ගාලු කොටුවේ ඔරලෝසුව සෑදූ පසු රාවණ කොටුවෙන් ලැබුණු අරුමපුදුම ඔරලෝසුව

0
382

ගාල්ල වැඩ කරන්න ඉතා සිත්ගන්නා සුළු ස්ථානයක්. මා 2008 අගෝස්තු 03 දා සිට 2009 අගොස්තු 10 දක්වා දක්ෂිණ නාවික ප්‍රදේශයේ අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කළා. ලෝකප්‍රකට උණවටුන වෙරළ තීරයට සංචාරකයන් පැමිණීමට පෙර සෑම දිනකම උදෑසනම දිව ගොස් කිලෝ මීටරයක් පමණ පිහිනා යාම ඉතා ආශ්වාදජනකයි.
අනෙක් වැදගත්ම දෙය නම් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ ටෙස්ට් ක්‍රිකත් තරඟ ගණනාවක් නැරඹීමට අවස්ථාව ලැබීමයි. දිනක් වැසි කාලයේ දී ක්‍රීඩාපිටිය වියළීම සඳහා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට ගෙනවිත් තිබූ නවතම යන්ත්‍රයක කාර්මික දෝෂයක් හටගෙන තිබුණා. එය සැකසීම භාර වුණේ නාවික ඉන්ජිනේරුවන්ට. ඔවුන් පියවරෙන් පියවර යන්ත්‍රය පිළිසකර කළා. මේ අනුව තරඟය පැවැත්වෙන අතරතුර අපට හැකියාව ලැබුණා ක්‍රිකට් පාලක මණ්ඩලය විශාල අපහසුතාවකින් බේරාගැනීමට.
එතැන් සිට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අන්තර්ජාතික තරඟයක් පැවැත්වෙන සෑම අවස්ථාවක දී ම ප්‍රභූ ප්‍රවේශපත්‍ර පහක් අපිට එවනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ හා විදේශයන් හි ක්‍රීඩකයන්, හිටපු ක්‍රීඩකයන්, තරඟ විචාරකයන් සමඟ ප්‍රභූ පරිශ්‍රයට වී ටෙස්ට් තරඟයම හෝ ඉන් කොටසක් හෝ නැරඹීම ප්‍රතික්ෂේප කළ හැක්කේ කාට ද ? එය ඉතා අනගි අවස්ථාවක්.
ඒ දිනය මට තවමත් මතකයි. 2009 ජූලි 04 වැනි දා සිට 07 වැනි දා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව පාකිස්තාන කණ්ඩායම හා තරඟ කළා. තරඟය ජයගත්තේ අපි ලකුණු 50කින්. තරඟයේ වීරයා ලෙස රංගන හේරත් සම්මාන ලැබුවා..
ශ්‍රී ලංකාවේ ජනතාව අතර ඉතා ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරකයකු වූ ටෝනි ග්‍රේග් ගාල්ල කොටුවේ ඉතිහාසය ගැන කෙටි විස්තරයක් කරමින් 2004 දෙසැම්බර් මස 26 වැනි දින සුනාමි රළ හේතුවෙන් ගාල්ලට සිදුවූ හානිය සහ ගාල්ලේ ජනතාව මේ ව්‍යසනයට ඔරොතුත් දුන් ආකාරය විස්තර කළා.
ඉන්පසු කැමරාව ක්‍රීඩාපිටියට ඉහළින් ගමන් කර ගාල්ල කොටුවේ බළකොටුව මත ප්‍රතාපවත් ලෙස ඇති ගාල්ලේ ඔරලෝසු කණුවේ සමීප රූපයක් පෙන්නුවා. එහි ඇති ඔරලෝසුව විශාල කර පේනවූවා. ඉතාමත් කණගාටුයි. ඔරලෝසුව නතරවෙලා. ඔරලෝසු මුහුණු හතරෙන් තුනක් විවිධ වේලාවල් දක්වමින් නතර වී තිබෙන ආකාරය පෙන්වීම ලැජ්ජාවට කරුණක්. ඔරලෝසුවක් පවා නිවැරදිව තබා ගැනීමට අපට ඇති නොහැකියාව මුළු ලෝකයටම වැටහෙන්නට ඇති.
ගාල්ල කොටුවේ චන්ද්‍ර අට්ටාලය මත මේ ඔරලෝසු කණුව ඉදිකිර තිබෙන්නේ 1883 වර්ෂයේ දී ගාල්ලේ සිටි සුප්‍රසිද්ධ වෛද්‍යවරයකු මෙන්ම නගර සභාවේ සභිකයකු වූ වෛද්‍ය පී.සී.අන්තෝනියස් මහතා සිහිවීම පිණිසය. එය සාදවා තිබෙන්නේ කොස්ගොඩ මහ මුදලි සැම්සන් ද ආබෲ විජේරත්න රාජපක්ෂ (1822-1888) විසිි.
වෛද්‍ය පී.සී.අන්තෝනියස් (1822-1903) මහා ධානපතියකු වූ රාජපක්ෂ මුදලිට ප්‍රතිකාර කර තිබෙනවා. කොළඹ ලංකා වෛද්‍ය විද්‍යාලය ඉදිකිරීම සඳහා අක්කර තුනහමාරක ඉඩම පරිත්‍යාග කර තිබෙන්නේ ද මේ රාජපක්ෂ මුදලි විසින්.
ගාල්ල නගරයේ සිට ඉතා හොඳින් දැක ගත හැකි මේ ඔරලෝසු කණුව අඩි 83ක් උසැතියි. මෙම ඔරලෝසුව 1882 වර්ෂ‌ේය දී ලන්ඩනයේ සුප්‍රසිද්ධ ඔරලෝසු නිෂ්පාදන සමාගමක් වූ ජෝන් මුවර් සහ පුත්‍රයෝ නමැති සමාගමේ නිපදවීමක්.
එදා එ සිදුවීමෙන් පසු ගාල්ල නගරාධිපතිවරයා සමග මා සාකච්ඡා කර ඔරලෝසුවේ ඇති වැරැද්ද කුමක් දැයි පරීක්ෂා කළා. ඒය අළුත්වැඩියා කළ නොහැකි බවත් ඔරලෝසු මුහුණතට ඩිජිටල් ඔරලෝසු ආදේශකිරීමටත් ගාල්ල මහ නගර සභාවේ සාමාජිකයන් සැළසුම් කරනමින් සිටින බවත් නගරාධිපතිවරයා කියා සිටියා.
කෙසේ වෙතත් පැරණි යාන්ත්‍රික ඔරලෝසුව අලුත්වැඩියා කිරීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථව ගොස් තිබූ අතර පිළිගත් ඔරලෝසු සමාගමක් මෙය අලුත්වැඩියා කිරීමට ඉතා විශාල මුදලක් ඉල්ලා තිබුණා.
ගාල්ල මහ නගර සභාවට එම මුදල දරාගත නොහැකි වූ නිසා මෙම පැරණි ඔරලෝසුව අලුත්වැඩියා කිරීමේ අදහස අත්හැර දැමීමට සිදුව තිබුණා.
මිල කළ නොහැකි වටිනාකමක් ඇති මේ ඔරලෝසුව අලුත්වැඩියා කිරීමට අපට අවස්ථාව දෙන්න යැයි මා නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.
දකුණු නාවික විධානයෙහි අපගේ ඉංජිනේරුවන් සහ නාවික නැව් තටාකයේ අපගේ උපකරණ අලුත්වැඩියා කිරීමේ වැඩබිමේ කණ්ඩායමක් ත්‍රිකුණාමලයේ ඇති පැරණිඔරලෝසුව ක්‍රියාත්මක වන ආකාරය හොඳින් අධ්‍යයනය කළා.
1883 වර්ෂයේ දී එක්සත් රාජධානියේ නිපදවා ගාල්ල කොටුවේ දැවැන්ත කණුවක්ම සවිකර ඇති ඇති මේ ඔරලෝසුව අලුත්වැඩියා කරන මුවාවෙන් පැමිණි ඇතැම් පිරිස් එහි පත්තල කොටස් ඉවත්කර තිබීම කණගාටුවට කරුණක්. කෙසේ වෙතත් එය කෙසේ හෝ අලුත්වැඩියා කරනවා යැයි අපේ කණ්ඩායමේ අධිෂ්ඨාන කරගෙන සිටියා.
මෙහි අතුරුදන්ව තිබූ ඇතැම් දැති රෝද සහ වෙනත් පිත්තල කොටස් අපගේ වැඩබිම්වල ම නිෂ්පපාදනය කළා. අපේ නාවික ඉංජිනේරුවන්ගේහා අනෙකුත් නිලධාරීන්ගේ උත්සාහයෙන් රුපියල් 12,000ක වියදමින් මේ ඔරලෝසුව නැවත ක්‍රියාත්මක වුණා. 2009 ජූලි 16 වැනිදා සිට ඔරලෝසුව ක්‍රියාත්මක වුණා.
2009 අගෝස්තු 18 සිට 22 දක්වා ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟය ගාල්ලේ දී පැවැත්වුණා. පළමු ඉනිමේ දී මහේල ජයවර්ධන හා තිලාන් සමරවීර පිළිවෙලින් ලකුණු 113ක් හා 159ක් වශයෙන් ශතක රැස්කළා. ශ්‍රී ලංකාව ලකුණු 202කින් ජයගත් මේ තරඟය අපට අමතක නොවන තරඟක් බවට පත්වුණා. මුරලිදරන් කඩුළු 07ක් දවාගත් අතර තරඟයේ වීරයා වුණේ ඩිල්ෂාන්.
තරඟය ජාත්‍යන්තරයට විකාශය කළ රූපවාහිනී කාර්ය මණ්ඩලය කොටු පවුර මත ඇති මේ ඔරලෝසුව නිවැරදිව ක්‍රියාකරන බව සමීප දර්ශනවලින් අපූරුවට පෙන්නුවා. විස්තර විචාරකයන් ඒ් අවස්ථාවේ දී ශ්‍රී ලංකා නාවික ඉංජිනේරුවන්ට නිසි ගෞරවය ලබා දුන්නා.ඔවුන් පැවසුවේ ”නාවික හමුදාව ඔරලෝසුව බලා ගනී” යනුවෙන්.
ඔරලෝසුව අලුත්වැඩියාකිරීමේ ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු කළේ එවකට ලුතිනන් වරයකු වූ බුද්ධික ගොඩකන්ද. ඔහු නැව් ගලවා ගැනීමේ කිමිදුම් කටයුතු සඳහා විදේශ පුහුණුව ලැබූ අයෙක්.
2009 පෙබරවාරි මස 12 වැනි දින අප්‍රේල් මාසයේ කිමිදුම් කාලය ආරම්භවීමට පෙර පුරාණ නැව්වල සුන්බුන් සහිත මහා රාවණ කොටුව ආරක්ෂිත ප්‍රදේශ වෙන්කර හඳුනාගැනීමට ඔහු මා සමග එක්වුණා. සුප්‍රසිද්ධ රිදී කාසි නෞකාවෙන් මීටර 200ක් පමණ ඈතින් සෙන්ටිමීටර 10ක් පමණ දිග කුඩා වීදුරු වස්තුවක් අපට සොයාගත හැකි වුණා. එය බැලූ බැල්මට විදුලි පන්දමක බල්බයක් වැනියි. ඒය සියුම්ව පිරිසිදු කර හොඳින් පරීක්ෂාකර බලනවිට පෙනීගියේ එය ඉතා කුඩා වැලි ඔරලෝසුවක් බව. මුහුද යට ගිලී තිබුණත් එයට කිසිදු හානියක් සිදුව තිබුණේ නැහැ. මෙම වැලි ඔරලෝසුවෙන් එක් වතාවක දී තත්ත්පර 15ක කාලයක් මැනිය හැකියි.
වැලි ඔරලෝසු අවුරුදු 500කට වඩා පැරණි යැයි සැළකෙනවා. යාන්ත්‍රික ඔරලෝසු ආරම්භ වූයේ අදින් වසර 500කට පමණ පෙරාතුව. නමුත් රිදී කාසි නැවේ සුන්බුන් අවුරුදු 320ක් පමණ පැරණි බව තමයි පිළිගත් මතය වන්නේ.
එසේනම් මේ වැලි ඔරලෝසුව හිමිව තිබුණේ රිදී කාසි නැවටත් වඩා පැරණි නැවකට ද ?
කෙසේ වෙතත් මෙම ස්ථානයේ ප්‍රදීපාගාරයක් ඉදිකළේ රිදී කාසි නැව අනතුරට පත්වී වසර 300කට පමණ පසුව.
තාරකා ශාස්ත්‍රය උපයෝගී කරගෙන නාවික ගමන්වල යෙදුණු අතීතයේ සෑම තත්ත්පර15කට වරක් වේලාව ගැනීම මෙන්ම තාරකා ගමන් මග ගැන සැළකිලිමත්ව ක්ෂිතිජයේ සිට තාරකාව පිහිටන කෝණය මැනීම නැව වෙරළෙන් ඈත්ව ඇති විට නැවේ පිහිටීම සොයා ගැනීමට ප්‍රස්ථාරයේ ස්ථාන රේඛා ඇදීමට සිදුවෙයි. මෙය වේගයෙන් කළ යුතු දෙයක්.
පුරාණ නාවිකයන්, විශේෂයෙන් අරාබිවරු තරු රටා අධ්‍යයනය කරමින් නාවික යාත්‍රාවල යෙදීමට ඉතා දක්ෂයන් වුණා. මෙය පැරණි අරාබි නැවක වැලි ඔරලෝසුවක් ද ? අපි තවමත් සොයා නොගත් ගිලී ගිය නැව් මේ ස්ථානයේ තිබේ ද ? අපි ඒ් ගැන දන්නේ නැහැ. කෙසේ වෙතත් මෝගල් අධිරාජ්‍යයාගේ රිදී කාසි නෞකාව වැනි තවත් අභිරහස් ඒ් ස්ථානයේ තිබේද ? මේ සඳහා පිළිතුරු ලැබෙනු ඇත්තේ මුහුදු පුරාවිද්‍යාඥයන්ගේ ගවේෂණවලින් පමණයි.
රළු කාලගුණය සමග ගල්පරයේ වැදී කැඩී ගිය නැව කැබලිවලට කැඩී මුහුදු පත්ලේ ම ගිලි ගියත් කුඩා වීදුරු වැලි ඔරලෝසුවක් නොවෙනස්ව පැවති යැයි සිතන්නේ කෙසේ ද ? වැලි ඔරලෝසුව තවමත් ක්‍රියාත්මක වීම ආශ්චර්යයක්.
මෙය අපට, අපේ රටේ නාවිකයන්ට සහ මුහුදු පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ අවධානයට ලක්විය යුතු දෙයක්. මුහුදු පුරාවිද්‍යාවට අපි වැඩි ආයේජනයක් කිරීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙනවා. අපේ රටට තවත් මුහුදු පුරාවිද්‍යාඥයන් අවශ්‍ය වනවා.
මේ සිදුවීම සිහිපත් කරන සෑම අවස්ථාවකම එය අපේ සිතට මහත් සතුටක් ලබා දෙනවා. අපි ශතවර්ෂයකට වඩා පැරණි දැවැන්ත යාන්ත්‍රික ඔරලෝසුවක් අලුත්වැඩියා කර කුඩා වැලි ඔරලෝසුවක් සොයාගෙන ඇත්තෙමු.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාවේ විශ්‍රාමික අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න මහතා විසින් ලියූ ඉංග්‍රීසි ලිපියක සිංහල පරිවර්ථනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here