spot_img
spot_imgspot_img

කොරෝනා එන්නත ගැන දැනගන්න

පුවත්

විදෙස්

ඉන්දියාවෙන් එන බඩු වැඩක් නෑ.

බඩු බාලයි. ඔය එන්නතනම් මට ෂූවර් නෑ.

බයේ බෑ… කොරෝනා එන්නත විදපු අයත් මැරිලා නේ

යනුවෙන් දැන් තැන තැන කතා කරන්නට පටන් ගෙන තිබේ.

මෙරට පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වී වසරකට පසු කොරෝනා රෝගයට ප්‍රතිරෝද දැක්වීම සඳහා නිපදවන ලද එන්නත් තොගයක් අද (28) ශ්‍රී ලංකාවට ලැබිණි.

ඒ අපේ අසල්වැසි ඉන්දියාවෙනි.

නමුත් බොහෝ දෙනකු පවසන්නේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද එන්නත් ගැන කිසිදු විශ්වාසයක් නැති බවයි. ඒවා ගුණාත්මක බවෙන් අඩු බවත්, ඉන්දියාවේ එන්නත විදගෙන නිකරුණේ කොරෝනා සාදාගත නොහැකි බවත් ඔවුහු කියති.

මේ ලිපිය ඉන්දියාවේ එන්නත ගැන කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵලයකි.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණේ “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්” නමැති එන්නතයි.

මෙය සැබැවින්ම ඉන්දියාවේ කරන ලද පර්යේෂණයකින් සොයාගත් එන්නතක් නොවේ.

එය බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සොයා ගන්නා ලද එන්නතයි.

වර්තමාන ලෝකයේ දැවැන්තම ඖෂධ නිෂ්පාදකයකු මෙන්ම ලෝකයේ වැඩිම එන්නත් ප්‍රමාණයක් නිපදවන රට බවට පත්ව ඇති ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් නමැති සමාගම විසින් මේ එන්නත නිෂ්පාදනය කරනු ලබයි. එන්නත නිෂ්පාදන සමාගම පිහිටා ඇත්තේ ඉන්දියාවේ වුව ද එහි සැබෑ හිමිකරුවා වන්නේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයි. ඒ අනුව අපට ලැබෙන්නේ ලෝකයේ තිබෙන නරකම එන්නතක් යැයි බිය විය යුතු නැත. දැනට ලෝකයේ කොරෝනා සාර්ථකව අත්හදා බලා ඇති එන්නත් අතරින් වඩාත් සාර්ථකම එන්නත ලෙස සැළකෙන්නේ මේ ඕක්ස්ෆර්ඩ් එන්නත වන අතර එය ඉන්දියාවේ දී නිෂ්පාදනය කරනු ලබන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොෆිෂීල්ඩ් යන නමිනි.

ඇමෙරිකාවේ භාවිතා වන ඖෂධවලින් 40% සහ බ්‍රිතාන්‍යයේ භාවිතාවන ඖෂධවලින් 25% තරම් අති විශාල ප්‍රමාණයක් දැනටමත් සපයනු ලබන ඉන්දියාව නැමැති ඖෂධ නිෂ්පාදකයා මෙන්ම ලෝක‍යේ භාවිතා කරන එන්නත්වලින් 60%ක් නිෂ්පාදනය කරනු ඉන්දියාව නිපදවන මේ එන්නත ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව වැනි රටවල් ද දැනටමත් ඇණවුම් කර තිබීමේන ම එහි ගුණාත්මක බව පිළිබඳ සැකයක් ඇතිකර ගත යුතු නැත.

ඇමෙරිකාව දැනටමත් තම ජනගහණය වැනි දෙගුණයක් එන්නත් ඇණවුම් කර තිබේ. කැනඩාව ජනගහණය මෙන් 05 ගුණයක් එන්නත් ඉල්ලා ඇත. නවසීලන්තය තම රටේ ජනගහණය මෙන් 06 ගුණයක් එන්නත් දැනටත් ඇණවුම්ම කර අවසන්ය.

තත්ත්වය එසේ තිබිය දී ශ්‍රී ලාංකික ඇතැමුන් පවසන්නේ මේ එන්නත් විද ගැනීමෙන් ඇතැම් රටවල පුද්ගලයන් විශාල පිරිසක් මියගොස් ඇති බවයි. ඒ නිසා එන්නත විද ගැනීම අනවශ්‍ය බවයි. ෆයිසර් එන්නත විදගත් කිහිප දෙනකු මියගිය බවට අප රටේ මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ගෙන ගොස් තිබිණි. කොරෝනා සඳහා පැණියක් ප්‍රචාරය කළ මාධ්‍ය ආයතන මේ ප්‍රචාරය ගෙන ගිය අතර ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා වූයේ ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව විදින ලද වැඩිහිටි නිවාසවල සිටි පිරිසක් මියගිය බවයි. මේ හේතුව දක්වමින් අපේ ශ්‍රී ලාංකිකයන් පවසන්නේ එන්නත විදගෙන කොරෝනා සාදාගත නොහැකි බවයි.

සැබැවින් ම එන්නත විදගැනීමෙන් කොරෝනා සෑදෙනවා ද ?

නැත. කිසිසේත්ම කොරෝනා සෑදීමට හැකියාවක් නැත. මේ එන්නත නිපදවා ඇත්තේ චිම්පන්සින්ට උණ හෙම්බිරිස්සාව සාදන වෙනත් ‍වයිරිසයක් කොරෝනා වයිරසයේ ආකාරයට වෙනස් කිරීමෙනි. එබැවින් එන්නත ලබාගත්තා යැයි කියා කිසිවෙකුට කොරෝනා වැළඳීමට ඉඩක් නැත.

එංගලන්තය හා බ්‍රසීලය දැනටමත් මේ එන්නත තම රටවල ජනතාවට ලබාදෙමින් පවතින අතර මුල දී ප්‍රකාශ කළේ එන්නතේ සාර්ථකත්වය ඇත්තේ 70%ක පමණ ප්‍රමාණයක් බවයි. නමුත් මේ වනවිට එහි සාර්ථකත්වය 90% දක්වා වන බව තහවුරු වී තිබේ.

ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයට එන්නත් නිපදවීමේ කොන්ත්‍රාත්තුව ලැබෙන අවස්ථාවේ දී එම සමාගම් අතර අත්සන් කළ ගිවිසුම්වලට අනුව අඩු හා මැදි ආදායම් රටවලට ද මේ එන්නත් ලබාදීමට එම සමාගම බැඳී සිටියි. ඒ අනුව අපට ඉතා පහසුවෙන් ඉන්දියාවෙන් මේ එන්නත ලබාගත හැකි බව අරුමයක් නොවේ.

ඉන්දියාවේ පිහිටි භාරත් බයෝ ටෙක් නමැති වසර 24ක් පැරණි සමාගමක් ද එන්නතක් නිපදවීමට පටන්ගෙන ඇත. මේ වනවිට එය තුන්වැනි අදියරේ සායනික පරීක්ෂණ සඳහා 28,000ක් වූ පිරිසකට එන්නත් කර ඇති අතර එහි ප්‍රතිඵල මෙතෙක් සමාලෝචනය කර නැත. ඒ එන්නත ඔක්ෆර්ඩ් එන්නත තරම් සාර්ථක නැතියි යන්න විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ භූගෝලීය දේශපාලනය අනුව ලෝකයේ සියලුම රටවලට ශ්‍රී ලංකාව මර්මස්ථානයකි. ඉන්දියාව මෙන් ම චීනයත් ශ්‍රී ලංකාව සමඟ දේශපාලනික හා ආර්ථික සම්බන්ධතා පවත්වාගැනීමට නිරන්තරව උත්සාහ ගන්නේ එබැවිනි.

චීනය් අප රටට එන්නත් ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙන්නේ අනාගත ලෝකයේ දේශපාලන බලවතා තීරණය කිරීම වසංතයක් හමුවේ එන්නත් ලබාදීමෙන් සිදුකළ හැකි බව හොඳින්ම දන්නා බැවිනි. චීනය මේ වනවිට එන්නනත් දෙකක් නිපදවා ඇත. නමුත් එහි සාර්ථකත්වය ඇත්තේ 50-78% අතර ප්‍රමාණයකි. ඒ එන්න‍ත් තොගයක්  ද ඉදිරියේ දී ශ්‍රී ලංකාවට නොමිළයේ ලැබීමට නියිමතිය.

ඉන්නත් පිළිබඳ සොයා බැලීමේ දී පැහැදිලි වන්නේ ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්” කොරොනා වසංගතයෙන් මිදීමට මෙරට ජනතාවට ඇති හොඳම විසඳුම බවයි.

කොරෝනා වසංගතය මර්ධනය කිරීමටනම් රටේ ජනගහණයෙන් 70%ක් එන්නත් කර තිබිය යුතුය. එහි පළමු මාත්‍රාව ලබාගෙන සති 4-12ත් අතර කාලයේ දී දෙවැනි මාත්‍රාව ලබාගත යුතුය. ශ්‍රී ලංකාවේ ජනගණයෙන් 70%ක් යනු ආසන්න වශයෙන් ලක්ෂ 150කි. මාත්‍රා දෙකක් අවශ්‍ය බැවින් එන්නත් ලක්ෂ 300ක් මෙරටට අවශ්‍ය වේ දැනට ලැබී ඇති ප්‍රමාණය කිසිසේතම ප්‍රමාණවත් නැත. ඉදිරියේ දී මේ එන්නත් කිරීමේ වැඩිපිිළිවෙල වඩාත් සාර්ථක කරගනිමින් රට යලි සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමටනම් ජනතාව එන්නත් ගැන අනවශ්‍ය බියක් ඇති නොකරගත යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!