොකු ජාලගත කිරීමක්.

ශ්‍රී ලංකාවේ ඇති දුම්රිය පාලක මැදිරි තුන වන මරදාන, නාවලපිටිය සහ අනුරාධපුරයේ සිට කිසියම් දුම්රියකට පණිවිඩයවයක් දීම හෝ හදිසි පණිවිඩයක් ලබාදීම බලවත් අසීරු කරුණකි.

නමුත් මෙම නව සන්නිවේදන පද්ධතිය සවිකිරීමත් සමඟ මීටර 50ක් දක්වා නිරවද්‍යතාවයකින් යුතුව දුම්රිය ඇති ස්ථානය සොයාගත හැකි අතර දුම්රියේ රියදුරු, නියාමකවරයා පවා සම්බන්ධ කරගැනීමටත් ආසන්න දුම්රිය නැවතුමට පණිවිඩයක් දීමටත් හැකියාව ඇත. අවශ්‍යනම් පාලක මැදිරියේ සිට අදාළ දුම්රියේ ධාවනය පාලනය කිරීමට ද ( Speed monitor ) හැකි ආකාරයෙන් ජීපීඑස් සහිත මෙම සන්නිවේදන උපකරණ කට්ටලය නිපදවා තිබේ. එය විද්‍යාව හා තාක්ෂණය යොදා සිදුකරන ලද සුවිශේෂී ජයග්‍රහණයකි.

දැනටමත් දුම්රිය 275ක් සඳහා GPS සහිත සන්නිවේදන උපකරණ කට්ටල සවිකර ඇති අතර තව නොබෝ දිනකින් තවත් දුම්රිය 80කට එම පද්ධති සවිකර අවසන් කෙරෙනු ඇත.

ජීපීඑස් තාක්ෂණය සහිත මේ නව සන්නිවේදන පද්ධතිය  සම්පූර්ණ කර මුලින් ම භාර දී ඇත්තේ 2023 වර්ෂයේ දී ය. මෙම ක්‍රමය ආරම්භ කරන තුරු දුම්රිය දෙපාර්තමේන්තුවට නිවැරදි සහ කාර්යක්ෂම සන්නිවේදන ක්‍රමයක් තිබුණේ නැත.

දුම්රිය රියදුරාට ප්‍රධාන නියාමකවරයා පණිවිඩය දෙන්නේ නලාවක් පිඹීමෙන්, කොඩියක් වැනීමෙන් සහ වර්ණ සංඥාවක් භාවිතාව වැනි යල් පැන ගිය සන්නිවේදන ක්‍රමවලටය. ඒ එදා බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවට දුම්රි‍ය සේවාව හඳුන්වා දුන් අවදියයි. අදටත් ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය වෙනස් වී නැත.

නමුත් ‍ලෝකය තාක්ෂණික වශයෙන් වේගයෙන් ඉදිරියට යද්දී මෙවැනි පද්ධතීන් වැඩිදියුණු කිරීම ගැන සිහින මැවූ තරුණ තරුණියෝ ඒවා සංවර්ධනය කළහ. ශ්‍රී ලංකාවට අවශ්‍ය ආකාරයේ නව සන්නිවේදන ක්‍රම බිහි කළහ. හයිටෙරා සමාගම, ඩයලොග් ආසියාටා වැනි සමාගම්අ මේ ක්‍රම ඉදිරියට ගෙන යද්දී ආසියානු සංවර්ධන බැංකුව ද මූල්‍ය දායකත්වය ලබාදුන්නේ මෙම නව සන්නිවේදන පද්ධතිය භාවිතයෙන් රටේ දුම්රිය සේවය ඉහළටම ඔසවා තැබිය හැකි බව දන්නා බැවිනිි.

නමුත්, අපේ ඇතැම් වෘත්තීය සමිති ගතානුගතික අදහස් කරපින්නාගෙන වෙනස් වීමට කිසිදු අදහසක් නැතිව බලයට පත්වන ආණ්ඩුවලට තම බලය පෙන්වීමට ගන්නා උත්සාහයෙන් එකතැන ම පල්වන්නේ මෙරට ජනතාවයි. රටේ සංවර්ධනයයි.

පසුගිය රජය පැවැති කාලයේ දී ජාතික නවෝත්පාදක ඒජන්සියෙන් (NIA) සංවිධානය කළ රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. එහි දී සාකච්ඡාවට ගැණුනේ, දුම්රිය පමාවට, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරු සහ දුම්රියේ අලි ගැටීම නිසා සිදුවන අනතුරුවලට, විද්‍යාත්මක විසඳුම් සෙවීම යන කරුණු කිහිපයකි. අදාල මේ ප්‍රශ්න සඳහා විද්‍යාත්මක විසඳුම් ලබාදිය හැකි බොහෝ දෙනකු සහභාගී වී සිටියහ. සෑම ප්‍රශ්නයකට ම ඔවුන් සතුව ඉතා ඉහළ තාක්ෂණය සහිත විද්‍යාත්මක යෝජනා විය. හැම විසඳුමකම අවසානයේ ඔවුන් අවධාරණය කළේ දුම්රිය එන්ජින් සඳහා GPS තාක්ෂණය අවශ්‍ය බවයි.

සභාවෙ හිටිය විද්වතෙක් පැය දෙකකට විතර පසු ප්‍රශ්න කළේ මේ විදියට

“දුම්රිය එන්ජින්වල GPS තියෙනවා නේද?”

“ඔව් තියෙනවා”

“එන්ජින් කීයක තියෙනවද?”

“හැම එකකම තියෙනවා”

“ඉතින් මොකක්ද ප්‍රශ්නෙ”

“ඒවා වැඩ කරන්නෙ නැහැ”

“ඒ කියන්නෙ ඒවා කැඩිලද?”

“නැහැ – කැඩිලා නැහැ”

“එහෙනං….?”

දුම්රිය ලොක්කා උත්තර දෙන්නේ නෑ.

ඒ අස්සේ සභාවේ තවත් විශේෂඥයෙක් හඩ අවදි කළා.

“කැඩිලා නෙමෙයි – රියදුරෝ ඕක ඔන් කරන්නෙ නැහැ. ඒ අය GPS වලට විරුද්ධයි. ඒ නිසා සවි කරපු දා ඉඳන් ඒවා එහෙමමයි. ඒ අය ඔය සිස්ටම් එක ඔන් කරනකං ඔය කිසිම තාක්ෂණයක් පාවිච්චි කරන්න බැහැ.”

දුම්රිය ලොක්කාට උත්තර නැත. රටේ ඉහළම ආයතනයක ඉහළම නිලධාරින් පනහක් විතර පිරිසක් පැය දෙකක් විතර කළ සාකච්ඡාව අවසන් උනේ දුම්රිය රියදුරන්ගෙ මේ ප්‍රශ්නයෙනි. කෝටි ගණන් මහජන මුදල් වියදම් කරලා තාක්ෂණය සවිකරත් කීප දෙනෙක් ගෙ උවමනාවට ඒවා ක්‍රියාත්මකවෙන්නෙ නැත.

ඇත්තටම මොකක් ද වෙලා තියෙන්නේ.

දුම්රිය රියිදුරන්, තමන්ගේ ගතානුගතික අදහස් වලින් මිදෙන්න කැමති නෑ. වේලාවට කලාවට දුම්රිය ධාවනය කරන්නේ නෑ කියලා අනිත් අය දැනගන්න එක එයාලට ප්‍රශ්නයක්.

හැම දුම්රියක ම නැතිව වැඩක් නෑ කියනවා. පිටිපස්සේ තියෙන ඩමියටත් ඕනලු. ඉස්සෙල්ලා ප්‍රධාන එන්ජිමේ එක ඔන් කරන් ගියාම ඩමියටත් හයි කරන්න පුළුවන්නේ.

මේ උපකරණය සවි කළොත් දුම්රිය කන්ට්‍රෝල් යුනිට් එකට දුම්රිය පාලනය කරන්න පුළුවන් කියන එකත් රියදුරන්ගේ විරෝධතාවයට තවත් හේතුවක්.

දැන් කියනවා ජීපීඑස් සවි කළාම ඉන්ෂුවරන්ස් ගෙවන්නේ නැහැ කියලා

දුම්රිය රියදුරන් මේක දුම්රිය සන්නිවේදන ක්‍රමවේදය ප්‍රතික්ෂේප කළත් එය දැන් ලෝකයේ හොඳම සන්නිවේදන ක්‍රමවේදය බවට පිළිඅරගෙන ඉවරයි.

රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ආචාර්ය රංග කලංසූරිය මේ සටහන සමාජ මාධ්‍යයට එකතු කර තිබුණේ පසුගිය දා අලි 07 දෙනකු මීනගයා දුම්රියේ හැපී මියයාමේ සිද්ධියත් එක්ක. ඒ සිද්ධිය සම්බන්ධයෙන් රටම කම්පා වෙද්දී ආචාර්ය කලංසූරිය මේ පරණ ජීපීඑස් ඇදලා අරගෙන තිබුණා.

ඒ කතාව සමාජ මාධ්‍යයේ පළ කරලා පැය කිහිපයකින් ඔහුගේ පාසල් එකම පන්තියේ හිටපු මිත්‍රයෙක් කතා කරාලු ඒ මිත්‍රයා තමයි, දැන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා. ඔහු මේ තනතුරේ වැඩ භාරගත්තෙත් 2025 අවුරුද්දේ මුල් දින කිහිපයේ දී. ඉතින් එකම පන්තියේ ඉගෙන ගත්තු නව දුම්රිය සාමාන්‍යාධිකාරී තුමා තම පාසල් මිත්‍රයට අපූරු පොරොන්දුවක් වෙලා.

“මචං, මම මාසයක් ඇතුළත මේ වැඩේ කරනවා. දැනටමත් මූලික වැඩ පටන් අරන් ඉවරයි.” ඒ තමයි ධම්මියක ජයසුන්දර මහත්තයා තමන්ගේ මිත්‍රයාට දීපු පොරොන්දුව.

කෝටි ගණන් මුදල් වැය කරලා රටේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති දුම්රිය රියදුරන් 375ක් විසින් අටවගත්තු වෘත්තීය සමිතියක් නිසා ප්‍රයෝජනයට ගන්න බැරි තත්වයකට පත්වෙනවා නම් ඒ ගැන ජනතාව යමක් කළ යුතුයි.

මේවා වෘත්තීය සමිති සල්ලි නෙවෙයි.

වෘත්තීය සමිතිවල බලය පෙන්වලා රටේ බලයට පත්වෙච්ච ජාතික ජන බලවේගය ආණ්ඩුවත් මේවා සම්බන්ධයෙන් ඇස් කන් පියාගෙන ඉන්නවානම් කළ යුත්තේ කුමක් ද ?

රියදුරන්ගේ වෘත්තීය සමිතියක් මේ ප්‍රතික්ෂේප කරමින් ඉන්නේ ලෝකයේ හොඳම ප්‍රවාහන සන්නිවේදන ක්‍රමවේදය ලෙස ජාත්‍යන්තර සම්මානයට පත්වෙච්ච දෙයක්. වෘත්තීය සමිතියක බලයට යටත් වෙලා ජනතාවගේ අයිතිවාසිකම් අහිමිකරලා.

මෙම ජාත්‍යන්තර සම්මානය ලබා දී ඇත්තේ ලෝකයේ අවදානම් සහගත සන්නිවේදන කටයුතු කරන හමුදාමය, ප්‍රවාහන ආයතන සහ ඒවා නියාමනය කරන ආයතන එකතු වී බිහිකරන ලද ICCA නමැති ආයතනයකි.

ලෝකයේ හොඳම සන්නිවේදන මෙහෙයුම් පද්ධතිය බිහිකර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බවට ලෝක සම්මානයට පාත්‍ර වුවත් වුවත්අදටත් මේ පද්ධතියේ සම්පූර්ණ කාර්යක්ෂමතාව රටට අහිමි වී තිබේ.

දුම්රිය රියදුරන් දුම්රිය එන්ජිමට පැමිණ සිය රාජකාරී කටයුුත ආරම්භ කරද්දී සිය ප්‍රථම කාර්යය ලෙස ලෝකයේ හොඳම සන්නිවේදන පද්ධතිය මේ ආකාරයෙන් ක්‍රියා විරහිත කරන්නේ නම් මෙවැනි ගතානුගතික පිරිසක් සමඟ රටක් කෙසේ සංවර්ධනය කළ හැකිවනු ඇත්ද ?  

මෙම පද්ධතිය දුම්රිය රියදුරන් විසින් ක්‍රියාවිරහිත කරන බැවින් එම පද්ධතියෙන් ලබාගත හැකි සේවාවන්ගෙන් 25%ක් වත් රටේ ජනතාවට ලැබෙන්නේ නැත. සුළු පරිසකගේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා රටේ ජනතාව හැමදාමත් විසඳුම් නැතිව දුක්විඳිනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles