ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමිව ඇති මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන මෙවර තරඟාවලිය නියෝජනය කරන ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වන්න් තවමත් පාසල් ක්‍රීඩකයකු ලෙස සිටිමිනි.

2002 වර්ෂයේ මැයි මස 05 වැනි දා ගාල්ලේ දී උපත ලැබූ නවෝද් මහින්ද විද්‍යාලයීය 13 න් පහළ කණ්ඩායමේ සිට දැක්වූ දක්ෂතා හේතුවෙන් ම ඔහු ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට ද අවස්ථාව උදාකරගත්තේය. මෙවර ඔහුට ජාත්‍යන්තර පිටියේ ටෙස්ට්, එක්දින හා T-20 යන සියලු අංශයන්හි දක්ෂතා දක්වන ක්‍රීඩකයන් සමග එකට තරඟ කිරීමේ අපූරු අවස්ථාවක් හිමිව තිබේ.

‘’මට මේ ගැන ලොකු සතුටක් තියෙනවා. මේ සියල්ල මට හිමිවුණේ මහින්ද විද්‍යාලය නිසා. මට මේ ගමන එන්න අවස්ථාව උදාකරන්න වෙහෙසුණු මගේ දෙමාපියන්ට වගේම මහින්දයේ විදුහල්පතිවරු ඇතුළු ගුරුවරුන්ටත්, පුහුණු කරුවන්ටත්, නිතරම උදව් දෙන ආදි සිසුන්ටත් සියලු දෙනාටම ස්තූති කළ යුතුයි. මේක මට ලැබුණු ලොකුම අවස්ථාවක් හැටියට මම සළකනවා.” යැයි ඔහු අප සමග පැවසුවේ ඉමහත් සතුටිනි.

පසුගිය පාසල් තරඟවාරයේ දී එක ඉනිමක ලකුණු 409 ක් ලබමින් වාර්තා තැබූ නවෝද්ගේ පිත්ත පාසල් කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් පිටියේ දී ක්‍රියාත්මක වූයේ නැත. මේ කාලයේ දී පුහුණුවීම් කළ ආකාරය ගැන විමසූ විට නවෝද මෙසේ කීවේය.

‘’කොරෝනා කියලා මම නිකන් හිටියේ නැහැ. දිගටම පුහුණුවීම් කළා. පුහුණු කරුවන් සමග වගේ ම තනියමත් මම පුහුණු වීම් කළා. ඒ වගේම ශරීර යෝග්‍යතාව පවත්වාගැනීමේ ව්‍යායාම් කළා. පසුගිය කාලයේ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා. ඒ නිසා පුහුණුවීම්වල ගැටලුවක් වුණේ නැහැ. “

නවෝද් පවසන්න් තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ වීරයන් ලෙස සැළකූ ඇතැම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ විදෙස් ක්‍රීඩකන් සමඟ මේ තරම් ඉක්මණින් එකම තරඟාවලියකට සහභාගීවීමට අවස්ථාව ලැබෙනු ඇතැයි නොසිතූ බවයි.

‘’ අපේ කලම්බු කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දරන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙහෙයවූ ඇන්ජෙලෝ මැතිව්ස්, ඉසුරු උදානත් මේ කණ්ඩායමේ ක්‍රීඩා කරනවා, ඒ වගේම ඇන්ඩෲ රසල්, ඩුප්ලෙසි මේ කණ්ඩායම නියෝජනය කිරීම අපි ලොකු ශක්තියක්. ඔවුන් සමග පුහුණුවීම් කරන්න, ඔවුන් සමග අත්දැකීම් බෙදාගන්න ලැබෙන මේ අවස්ථාව මගේ ක්‍රීඩා ජීවිතයට ඉතාමත් වැදගත් වේවි කියා හිතනවා. “

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් T-20 තරඟාවලිය ආරම්භවන්නේ නොවැම්බර් 21 වැනි දිනයි. තවත් නොබෝ දිනකින් ඔවුන්ට කණ්ඩායමක් ලෙස එක්ව පුහුණුවීම් සඳහා අවස්ථාව ලැබෙනු ඇත. ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සැමටම වඩා වයසින් අඩු මේ ලාබාල කොලු ගැටයා උපරිම දක්ෂතා දක්වනු ඇතැයි යන්න rata.lk අප කණ්ඩායමේ ප්‍රාර්ථනයයි.

පාසල් ක්‍රිකට් පිටියත්, අවුරුදු 19 පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් යොවුන් ලෝක කුසලානය ඇතුළු ජාත්‍යන්රයත් වර්ණවත් කළ මේ හුරුබුහුටි ක්‍රීඩකයා පාසල් ක්‍රීඩකයකු ලෙස ලකුණු 409ක් ලබා වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කළ මොහොතේ අප කළ සාකච්ඡාවකින් පසු ලියූ ලිපියක් මේ සමඟ අමුණා ඇත. පහළින් පළ වන්නේ එම සම්පූර්ණ ලිපියයි.

ගාල්ල පුරවරය සැණකෙළි ස්වරූපයක් ගෙන තිබිණි. කළු රන්වන් සහ රතු නිල් ධජ පතාක ඇතුළු සැරසිළිවලින් ගාල්ල නගරය වැසී ගොසිනි. මේ ආදරවන්තයන්ගේ සටන හෙවත් රිච්මන්ඩ් මහින්ද වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම ගාල්ල ජාත්‍යන්තර පිටියේ දී පැවැත්වෙන අවස්ථාවකි.

2014 සහ 2016 වර්ෂ දෙකේ දී ම මහා ක්‍රිකට් තරඟයෙන් ජය ලැබූ රිච්මන්ඩ් ක්‍රීඩකයෝත් එම විද්‍යාලයට සුබ පතන්නෝත් අපේක්ෂා කළේ තවත් ජයග්‍රහණයක්ම පමණි. ඔවුන් තම ඉලක්කය පහසුයැයි සිතුවේ 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ඇතුළු සාමාජිකයන් හතර දෙනකුම රිච්මන්ඩ් පිලට ක්‍රීඩා කරමින් සිටි බැවිනි.

මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ ඉනිම ආරම්භ කිරීම සඳහා පිතිකරුවන් දෙදෙනා පිටියට පිවිසියහ. පුදුමයකි මහා ක්‍රිකට් තරඟයේ මහින්ද ඉනිම ආරම්භ කරන්නේ එතෙක් විද්‍යාලයී 13න් පහළ කණ්ඩායම නියෝජනය කළ පුංචි කොලු ගැටයෙකි. ඔහු එදා මෙදාතුර මහින්ද රිච්මන්ඩ් මහා ක්‍රිකට් ගැටුමට සහභාගී වූ ලාබාලතම ක්‍රීඩකයාය. මේ හරුබුහුටි කොලු ගැටයා ඉක්මණින්ම ක්‍රීඩාගාරයට හරවා යැවීමේ අදිටනින් රිච්මන්ඩ් ක්‍රීඩකයෝ පන්දු යවන්නට පටන්ගත්හ.

නමුත් ඔහු සෙමෙන් සෙමෙන් ඉනිම ගොඩනගන්නට වූයේ පළපුරුදු ක්‍රීඩකයකු පිත්ත හසුරුවන අයුරිනි. පන්දුවාර 62කුත් පන්දු 02ක් සිය අන්තය ආරක්ෂා කරගෙන සිටි හෙතෙම දැවී යනවිට රැස්කරගෙන සිටියේ ලකුණු 31ක් පමණක් වුව ද රිච්මන්ඩ් විද්‍යාලය බලාපොරොත්තු වූ ජයග්‍රහණය ඔවුන්ගෙන් උදුරා ගැනීමට ඔහු සමත්ව සිටියේය.

මේ ක්‍රීඩකයා නවෝද් පරණවිතානයි.

නවෝද් යම් දිනක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නමක් තබනු ඇතැයි එදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය රැස්ව සිටි සියල්ලෝ ම සිතූහ.

මේ ගැන රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු වන ළමා මනෝ විද්‍යා විශේෂඥ නිලංග ගමගේ මහතා මෙලෙස සටහන් කර තිබිණි.

”රිච්මන්ඩ් ජයග්‍රහණයක් බලාගෙන හිටපු අපේ ආතල් එක විනාශ කළ පුංචි කොල්ලෙක් බිග් මැච් එක එදා ඩ්‍රෝ කළා. එදානම් ඒකා ගැන ඇතිවුණේ පුදුම තරහක්. ඒත් කවදා හරි රටට නැතිවම බැරි ක්‍රීඩකයෙක් වෙන බව එදා පෙන්නපු නවෝද් අද වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කරලා. අපේ සුබ පැතුම් දිගු ගමනක් යන්න.”

තවමත් පාසල් වියේ පසුවන නවෝද් පරණවිතාන ශ්‍රී ලකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත බලාපොරොත්තුවක් බව නොරහසකි. ඔහු ඒ බව සනාථ කරමින් මහින්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ලකුණු 409ක් රැස්කලේ එදා මෙදාතුර ශ්‍රී ලංකා ක්‍රීඩයකු ඕනෑම ආකාරයක පිළිගත් ක්‍රිකට් තරඟයක දී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියමිනි. ඔහු මේ ලකුණු සංඛ්‍යාව පුද්ගලිකව ලබාගනිද්දී මහින්ද විද්‍යාලයී ය කණ්ඩාම ලකුණු 679ක් රැස්කළේ පාසල් කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තම විද්‍යාලයට ඉදිරිපිට සටහන් කරමිනි. දැන් සමස්ථ ලෝකයේ ම අවධානය මේ පාසල් ක්‍රීඩකයා වෙත යොමුව ඇත.

ඉන්දියාවේ පාසල් ක්‍රීඩකයකු තනි ඉනිමක දී ලකුණු 500 ඉක්මවා රැස්කර ඇතත් එය නිල තරඟයක් නොවන බැවින් නවෝද් රැස්කළ ලකුණු 409 ලෝක වාර්තාවක් ද විය හැකිය.

”මේ පාසල් වාරයේ දී ඉස්කෝලේ වෙනුවෙන් තරඟ කරන්න ලැබී තිබුණේ තරඟ හතරක් විතරයි. ඒ නිසා මට පාසල වෙනුවෙන් යමක් කරන්න අවශ්‍ය වුණා. බෝල් කරද්දී තුවාල වෙලා පිට්ටනියෙන් ඉවත්වෙලා හිටි නිසා මට ආරම්භක පිතිකරුවා ලෙස එන්න බැරිවුණා. පළමුවැනි කඩුල්ල බිඳවැටුණාම තමයි ආවේ. අදහසක් තිබුණා 100ක් ගහන්න ඕන කියලා. පළමු 100 ගත්තම හිතුණා 200ක් ගහන්න පුළුවන්නම් හොඳයි කියලා. මේ 200 ගන්නකම් මට ලොකු පීඩනක් තිබුණා. අමාරුවෙන් සෙල්ලම් කළේ. 200 ගැහුවම ගොඩක් සැහැල්ලුවක් දැණුනා. මම මගේ පහරවල් වලට නිදහසේ ගියා. 300 ට ආවම හිතුවා වාර්තාව කඩන්න ඕන කියලා. 400ක් පන්නන්න ලැබුණු එක ගැන ඇත්තටම සතුටුයි. මේ ලකුණු සංඛ්‍යාවේ ගෞරවය මගේ අම්මට තාත්තට, අයියට මල්ලිට, පුහුණුකරුවන්ට, විදුහල්පතිතුමාට, ක්‍රිකට් භාර ගුරුවරුන්ට සහ සමස්ථ මහින්ද ප්‍රජාවටම හිමිවිය යුතුයි. ඔවුන් මා ගැන විශාල බලාපොරාත්තුවක් තැබුවා. මට හැම තිස්සේ ම සුබ පැතුවා. ” නවෝද් එදා තැබූ එ් වාර්තාව ගැන එසේ කීවේය.

”මම ක්‍රිකට්වලට ආවේ මගේ අයියා සෙල්ලම් කරනවා දැකලා. ඒ කාලේ මගේ ඉස්කෝලේ ටිකක් ක්‍රිකට්වලින් පසු බෑමකට ලක්වෙලා හිටියේ. අයියා ක්‍රිකට් ක්‍රීඩා කළා. මම තාත්තත් එක්ක පිට්ටනියට ගිහින් පිට්ටනියේ පැත්තක සෙල්ලම් කරනවා. මම බෝල් කරනවා දැකලා තාත්ත දවසක් මගෙන් ඇහුවා ක්‍රිකට් ගහන්න දාන්න ද කියලා. එතකොට මම ඉස්කෝලේ පාපන්දු පුහුණුවීම් වලට යමින් හිටියේ. ඒත් මම හා කිව්වා. තාත්තත් මහින්දේ 15න් පහළ සහ 17න් පහළ කණ්ඩායම්වලට සෙල්ලම් කරලා තිබුණා. මේ නිසා තාත්තාගේ ආශාවක් තිබුණා මාව ක්‍රිකට්වලට යොමුකරන්න.”

නවෝද් ක්‍රිකට් පටන්ගත්තේ ඒ ආකාරයෙනි. නවෝද් විද්‍යාලයේ 13න් පහළ ඒ කණ්ඩායමේ සාමාජිකයකු වූයේය.

එම කණ්ඩායමේ පුහුණුකරුවන් වූ ලකී අරඹෙවෙල මහතා සහ රොඩ්නි ප්‍රගීත් මහත්වරු නවෝද්ගේ දක්ෂතාව හඳුනානෙ පියාගෙන් ඉල්ලීමක් කළේය.

” ඔයා මහින්දයේ ආදි ශිෂ්‍යයෙක් නේ. පුතා ක්‍රිකට්වලට දක්ෂයි. අපිට එයා දිගටම හදන්න ඕනෑ. කවද හරි මහින්දයේ නම ඉස්සරහට ගෙනියන්න මේ කොල්ලට පුළුවන්වේවි. අපේ ඉස්කෝලවල හොඳට සෙල්ලම් කරන අය කොළඹ ඉස්කෝලවලට ගන්නවා. ඒත් අපිට විශ්වාසයි ඔයා පුතාව කොළඹ යවන්නේ නෑ කියා. ඒ නිසා කොල්ලව නොවරදවාම පුහුණුවීම් වලට එවන්න.”

ඔවුන්ගේ ඉලක්කය වැඩි කල් නොගොස් මලඵල දැරුවේය. විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නවෝද්ගේ පිත්ත පිට්ටනියේ දී කතා කළේය. 2015 වර්ෂයේ දී ඔහු 13න් පහළ පාසල් ක්‍රීඩකයකු ලෙස ලකුණු 1182ක් ලබා ගනිමින් එම වයස් කාණ්ඩයෙන් පාසල් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියාගේ වාර්තාව තමන් සතුකරගත්තේ වයස අවුරුද 13න් පහළ කණ්ඩායමේ සිටිමින් විද්‍යාලයේ 15න් පහළ කණ්ඩායමේ ද නිත්‍ය සාමාජිකයකු වෙමිනි.

මහින්දයේ 13න් පහළ කණ්ඩායමේ නායකයා ද වූ නවෝද් 2016 දී පළමු මහා ක්‍රිකට් ගැටුමට සහභාගී වී විද්‍යාලය පරාජයෙන් බේරාගන්නා විට ඔහුට යන්තම් වයස අවුරුද 13ක් සහ මාස 10ක් වූවා පමණි.

”එදා හැමෝම හිතුවේ මහින්දය බිග් මැච් එක පරදියි කියලා. මගේ මුල්ම බිග් මැච් එක. මට ඕන වුණේ කොහොම හරි අපේ ඉස්කෝලේ පරාජයෙන් බේරගන්න. මට එදා ලබාදුන් වගකීම මම ඉෂ්ට කළා. තවමත් මම කැමතිම ඉනිමක් තමයි එදා මම ගහපු මුල්ම ඉනිම.” ඔහු කියයි.

දිගින් දිගටම පාසල වෙනුවෙන් දක්ෂතා දැක්වූ නවෝද් පරණවිතාන 2017 පාසල් ක්‍රිකට් වාරයේ දී වයස අවුරුදු 15න් පහළ ලකුණු 1023ක් ලබාගැනීමට සමත් වූයේ මෙතෙක් 15න් පහළ ලකුණු දහස ඉක්මවා ගිය එකම ක්‍රීඩකයාගේ වාර්තා අද දක්වාම තමන් සතු කරගනිමිනි.

මේ දස්කම් ඔහුට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ දොර විවර කරන්නට සත්විය. වසය අවුරුද 15ක් සහ මාස 07 වෙද්දී නවෝද් එම කණ්ඩාමේ සංචිතයට එකතු වූයේය. එම කණ්ඩායම නියෝජනය කරමින් විදෙස් සංචාර රැසකට සහභාගී වූ නවෝද් පරණවිතාන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා සහ පන්දු යවන්නකු ලෙස තුන් ඉරියව් දස්කම් දක්වමින් ආසියානු කුසලාන තරඟාවලි දෙකකට සහ ලෝක කුසලාන තරඟාවලියකට ද සහභාගී වී සිටියි.

2002 මැයි මස 16වැනි දා ගාල්ල අම්බලන්වත්තේ පදිංචි පරණවිතාන මහතාට දාව දීප්ති දහනායක මහත්මියගේ කුසින් මෙළොව එළිය දුටු නවෝද් පවුලේ මද්දුමයාය. ඔහුට වැඩිමහල් සහ බාල සහෝදරයෝ දෙදෙනෙක් සිටිති. තිදෙනාම ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුවෝය.

දීප්ති දහනායක මහත්මිය සිය පුතු ගැන මෙසේ කීවාය.

“පුතා පුංචි කාලෙ ඉදලම ක්‍රීඩා වලට කැමතියි. නමුත් ක්‍රිකට් වලට තමයි වැඩියෙන්ම  කැමතියි. පොඩි කාලේ බේරගන්න බෑ, කොච්චර එපා කිව්වත් බැට් එකයි බොලෙයි අරගෙන සෙල්ලම් කරනවා. ගෙදර ලයිට්, ජනේල වීදුරු ඔක්කොම කුඩු කරනවා. එහෙම කරලා හැංගිලා ඉන්නවා. ආයිත් ටිකකින් බෝලෙ අතට ගන්නවා. ගේ ඇතුලෙත් බෝල ගහනවා. ගෙදර බිත්ති වල හැමතැනම බෝල පාරවල්. ” ඇය දැන් ඒ කරදර ගැන සතුටු වන්නීය.

”නවෝද් මුලින් පාපන්දු සෙල්ලම් කළා, 13න් පහළ පාසැල් පාපන්දු කණ්ඩායමෙත් හිටියා. ඒත් ක්‍රිකට් වලට යොමු වුණාට පස්සේ දෙකම කරන්න බැරි නිසා පාපන්දු වලින් අයින් වෙන්න සිදු වුණා. ලොකු පුතා බිනෝද් තමයි මුලින් ක්‍රිකට් ගැහුවේ. එයා 13න් පහළ 15න් පහළ සහ 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම්වල සෙල්ලම් කළා. අයියා ප්‍රැක්ටිස් කරන කොට නවෝද් තාත්ත එක්ක බලන්න ගිහින් තමයි එයාට ක්‍රිකට් වලට අසාවත් ඇති වුණේ. පස්සේ නවෝද් ක්‍රිකට් වලින් වැඩි දක්ෂතා පෙන්නුවා. අයියට වඩා ඉදිරියට ගියා. ඒ කාලේ අපිට ආර්ථික ප්‍රශ්න තිබුණා. දරුවො දෙන්නෙක් ක්‍රිකට් ක්‍රීඩා කරන කොට ලොකු වියදමක් යනවා. පස්සෙ නවොද්ට ඉඩ දීලා අයියා ක්‍රිකට් වලින් අයින් වුණා. මල්ලී දක්ෂ නිසා අයියා ඒ වෙලාවෙ ලොකු කැපකිරීමක් කළා.”

එදා අයියා ක්‍රිකට්වලින් සමුගෙන නවෝද්ට ඉඩ නොදෙන්නට අද මෙවන් ක්‍රීඩකකු බිහිවන්නේ නැත. එබැවින් නවෝද් පැමිණි මේ ගමනේ සියලු ගෞරවය ඔහුගේ වැඩිමල් සොයුරාට ද හිමිවිය යුතුය.

කැළුම් පරණවිතාන මහතා මෙසේ කීවේය.

”මම යුද හමුදා පොලිසියේ සේවය කරලා විශ්‍රාම ගිය කෙනෙක්. ඉතින් පුතාලා දෙන්නම පාසල් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරනවිට වියදම් දරා ගැනීමේ ගැටලුවක් තිබුණා. ලොකු පුතා බොහොම දුකෙන් ක්‍රිකට්වලින් අයින් වෙලා මල්ලිට ඉඩ දුන්නා. එයා කළ ඒ කැපකිරීම නිසා තමයි අද නවෝද් මේ තැන ඉන්නේ. එයා අද කැඩෙට් නිලධාරියකු ලෙස දියතලාව යුද හමුදා කඳවුරේ සේවය කරනවා. “

නවෝද් ගේ බාල සොහොයුරා චමෝද් දිනු ශ්‍රී මහින්ද විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. නිවසේ දී සහ පාසලේ මිතුරන් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුව ද පාසල් කණ්ඩායමේ පුහුණුවීම් සඳහ එක්වී නැත.

”මම කරන්නේ පාපන්දු ක්‍රීඩාව. පාසලේ කණ්ඩායමේත් ඉන්නවා. මම ක්‍රිකට් ගැහුවොත් අයියගේ වාර්තා කැඩෙන නිසා මම ක්‍රිකට්වලට යන්නේ නැහැ.” යැයි ඔහු පවසන්නේ සිනා සෙමිනි.

අපොස සාමාන්‍ය පෙළ හොඳින් සමත්වූ නවෝද් මේ වනවිට කලා අංශයෙන් උසස් පෙළ හදාරයි. ජාත්‍යනතර තරඟ ඇතුළු ක්‍රිකට් තරඟ රැසකට නිතිපතා සහභාගීවීමට සිදුව ඇති බැවින් ඔහුට පාසල් යන්න හැකියාව ලැබෙන්නේ කලාතුරකිනි. විදුහලේ විදුහල්පතිවරයා ද සමග සාකච්ඡා කළ ක්‍රිකට් භාර ආචාර්යවරු, පුහුණුකරුවන් සහ දෙමාපියන් එක්ව නවෝද්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ වෙනම සොයා බැලීම සිදුකරති.

” අපි එයාට අමතර පන්ති තියලා ඉඩ ලැබෙන ලැබෙන  අවස්ථා අනුව උගන්වනවා. අධ්‍යාපන කටයුතු මේ නිසා සමබරව කරගෙන යන්න අවස්ථාව ලැබිලා තියෙනවා.”

නවෝද් පවසන්නේ තම පාසල් පුහුණුකරුවන් වූ ලකී අරඹවෙල, රොඩ්නි ප්‍රගීත්, සුමිත් කුඩාහෙට්ටි, ධනුෂ්ක දෙනගම, අනිල් රිදීගම්මනගෙදර, යොමාල් සංජීව යන මහත්වරු තමන්ගේ ගමනට විශාල රුකුලක් වූ බවයි. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරුවන්ගෙන් ද මේ ගමනට මහත් ධෛර්යක් ලැබුණු බව ඔහු කෘතවේදීව සිහිපත් කරයි. එමන්ම ක්‍රිකට් භා ආචාර්ය නිශාන්ත කුමාර මහතා ද ඔහුට යෝද ශක්තියකි.

මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා මෙසේ කීවේය.

”නවෝද් ඉතාමත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මණින් ඔහුට ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලැබෙයි කියලා. ඔහු පාසලට පමණක් නොවෙයි සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාවටම සම්පතක්. මේ වාර්තාව ඔහුගේ පුද්ලික ජයග්‍රහණයක් වගේම මහින්ද විද්‍යාලයට ලැබුණු විශාල ගෞරවයක්. අපි ප්‍රාර්ථනා කරනවා නවෝදට ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් දස්කම් දක්වමින් ඉදිරියටම යන්න අවස්ථාව උදාවේවා කියා.”

සන්ඩේ ටයිම්ස් ඩයලෝක් 2019 වර්ෂයේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා වූ නවෝද් එහිදී ඡන්ද 72,000ක් ඉක්මවීමට සමත්වූයේය. 2019 පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානයේ දී ශ්‍රී ලංකාවේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානයට ද හිමිකම් කියූ නවෝද් 13න් පහළ ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ද දිනා ඇත.

නවෝද්ගේ මේ ගමනට උපකාර කළ තම පාසල් මිතුරන් දෙදෙනකු ඔහුගේ පියා සිහිපත් කරයි. ඒ නලින් හේරත් මහතා සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි අතිල් ගුණසේකර මහතාය. ඔවුන් ආර්ථික ශක්තිය සැපයූ නිසා නවෝද් හට ජාතික තලයට යාමට හැකිවූ බව පරණවිතාන මහතා කෘතවේදීව සිහිපත් කරයි.

ඔහුගේ එකම බලාපොරාත්තුව වී ඇත්තේ ඉදිරි දිනක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here