රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ සිසුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පැතිරයන කටකතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
කොරෝනා ආසාදිත වූ පුද්ගලයකු හා දුරස්ථ සම්බන්ධතාවක් ඇති සිසුවකු මේ වනවිට පීසීආර් පරීක්ෂණයකට යොමුකර තිබෙන බවත් මේ සිසුවා පීසීආර් පරීක්ෂණයකට යොමුකිරීම හේතුවෙන් මෙවැනි අසත්‍ය පුවත් පැතිරයන බවත් සෞඛ්‍ය අංශ පවසයි. අද (21) සවස එම සිසුවාගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිතය.
කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ආසාදිතයන් වාර්තා නොවූව ද සමාජය තුළ ආසාදිතයන් සිටිය හැකියැයි අනුමාන කරමින් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි.
හපුගල කොරෝනා ආසාදිතයෙක් නෑ
කොළඹ කොටුව පොලිසිය යළි විවෘතයි
පොලිස් නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ කොළඹ කොටුව පොලිස් ස්ථානය යළි විවෘත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් ස්ථානයේ නිලධාරීන් 48 දෙනෙක් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර සිටිති. පොලිස් ස්ථානය සම්පූර්ණයෙන් ම විෂබීජහරණය කිරීමෙන් පසු වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්ත කර යළි රාජකාරී කටයුතු ආරම්භ කර ඇත.
බල්ලන්ට දාන දී ලැබුණු ප්‍රතිඵලය
අපි දෙන්නම කන්න ආසා වුණේ එකම දේ.
ඇඳුමක්-කැඩුමක් ගත්තත් එක වගේ.
ගමන්-බිමන් ගියෙත් එකට.
ඒක ආත්මීය බැඳීමක්.
ඒ සේරටම වඩා අපි දෙන්නම වැඩිපුරම ආදරය කළේ එකම දේකට.
ඒ තමා බව්වෝ.
මගේ පුංචි කාලේ මට මතක එකම දේ අපේ ගෙදර හිටිය බව්වා.
එයාටත් එහෙමමලු.
එයාගේ බව්වා මිසක් වෙන කිසිම දෙයක් එයාටත් මතක නෑ.
මම වගේම එයත් මුළු දවසම ගත කරල තියෙන්නේ බව්වත් එක්ක.
මගේ පළවෙනි බව්ව මට නැති කළේ අල්ලපු ගෙදර අයියා.
එයා බව්වගේ ඇඟට රතිඤ්ඤ පත්තු කරල දැම්ම.
එදා අපිව දාල ගිය බව්වා ආයෙත් ආවේ නෑ.
එයාගේ පළවෙනි බව්වනම් ගොඩාක් කල් ජීවත් වෙලා වයසට ගිහින් නැති වෙලා තියෙන්නේ.
ඒත් එයා දවස් ගානක් කන්නේ නැතුව ඉඳල තියෙනවා.
අපි දෙන්නම කල් ගත වෙන කොට අපේ බව්වන්ට විතරක් නෙමේ, අතරමං වෙලා හරි අත හැරල දාල හරි, පාරේ හරි කොහේ හරි ඉන්න අසරණ බව්වන්ට ආදරය කරන්න පටන් ගත්තා.
අපි සිරිතක්-පුරුද්දක් විදිහට ගෙදරින් යනකොට මොනව හරි දෙයක් අරගෙන යනවා පාරෙ ඉන්න බව්වන්ට දෙන්න.
මම කොහේ හරි යනවා නම් පැයක් වත් කලින් ගෙදරින් පිට වෙනවා.
බව්වන්ට ආදරය කර කර යනකොට පරක්කු වෙන්න පුළුවන් නිසා.
ඒකට එයා. එයත් ටිකක් කලින් පිට වෙනවලු.
ඒත් හැමදාම කොතනට ගියත් හොඳටම පරක්කු වෙලා තමා එතනට යන්නේ.
එයාට පාරෙදි මට වඩා බව්වෝ මුනගැහෙනවා.
ඒ අතින් එයා මට වඩා වාසනාවන්තයි.
පහු වෙන කොට අපි පෝයදාට බව්වන්ට දානෙ දෙන්න පටන් ගත්ත.
සමහර බව්වෝ ඉන්නව දසසිල් සමාදන් වෙලා වගේ.
හරිම සිල්වත්.
පිංවත්.
ඉතින් අපි හිතුවා ඒගොල්ලන්ට දානෙ දෙන එක අපේ වගකීමක් කියල.
පස්සෙදි අපි පෝයට අමතරව හෑම ඉරිදම බව්වන්ට දානෙ දුන්නා.
මේ වෙනකොට අපි දෙන්නම අපේ ගෙවල්වල බව්වෝ හදන එක නවත්තල තිබුණේ.
මොකද අපි දෙන්නම තේරුම් අරන් තිබුණා අපේ වගකීම එක බව්වෙක් හුරතල් කරන එක නෙමේ, කුරිරු අපත මිනිස්සු පාරවල් වල අතරමං කරල ගිහින් ඉන්න අපේ බව්වන් බලා-කියා ගන්න එක කියල.
ජරා මිනිස්සු බව්වන්ට සැර කරන එක, අඩන්තේට්ටම් කරන එක අපි දෙන්නටම පෙන්නන්න බෑ.
ඒ කාලකන්නි යක්කු බව්වෝ ගෙවල්වලට කොටු කරගෙන දස වද දෙනවට වඩා දාහෙන් සම්පතයි ඒ අයව පාරට එක්කගෙන එන එක.
අපි දෙන්න වගේ තව ගොඩාක් යහපත් අය ඉන්නවා අපි අතර, පාරෙ ඉන්න බව්වන් ජීවත් කරවන්න.
මේ සේරම උඩු-යටිකුරු වෙන්න ගත වුණේ එක දවසයි.
එයාට දවස් කිහිපයක් තිස්සේ උණ ගතිය තිබුණා.
එදා එයාට හොඳටම අමාරු වුණා.
අපි එයාව ඉක්මනට ඉස්පිරිතාලෙට අරගෙන ගියා.
එයා මට හිතාගන්නවත් බැරි විදිහට මාව දාල ගියා.
ඒ දවස් ටිකට එයා විඳවපු විදිහ මට දරා ගන්න බෑ.
මම කවදාවත් කිසිම සතෙක් එහෙම විඳවනවා දැකලා නෑ.
ඒක පුදුම කරුමයක්.
පිස්සු බල්ලෝ ගැන අහල තිබුණට මම කවදාවත් දැකල තිබුණේ නෑ.
මට මගේ ජීවිතේම එපා උණා.
බලු සංහතියම එපා උණා.
උන් මට එයාව නැති කළා.
මැරුණු බල්ලන් කී දෙනෙක් නම් බදාගෙන අඬල ඇතිද?
ඒත් මට එයාව බඳාගෙන අඬනවා තියා අවසන් වතාවට මූණවත් බලන්න නැති වුණා.
පෙට්ටිය ගෙනාවේ සීල් කරලා.
දොස්තරලා කිව්වේ එයාට ජලභීතිකාව හැදිලා කියලා.
නමුත් හැමදාම බල්ලන්ට ආදරය කරපු එයාව කවදාවත් බල්ලෙක් කාලා තිබුණේ නෑ.
ඒත් මට මතකයි.
එයාගේ කකුලේ තුවාලයක් තිබුණා. බල්ලෙක් ඒ් තුවාලය ලෙව කෑවා.
අන්න ඒ් නිසා තමයි එයාට ජලභීතිකාව හැදෙන්න ඇත්තේ.
ඊට පස්සේනම් මම කවදාවත්ම පාරේ ඉන්න බල්ලන්ට කන්න දෙන්න ගියේ නෑ.
අයාලේ යන වල් බල්ලෝ නඩත්තු කරන්න ගියේ නෑ.
මම මගේ ජීවිතේ අලුතින් පටන් ගත්තා.
දැන් මම මගේ බිරිඳයි දරුවොයි එක්ක මනුස්ස ජීවිතයක් ගත කරනවා.
මට පුළුවන් විදිහට ජලභීතිකා රෝගය පිළිබඳව මිනිස්සුන්ව දැනුවත් කරනවා.
බල්ලන් අයාලේ නොයවන ලෙස මිණිස්සුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
මහා සංඝරත්නයට දාන-මාන දීල, ඒ පිං එයාට අනු්න් කරනවා.
(සටහන – බන්දුල රණතුංග)
ශිෂ්‍යත්ව විභාග ඇගයීම් හෙට සිට
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) ආරම්භ කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ හැර අනෙකුත් ප්‍රදේශවල ඇගයීම් කටයුතු ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
හෙට ආරම්භවන ඇගයීම් කටයුතු ලබන 27 වැනි දා දක්වා ඇගයීම් මධ්‍යස්ථාන 39 ක දී ඇගයීම් මණ්ඩල 391ක සිදුකිරීමට නියමිතය.
20 පිළිබඳ විවාදය අද ඇරඹේ. ඡන්දය විමසීම හෙට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත පාරලිමේන්තුවේ දී අද (21) විවාදයට ගැනීමට නියමිතය. විවාදය අද (21) සහ හෙට (22) දෙදින තුළ පැවැත්වේ.
මෙම පනත් කෙටුම්පතේ සඳහන් එක් එක් කරුණ සඳහා වෙන් වෙන් වශයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව ඇත.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ පිළිබඳ මෙසේ කීවේය.
” විවාදය අද උදේ ආරම්භ වී රාත්‍රී 7.30 දක්වා විවාදය පවත්වා හෙට 22 වැනි දා දිනයේ දීත් රාත්‍රී 7.30 දක්වා විවාදය පවත්වා එදිනම ඡන්දය විමසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට රජය බලාපොරොත්තු වෙනවා. විෂයභාර අමාත්‍යවරයා වන අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් කරුණුවලට අදාලව ඒවා ඉදිරිපත් කිරීම කල් ඇතිව පාර්ලිමේන්තුවේ කතානායකතුමාට භාරදීම සිදුවෙනවා. ඒ අනුව ඉදිරිපත් වූ සංශෝධන පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ඔනෑම මන්ත්‍රීවරයකුට අවස්ථාව ලැබෙනවා. ඒ් වගේම වෙනත් සංශෝධන ඉදිරිපත් කරනවානම් ඒවා ද කලින්ම භාරදීම සිදුවෙනවා.”
සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ මෙවැනි අදහසකි.
” ආණ්ඩුවට දැනටමත් 20 වැනි සංශෝධනය ඔවුන් බලාපොරොත්තු වූ විදියට කරගන්න බැරිවෙලා තියෙනවා. මහං සංඝරත්නයෙත්, විපක්ෂයෙත් ජනතාවගේත් තිබුණු විරෝධය නිසා ඉන් භාගයක් ම අකුලගන්න සිදුවෙලා තියෙනවා. අපි හෙට බලනවා සංශෝධන ඉදිරිපත් කරද්දී ආණ්ඩුව මොනවාද කරන්නේ කියලා. තව කාරණා කිහිපයක් සම්බන්ධව ආණ්ඩු පක්ෂයේ පිරිසක් කැමැත්ත දෙන්නේ නැහැ. අන්තිමේ දී 19ට ම යන තත්ත්වයට ආණ්ඩුව පත්වෙලා තියේවිද කියලා.”
මේ අතර ජනමතවිචාරණයකින් සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිම්න්තුවට දැනුම් දුන් 5 සහ 22 වැනි වගන්ති ඉවත්කර ගැනීමට රජයෙ තීරණය කර ඇතැයි ද පැවසේ
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කියා සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා අවශ්‍ය පසුබිම සකස් කිරිම, මැතිවරණ කොමිසන් සභාව දෙන උපදෙස් නිලධාරීන් පිළිගත යුතු වන අතර එය පැහැර හැරීම වරදක් ලෙස සැළකිම යන්නෙහි වරදක්ය යන්න 20 වැනි සංශෝධනයෙන් ඉවත් කිරිම, ජනාධිපතිවරයා සතු මුක්තිය සහ අභීනව පාර්ලිමේන්තුවක් පත්වී වසරකින් එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබීම යන වගන්ති හතර පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මතවීමට අමතරව ජනමත විචාරයකදී අනුමත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙන බැවින් එම වගන්ති හතර සංශෝධන සහිතව කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බවයි.
මීට අමතරව 19 වැනි සංශෝධනයෙන් සම්මත කර ඇති ඇමැති මණ්ඩල ඒ අයුරින් පවත්වාගෙන යාමටත්, ජාතික විගණන පනත ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරිමට සහ හදිසි පනත් කෙටුම්පත පිළිබඳ වූ වගන්ති හතර සංශෝධන සහිතව ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කර තිබිණි.
20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5 සහ 22 වගන්ති ඉවත් කර ගැනීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (20) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේ දී කියා සිටියේය.
3 වැනි හා 14 වැනි වගන්තිය කමිටු අවස්ථාවේ දී සංශෝධනය කරන බව කලින්ම නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩුව දැනුම් දී තිබුණා. ජනාධිපතිතුමාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමේ අයිතිය. ඒ අයිතිය යළි ජනතාවට ලබාදිය යුතුයැයි කියා අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළා. ඒ වගේම මාධ්‍ය වාරණයට ඇති බලය මැතිවරණ කොමිසමෙන් ඉවත්වෙනවානම් එය ජනමතවිචාරණයකට තුඩු දෙනවාය කියා ශ්‍රේෂ්ඨාදිකරණය තීරණය කර තිබුණා. ඒ අනුව ඒ බලය නැවතත් මැතිවරණ කොමිසමට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළා. කොහොම වුණත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් නොකළ සංශෝධන තුනක් කරනවා. මේ අනුව අලුත් සංශෝධන පහක් එකතුවෙලා තියෙනවා.”
ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ විවාදය අද (21) උදෑසන 10ට පාර්ලිමේන්තුවේ දී ආරම්භවීමට නියමිතය.
කොළඹ කොටුව පොලිසිය තාවකාලිකව වසා දමයි
බස්නාහිර පළාත් විශේෂ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂකවරයකු කොරෝනා ආසාදිත අයකු බව හඳුනාගැනීමත් සමඟ කොළඹ කොටුව පොලිසිිිිියේ සාමාන්‍ය රාජකාරී නවතා දමා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
බස්නාහිර පළාත් විශේෂ විමර්ශන අංශය පිහිටා ඇත්තේ කොළඹ කොටුව පොලිස් පරිශ්‍රයේය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ කොටුව පොලිසිය තාවකාලිකව වසා ඇති බැවින් කොම්පඤ්ඤවීදිය සහ පිටකොටුව පොලිස් ස්ථානවලින් කොටුව පොලිස් ස්ථානයෙන් කරගත යුතු රාජකාරී කරගැනීමට මහජනතාවට අවස්ථාව සළසා දී ඇති බවයි.
අද (21) කොටුව පොලිස් ස්ථානය විෂබීජහරණය කිරීමෙන් පසු වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්ත කර කඩිනමින් රාජකාරී කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
මේ වනවිට කොරෝනා ආසාදිත නිලධාරියා හමුවූ විශේෂ විමර්ශන ඒ්කකයේ සියලු නිලධාරීන් නිරෝධායනයට යොමුකර ඇති අතර කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 48ක් එම ස්ථානයේ ම නිරෝධායනයට ලක්කර තිබේ.
තවත් රෝගීන් 120ක් වාර්තා වෙයි
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 120 දෙනකු අද හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
හඳුනාගත් මෙම 120 දෙනා අතරින් 37 දෙනකු වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලිනි. අනෙක් 84 දෙනා නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් බව ද හමුදාපතිවරයා කීවේය.
ඒ් අනුව දැනට ප්‍රතිකාර ලබන ආසදිතයන් සංඛ්‍යාව 2342ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,812 දක්වා ඉහළ ගොස් තිබේ.
ව්‍යවස්ථා සංශෝධනයට සංශෝධන
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරන ලද වගන්ති හතර ශ්‍රේෂ්ඨාධිකරයේ මඟපෙන්වීම මත සංශෝධන සහිතව ගෙන එන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (20) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රකාශ කර තිබේ
මෙම සංශෝධන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදයේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ඒ්ඳ පිළිබඳ පැහැදිලි කරමින්න් සඳහන් කර ඇත.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා අවශ්‍ය පසුබිම සකස් කිරිම, මැතිවරණ කොමිසන් සභාව දෙන උපදෙස් නිලධාරීන් පිළිගත යුතු වන අතර එය පැහැර හැරීම වරදක් ලෙස සැළකිම යන්නෙහි වරදක්ය යන්න 20 වැනි සංශෝධනයෙන් ඉවත් කිරිම, ජනාධිපතිවරයා සතු මුක්තිය සහ අභීනව පාර්ලිමේන්තුවක් පත්වී වසරකින් එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබීම යන වගන්ති හතර පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මතවීමට අමතරව ජනමත විචාරයකදී අනුමත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
එම වගන්ති හතර සංශෝධන සහිතව කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බව ඇමැති මහාචාර්ය පිරිස් මහතා සඳහන් කර ඇත.
මීට අමතරව 19 වැනි සංශෝධනයෙන් සම්මත කර ඇති ඇමැති මණ්ඩල ඒ අයුරින් පවත්වාගෙන යාමටත්, ජාතික විගණන පනත ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරිමට සහ හදිසි පනත් කෙටුම්පත එම වගන්ති හතර සංශෝධන සහිතව ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කර තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය දින 14 කින් පසුව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ඇමැතිවරයා එහිදී පවසා ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (20) රැස්වූ අතර 20 වැනි සංශෝධනයට සියලු දෙනාගේ සහ ලබාදෙන බවට වන යෝජනාවක්ද එහිදී සම්මත කර ගැණිනි.
අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ද 20 වැනි සංශෝධනය පිළිබඳව මන්ත්‍රී කණ්ඩායම දැනුම්වත් කර ඇත.
ගාලු කොටුවේ ඔරලෝසුව සෑදූ පසු රාවණ කොටුවෙන් ලැබුණු අරුමපුදුම ඔරලෝසුව
ගාල්ල වැඩ කරන්න ඉතා සිත්ගන්නා සුළු ස්ථානයක්. මා 2008 අගෝස්තු 03 දා සිට 2009 අගොස්තු 10 දක්වා දක්ෂිණ නාවික ප්‍රදේශයේ අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කළා. ලෝකප්‍රකට උණවටුන වෙරළ තීරයට සංචාරකයන් පැමිණීමට පෙර සෑම දිනකම උදෑසනම දිව ගොස් කිලෝ මීටරයක් පමණ පිහිනා යාම ඉතා ආශ්වාදජනකයි.
අනෙක් වැදගත්ම දෙය නම් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ ටෙස්ට් ක්‍රිකත් තරඟ ගණනාවක් නැරඹීමට අවස්ථාව ලැබීමයි. දිනක් වැසි කාලයේ දී ක්‍රීඩාපිටිය වියළීම සඳහා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට ගෙනවිත් තිබූ නවතම යන්ත්‍රයක කාර්මික දෝෂයක් හටගෙන තිබුණා. එය සැකසීම භාර වුණේ නාවික ඉන්ජිනේරුවන්ට. ඔවුන් පියවරෙන් පියවර යන්ත්‍රය පිළිසකර කළා. මේ අනුව තරඟය පැවැත්වෙන අතරතුර අපට හැකියාව ලැබුණා ක්‍රිකට් පාලක මණ්ඩලය විශාල අපහසුතාවකින් බේරාගැනීමට.
එතැන් සිට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අන්තර්ජාතික තරඟයක් පැවැත්වෙන සෑම අවස්ථාවක දී ම ප්‍රභූ ප්‍රවේශපත්‍ර පහක් අපිට එවනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ හා විදේශයන් හි ක්‍රීඩකයන්, හිටපු ක්‍රීඩකයන්, තරඟ විචාරකයන් සමඟ ප්‍රභූ පරිශ්‍රයට වී ටෙස්ට් තරඟයම හෝ ඉන් කොටසක් හෝ නැරඹීම ප්‍රතික්ෂේප කළ හැක්කේ කාට ද ? එය ඉතා අනගි අවස්ථාවක්.
ඒ දිනය මට තවමත් මතකයි. 2009 ජූලි 04 වැනි දා සිට 07 වැනි දා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව පාකිස්තාන කණ්ඩායම හා තරඟ කළා. තරඟය ජයගත්තේ අපි ලකුණු 50කින්. තරඟයේ වීරයා ලෙස රංගන හේරත් සම්මාන ලැබුවා..
ශ්‍රී ලංකාවේ ජනතාව අතර ඉතා ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරකයකු වූ ටෝනි ග්‍රේග් ගාල්ල කොටුවේ ඉතිහාසය ගැන කෙටි විස්තරයක් කරමින් 2004 දෙසැම්බර් මස 26 වැනි දින සුනාමි රළ හේතුවෙන් ගාල්ලට සිදුවූ හානිය සහ ගාල්ලේ ජනතාව මේ ව්‍යසනයට ඔරොතුත් දුන් ආකාරය විස්තර කළා.
ඉන්පසු කැමරාව ක්‍රීඩාපිටියට ඉහළින් ගමන් කර ගාල්ල කොටුවේ බළකොටුව මත ප්‍රතාපවත් ලෙස ඇති ගාල්ලේ ඔරලෝසු කණුවේ සමීප රූපයක් පෙන්නුවා. එහි ඇති ඔරලෝසුව විශාල කර පේනවූවා. ඉතාමත් කණගාටුයි. ඔරලෝසුව නතරවෙලා. ඔරලෝසු මුහුණු හතරෙන් තුනක් විවිධ වේලාවල් දක්වමින් නතර වී තිබෙන ආකාරය පෙන්වීම ලැජ්ජාවට කරුණක්. ඔරලෝසුවක් පවා නිවැරදිව තබා ගැනීමට අපට ඇති නොහැකියාව මුළු ලෝකයටම වැටහෙන්නට ඇති.
ගාල්ල කොටුවේ චන්ද්‍ර අට්ටාලය මත මේ ඔරලෝසු කණුව ඉදිකිර තිබෙන්නේ 1883 වර්ෂයේ දී ගාල්ලේ සිටි සුප්‍රසිද්ධ වෛද්‍යවරයකු මෙන්ම නගර සභාවේ සභිකයකු වූ වෛද්‍ය පී.සී.අන්තෝනියස් මහතා සිහිවීම පිණිසය. එය සාදවා තිබෙන්නේ කොස්ගොඩ මහ මුදලි සැම්සන් ද ආබෲ විජේරත්න රාජපක්ෂ (1822-1888) විසිි.
වෛද්‍ය පී.සී.අන්තෝනියස් (1822-1903) මහා ධානපතියකු වූ රාජපක්ෂ මුදලිට ප්‍රතිකාර කර තිබෙනවා. කොළඹ ලංකා වෛද්‍ය විද්‍යාලය ඉදිකිරීම සඳහා අක්කර තුනහමාරක ඉඩම පරිත්‍යාග කර තිබෙන්නේ ද මේ රාජපක්ෂ මුදලි විසින්.
ගාල්ල නගරයේ සිට ඉතා හොඳින් දැක ගත හැකි මේ ඔරලෝසු කණුව අඩි 83ක් උසැතියි. මෙම ඔරලෝසුව 1882 වර්ෂේය දී ලන්ඩනයේ සුප්‍රසිද්ධ ඔරලෝසු නිෂ්පාදන සමාගමක් වූ ජෝන් මුවර් සහ පුත්‍රයෝ නමැති සමාගමේ නිපදවීමක්.
එදා එ සිදුවීමෙන් පසු ගාල්ල නගරාධිපතිවරයා සමග මා සාකච්ඡා කර ඔරලෝසුවේ ඇති වැරැද්ද කුමක් දැයි පරීක්ෂා කළා. ඒය අළුත්වැඩියා කළ නොහැකි බවත් ඔරලෝසු මුහුණතට ඩිජිටල් ඔරලෝසු ආදේශකිරීමටත් ගාල්ල මහ නගර සභාවේ සාමාජිකයන් සැළසුම් කරනමින් සිටින බවත් නගරාධිපතිවරයා කියා සිටියා.
කෙසේ වෙතත් පැරණි යාන්ත්‍රික ඔරලෝසුව අලුත්වැඩියා කිරීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථව ගොස් තිබූ අතර පිළිගත් ඔරලෝසු සමාගමක් මෙය අලුත්වැඩියා කිරීමට ඉතා විශාල මුදලක් ඉල්ලා තිබුණා.
ගාල්ල මහ නගර සභාවට එම මුදල දරාගත නොහැකි වූ නිසා මෙම පැරණි ඔරලෝසුව අලුත්වැඩියා කිරීමේ අදහස අත්හැර දැමීමට සිදුව තිබුණා.
මිල කළ නොහැකි වටිනාකමක් ඇති මේ ඔරලෝසුව අලුත්වැඩියා කිරීමට අපට අවස්ථාව දෙන්න යැයි මා නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.
දකුණු නාවික විධානයෙහි අපගේ ඉංජිනේරුවන් සහ නාවික නැව් තටාකයේ අපගේ උපකරණ අලුත්වැඩියා කිරීමේ වැඩබිමේ කණ්ඩායමක් ත්‍රිකුණාමලයේ ඇති පැරණිඔරලෝසුව ක්‍රියාත්මක වන ආකාරය හොඳින් අධ්‍යයනය කළා.
1883 වර්ෂයේ දී එක්සත් රාජධානියේ නිපදවා ගාල්ල කොටුවේ දැවැන්ත කණුවක්ම සවිකර ඇති ඇති මේ ඔරලෝසුව අලුත්වැඩියා කරන මුවාවෙන් පැමිණි ඇතැම් පිරිස් එහි පත්තල කොටස් ඉවත්කර තිබීම කණගාටුවට කරුණක්. කෙසේ වෙතත් එය කෙසේ හෝ අලුත්වැඩියා කරනවා යැයි අපේ කණ්ඩායමේ අධිෂ්ඨාන කරගෙන සිටියා.
මෙහි අතුරුදන්ව තිබූ ඇතැම් දැති රෝද සහ වෙනත් පිත්තල කොටස් අපගේ වැඩබිම්වල ම නිෂ්පපාදනය කළා. අපේ නාවික ඉංජිනේරුවන්ගේහා අනෙකුත් නිලධාරීන්ගේ උත්සාහයෙන් රුපියල් 12,000ක වියදමින් මේ ඔරලෝසුව නැවත ක්‍රියාත්මක වුණා. 2009 ජූලි 16 වැනිදා සිට ඔරලෝසුව ක්‍රියාත්මක වුණා.
2009 අගෝස්තු 18 සිට 22 දක්වා ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟය ගාල්ලේ දී පැවැත්වුණා. පළමු ඉනිමේ දී මහේල ජයවර්ධන හා තිලාන් සමරවීර පිළිවෙලින් ලකුණු 113ක් හා 159ක් වශයෙන් ශතක රැස්කළා. ශ්‍රී ලංකාව ලකුණු 202කින් ජයගත් මේ තරඟය අපට අමතක නොවන තරඟක් බවට පත්වුණා. මුරලිදරන් කඩුළු 07ක් දවාගත් අතර තරඟයේ වීරයා වුණේ ඩිල්ෂාන්.
තරඟය ජාත්‍යන්තරයට විකාශය කළ රූපවාහිනී කාර්ය මණ්ඩලය කොටු පවුර මත ඇති මේ ඔරලෝසුව නිවැරදිව ක්‍රියාකරන බව සමීප දර්ශනවලින් අපූරුවට පෙන්නුවා. විස්තර විචාරකයන් ඒ් අවස්ථාවේ දී ශ්‍රී ලංකා නාවික ඉංජිනේරුවන්ට නිසි ගෞරවය ලබා දුන්නා.ඔවුන් පැවසුවේ ”නාවික හමුදාව ඔරලෝසුව බලා ගනී” යනුවෙන්.
ඔරලෝසුව අලුත්වැඩියාකිරීමේ ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු කළේ එවකට ලුතිනන් වරයකු වූ බුද්ධික ගොඩකන්ද. ඔහු නැව් ගලවා ගැනීමේ කිමිදුම් කටයුතු සඳහා විදේශ පුහුණුව ලැබූ අයෙක්.
2009 පෙබරවාරි මස 12 වැනි දින අප්‍රේල් මාසයේ කිමිදුම් කාලය ආරම්භවීමට පෙර පුරාණ නැව්වල සුන්බුන් සහිත මහා රාවණ කොටුව ආරක්ෂිත ප්‍රදේශ වෙන්කර හඳුනාගැනීමට ඔහු මා සමග එක්වුණා. සුප්‍රසිද්ධ රිදී කාසි නෞකාවෙන් මීටර 200ක් පමණ ඈතින් සෙන්ටිමීටර 10ක් පමණ දිග කුඩා වීදුරු වස්තුවක් අපට සොයාගත හැකි වුණා. එය බැලූ බැල්මට විදුලි පන්දමක බල්බයක් වැනියි. ඒය සියුම්ව පිරිසිදු කර හොඳින් පරීක්ෂාකර බලනවිට පෙනීගියේ එය ඉතා කුඩා වැලි ඔරලෝසුවක් බව. මුහුද යට ගිලී තිබුණත් එයට කිසිදු හානියක් සිදුව තිබුණේ නැහැ. මෙම වැලි ඔරලෝසුවෙන් එක් වතාවක දී තත්ත්පර 15ක කාලයක් මැනිය හැකියි.
වැලි ඔරලෝසු අවුරුදු 500කට වඩා පැරණි යැයි සැළකෙනවා. යාන්ත්‍රික ඔරලෝසු ආරම්භ වූයේ අදින් වසර 500කට පමණ පෙරාතුව. නමුත් රිදී කාසි නැවේ සුන්බුන් අවුරුදු 320ක් පමණ පැරණි බව තමයි පිළිගත් මතය වන්නේ.
එසේනම් මේ වැලි ඔරලෝසුව හිමිව තිබුණේ රිදී කාසි නැවටත් වඩා පැරණි නැවකට ද ?
කෙසේ වෙතත් මෙම ස්ථානයේ ප්‍රදීපාගාරයක් ඉදිකළේ රිදී කාසි නැව අනතුරට පත්වී වසර 300කට පමණ පසුව.
තාරකා ශාස්ත්‍රය උපයෝගී කරගෙන නාවික ගමන්වල යෙදුණු අතීතයේ සෑම තත්ත්පර15කට වරක් වේලාව ගැනීම මෙන්ම තාරකා ගමන් මග ගැන සැළකිලිමත්ව ක්ෂිතිජයේ සිට තාරකාව පිහිටන කෝණය මැනීම නැව වෙරළෙන් ඈත්ව ඇති විට නැවේ පිහිටීම සොයා ගැනීමට ප්‍රස්ථාරයේ ස්ථාන රේඛා ඇදීමට සිදුවෙයි. මෙය වේගයෙන් කළ යුතු දෙයක්.
පුරාණ නාවිකයන්, විශේෂයෙන් අරාබිවරු තරු රටා අධ්‍යයනය කරමින් නාවික යාත්‍රාවල යෙදීමට ඉතා දක්ෂයන් වුණා. මෙය පැරණි අරාබි නැවක වැලි ඔරලෝසුවක් ද ? අපි තවමත් සොයා නොගත් ගිලී ගිය නැව් මේ ස්ථානයේ තිබේ ද ? අපි ඒ් ගැන දන්නේ නැහැ. කෙසේ වෙතත් මෝගල් අධිරාජ්‍යයාගේ රිදී කාසි නෞකාව වැනි තවත් අභිරහස් ඒ් ස්ථානයේ තිබේද ? මේ සඳහා පිළිතුරු ලැබෙනු ඇත්තේ මුහුදු පුරාවිද්‍යාඥයන්ගේ ගවේෂණවලින් පමණයි.
රළු කාලගුණය සමග ගල්පරයේ වැදී කැඩී ගිය නැව කැබලිවලට කැඩී මුහුදු පත්ලේ ම ගිලි ගියත් කුඩා වීදුරු වැලි ඔරලෝසුවක් නොවෙනස්ව පැවති යැයි සිතන්නේ කෙසේ ද ? වැලි ඔරලෝසුව තවමත් ක්‍රියාත්මක වීම ආශ්චර්යයක්.
මෙය අපට, අපේ රටේ නාවිකයන්ට සහ මුහුදු පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ අවධානයට ලක්විය යුතු දෙයක්. මුහුදු පුරාවිද්‍යාවට අපි වැඩි ආයේජනයක් කිරීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙනවා. අපේ රටට තවත් මුහුදු පුරාවිද්‍යාඥයන් අවශ්‍ය වනවා.
මේ සිදුවීම සිහිපත් කරන සෑම අවස්ථාවකම එය අපේ සිතට මහත් සතුටක් ලබා දෙනවා. අපි ශතවර්ෂයකට වඩා පැරණි දැවැන්ත යාන්ත්‍රික ඔරලෝසුවක් අලුත්වැඩියා කර කුඩා වැලි ඔරලෝසුවක් සොයාගෙන ඇත්තෙමු.
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාවේ විශ්‍රාමික අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න මහතා විසින් ලියූ ඉංග්‍රීසි ලිපියක සිංහල පරිවර්ථනයකි.


ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය 
කොටුවේ ඇති ඔරලෝසුව 
කොටුව ඔරලෝසු කණුවේ සීනුව 
කොටුව ඔරලෝසු කණුවේ යන්ත්‍රය 
කොටුවේ ඔරලෝසුව පණ ගන්වන අයුරු 
වැලි ඔරලෝසුව හමුවූයේ මේ ආසන්නයෙනි 
මුහුදෙන් හමුවූ වැලි ඔරලෝසුව
මගේ ක්‍රිකට් වීරයන් සමග සෙල්ලම් කරන්න ලැබීම ලොකු සතුටක් – නවෝද්
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමිව ඇති මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන මෙවර තරඟාවලිය නියෝජනය කරන ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වන්න් තවමත් පාසල් ක්‍රීඩකයකු ලෙස සිටිමිනි.
2002 වර්ෂයේ මැයි මස 05 වැනි දා ගාල්ලේ දී උපත ලැබූ නවෝද් මහින්ද විද්‍යාලයීය 13 න් පහළ කණ්ඩායමේ සිට දැක්වූ දක්ෂතා හේතුවෙන් ම ඔහු ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට ද අවස්ථාව උදාකරගත්තේය. මෙවර ඔහුට ජාත්‍යන්තර පිටියේ ටෙස්ට්, එක්දින හා T-20 යන සියලු අංශයන්හි දක්ෂතා දක්වන ක්‍රීඩකයන් සමග එකට තරඟ කිරීමේ අපූරු අවස්ථාවක් හිමිව තිබේ.
‘’මට මේ ගැන ලොකු සතුටක් තියෙනවා. මේ සියල්ල මට හිමිවුණේ මහින්ද විද්‍යාලය නිසා. මට මේ ගමන එන්න අවස්ථාව උදාකරන්න වෙහෙසුණු මගේ දෙමාපියන්ට වගේම මහින්දයේ විදුහල්පතිවරු ඇතුළු ගුරුවරුන්ටත්, පුහුණු කරුවන්ටත්, නිතරම උදව් දෙන ආදි සිසුන්ටත් සියලු දෙනාටම ස්තූති කළ යුතුයි. මේක මට ලැබුණු ලොකුම අවස්ථාවක් හැටියට මම සළකනවා.” යැයි ඔහු අප සමග පැවසුවේ ඉමහත් සතුටිනි.
පසුගිය පාසල් තරඟවාරයේ දී එක ඉනිමක ලකුණු 409 ක් ලබමින් වාර්තා තැබූ නවෝද්ගේ පිත්ත පාසල් කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් පිටියේ දී ක්‍රියාත්මක වූයේ නැත. මේ කාලයේ දී පුහුණුවීම් කළ ආකාරය ගැන විමසූ විට නවෝද මෙසේ කීවේය.
‘’කොරෝනා කියලා මම නිකන් හිටියේ නැහැ. දිගටම පුහුණුවීම් කළා. පුහුණු කරුවන් සමග වගේ ම තනියමත් මම පුහුණු වීම් කළා. ඒ වගේම ශරීර යෝග්‍යතාව පවත්වාගැනීමේ ව්‍යායාම් කළා. පසුගිය කාලයේ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා. ඒ නිසා පුහුණුවීම්වල ගැටලුවක් වුණේ නැහැ. “
නවෝද් පවසන්න් තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ වීරයන් ලෙස සැළකූ ඇතැම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ විදෙස් ක්‍රීඩකන් සමඟ මේ තරම් ඉක්මණින් එකම තරඟාවලියකට සහභාගීවීමට අවස්ථාව ලැබෙනු ඇතැයි නොසිතූ බවයි.
‘’ අපේ කලම්බු කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දරන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙහෙයවූ ඇන්ජෙලෝ මැතිව්ස්, ඉසුරු උදානත් මේ කණ්ඩායමේ ක්‍රීඩා කරනවා, ඒ වගේම ඇන්ඩෲ රසල්, ඩුප්ලෙසි මේ කණ්ඩායම නියෝජනය කිරීම අපි ලොකු ශක්තියක්. ඔවුන් සමග පුහුණුවීම් කරන්න, ඔවුන් සමග අත්දැකීම් බෙදාගන්න ලැබෙන මේ අවස්ථාව මගේ ක්‍රීඩා ජීවිතයට ඉතාමත් වැදගත් වේවි කියා හිතනවා. “
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් T-20 තරඟාවලිය ආරම්භවන්නේ නොවැම්බර් 21 වැනි දිනයි. තවත් නොබෝ දිනකින් ඔවුන්ට කණ්ඩායමක් ලෙස එක්ව පුහුණුවීම් සඳහා අවස්ථාව ලැබෙනු ඇත. ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සැමටම වඩා වයසින් අඩු මේ ලාබාල කොලු ගැටයා උපරිම දක්ෂතා දක්වනු ඇතැයි යන්න rata.lk අප කණ්ඩායමේ ප්‍රාර්ථනයයි.
පාසල් ක්‍රිකට් පිටියත්, අවුරුදු 19 පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් යොවුන් ලෝක කුසලානය ඇතුළු ජාත්‍යන්රයත් වර්ණවත් කළ මේ හුරුබුහුටි ක්‍රීඩකයා පාසල් ක්‍රීඩකයකු ලෙස ලකුණු 409ක් ලබා වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කළ මොහොතේ අප කළ සාකච්ඡාවකින් පසු ලියූ ලිපියක් මේ සමඟ අමුණා ඇත. පහළින් පළ වන්නේ එම සම්පූර්ණ ලිපියයි.
ගාල්ල පුරවරය සැණකෙළි ස්වරූපයක් ගෙන තිබිණි. කළු රන්වන් සහ රතු නිල් ධජ පතාක ඇතුළු සැරසිළිවලින් ගාල්ල නගරය වැසී ගොසිනි. මේ ආදරවන්තයන්ගේ සටන හෙවත් රිච්මන්ඩ් මහින්ද වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම ගාල්ල ජාත්‍යන්තර පිටියේ දී පැවැත්වෙන අවස්ථාවකි.
2014 සහ 2016 වර්ෂ දෙකේ දී ම මහා ක්‍රිකට් තරඟයෙන් ජය ලැබූ රිච්මන්ඩ් ක්‍රීඩකයෝත් එම විද්‍යාලයට සුබ පතන්නෝත් අපේක්ෂා කළේ තවත් ජයග්‍රහණයක්ම පමණි. ඔවුන් තම ඉලක්කය පහසුයැයි සිතුවේ 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ඇතුළු සාමාජිකයන් හතර දෙනකුම රිච්මන්ඩ් පිලට ක්‍රීඩා කරමින් සිටි බැවිනි.
මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ ඉනිම ආරම්භ කිරීම සඳහා පිතිකරුවන් දෙදෙනා පිටියට පිවිසියහ. පුදුමයකි මහා ක්‍රිකට් තරඟයේ මහින්ද ඉනිම ආරම්භ කරන්නේ එතෙක් විද්‍යාලයී 13න් පහළ කණ්ඩායම නියෝජනය කළ පුංචි කොලු ගැටයෙකි. ඔහු එදා මෙදාතුර මහින්ද රිච්මන්ඩ් මහා ක්‍රිකට් ගැටුමට සහභාගී වූ ලාබාලතම ක්‍රීඩකයාය. මේ හරුබුහුටි කොලු ගැටයා ඉක්මණින්ම ක්‍රීඩාගාරයට හරවා යැවීමේ අදිටනින් රිච්මන්ඩ් ක්‍රීඩකයෝ පන්දු යවන්නට පටන්ගත්හ.
නමුත් ඔහු සෙමෙන් සෙමෙන් ඉනිම ගොඩනගන්නට වූයේ පළපුරුදු ක්‍රීඩකයකු පිත්ත හසුරුවන අයුරිනි. පන්දුවාර 62කුත් පන්දු 02ක් සිය අන්තය ආරක්ෂා කරගෙන සිටි හෙතෙම දැවී යනවිට රැස්කරගෙන සිටියේ ලකුණු 31ක් පමණක් වුව ද රිච්මන්ඩ් විද්‍යාලය බලාපොරොත්තු වූ ජයග්‍රහණය ඔවුන්ගෙන් උදුරා ගැනීමට ඔහු සමත්ව සිටියේය.
මේ ක්‍රීඩකයා නවෝද් පරණවිතානයි.
නවෝද් යම් දිනක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නමක් තබනු ඇතැයි එදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය රැස්ව සිටි සියල්ලෝ ම සිතූහ.
මේ ගැන රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු වන ළමා මනෝ විද්‍යා විශේෂඥ නිලංග ගමගේ මහතා මෙලෙස සටහන් කර තිබිණි.
”රිච්මන්ඩ් ජයග්‍රහණයක් බලාගෙන හිටපු අපේ ආතල් එක විනාශ කළ පුංචි කොල්ලෙක් බිග් මැච් එක එදා ඩ්‍රෝ කළා. එදානම් ඒකා ගැන ඇතිවුණේ පුදුම තරහක්. ඒත් කවදා හරි රටට නැතිවම බැරි ක්‍රීඩකයෙක් වෙන බව එදා පෙන්නපු නවෝද් අද වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කරලා. අපේ සුබ පැතුම් දිගු ගමනක් යන්න.”
තවමත් පාසල් වියේ පසුවන නවෝද් පරණවිතාන ශ්‍රී ලකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත බලාපොරොත්තුවක් බව නොරහසකි. ඔහු ඒ බව සනාථ කරමින් මහින්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ලකුණු 409ක් රැස්කලේ එදා මෙදාතුර ශ්‍රී ලංකා ක්‍රීඩයකු ඕනෑම ආකාරයක පිළිගත් ක්‍රිකට් තරඟයක දී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියමිනි. ඔහු මේ ලකුණු සංඛ්‍යාව පුද්ගලිකව ලබාගනිද්දී මහින්ද විද්‍යාලයී ය කණ්ඩාම ලකුණු 679ක් රැස්කළේ පාසල් කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තම විද්‍යාලයට ඉදිරිපිට සටහන් කරමිනි. දැන් සමස්ථ ලෝකයේ ම අවධානය මේ පාසල් ක්‍රීඩකයා වෙත යොමුව ඇත.
ඉන්දියාවේ පාසල් ක්‍රීඩකයකු තනි ඉනිමක දී ලකුණු 500 ඉක්මවා රැස්කර ඇතත් එය නිල තරඟයක් නොවන බැවින් නවෝද් රැස්කළ ලකුණු 409 ලෝක වාර්තාවක් ද විය හැකිය.
”මේ පාසල් වාරයේ දී ඉස්කෝලේ වෙනුවෙන් තරඟ කරන්න ලැබී තිබුණේ තරඟ හතරක් විතරයි. ඒ නිසා මට පාසල වෙනුවෙන් යමක් කරන්න අවශ්‍ය වුණා. බෝල් කරද්දී තුවාල වෙලා පිට්ටනියෙන් ඉවත්වෙලා හිටි නිසා මට ආරම්භක පිතිකරුවා ලෙස එන්න බැරිවුණා. පළමුවැනි කඩුල්ල බිඳවැටුණාම තමයි ආවේ. අදහසක් තිබුණා 100ක් ගහන්න ඕන කියලා. පළමු 100 ගත්තම හිතුණා 200ක් ගහන්න පුළුවන්නම් හොඳයි කියලා. මේ 200 ගන්නකම් මට ලොකු පීඩනක් තිබුණා. අමාරුවෙන් සෙල්ලම් කළේ. 200 ගැහුවම ගොඩක් සැහැල්ලුවක් දැණුනා. මම මගේ පහරවල් වලට නිදහසේ ගියා. 300 ට ආවම හිතුවා වාර්තාව කඩන්න ඕන කියලා. 400ක් පන්නන්න ලැබුණු එක ගැන ඇත්තටම සතුටුයි. මේ ලකුණු සංඛ්‍යාවේ ගෞරවය මගේ අම්මට තාත්තට, අයියට මල්ලිට, පුහුණුකරුවන්ට, විදුහල්පතිතුමාට, ක්‍රිකට් භාර ගුරුවරුන්ට සහ සමස්ථ මහින්ද ප්‍රජාවටම හිමිවිය යුතුයි. ඔවුන් මා ගැන විශාල බලාපොරාත්තුවක් තැබුවා. මට හැම තිස්සේ ම සුබ පැතුවා. ” නවෝද් එදා තැබූ එ් වාර්තාව ගැන එසේ කීවේය.
”මම ක්‍රිකට්වලට ආවේ මගේ අයියා සෙල්ලම් කරනවා දැකලා. ඒ කාලේ මගේ ඉස්කෝලේ ටිකක් ක්‍රිකට්වලින් පසු බෑමකට ලක්වෙලා හිටියේ. අයියා ක්‍රිකට් ක්‍රීඩා කළා. මම තාත්තත් එක්ක පිට්ටනියට ගිහින් පිට්ටනියේ පැත්තක සෙල්ලම් කරනවා. මම බෝල් කරනවා දැකලා තාත්ත දවසක් මගෙන් ඇහුවා ක්‍රිකට් ගහන්න දාන්න ද කියලා. එතකොට මම ඉස්කෝලේ පාපන්දු පුහුණුවීම් වලට යමින් හිටියේ. ඒත් මම හා කිව්වා. තාත්තත් මහින්දේ 15න් පහළ සහ 17න් පහළ කණ්ඩායම්වලට සෙල්ලම් කරලා තිබුණා. මේ නිසා තාත්තාගේ ආශාවක් තිබුණා මාව ක්‍රිකට්වලට යොමුකරන්න.”
නවෝද් ක්‍රිකට් පටන්ගත්තේ ඒ ආකාරයෙනි. නවෝද් විද්‍යාලයේ 13න් පහළ ඒ කණ්ඩායමේ සාමාජිකයකු වූයේය.
එම කණ්ඩායමේ පුහුණුකරුවන් වූ ලකී අරඹෙවෙල මහතා සහ රොඩ්නි ප්‍රගීත් මහත්වරු නවෝද්ගේ දක්ෂතාව හඳුනානෙ පියාගෙන් ඉල්ලීමක් කළේය.
” ඔයා මහින්දයේ ආදි ශිෂ්‍යයෙක් නේ. පුතා ක්‍රිකට්වලට දක්ෂයි. අපිට එයා දිගටම හදන්න ඕනෑ. කවද හරි මහින්දයේ නම ඉස්සරහට ගෙනියන්න මේ කොල්ලට පුළුවන්වේවි. අපේ ඉස්කෝලවල හොඳට සෙල්ලම් කරන අය කොළඹ ඉස්කෝලවලට ගන්නවා. ඒත් අපිට විශ්වාසයි ඔයා පුතාව කොළඹ යවන්නේ නෑ කියා. ඒ නිසා කොල්ලව නොවරදවාම පුහුණුවීම් වලට එවන්න.”
ඔවුන්ගේ ඉලක්කය වැඩි කල් නොගොස් මලඵල දැරුවේය. විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නවෝද්ගේ පිත්ත පිට්ටනියේ දී කතා කළේය. 2015 වර්ෂයේ දී ඔහු 13න් පහළ පාසල් ක්‍රීඩකයකු ලෙස ලකුණු 1182ක් ලබා ගනිමින් එම වයස් කාණ්ඩයෙන් පාසල් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියාගේ වාර්තාව තමන් සතුකරගත්තේ වයස අවුරුද 13න් පහළ කණ්ඩායමේ සිටිමින් විද්‍යාලයේ 15න් පහළ කණ්ඩායමේ ද නිත්‍ය සාමාජිකයකු වෙමිනි.
මහින්දයේ 13න් පහළ කණ්ඩායමේ නායකයා ද වූ නවෝද් 2016 දී පළමු මහා ක්‍රිකට් ගැටුමට සහභාගී වී විද්‍යාලය පරාජයෙන් බේරාගන්නා විට ඔහුට යන්තම් වයස අවුරුද 13ක් සහ මාස 10ක් වූවා පමණි.
”එදා හැමෝම හිතුවේ මහින්දය බිග් මැච් එක පරදියි කියලා. මගේ මුල්ම බිග් මැච් එක. මට ඕන වුණේ කොහොම හරි අපේ ඉස්කෝලේ පරාජයෙන් බේරගන්න. මට එදා ලබාදුන් වගකීම මම ඉෂ්ට කළා. තවමත් මම කැමතිම ඉනිමක් තමයි එදා මම ගහපු මුල්ම ඉනිම.” ඔහු කියයි.
දිගින් දිගටම පාසල වෙනුවෙන් දක්ෂතා දැක්වූ නවෝද් පරණවිතාන 2017 පාසල් ක්‍රිකට් වාරයේ දී වයස අවුරුදු 15න් පහළ ලකුණු 1023ක් ලබාගැනීමට සමත් වූයේ මෙතෙක් 15න් පහළ ලකුණු දහස ඉක්මවා ගිය එකම ක්‍රීඩකයාගේ වාර්තා අද දක්වාම තමන් සතු කරගනිමිනි.
මේ දස්කම් ඔහුට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ දොර විවර කරන්නට සත්විය. වසය අවුරුද 15ක් සහ මාස 07 වෙද්දී නවෝද් එම කණ්ඩාමේ සංචිතයට එකතු වූයේය. එම කණ්ඩායම නියෝජනය කරමින් විදෙස් සංචාර රැසකට සහභාගී වූ නවෝද් පරණවිතාන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා සහ පන්දු යවන්නකු ලෙස තුන් ඉරියව් දස්කම් දක්වමින් ආසියානු කුසලාන තරඟාවලි දෙකකට සහ ලෝක කුසලාන තරඟාවලියකට ද සහභාගී වී සිටියි.
2002 මැයි මස 16වැනි දා ගාල්ල අම්බලන්වත්තේ පදිංචි පරණවිතාන මහතාට දාව දීප්ති දහනායක මහත්මියගේ කුසින් මෙළොව එළිය දුටු නවෝද් පවුලේ මද්දුමයාය. ඔහුට වැඩිමහල් සහ බාල සහෝදරයෝ දෙදෙනෙක් සිටිති. තිදෙනාම ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුවෝය.
දීප්ති දහනායක මහත්මිය සිය පුතු ගැන මෙසේ කීවාය.
“පුතා පුංචි කාලෙ ඉදලම ක්‍රීඩා වලට කැමතියි. නමුත් ක්‍රිකට් වලට තමයි වැඩියෙන්ම කැමතියි. පොඩි කාලේ බේරගන්න බෑ, කොච්චර එපා කිව්වත් බැට් එකයි බොලෙයි අරගෙන සෙල්ලම් කරනවා. ගෙදර ලයිට්, ජනේල වීදුරු ඔක්කොම කුඩු කරනවා. එහෙම කරලා හැංගිලා ඉන්නවා. ආයිත් ටිකකින් බෝලෙ අතට ගන්නවා. ගේ ඇතුලෙත් බෝල ගහනවා. ගෙදර බිත්ති වල හැමතැනම බෝල පාරවල්. ” ඇය දැන් ඒ කරදර ගැන සතුටු වන්නීය.
”නවෝද් මුලින් පාපන්දු සෙල්ලම් කළා, 13න් පහළ පාසැල් පාපන්දු කණ්ඩායමෙත් හිටියා. ඒත් ක්‍රිකට් වලට යොමු වුණාට පස්සේ දෙකම කරන්න බැරි නිසා පාපන්දු වලින් අයින් වෙන්න සිදු වුණා. ලොකු පුතා බිනෝද් තමයි මුලින් ක්‍රිකට් ගැහුවේ. එයා 13න් පහළ 15න් පහළ සහ 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම්වල සෙල්ලම් කළා. අයියා ප්‍රැක්ටිස් කරන කොට නවෝද් තාත්ත එක්ක බලන්න ගිහින් තමයි එයාට ක්‍රිකට් වලට අසාවත් ඇති වුණේ. පස්සේ නවෝද් ක්‍රිකට් වලින් වැඩි දක්ෂතා පෙන්නුවා. අයියට වඩා ඉදිරියට ගියා. ඒ කාලේ අපිට ආර්ථික ප්‍රශ්න තිබුණා. දරුවො දෙන්නෙක් ක්‍රිකට් ක්‍රීඩා කරන කොට ලොකු වියදමක් යනවා. පස්සෙ නවොද්ට ඉඩ දීලා අයියා ක්‍රිකට් වලින් අයින් වුණා. මල්ලී දක්ෂ නිසා අයියා ඒ වෙලාවෙ ලොකු කැපකිරීමක් කළා.”
එදා අයියා ක්‍රිකට්වලින් සමුගෙන නවෝද්ට ඉඩ නොදෙන්නට අද මෙවන් ක්‍රීඩකකු බිහිවන්නේ නැත. එබැවින් නවෝද් පැමිණි මේ ගමනේ සියලු ගෞරවය ඔහුගේ වැඩිමල් සොයුරාට ද හිමිවිය යුතුය.
කැළුම් පරණවිතාන මහතා මෙසේ කීවේය.
”මම යුද හමුදා පොලිසියේ සේවය කරලා විශ්‍රාම ගිය කෙනෙක්. ඉතින් පුතාලා දෙන්නම පාසල් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරනවිට වියදම් දරා ගැනීමේ ගැටලුවක් තිබුණා. ලොකු පුතා බොහොම දුකෙන් ක්‍රිකට්වලින් අයින් වෙලා මල්ලිට ඉඩ දුන්නා. එයා කළ ඒ කැපකිරීම නිසා තමයි අද නවෝද් මේ තැන ඉන්නේ. එයා අද කැඩෙට් නිලධාරියකු ලෙස දියතලාව යුද හමුදා කඳවුරේ සේවය කරනවා. “
නවෝද් ගේ බාල සොහොයුරා චමෝද් දිනු ශ්‍රී මහින්ද විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. නිවසේ දී සහ පාසලේ මිතුරන් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුව ද පාසල් කණ්ඩායමේ පුහුණුවීම් සඳහ එක්වී නැත.
”මම කරන්නේ පාපන්දු ක්‍රීඩාව. පාසලේ කණ්ඩායමේත් ඉන්නවා. මම ක්‍රිකට් ගැහුවොත් අයියගේ වාර්තා කැඩෙන නිසා මම ක්‍රිකට්වලට යන්නේ නැහැ.” යැයි ඔහු පවසන්නේ සිනා සෙමිනි.
අපොස සාමාන්‍ය පෙළ හොඳින් සමත්වූ නවෝද් මේ වනවිට කලා අංශයෙන් උසස් පෙළ හදාරයි. ජාත්‍යනතර තරඟ ඇතුළු ක්‍රිකට් තරඟ රැසකට නිතිපතා සහභාගීවීමට සිදුව ඇති බැවින් ඔහුට පාසල් යන්න හැකියාව ලැබෙන්නේ කලාතුරකිනි. විදුහලේ විදුහල්පතිවරයා ද සමග සාකච්ඡා කළ ක්‍රිකට් භාර ආචාර්යවරු, පුහුණුකරුවන් සහ දෙමාපියන් එක්ව නවෝද්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ වෙනම සොයා බැලීම සිදුකරති.
” අපි එයාට අමතර පන්ති තියලා ඉඩ ලැබෙන ලැබෙන අවස්ථා අනුව උගන්වනවා. අධ්‍යාපන කටයුතු මේ නිසා සමබරව කරගෙන යන්න අවස්ථාව ලැබිලා තියෙනවා.”
නවෝද් පවසන්නේ තම පාසල් පුහුණුකරුවන් වූ ලකී අරඹවෙල, රොඩ්නි ප්‍රගීත්, සුමිත් කුඩාහෙට්ටි, ධනුෂ්ක දෙනගම, අනිල් රිදීගම්මනගෙදර, යොමාල් සංජීව යන මහත්වරු තමන්ගේ ගමනට විශාල රුකුලක් වූ බවයි. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරුවන්ගෙන් ද මේ ගමනට මහත් ධෛර්යක් ලැබුණු බව ඔහු කෘතවේදීව සිහිපත් කරයි. එමන්ම ක්‍රිකට් භා ආචාර්ය නිශාන්ත කුමාර මහතා ද ඔහුට යෝද ශක්තියකි.
මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා මෙසේ කීවේය.
”නවෝද් ඉතාමත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මණින් ඔහුට ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලැබෙයි කියලා. ඔහු පාසලට පමණක් නොවෙයි සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාවටම සම්පතක්. මේ වාර්තාව ඔහුගේ පුද්ලික ජයග්‍රහණයක් වගේම මහින්ද විද්‍යාලයට ලැබුණු විශාල ගෞරවයක්. අපි ප්‍රාර්ථනා කරනවා නවෝදට ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් දස්කම් දක්වමින් ඉදිරියටම යන්න අවස්ථාව උදාවේවා කියා.”
සන්ඩේ ටයිම්ස් ඩයලෝක් 2019 වර්ෂයේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා වූ නවෝද් එහිදී ඡන්ද 72,000ක් ඉක්මවීමට සමත්වූයේය. 2019 පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානයේ දී ශ්‍රී ලංකාවේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානයට ද හිමිකම් කියූ නවෝද් 13න් පහළ ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ද දිනා ඇත.
නවෝද්ගේ මේ ගමනට උපකාර කළ තම පාසල් මිතුරන් දෙදෙනකු ඔහුගේ පියා සිහිපත් කරයි. ඒ නලින් හේරත් මහතා සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි අතිල් ගුණසේකර මහතාය. ඔවුන් ආර්ථික ශක්තිය සැපයූ නිසා නවෝද් හට ජාතික තලයට යාමට හැකිවූ බව පරණවිතාන මහතා කෘතවේදීව සිහිපත් කරයි.
ඔහුගේ එකම බලාපොරාත්තුව වී ඇත්තේ ඉදිරි දිනක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමයි.

නවෝද් බිළිඳු වියේ දී 
නවෝද් කුඩා අවදියේ 

නවෝද් අප සමඟ සාකච්ඡාවට එක්වූ අවස්ථාව 
නවෝද් මව පියා සහ සොහොයුරන් සමඟ 
නවෝද් ලබාගත් ජයග්‍රහණ 
මහින්ද විද්‍යාලය 

රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ සටනේ දී පිතිකරුවකු ලෙස 
ආදරවන්තයන්ගේ සටනේ දී පන්දු යවන අවස්ථාවක් 
19 පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් 









