spot_img

පරීක්ෂා නොකර නිදහස් කරපු බහාලුම්වල තිබූ දේ ?

පුවත්

විදෙස්

රේගුවෙන් නිදහස් කළ බව පවසන ප්‍රශ්නගත බහාලුම්වල නීති විරෝධී හෝ සැකකටයුතු හෝ කිසිවක් අඩංගුව නොතිබූ බවට තමන් විශ්වාස කරන්නේ යැයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ අද (08) මාධ්‍ය හමුවක් පවත්වමින් කීවේය.

එම බහාලුම් නිදහස් කිරීමට පෙර ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කර මෙම බහාලුම් නිදහස් කිරීමට පියවර ගත් බව ද ඔහු පවසයි.

හෙතෙම වැඩිදුර‍ටත් අදහස් දක්වමින් මෙසේ කීවේය.

ආනයනය කරපු මේ බහාලුම්වල තිබුණේ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ප්ලාස්ටික්, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සත්ව ආහාර, මැෂින් වර්ග, පලිබෝධනාශක, සිමෙන්ති, යකඩ පයිප් වර්ග, පොහොර, දැව වගේ දේවල්. මේ බහාලුම් වැඩි ප්‍රමාණයක් ආනයනය කරලා තිබුණේ ඉන්දියාවෙන් සහ චීනයෙන් ඉන්දුනිසියාව, හොංකොංග්, සිංගප්පූරුව, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වගේ රටවලිනුත් මේ බහාලුම් ආනයනය කරලා තිබුණා.”

ඔහු පවසන්නේ මෙම බහාලුම් නිදහස් කිරීමේ දී ඒවා ආනයනය කරන ලද පුද්ගලයන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණක් එහි අඩංගු වූවා යැයි රේගුව විශ්වාස කරන බවයි.

ඔවුන් මේ බහාලුම් නිදහස් කර ඇත්තෙත් ආනයන සටහන්වල අඩංගු ලේඛන පරීක්ෂා කිරීමෙන් පමණක් බව ද මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අනාවරණය විය.

“ අපිට චෝදනා නගලා තිබුණා. ආයුද තියෙන්න පුළුවන් කියලා. නැත්නම් රත්‍රං තියෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය තියෙන්න පුළුවන් කියලා. ඉතිං අපි තෝරාගන්න මේ ක්‍රමවේද  අනුගමනය කරපු නිසා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ බහාලුම්වල ඔය කියන කිසිම දෙයක් තිබුණේ නෑ කියන එක. කෙසේ වෙතත් මේ සම්බන්ධව දැඩි කතා බහක් ඇති වෙලා තියෙන නිසාම ශ්‍රී ලංකා රේගුව මේ සඳහා පශ්චාත් නිශ්කාශන විගණනයක් සිදු කිරීමට තීරණය කරලා තියෙනවා. ඒ සඳහා පශ්චාත් නිගමන අංශයෙන් මේ වන විටත් විගණනයක් සිදුකරමින් යනවා. ඒ වගේම මුදල් අමාත්‍යංශ ලේකම්තුමා විසින් පත්කරන ලද ඉහළ පෙළේ කමිටුවක් මගින් මේ සමස්ත ක්‍රියාදාමයම විමර්ශනයට ලක් කරලා තියෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සියලුම නිලධාරීන් මේ කමිටුවට ගිහිල්ලා විස්තර ලබා දීලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අපි විස්තර ලබා දීලා තියෙනවා ඒ නිසා අපිට කිසිම සැකයක් නැහැ.”

ඒ වගේම මේ බහාලුම් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියේදී වෙන කිසිම පාර්ශ්වයකින් අණක් හෝ බලපෑමක් සිදුවුණේ නෑ. ඒක මට බොහොම ස්ථීරවම කියන්න පුළුවන්.

මෙම ගැටලුව ඇති වී තිබෙන්නේ 2025 ජනවාරි මස 18 වැනි දා නිදහස් කරන ලද බහාලුම් සම්බන්ධයෙනි. ආනයන කරුවන් 180ක් විසින් රේගු සටහන් 234ක් ලැබී තිබූ අතර එමගින් බහාලුම් 309ක් නිදහස් කර ඇත. රේගුව පවසන්නේ බහාලුම් 371ක් තිබූ බවයි. එයින් 62ක් ම දත්ත පද්ධතිය මගින් ස්වයංක්‍රීයව නිදහස් වූ බවත් රේගුව පවසයි.

මාධ්‍ය සාකච්ඡාවේ දී අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආනයනකරුවන් සම්බන්ධ සියලු විස්තර ඔවුන් සතුත බවයි. එම ආනයනකරුවන්ගේ නම්, ලිපිනය, සමාගමක් නම් ඒ සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ විස්තර මේවා නිශ්කාෂණය කළේ කවුද යන විස්තරත් ඇති බව හෙතෙම කීවේය.

එමෙන් ම අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ  පවසා සිටියේ පරීක්ෂා නොකර බහාලුම් නිදහස් කිරීම රේගුවට අලුත් දෙයක් නොවන බවයි. අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් ඒ අනුව පරීක්ෂා කළ යුතු සහ නොකරන දේ තෝරාගන්නා බවත් බහාලුම්වලින් 60%ක් පමණ පරීක්ෂා නොකර යවන බවත් හෙතෙම වැඩිදුරටත් කී‍වේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles